දුටුගැමුණුට පාර කැපූ කාවන්තිස්ස රජු ගැන නොදත් කතා

දුටුගැමුණු රජුගේ පියා වන කාවන්තිස්ස ගැන මහාවංශයේ  එතරම් සඳහන් වන්නේ නැහැ. නමුත් වෙනත් ඓතිහාසික මූලාශ්‍ර සහ සෙල්ලිපිවලින් ඒ රජුගේ උපක්‍රමික ශූර පාලනය ගැන උදාහරණ හමුවෙනවා.

රෝහණයේ මාගම රාජධානිය ඇරඹේ

මහාවංශයේ කතා පුවත අනුව මාගම අගනුවර කරගත් රෝහණ රාජ්‍යය පළමුවෙන් ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී යි. ඒ සඳහා මුලික වන්නේ දිවි බේරාගැනීමට අනුරාධපුරයෙන් රුහුණට පලා එන දෙවනපෑතිස් රජුගේ දෙටු සොයුරා වන මහානාග යුව රජු යි.  මහානාග යුව රජු රෝහණයට පලා ආවේ සිය අඹු දරුවන් හා සේනාවන් ද සමඟ බව වංසත්ථප්පකාසිනිය නම් කෘතියේ සඳහන් වෙනවා.

මේ කාලයේ කතරගම වෙනම ක්ෂත්‍රිය පාලනයක් පැවතුණා. දෙවන පෑතිස් රජ කළ  ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ උත්සවවලට කතරගම ක්‍ෂත්‍රියයන් ද සහභාගි වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. මේ දසබෑ රජුන් ගැන බෝවත්තේගල, කොටදැමූහෙළ, බුදුපැටුන්කන්ද සෙල්ලිපිවල සඳහන් වෙනවා. මේ කාලයේ රුහුණේ නැගෙනහිර කොටස පචින බූමිය නමින් වෙනම ප්‍රාදේශීය පාලනයක් පැවතුණා.

නමුත් ක්‍රමයෙන් මහානාග රෝහණ රාජ්‍යයේ ම පාලකයා බවට පත්වෙනවා.  රෝහණයේ දකුණු කොටසේ අගනුවර මාගම වූ අතර උතුරු කොටසේ ප්‍රධාන නගරය දීඝවාපිය වුණා. මහානාග  රජුගෙන් ඇරඹුන මාගම රාජධානිය යටාලතිස්ස, ගෝඨාභය හා කාවන්තිස්ස (කාකවණ්නතිස්ස) යන පාලකයන් විසින් තව දුරටත් වර්ධනය කර තිබෙනවා. කෙසේ වුවත් මහාවංශයේ කාවන්තිස්ස රජුගේ වැඩකටයුතු විස්තර නොකළත් ඒ සඳහා සෙල්ලිපි සාධකවලින් යම් ඉඟියක් ලබාගත හැකියි.

 කාවන්තිස්ස රජු – ධර්ම විජය කාවන්තිස්ස රජතුමා- බන්දුසේන ගුණසේකර කෘතිය ඇසුරින්

කාවන්තිස්ස

ගෝඨාභය රජු තම පුතුට තිස්ස කියන නම තබනවා. මහාවංශයේ ඒ නම සඳහන් වන්නේ කාවන්තිස්ස ලෙස යි. රසවාහිනියේ කාවන්තිස්ස හෙවත් කාකවණ්ණ යන පදයට ලැබීමට හේතුව ලෙස දක්වන්නේ ඔහු කාක භාෂාව දැන සිටි බව යි. කෙසේ වුවත් මේ ගැන නම් වැඩි විස්තර සොයා ගැනීමට නැහැ. මේ නම ගැන විවිධ මත පවතිනවා. මාගම පාලකයන් ඓතිහාසික මූලාශ්‍රවල හඳුන්වා තිබෙන්නේ ගාමිණි නමින්.

ගෝඨාභය රජු කතරගම පාලනය කළ දසබෑ සහෝදර රජවරු ඝාතනය කරවා එම ප්‍රදේශයත් තම පාලනයට ඈඳා ගෙන තිබෙනවා.”… මේ රජ කතරගම දස බෑ රජුන් මරවා දඬුවම් පිණිස මහවැලි ගඟ එගොඩ විහාර පන්සියයක් හා මෙගොඩ විහාර පන්සියයක් කරවී ය…’’ යනුවෙන් වංසත්තප්පකාසිනියේ ඒ ගැන සඳහන් කර තිබෙනවා.  යාල වනයේ පිහිටි බෝවත්තේගල  බ්‍රාහ්මී ශිලා ලිපිවලින් ද මෙහි ඓතිහාසිකත්වය තහවුරු වෙනවා.

