Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකානු නිදහස් දිනය දා ජීවිතය අහිමි වූ ජනපතිවරුන්

යම් රටක නිදහස් දිනය එම රටෙහි ජනතාව මහත් හරසරින් යුතුව සමරන්නේ එය ජාතියක් වශයෙන් තමන් වැඩිපුරම ආඩම්බර වන හා සතුටට පත්වන දිනය නිසාවෙන්. ජාතික දිනය සිය ජාතියේ වාසනාවන්තම දිනයක් ලෙස සැලකීමට ඔවුන් හුරුවන්නේ නිතැතින්ම යි. රටක් නියෝජනය කරන්නා වන බැවින් එම රටෙහි වර්තමාන රාජ්‍ය පාලකයා හෝ හිටපු රාජ්‍ය පාලකයින්ට එම දිනය වාසනාව රැගෙන එන බවට යමෙක් පවසනවා නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස කිසිවෙකු සලකන්නේ නැහැ. කෙසේ නමුත් ඇම‍ෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරු සම්බන්ධයෙන් නම් එසේ පැවසීමට පෙර දෙවරක් සිතිය යුතු වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය නිදහස ලබා මේ වන විට වසර 242ක්. එ් 1776 වසරේ ජූලි මස 4 වැනි දා යි. එදා පටන් අද වෙනතුරු ඇමෙරිකා එක්සත් ජනපදයට ජනපතිවරුන් 45ක් තේරී පත් වී තිබෙනවා. එයින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඇතුළුව 5ක් පමණ යි. මේ වන විට ජනපතිවරු 40ක් සිය දිවි ගමන නිමා කොට ඇති අතර ඉන් ඒබ්‍රහම් ලින්කන්, ජේම්ස් ගාෆීල්ඩ්, විලියම් මැකෙන්ලි, හා ජෝන් එෆ්. කෙනඩි යන සිවුදෙනා ඝාතනය වී තිබෙනවා. මේ අනුව ස්වභාවික මරණයකට ලක් වූ ගණන 36ක්.

ඇමෙරිකානු නිදහස සමරන කුඩා දරුවන් පිරිසක් – History.com

සාමාන්‍යයෙන් වසරකට දින 365ක් තිබෙනවා. ඒ නිසා 36 දෙනෙකු අතරින් වසරේ එකම දිනෙක දෙදෙනෙකු මිය යාම (වෙනස් වර්ෂවල හෝ) අඩුවෙන් සිදුවන දෙයක්. කෙසේ නමුත් ස්වභාවික මරණවලට උරුමකම් කියූ ඇමෙරිකානු ජනපතිවරු අතරින් තිදෙනෙක්ම වර්ෂයේ එකම දිනෙක මියයාම කෙතරම් අහඹු සිදුවීමක් ද? එමෙන්ම එම දිනය ජූලි 4 හෙවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය වීම කෙතරම් දෛවෝපගත ද? මින් ජනපතිවරු දෙදෙනෙක් ඇමෙරිකාව නිදහස ලබා සංවත්සරයක් සැමරූ එකම දිනෙක මිය යාම එහි අපූර්වභාවය තවත් වැඩි කරනවා.

ජෝන් ඇඩම්ස් හා තෝමස් ජෙෆර්සන් – 1826 ජූලි 4

thetrace.org

ඇමෙරිකානු ජනපති ඉතිහාසයේ දෙවන හා තෙවන ජනපතිවරුන් වන්නේ ජෝන් ඇඩම්ස් හා තෝමස් ජෙෆර්සන් යන දෙදෙනා යි. මින් ජෝන් ඇඩම්ස් 1797 සිට 1801 දක්වා සිවුවසක් ද තෝමස් ජෙෆර්සන් 1801 සිට 1809 දක්වා 8 වසරක් ද ජනපති පදවිය ඉසිළුවා. මෙම සමකාලීනයන් අතරින් තෝමස් ජෙෆර්සන්, ජෝන් ඇඩම්ස්ට වඩා වසර 7කින් කනිෂ්ඨ වූ අතර ඔහු රෂ්මෝර් කන්දේ මුහුණු නිර්මාණය කර ඇති ජනපතිවරු සිවුදෙනා අතරින් එක් අයෙක්.

1826 දී සිය 50 වැනි නිදහස් සංවත්සරය සැමරීමට ඇමෙරිකානු ජනයා පිළිවෙතින් පෙළගැසී සිටියා. මේ වන විට ඇමෙරිකානු ජනපති ලෙස කටයුතු කළේ ජෝන් ඇඩම්ස්ගේ පුත් ජෝන් ක්වින්සි ඇඩම්ස් වීම විශේෂ යි. 1826 වන විට ජෝන් ඇඩම්ස් 90 වි‍යැති මහල්ල‍ෙකු වී සිටි අතර තෝමස් ජෙෆසන් 83 වැනි වියේ පසු වුණා. දෙදෙනාම සිය ජීවිතවල අවසානභාගය ගෙවමින් සිටින බව කාටත් පැහැදිලි වී තිබුණා.

