Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසයේ වාසිදායකම ඉඩම් ගනුදෙනුව – ලුවිසියානාව මිල දී ගැනීම

පසුගිය දිනෙක ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිල දී ගැනීමේ අදහසක් පළ කිරීමත් සමග ඇමරිකාව විසින් මීට පෙර මිල දී ගැනුණු ප්‍රදේශයන් පිළිබඳ ද කතාබහක් ඇති වුණා.

ඇමරිකා එක්සත් ජනපදය 19 වන සියවසේ දී ලුවිසියානා ප්‍රදේශය, ෆ්ලොරීඩාව​ සහ ඇලස්කාව පිටරටවලින් මිල දී ගත්තා. ඒ ගනුදෙනු සියල්ලෙන්ම​ ඇමරිකාවට වාසි අත්වූ බව ඇත්ත යි. කෙසේ වෙතත් ඒ ඒ රටවල් ඒ ඒ අවස්ථාවල එම ගනුදෙනු සඳහා එළඹුණේ ඔවුන්ට එම අදාල ප්‍රදේශ පාලනය කිරීමට හැකියාව නොතිබූ නිසා යි.

ඇලස්කාව මිල දී ගැනීම පිළිබඳව අප කලින් ලියා තිබෙනවා. ඔබට එම ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න පුළුවන්.

කියවන්න: ඇලස්කාව මිල දී ගැනීම

ලුවිසියානා ප්‍රදේශය​

ලුවිසියානා නමින් ඇමරිකා එක්සත් ජනපදයේ අදටත් ප්‍රාන්තයක් තිබෙනවා. නමුත් 1803 දී ප්‍රංශයෙන් මිල දී ගත් ලුවිසියානා ප්‍රදේශය ඊට වඩා බෙහෙවින් විශාල යි. වර්ග කිලෝමීටර දෙමිලියන එකසිය හතලිස් දහසක් (2,140,000) හෙවත් වර්ග සැතපුම් 828,000ක්. අක්කර සංඛ්‍යාව ගත්තොත් මිලියන 530ක්. මෙම ප්‍රදේශය ප්‍රංශය විසින් විකුණන ලද්දේ ඩොලර් මිලියන 15ට​. එනම් අක්කරයකට ඇමරිකන් රජය වියදම් කළේ ආසන්න වශයෙන් ඩොලර් සත හතරක මුදලක්.

එදා සත හතර අද ඊට වඩා වැඩි මුදලක් වනවා. නමුත් ඒ සමයේ වුණත් එවැනි මුදලකට අක්කරයක් මිල දී ගැනීම ඉතා ලාභ ගනුදෙනුවක් වුණා.

ලුවිසියානා ප්‍රදේශය 1699 සිට පාලනය කළේ ප්‍රංශය විසිනුයි. එයට නම් තැබුවේ ද ප්‍රංශයේ එවකට පාලකයා වූ දහ හතරවන ලුවී රජුගේ නමින්. මෙම ප්‍රදේශයේ ලා නුවේවෝ ඔර්ලියන්ස් (නිව් ඔර්ලියන්ස්) හැරුණ කල​, විශාල ප්‍රංශ ජනාවාස වූයේ නැහැ. එහෙත් මිසිසිපි නදිය හේතුවෙන් මෙය වැදගත් ප්‍රදේශයක් වුණා.

ඇමරිකාව විසින් මිල දී ගත් ලුවිසියානා ප්‍රදේශය (Wikimedia Commons)

1762 දී ලුවිසියානා ප්‍රදේශය ස්පාඤ්ඤ පාලනයට යටත් වුණා. ස්පාඤ්ඤය ද මෙහි විශේෂ පාලනයක් කළේ නැහැ. මේ අතර ඇමරිකානු නිදහස් සටන ඇරඹි අතර 1783 දී ඇමරිකා එක්සත් ජනපදය ස්ථාපිත කෙරුණා.

