Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනපති පුටුවේ සිටියදීම මියගිය ඇමෙරිකානු ජනපතිවරු – 2 කොටස

ඇමෙරිකානු ඉතිහාසයේ ජනපති වශයෙන් තේරී පත්ව සිටියදීම ඝාතනයට ලක් වූ අවාසනාවන්තයින් සිවු දෙනා වන ඒබ්‍රහම් ලින්කන්, ජේම්ස් ගාර්ෆීල්ඩ්, විලියම් මැකෙන්ලි හා ජෝන් එෆ්. කෙනඩි ගැන පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා. ඇමෙරිකානු ජනපති පුටුවට පත් වූවත් ඒ කාලය සම්පූර්ණයෙන් ගෙවා දැමීමට පෙර ස්වාභාවික හේතු නිසා ජීවිතයෙන් සමුගත් සිවු දෙනෙක්ද ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී අපට හමු වෙනවා. ජනපති පුටුවේ සිටියදීම මියගිය ඇමෙරිකානු ජනපතිවරු සම්බන්ධ ලිපි මාලාවේ දෙවන කොටස වන මේ ලිපියෙන් ඔවුන් සම්බන්ධ තොරතුරු අපි විමසා බලමු.

විලියම් හෙන්රි හැරිසන් -1841

knowyourpresidents.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව වන ජනපති වශයෙන් තේරී පත් වන්නට විලියම් හෙන්රි හැරිසන් සමත් වන්නේ ඒ වන විට එම තනතුරට පත් වූ වයස්ගතම තැනැත්තා හා ‘විග්’ පක්ෂයෙන් තේරී පත් වූ පලමු වැන්නා වෙමින්. ජනපති වීමට වාසනාව ලැබුවද ජනපති වූවන් අතරින් අවාසනාවන්තමයා හෙවත් කෙටිම කලක් එම තනතුර හෙබවූ තැනැත්තා වෙමින් මොහු තමන් තනතුර භාරගත් 1841 වසර තුළදීම මිය යන්නේ දින 31ක් පමණක් ජනපති පුටුවේ රැඳෙමින්. ඔහුගේ මරණයට යම් ප්‍රමාණයක දායකත්වයක් ඔහුගේම නොසැලකිල්ල තුලින් සිදුවීම ඇත්තෙන්ම කණගාටුදායකයි.

1841 වසරේ මාර්තු මස 4 වැනිදා ජනපති ධූරය භාර ගැනීම හැරිසන් විසින් අමන්දානන්දයට පත්වෙමින් සිදු කළේ එදා මෙදා තුර ඇමෙරිකානු ජනපති කෙනෙක් සිදු කළ දීර්ඝතම ආරම්භක දේශනය දෙමින්. මින් නොනැවතුණු ඔහු විඩාව නොතකා සාද තුනකටත් සහභාගී වෙනවා.වැසිබර, ශීතල දිනයක් වූ එදා සිය ජවය හා ‘තාරුණ්‍යය’ ප්‍රකට කිරීමට ඔහු තොප්පියක් හා ශීත කබායක් ඇඳීමෙන් වැළකී සිටියා. නමුත් ඒ වන විට 68 වැනි වියේ සිටි ඔහුට එම ශීතල ඔරොත්තු දුන්නේ නැහැ. මේ නිසා වැළඳුණු ප්‍රතිශ්‍යා රෝගය නියුමෝනියාව දක්වා වර්ධනය වීමෙන් 1841 අප්‍රේල් මස 4 වෙනිදා විලියම් හෙන්රි හැරිසන් ජනපති තුමා මිය යනවා. ඒ කෙසේ නමුත් වර්තමානය වන විට ඔහු මිය ගියේ නියුමෝනියාවෙන් නොව වෙනත් ආසාදනයකින් බවත් මත පළ වෙනවා.

සැචරි ටේලර් -1850

simple.wikipedia.org

තරුණ කාලයේ ඉතා දක්ෂ හමුදා නිළධාරියෙකු වූ සැචරි ටේලර් 1848 ඇමෙරිකානු ජනපතිවරණයෙන් වැඩි ජන වරමක් සහිතව තේරී පත් වෙනවා. ක්‍රි.ව 1849 ජනපති වශයෙන් දිවුරුම් දෙන ඔහු මාස 16ක් පමණ හොඳින් එම තනතුර හොබවනවා.