ජෝන් ඇඩම්ස් -thehistoryjunkie.com

1826 ජුනි මස වන විට තෝමස් ජෙෆර්සන් රූමැටික ප්‍රාදාහය හා වකුගඩු රෝගය උත්සන්න වීමෙන් ඇඳට සීමා වූ අතර ස්වභාවික හේතු මත ජෝන් ඇඩම්ස් ද දුර්වල වෙමින් සිටියා. දෙදෙනාගෙන් කවරෙකු මුලින් මෙලොව හැර යයි ද යන්න ජනතාව විමසිලිමත් වුණා. ඇමෙරිකාවේ 50 වන නිදහස් දිනය උදා වූයේ මේ සමග යි. නිදහස් දින සැමරුම් සමග මොහොතකට හිටපු ජනපතිවරුන් දෙදෙනා පිළිබඳව ඇමෙරිකානු ජනතාවට අමතක වුණා. කෙසේ නමුත් එදින දිවා කාලයේ දී තෝමස් ජෙෆර්සන් මෙලොව හැර ගිය සංවේගී ආරංචිය ඇමෙරිකාව පුරා පැතිර ගියා. කෙසේ නමුත් ඒ පිළිබඳව ජීවිතයත් මරණයත් අතර සටනක සිටි ජෝන් ඇඩම්ස්ව දැනුවත් කෙරෙන්නේ නැහැ. සවස් වරුවේ ඔහු ද සිය අවසන් මොහොතට ළඟා වුණා. සවස 6 පසු වී මිනිත්තු 20ක් ගත වූ තැන ඔහු ද මෙලොව හැර ගියා. ඇඩම්ස් අවසාන වශයෙන් ‘ජෙෆර්සන් මට වඩා ජීවත් වුණා’ යනුවෙන් පවසා තිබෙනවා. කෙසේ නමුත් ඒ වන විටත් ජෙෆර්සන් මෙලොව හැර ගොස් පැය කිහිපයක් ගත වී තිබුණා. ඇමෙරිකානුවන්ගේ 50 වන නිදහස් සමරුව අවසන් වූයේ එලෙසින්.

ජනපති මරණ දෙක එකල පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය – rarenewspapers.com

සංවේගදායක අවස්ථාවක් වුවත් එය එලෙස බාරගන්නට ඇමෙරිකානු ජනයා සූදානම් වූයේ නැහැ. ජනපති ජෝන් ක්වින්සි ඇඩ්ම්ස් ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙලෙස නිදහස් සැමරුම අතරතුර ජෙෆර්සන් හා තම පියා මියයාම දිව්‍යමය හාස්කමක් බව යි. කෙසේ නමුත් පසු කාලීනව මේ ආහඹුව පිළිබඳව අධ්‍යයනය කළ විද්වතුන් පවසා සිටියේ සිය ජීවිතවල අවසන් මොහොතේ සිටි මේ දෙදෙනා කෙසේ හෝ නිදහස් සමරුව දක්වා ජීවත් කරවීමට වෛද්‍යවරු උත්සුක වන්නට ඇති බව යි.

ජේම්ස් මොන්රෝ – ක්‍රි.ව 1831 ජුලි 4

ජේම්ස් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ පස්වැනි ජනපතිවරයා යි. ඔහු 1817 සිට 1825 දක්වා වසර 8ක් සිය ධූරයෙහි කටයුතු කළා. තෝමස් ජෙෆර්සන් හා ජෝන් ඇඩම්ස් යන ජනපතිවරු 1826 නිදහස් දිනයේ මිය යාමෙන් හරියටම වසර 5කට පසු 1831 දී 55 වන නිදහස් සමරුව අතරතුර මේ හිටපු ජනපතිතුමා ද මියයාමත් සමග මෙය ඇත්තෙන්ම හුදු අහම්බයක් ද යන්න බොහෝ දෙනා කතා වූණා. ඒ වන විට එරට පාලනය කළ පළමු වන ජනපතිවරු පස්දෙනා අතරින් තිදෙනෙක්ම මියගොස් සිටියේ ඇමෙරිකානු නිදහස් දිනය දා.

ජේම්ස් මොන්රෝ -history.com

1831 වසර වන විට හිටපු ජනපති මොන්රෝට ක්ෂ‍ය රෝගය වැළඳී තිබූ අතර ඒ වන විට ඒ සඳහා ස්ථිර ප්‍රතිකාරයක් නොතිබූ නිසා ඔහු කෙමෙන් කෙමෙන් මරණයට ළඟා වෙන බැව් සියලු දෙනා දැන සිටියා. 1831 ජූලි මස උදාවන්නේ මේ සමග යි. කිසිවෙකු නොසිතූ පරිදි ජූලි මස 4 වෙනි දා නිදහස් සැමරුම සමගම ජේම්ස් මොන්රෝ මිය යනවා. හෘද අකර්මන්‍යතාවයක් මරණයට හේතු වී තිබුණා.

තෙවැනි ජනපතිතුමාත් නිදහස් දිනයේ දී මිය යෑම සමගම මේ මරණ හා නිදහස් දිනය සමග යම්කිසි අන්තර් සම්බන්ධතාවක් ඇතිදැ යි මිනිසුන්ට සිතෙන්නට පටන් ගත්තා. සම්භාවිතාවය අතින් ගත් කල්හි මෙලෙස මෙය සිදුවීමේ ඉඩකඩ කෙතරම් අල්පදැ යි යන්න ඔවුන් ගෙනහැර පෑවා. අනාගතයේ දී ද ජූලි 4 වන දින ඇමෙරිකානු ජනපතිවරුන්ට මෙවැනි ඉරණම් අත්කර දිය හැකියැ යි කිසිවෙක් පවසන විට එය ඔවුන්ගේ ‘වාසනාවට’ සිදුවන දිව්‍යමය සංසිද්ධියක් බැව් තවකෙකු පැවසුවා. කෙසේ නමුත් ඉන්පසු මෙම සංසිද්ධිය මේ වන තුරුත් නැවත සිදුවූයේ නැහැ. ඇමෙරිකානුවන්ගේ සියවන, එකසිය පනස්වන හා දෙසියවන නිදහස් සමරුවත් වැඩි කලබලයක් නොමැතිව පවත්වනු ලැබුවා.

කවරයේ පින්තූරය- (Dave Fliesen/ commons.wikimedia.org

Related Articles