ග්‍රාමයේ ප්‍රධානියා හෙවත් ගමික තනතුර

වංසත්ථප්පකාසිනියට අනුව කාවන්තිස්ස කුමරු  මුල්කාලයේදී වඞ්ඪමානක ග්‍රාමයේ ප්‍රධානියා හෙවත් ගමික තනතුර දරා තිබෙනවා. සෙල්ලිපිවලත් ගමික යන තනතුර ගැන දැක්වෙනවා. ගෝඨාභය රජුගේ මරණයෙන් පසුව ඔහුගේ පුත් කාවන්තිස්ස ( ක්‍රි. පූ. 205-161) තමයි මාගම අගනුවර රජවෙන්නේ.  ඒ වනවිට රෝහණය දකුණු ප්‍රදේශයේ සෑහෙන පෙදෙසක පැතිරුණු රාජධානියක්. එය මහියංගනයේ මහවැලි ගඟ දක්වා පැතිර පැවති බව මහාවංශයේ පැවසෙනවා.

මේ කාලයේ රුහුණේ ඈත පෙදෙස්වල තවත් කුඩා රාජධානි තුනක් ද පැවතුණා. මහවැලි ගඟෙන් උතුරු කෙළවරේ තැනිතලාවේ පැවති සෝම නුවර (වර්තමාන සෝමවතී දාගැබ අවට පෙදෙස) අභය කුමරු  ද, සේරුනුවර ( සේරුවාවිල ) සිව නමැති පාලකයකු  ද, ලෝණ නුවර මහා නාග නම් කුමාරයකු ද පාලනය කළා.

 විහාරමහා දේවියගේ ප්‍රතිමාවක් – Wikipedia.org

 

කාවන්තිස්ස රජු දරුණු සටන්කාමී රජෙක් නොව කාරුණික දැහැමි රජෙක් බවයි මහාවංශ පුවත්වලින් අපට හැඟෙන්නේ. නමුත් ඔහු උපක්‍රමශීලී පාලකයෙක් බව ඔහුගේ කටයුතු විමසීමේ දී පෙනෙනවා. තම පියා වූ ගෝඨාභය ආරම්භ කළ   බල ව්‍යාප්ති තවදුරටත් ඉදිරියට වර්ධනය කිරීමට  කාවන්තිස්ස රජු කටයුතු කළා. ඔහු දීඝවාපි රට පාලනය පවරා තිබුණේ බාල පුත් සද්ධාතිස්සට යි. දීඝවාපියෙන් උතුරට පිහිටි කසාතොට, දිඹුලාගල ආදී ප්‍රදේශවල බලය රඳවා ගැනීමට රජු නිලධාරින් පත් කර තිබුණා. එම කටයුතුවලට විවාහ සම්බන්ධතා යොදාගැනීම ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණයක් බව පේනවා.

කැලණිතිස්ස රජ දියණිය විහාරමහා දේවිය

ඔහු බටහිර පිහිටි කල්‍යාණි රාජ්‍යය සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගත්තේ කැලණිතිස්ස රජ දියණිය විහාරමහා දේවිය විවාහ කර ගැනීමෙන්. අග මෙහෙසියවූ විහාරමහ දේවියට අමතර ව, කාවන්තිස්ස රජුට තවත් බිසෝවරුන් සිටි බව ඉතිහාසයෙන් හෙළි වෙනවා. විහාර මහා දේවියගේ පුතුන් දෙදෙනා වන්නේ ගැමුණු සහ සද්ධාතිස්ස යි.  දිඝාභය යනු ඔහුට වෙනත් බිසවකගෙන් ලැබුණු පුතෙක්. සෙල්ලිපි කැබැල්ලකින් හෙළි ව ඇත්තේ කාවන්තිස්සට දියණියක් ද සිටි බවයි.

කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමා දේවිය කැලණියේ රජ කළ සිව රජුගේ සොහොයුරා වූ අභය කුමරුට සරණ පාවා දුන් බව ධාතු වංශය සඳහන් කරනවා. මේ සිව රජු කැලණිතිස්ස රජුගෙන් පසු ව කැලණියේ රජ වූ ඔහුගේ පුතා වියහැකි බව බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා.