1850 වසරේ ජූලි මස 4 වැනිදාට යෙදුණු ඇමෙරිකානු නිදහස් දින උත්සව වලට හා වොෂිංටනයේ ‘ස්මාරකය’ ඉදි කිරීමට නියමිත බිම් කොටස වෙන් කිරීමේ උත්සවයට සහභාගී වන ටේලර් නැවත පැමිණෙන ගමනේ දී සිය ගමන් විඩාව නිවා ගන්නට චෙරි හා ශීත කරන ලද කීරි ආහාරයට ගන්නවා. මීට අමතරව වතුර වීදුරු කිහිපයක්ද බොන ඔහු ධවල මන්දිරයට පැමිණි විගස තද උදරාබාධයකින් පෙළෙන්නට පටන් ගන්නවා. මීට අමතරව අතීසාරයද, ඔක්කාරයද, උදරයේ මස්පිඬු පෙරළීමද ඔහුට සෑහෙන පීඩාවක් ගෙන දෙනවා. වෛද්‍යවරුන් කොතෙක් උත්සාහ ගත්තද කෙමෙන් කෙමෙන් රොගය උත්සන්න වන අතර ජූලි 9 වනදා ඔහු මිය යනවා.

ටේලර්ගේ මරණයට හේතුව වශයෙන් වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ කොළරාව ආසාදනය වීමයි. සමහරු එය උණසන්නිපාතයද විය හැකි බව පවසන අතර තවත් මතයකට අනුව වහල් සේවයට එරෙහි වූ මෙම ජනපති ආසනික් විෂ වීමක් නිසා මරණයට පත් වූ බවත් සැක කෙරෙනවා.

වොරන් ජී. හාර්ඩින්ග් -1923

salon.com

වොරන් ජී. හාර්ඩින්ග් 1921 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ලෙස දිවුරුම් දෙනවා. ආරම්භයේ සිටම පෙරලිකාර තීන්දු තීරණ කිහිපයක්ම ගත් ඔහු ජනතාවගේ ගෞරවාදරයට පත් වෙනවා. 1923 වසරේ තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව මහජනතාව වැඩිදුර දැනුවත් කිරීම උදෙසා ඇමෙරිකාව පුරාම සංචාරය කිරීමට ඔහු සැලැසුම් කරනවා.

ජනපති හාර්ඩින්ග් ඇලෙස්කා සංචාරයේදී -retrocampaigns.tumblr.com

ක්‍රි.ව 1923 ජූනි මස සැළසුම් කරන ලද සැතපුම් 15,000 ක දුරකින් යුත් සිය රට හරහා චාරිකාව ඉතා උනන්දුවෙන් ජනපති තුමා ආරම්භ කරනවා. තැනින් තැන නතර වෙමින්, දේශනා දෙමින් කෙරුණු මේ වෙහෙසකර ගමන අතරතුර ඇලෙස්කාවට සංචාරය කළ පළමු ඇමෙරිකානු ජනපති වීමේ භාග්‍යයත් හාර්ඩින්ග් තමන් සතු කරගන්නවා. සැන් ෆ්‍රැන්සිසිකෝ ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේදී ජනපති හාර්ඩින්ග් මස්පිඬු පෙරලීම්, අජීරණය, උණ හා හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ කිහිපයකින් පෙළෙන්නට ගන්නවා. වෛද්‍යවරුන් එය ආහාර අජීරණ‍යක් හෝ විෂ වීමක් බවට අනුමාන කළත් බෙහෙත් වලින් සුවයක් නොලැබෙන අතර දින කිහිපයකට පසුව හෙවත් 1923 අගෝස්තු 2 දා ඔහු හෘදයාබාධයක් හේතුවෙන්  සිය ජීවන ගමනින් සමුගන්නවා.

ෆ්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට් -1945

history.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති පුටුවට තේරී පත් වූවන් අතරෙන් ෆ්‍රෑන්ක්ලීන් ඩෙලානෝ රූස්වෙල්ට්ට හිමිවන්නේ ඉතාම සුවිශේෂී ස්ථානයක්. එක් අතකින් ඉතාම වාසනාවන්ත හා තවත් අතෙකින් අවාසනවන්ත පුද්ගලයෙක් හටියට ඔහුව හැඳින්විය හැක්කේ, ඇමෙරිකානු ජනපති පුටුවට දෙවරකට වඩා තේරී පත් වූ එකම පුද්ගලයා වීමේ වාසනාව ඔහුට ලැබීම නිසාත් එහෙත් ඒ බහුතර කාලය දෙවන ලෝක යුද්ධ සමය තුළ ගෙවී යාම නිසාත් ය. අන් සියළු ජනපතිවරුන් උපරිම වශයෙන් දෙවරක් තේරී පත් වන විට ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ට ඒ භාග්‍යය සිවු වරක්ම විඳ ගැනීමට ලැබුණා.