ඇමරිකා එක්සත් ජනපදය ස්ථාපිත වෙද්දී පැරණි ජනපද 13ට අමතරව එහි සිට බටහිරට මිසිසිපිය වන තෙක් ප්‍රදේශය ඔවුන් විසින් පාලනය කළා. මේ අවස්ථාවේ මිසිසිපි නදියේ යාත්‍රා කිරීම සහ නිව් ඔර්ලියන්ස් වරාය භාවිතා කිරීම පිළිබඳව ඇමරිකානුවන් සහ ස්පාඤ්ඤයින් අතරේ යම් යම් මත ගැටුම් ඇති වුණා. 1795 දී අත්සන් කෙරුණ පින්ක්නේ ගිවිසුමෙන් එම ගැටළු නිරාකරණය කරගනු ලැබුණා.

ස්පාඤ්ඤය ඒ වනවිට දුර්වලව පැවති රාජ්‍යයක් වූ හෙයින් ඔවුන් විසින් ලුවිසියානා ප්‍රදේශය පාලනය කිරීම පිළිබඳ ඇමරිකානුවන් කලබල වූයේ නැහැ. යම් දිනෙක එම ප්‍රදේශයන් වෙත සිය පාලනය පැතිරවිය හැකි බවට ඇමරිකන් දේශපාලන නායකත්වය විශ්වාස කළා.

මේ තත්ත්වය වෙනස් වූයේ 19 වන සියවස මුල් කාලයේ යි. 1800 දී ස්පාඤ්ඤය සහ ප්‍රංශ ජනරජය අතර අත්සන් කෙරුණ තුන්වන සැන් ඉල්ඩිෆෙන්සෝ ගිවිසුම අනුව ලුවිසියානා ප්‍රදේශය නැවත ප්‍රංශයට පවරා දීමට ස්පාඤ්ඤය එකඟ වුණා. ප්‍රංශය එහි පාලනය 1802 දී භාර ගත්තා.

නැපෝලියන් සහ ජෙෆර්සන්

එකල ප්‍රංශ ජනරජයේ පළමු කොන්සල්වරයා වූ නැපෝලියන්ට තිබූ එක් අවශ්‍යතාවක් වූයේ සැන්ටෝ ඩොමින්ගෝ හි වහලුන්ගේ කැරැල්ල මර්ධනය කිරීම යි. ඉන්පසු ලුවිසියානා ප්‍රදේශය ප්‍රංශයේ ධාන්‍යාගාරය බවට පත් කිරීම ඔහුගේ සැලසුම වුණා.

පළමු කොන්සල් නැපෝලියන් බොනපාර්ට් (Jean Auguste Dominique Ingres)

එකල ඇමරිකානු ජනාධිපතිවරයා වූ තෝමස් ජෙෆර්සන් ප්‍රංශයේ ආගමනය පිළිබඳ තරමක් විමසිලිමත් වුණා. ස්පාඤ්ඤය මෙන් නොව ප්‍රංශය එකල හමුදාමය වශයෙන් ප්‍රබල රාජ්‍යයක් වූ හෙයින් ඔවුන් ලුවිසියානාවේ පැළපදියම් වීම පිළිබඳව ජෙෆර්සන් තරමක් කලබල වුණා. ඊටත් වඩ කලබලයට පත් වූයේ ජනපද දහතුනෙන් බටහිර ප්‍රදේශයේ ජීවත් වූවන්.

තෝමස් ජෙෆර්සන් (Rembrandt Peale)

මේ අවස්ථාවේ දී ජෙෆර්සන් විසින් තම නියෝජිතයන් ලෙස ජේම්ස් මොන්රෝ සහ රොබර්ට් ලිවිංස්ටන් පැරිසියට පිටත් කළා (ජේම්ස් මොන්රෝ පසු කලෙක එක්සත් ජනපදයේ පස්වන ජනාධිපති බවට ද පත් වුණා). ඔවුන්ට භාරදුන් කටයුත්ත නම් නිව් ඔර්ලියන්ස් සහ අවට​ ප්‍රදේශය මිල දී ගැනීම සඳහා සාකච්ඡා කිරීමයි. එය අසාර්ථක වුවහොත් බ්‍රිතාන්‍යය සමග හමුදාමය සන්ධානයක් පිළිබඳ සාකච්ඡා කරන ලෙස ඔවුන්ට උපදෙස් දෙනු ලැබුණා.

