ලෝක ඉතිහාසයේ වැදගත්ම ලේඛනයක් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස පිළිබඳ ප්‍රකාශනය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද්දේ 1776 ජූලි 4 වන දා ය.

මෙම ප්‍රකාශනය සම්මත කරගැනීම සිදු වූයේ ඇමරිකානු නිදහස් සටනෙහි ආරම්භක සමයේ යි. ජනපදිකයන් සහ බ්‍රිතාන්‍යයන් අතර සටන් ඇරඹුණේ 1775 දී යි. 1783 දී ඇමරිකා එක්සත් ජනපදය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගැනුණේ නිදහස් සටන අවසානයේ අත්සන් කෙරුණ පැරිස් ගිවිසුමෙන්. එහෙත් එරට නිදහස් දිනය ලෙස සැලකෙන්නේ නිදහස් ප්‍රකාශනය සම්මත කරගත් ජූලි 4 වන දා යි.

නිදහස් ප්‍රකාශනයේ අත්සන් කළ පිටපතක් (Public Domain)

ඇමරිකාවේ බ්‍රිතාන්‍ය ජනපද 13 හි ජනපදිකයන් අතර බ්‍රිතාන්‍ය විරෝධී අදහස් වර්ධනය වීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවා. එය මූලිකවම සත් අවුරුදු යුද්ධය මත රඳා පැවතියා. සත් අවුරුදු යුද්ධය යනු 1756 සිට 1763 දක්වා පැවති යුද්ධයක් වූ අතර එහිදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යටත් විජිතවල ද සටන් සිදු වුණා. මෙම සටන්වල දී බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශය පරාජය කළා. ඒ අනුව කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශය බ්‍රිතාන්‍යය පාලනයට යටත් වුණා.

යුද්ධයෙන් පසුව ඇමරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදවලට බලපාන වෙනස්කම් දෙකක් සිදු වුණා. එකක් නම් ප්‍රංශයෙන් එතෙක් වූ තර්ජනය පහව යාම යි. මේ අනුව බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ආරක්ෂාව අත්‍යවශ්‍ය නොවන තත්ත්වයක් ඇති වුණා.

ජනපද දහතුන 1775 දී (edmaps.com)

අනෙක් කරුණ නම් යුධ වියදම් හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකය පසුබැසීම යි. මේ අනුව බ්‍රිතාන්‍යය විසින් ඇමරිකන් ජනපද වෙත බදු පැනවීමට කටයුතු කළා. මෙහිදී ජනපදිකයන් ඊට එරෙහි වූයේ තම නියෝජනයක් නොමැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් තමන් වෙත බදු පැනවීම වැරදි බව කියා සිටිමින්.

මෙම දෙවන කරුණ හේතුවෙන් ජනපදවල විරෝධතා ව්‍යාපාර හටගැනීමට වුණා. 1773 දෙසැම්බර් මාසයේ දී සිදු වූ "බොස්ටන් තේ සාදය​" නමින් නම් කළ සිද්ධිය එවැන්නක්. මෙහිදී ඇමරිකානු විමුක්තිකාමීන් පිරිසක් තේ නැවකින් තේ පෙට්ටි මුහුදට ඇද දැම්මා. මෙම සිද්ධිය ඇමරිකන් නිදහස් සටනෙහි වැදගත් අවස්ථාවක් ලෙස අදටත් ප්‍රක ටයි.

1775 දී මුල්ම සන්නද්ධ ගැටුම් හටගන්නා අවස්ථාවල පවා ජනපදිකයන් අතර පූර්ණ නිදහස සඳහා විශාල සහායක් වූයේ නැහැ. එහෙත් ඉතා ඉක්මණින්ම එම තත්ත්වය වෙනස් අතට හැරුණා. 1775 ඔක්තෝබරයේ දී බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු පර්ලිමේන්තුව හමුවේ කතාවක් කරමින් කැරලිකාර පළාත්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස යෝජනා කිරීම ද ඊට හේතු වුණා.

1776 මාර්තුවේදී උතුරු කැරොලිනා ජනපදවාසීන්ගේ නියෝජිත පිරිසක් ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට පක්ෂ බව නිවේදනය කළා. මැයි මාසය වන විට තවත් ජනපද හතක් ඊට එක්ව තිබුණා.