 රුවන්වැලි සෑ විහාරයේ එළාර රජ ප්‍රතිමාව – elearning.lk

එළාරගේ ආක්‍රමණය

කාවන්තිස්ස රජ වී (ක්‍රිස්තු පූර්ව 209) වසර හතරකට පසුව දකුණු ඉන්දියාවේ සොළී දේශයෙන් පැමිණි එළාර රජු අනුරාධපුරය ආක්‍රමණය කර අසේල රජුගෙන් සිහසුන පැහැර ගන්නවා. බලගතු එළාර රජු අනුරාධපුරයේ සිට රට පුරා ම බලය පැතිරවීමට කටයුතු කළ බව පේනවා. නමුත් කාවන්තිස්ස රජු  මෙම ආක්‍රමණිකයාගෙන් රුහුණු ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. ඔහු මාගම රාජධානිය එළාරට මුහුණදිය හැකි අන්දමේ ප්‍රාදේශීය රාජ්‍යයක් බවට සෙමින් පත් කරනවා.

ඒ සඳහා ඔහු මුල් පියවර තබන්නේ රුහුණේ තිබූ අනෙක් කුඩා රාජධානි අතර සම්බන්ධතා දැඩි කර ගැනීමෙන්. ඒ අනුව සෝම නුවර, සේරු නුවර හා ලෝණ නුවර අතර සබඳතා ආරම්භ කරනවා. සේරු නුවර දාගැබේ (සේරුවාවිල) ධාතු නිදන් කිරීමේ උත්සවයට කාවන්තිස්ස රජු මහ පෙරහරකින් ගමන් කරනවා. එම අවස්ථාවේ දී හමු වූ සෝම සහ ලෝණ නගරවල පාලකයන් ද කාවන්තිස්ස රජුගේ නායකත්වය පිළිගත් බව ලලාට ධාතු වංශයේ සඳහන් වෙනවා. එසේ රුහුණේ සියලු පාලකයන් අතර නායකයා බවට සුහදත්වයෙන් පත්වූ කාවන්තිස්ස රජු රටේ ගොවිතැන වර්ධනය කිරීමට කටයුතු කළා. ඒ අතර මහවැලි ගඟේ කසාතොට ආරක්ෂක සංවිධාන තර කර ඒ සඳහා දීඝාභය කුමරු පත්කිරීමට කටයුතු කළා.

 දසමහා යෝධයන්ගේ චිත්‍රයක්- mawratanews.lk

දසමහා යෝධයෝ

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වෘත්තීය යුද හමුදාවක් තනා රට එක්සේසත් කිරීමේ ගෞරවය හිමි වන්නේ කාවන්තිස්ස රජුට බව ඉතිහාසයෙන් හෙළිවෙනවා. තම වැඩිමහල් පුතු ගැමුණුට අනාගතයේ රට එක්සේසත් කිරීමේ කාර්යයට උදව් වීමටයි රජු එවැනි පියවරක් ගෙන තිබුණේ. ගැමුණු කුමරු කුඩා කාලෙදි ම රටේ ශක්තිමත් පුරුෂයන් සොයා ඔවුන් යුද හමුදාවට බඳවා ගෙන සේනාපති තනතුරු ලබාදුන්නා.

එම යෝධයන් දස දෙනා  නන්දිමිත්ත, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, මහාභරණ, වේළුසුමන, ඛඤ්ජදේව, ඵුස්සදේව, ලභිය්‍ය වසභ නමින් ප්‍රසිද්ධ වුණා. මේ සේනාපතිවරුන් යටතේ විශාල හමුදාවක් පිහිටුවා ඇත්තේ සරල උපක්‍රමයක් භාවිත කිරීමෙන්. දසමහ යෝධයන්  හැම කෙනකුට ම තව සෙබළු දස දෙනකු බැගින් ද එක් එක් අයට තවත් දස දෙනා බැගින් ද ගෙන ඒමට රජු නියෝග කර තිබෙනවා.  ඒ අනුවකාවන්තිස්ස රජු යුද සෙබළුන් එකළොස් දහස් එකසිය දස දෙකුගෙන් යුත් සේනාවක් ගැමුණු කුමරු වෙනුවෙන් පිහිටුවා තිබෙනවා.

 වෙල්ගම් වෙහෙර දාගබ- Wikipedia.org

කාවන්තිස්සගේ ආගමික සේවය

වසර හතළිස් පහක් පමණ වූ රාජ්‍ය කාලය තුළ රුහුණු දේශයේ ආර්ථික කටයුතු ශක්තිමත් ව වර්ධන කිරීම මෙන් ම බුද්ධාගමේ දියුණුවට විශාල සේවයක් කළ බව හෙළිවෙනවා.  ඔහු  වෙහෙර විහාර  64ක් ඉදිකරවා තිබෙනවා. මාගම තිස්ස විහාරය, සේරුවිල මංගල මහා දාගබ, ත‍්‍රිකුණාමලයට නුදුරින් වෙල්ගම් වෙහෙර, සිතුල්පව්ව සහ ජාත පබ්බත විහාරය ඉන් කිහිපයක්. කාවන්තිස්ස රජු  කැලණි විහාරය ද ප්‍රතිසංස්කරණය කර වූ බව පූජාවලියේ සඳහන් වෙනවා.