නැපෝලියන් අදහස වෙනස් කරයි

සැන් ඩොමින්ගෝ වෙත යවන ලද ප්‍රංශ සේනාංක කහ උණ හේතුවෙන් සිය ගණනින් මිය යද්දී එම හමුදාමය මැදිහත්වීම කඩාකප්පල් වුණා. වර්තමාන හයිටි රාජ්‍යය බිහි වන්නේ එම වහල් නැගිටීම ඔස්සේ යි. කෙසේ නමුත්, එම සිද්ධියෙන් පසු තව දුරටත් ලුවිසියානාව තමන් සතුව තබා ගැනීමට ප්‍රංශයට හැකියාවක් වූයේ නැහැ. ඒ අනුව​, නැපෝලියන් තම අදහස වෙනස් කරගත්තා.

ප්‍රංශ රජය ඩොලර් මිලියන 15කට ලුවිසියානාව විකිණීමට කැමැත්ත පළ කළ විට ඇමරිකානු නියෝජිතයන් දෙදෙනා පුදුමයට පත් වුණා. ඔවුන්ට ඇමරිකන් රජය උපදෙස් දී තිබුණේ නිව් ඔර්ලියන්ස් සහ අවට ප්‍රදේශය සඳහා ඩොලර් මිලියන 10ක් දක්වා මුදලක් වියදම් කළ හැකි බව යි. නමුත් සමස්ථ ලුවිසියානාවම ඩොලර් මිලියන 15කට විකිණීමට ප්‍රංශය ඉදිරිපත් වූ විට ඇමරිකානුවන් එම අවස්ථාව ලබා ගත්තා.

නිව් ඔර්ලියන්ස් හි ඇමරිකන් ධජය එසවීම​ (Thule de Thulsrup)

විදෙස් ඇමති ෂාර්ල් ටැලිරන්ඩ් (Charles Talleyrand) මෙම ගනුදෙනුවට එරෙහි වූ නමුත් නැපෝලියන් ඔහුගේ විරෝධය නොතකා එම ගනුදෙනුව සඳහා කටයුතු කළා. මුදල් ඇමති ෆ්‍රංශුවා බර්බේ-මාර්බෝයි ඇමරිකානුවන් සමග සාකච්ඡා කිරීම සඳහා නැපෝලියන් විසින් සිය නියෝජිතයා ලෙස පත් කෙරුණා. ඔහු සහ ඇමරිකානු නියෝජිතයන් 1803 මැයි 2 වන දා ගිවිසුමට අත්සන් කළා. දෙසැම්බරයේ දී ලුවිසියානාව ඇමරිකානු පාලනයට නතු වුණා.

ලුවිසියානාවේ වැදගත්කම​

ලුවිසියානාව ඇමරිකාව විසින් මිල දී ගැනීම ලෝක ඉතිහාසයට විශාල වැදගත්කමකින් යුතු සිදුවීමක් වුණා. මිසිසිපි නදියේ ගමනාගමනය කිරීමට හැකිවීම, ලුවිසියානාවේ ඉඩම් සහ ස්වාභාවික සම්පත් හිමි වීම සහ නිව් ඔර්ලියන්ස් වරාය හිමි වීම හේතුවෙන් ඇමරිකාවේ ආර්ථික ශක්තිය කෙරෙහි මෙම මිල දී ගැනීම විශේෂයෙන් වාසියක් වුණා. වර්තමාන එක්සත් ජනපදයේ ප්‍රාන්ත 15ක කොටස් මෙම ප්‍රදේශයේ පවතින අතර ඇතැම් ප්‍රාන්තවල භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පිහිටියේ ප්‍රංශයෙන් මිල දී ගත් ප්‍රදේශයේ යි.

මෙම ප්‍රදේශයෙන් උතුරෙහි වූ කුඩා කොටසක් පසු කාලයක බ්‍රිතාන්‍යයන්ට පවරා දුන් අතර වර්තමානයේ දී එය කැනඩාවේ කොටසක් වනවා.

Cover Image: නිව් ඔර්ලියන්ස් 1857 දී (Public Domain)

Related Articles