ක්‍රි.ව 1932 පැවැත්වුණු ඇමෙරිකානු ජනපතිවරණයෙන් රූස්වෙල්ට් තේරී පත් වන විට ඇමෙරිකාව තිබුණේ ඉතාම වියවුල් සහගත තත්වයකයි. ආර්ථික වශයෙන් ආගාධයට වැටී තිබුණු රට සාර්ථක ලෙස ඉන් ගොඩ ගැනීමත් ඒ සමඟම පාහේ ඇවිළුණු දෙවන ලෝක යුද්ධයට සාර්ථකව මුහුණ දීමත් නිසා ඔහු ගැන ජනතාව පැහැදුණා. දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුණු කාලය හෙවත් 1940 වසර වන විට රූස්වෙල්ට්ගේ දෙවන ධූර කාලය අවසන් වුණත් ලෝකය පැවති තත්වය සළකා බලා හේ දිගටම ජනපති ලෙස කටයුතු කරන්නට ජනතාවගෙන් අනුමැතිය බලාපොරොත්තු වනවා.. ජනතාව ඔහුව නැවත පත් කරගන්නේ ඒ අදහසට එකඟතාවය පළ කරමින්. 1944 වසරේ ජනපතිවරණය පැවැත්වෙන සමය වන විටත් ලෝක යුද්ධය අවසන් වී තිබුණේ නැති අතර ඇමෙරිකාවට අත්දැකීම බහුල පාලකයෙක්ගේ අවශ්‍යතාවය තිබුණු නිසා හේ නැවත ජනපතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයගන්නවා.

යොල්ටා සමුළුවට සහභාගී වූ රූස්වෙල්ට් (මැද) ඔහුගේ වම්පසින් ජෝසප් ස්ටාලින්ද දකුණු පසින් වින්ස්ටන් චර්චිල් ද සිටිති- biography.com

ක්‍රි.ව 1944 පැවති ජනපතිවරණයෙන් තේරී පත් වුණත් ඒ වන විට රූස්වෙල්ට් සිටියේ යහපත් සෞඛ්‍ය තත්වයක නොවේ. ඇමෙරිකාව, රුසියාව හා මහා බ්‍රිතාන්‍යය යන​ රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් 1945 වසරේ පෙබරවාරි මාසයේ පැවති යොල්ටා සමුළුවටත් ඔහු අයහපත් සෞඛ්‍ය තත්වය මධ්‍යයේ සහභාගී වනවා. යොල්ටා සමුළුව අවසන් වී නැවත පැමිණි පසු එන්න එන්නම රූස්වෙල්ට්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනවා. කොටින්ම ඔහු කොංග්‍රසය අමතන්නේත් පුටුවක වාඩි වී. අයහපත් සෞඛ්‍ය තත්වය තවත් වැඩි වන්නට පෙර වෛද්‍යවරු ඔහුට නිවාඩුවක් නිර්දේශ කරන අතර ලෝකයේ තත්වය පසෙක තබා 1945 අප්‍රේල් මස වසන්තය ගත කිරීමට ඔහු ජෝර්ජියාවේ තමන් විසින් පිහිටුවන ලද පෝලියෝ රෝගීන් වෙනුවෙන් අරමුදල් එක් රැස් කරන පදනම් ආයතනය වෙත යනවා. එහි යම් කාලයක් ගත කොට සෞඛ්‍ය තත්වය යහපත් අතට පත් වූ සැණින් නැවත සේවයට වාර්ථා කිරීමට ඔහු බලාපොරොත්තු වුණත් අප්‍රේල් 12 වනදා හදිසියේම මොළයේ ඇති වූ තදබල අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා ඔහුගේ දිවියට නැවතීමේ තිත වැටෙනවා..

(කවරයේ පින්තූරය- history.com)

Related Articles