 රුවන්වැලි සෑ මළුවේ පිහිටි දුටුගැමුණු ප්‍රතිමාව -facebook

හිතුවක්කාර ගැමුණු

කාවන්තිස්ස රජුගේ රාජ්‍ය පාලන පිළිවෙත තරුණ ගැමුණු කුමරුට ප්‍රිය වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ අනුරාධපුරයේ රජ කරන එළාර රජු සමඟ යුද වැදීමට යි.  ප්‍රබල එළාර සමඟ හැප්පීමට තරම් මාගම යුද සේනාව ප්‍රබල නැති බව කාවන්තිස්සරජු දැන සිටියා. මේ නිසා තරුණ ගැමුණු කුමරු යුද්ධයට යාමට අවසර ඉල්ලා සිටියදී කාවන්තිස්ස රජු නිහඬ පිළිවෙතක් අනුගමනය කළා. මහාවංශය නම් මේ ගැන සඳහන් කරන්නේ බියගුළු ක්‍රියාවක් ලෙසයි.

මපියාණෝ පිරිමියෙක් වෙත් නම්, ගඟෙන් මෙතෙර අපට සෑහේ ය යි මෙවන් බස් නොකියන්නාහ. එහෙයින් පිරිමිකමට නොතරම් බස් කියා යුද කරනු නොදෙන ඔහු මේ ගැහැනු පළඳනා පළඳිත්වා. යයි පණිවිඩ පතක් සමඟ කාන්තා ඇඳුම් පිය රජුට යවන ගැමුණු කුමරු මාගමින් පලා යනවා. කුමරු රජුට හොරෙන් කොත්මලේට යවන්නේ විහාරමහා දේවිය බවයි පැවසෙන්නේ. මේ නිසා ඔහුට දුෂ්ට ගාමිණී යන අරුත ඇති දුටුගැමුණු යන නම ලැබී තිබෙනවා.

 සමන්ගල ආරණ්‍යය- Wikipedia.org

 

රෝහණ රාජධානිය ක්‍රමවත් ව ගොඩ නඟා ශාසනික සේවයක් ද කළ කාවන්තිස්ස රජු හැටහතරවන වියේ දී මිය යනවා. ඉන් පසු මාගම රජ බවට පත් වන ගැමුණු කුමරු දස මහා යෝධයන්ගේ උදව්වෙන් සේනා සංවිධානය කර එළාර රජු සමඟ යුද්ධ කර ඔහු පරදවනවා. ගැමුණු රජු ( ක්‍රිස්තු පූර්ව 165-137)  අනුරාධපුර අග රජ ලෙස කිරුළු පැළැඳි පසු රෝහණයේ පාලනය බාර දෙන්නේ බාල සොයුරු සද්ධාතිස්සට යි.

 තාරකා කොටුව කෞතුකාගාරයේ වළං කැබැල්ල- dinamina.lk

 

කාවන්තිස්ස රජුගේ සෙල්ලිපි

පුරාණ රෝහණයට අයත් අම්පාරේ සමන්ගලින් ලැබුණු ලෙන් ලිපියක කාවන්තිස්ස රජු හඳුන්වා ඇත්තේ ‘අය තිශ ‘ලෙස යි. බෝවත්තේගල, කුසලාන්කන්ද, මොට්ටයාකල්ලු යන ස්ථානවලින් හමු වී ඇති බොහොමයක් පූර්ව බ‍්‍රාහ්මී ශිලා ලේඛනවල ද කාවන්තිස්ස රජු අය තිශ, රඣ තිශ, ගමණි තිශ ආදී වශයෙන් හඳුන්වා තිබෙනවා. මාතර තාරකා කොටුවේ දක්නට ලැබෙන අක්ෂර සහිත වළං ”අ ය ති ශ හ ඣි ත අ” යනුවෙන් සඳහන් අභිලේඛනයක් දක්නට ලැබෙනවා.  මෙහි සඳහන් ‘අය තිශ’ යන්නෙන් හැඳින්වෙන්නේ, කාවන්තිස්ස මහ රජු බව සැලකෙන අතර ඒ අනුව  එහි රජුගේ දියණියක් ගැන සඳහන් කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- කාවන්තිස්ස රජුගේ ප්‍රතිමාවක් සහ ඔහු කරවූ තිස්සමහාරාම දාගැබ- N.H. Samarasingha, Sarisaraweb.wordpress.com

මූලාශ්‍ර :

නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය- එල්ලාවල මේධානන්ද හිමි

2021 ඔක් 20 දිවයින

Dinamina.lk

Related Articles