1776 ජූනි 7 වන දා, පෙන්සිල්වේනියාවේ ෆිලෙඩෙල්ෆියා නගරයේ රාජ්‍ය සභා ගොඩනැගිල්ලේ දී පවත්වන ලද, ජනපදවල නියෝජිතයන් රැස් වූ මහාද්වීපික කොන්ග්‍රස් සභාවේ දී, වර්ජිනියා ජනපදයේ නියෝජිත රිචර්ඩ් හෙන්රි ලී විසින්, ඇමරිකානු ජනපදවල නිදහස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් ගෙනෙනු ලැබුණා. මේ පිළිබඳ විවාදය මීළඟ සභාවාරය තෙක් කල්තැබූ කොන්ග්‍රසය​ නිදහස් ප්‍රකාශනයක් කෙටුම්පත් කිරීම සඳහා පස් දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කළා. මෙම කමිටුවෙහි සාමාජිකයන් වූයේ වර්ජිනියාවේ තෝමස් ජෙෆර්සන්, මැසචුසෙට්ස්හි ජෝන් ඇඩම්ස්, කනෙක්ටිකට්හි රොජර් ෂර්මන්, පෙන්සිල්වේනියාහි බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ නිව් යෝර්ක්හි රොබර්ට් ආර්. ලිවින්ස්ටන් යන අය යි. ඒ අතුරින් ද​ ප්‍රධානම කාර්යයභාරයක් ඉටු කළේ තෝමස් ජෙෆර්සන් විසින්. නිදහස් ප්‍රකාශනය බොහෝකොටම ඔහුගේ නිර්මාණයක්.

තෝමස් ජෙෆර්සන් (Rembrandt Peale)

ජෙෆර්සන් පසු කලෙක ප්‍රකාශ කළ පරිදි කමිටුව විසින් එහි මූලික කෙටුම්පත සකස් කිරීම ඔහු වෙත පැවරූ අතර පසුව ඔහු ෆ්‍රෑන්ක්ලින් සහ ඇඩම්ස් වෙත එය යොමු කළා. ඔවුන් ලබාදුන් අදහස් ද ගෙන යළි එම ලියවිල්ල සකස් කළ ජෙෆර්සන් ඉන්පසු කමිටුව වෙතම එය යොමු කර කොන්ග්‍රස් සභාව වෙත ඉදිරිපත් කළා.

ජෙෆර්සන්ගේ කෙටුම්පතෙහි කොටස් පහක් වූ අතර හැඳින්වීම​, ප්‍රස්ථාවනාව​, කොටස් දෙකකින් යුතු ප්‍රධාන කොටස, සහ අවසානය එම කොටස් වුණා. එහි වූ සුප්‍රසිද්ධම වාක්‍ය කිහිපය​ ඇතුල් වූයේ ප්‍රස්ථාවනාවට යි.

“අප විසින් මේවා ප්‍රත්‍යක්ෂ කරුණු ලෙස සලකනු ලැබේ. සියළු මනුශ්‍යයෝ සමානව උපදිති. ඔවුන්ට අන්සතු කළ නොහැකි අයිතීන් ගණනක් හිමි වේ. ඒ අතර ජීවත්වීමේ අයිතිය​, නිදහස සහ සතුටින් සිටීමේ අයිතිය වේ. මෙම අයිතීන් සුරකිනු පිණිස, රජයයන් පිහිටුවාගෙන ඇති අතර ඒවාට ජනතාවගේ කැමැත්තෙන් ලැබෙන සාධාරණ වූ බලයයන් හිමි ව ඇත.”

මහාද්වීපික කොන්ග්‍රස් මණ්ඩලය ජූලි 1 වන දා නැවත රැස් වුණා. ඊළඟ දිනයේ දී නිදහස ප්‍රකාශ කිරීමේ තීරණය ජනපද 13න් 12ක් විසින් අනුමත කෙරුණා. ඉන් අනතුරුව නිදහස් ප්‍රකාශනය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ​, යම් යම් වෙනස්කම් සහිතව ජූලි 4 වන දා එය සම්මත කරගනු ලැබුණා.

මෙම නිදහස් ප්‍රකාශනය පසු කාලීනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී සහ විමුක්තිකාමී ව්‍යාපාරවලට අභිප්‍රේරණයක් ලෙස වැදගත් වුණා. විශේෂයෙන්ම ප්‍රංශ විප්ලවය සඳහා ඇමරිකානු නිදහස් ප්‍රකාශනය මෙන්ම නිදහස් සටනත් අමතක නොකළ හැකි බලපෑමක් ඇති කළා. එමෙන්ම මෙම ලියවිල්ලත්, ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, අයිතිවාසිකම් පනතත් යන ලියවිලි නූතන එක්සත් ජනපදයේ පදනම් ලෙස සැලකෙනවා.

Cover Image: නිදහස් ප්‍රකාශනය පස්දෙනාගේ කමිටුව විසින් කොන් ග්‍රස් සභාව වෙත ඉදිරිපත් කෙරෙයි (John Trumbull)