සුපිරි බලවතා අසරණ කළ දින 444ක්!

ලෝකයේ සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමික ජනරජය අතර ඇත්තේ කිසිසේත්ම යහපත් සබඳතාවක් නොවේ. මේ අයහපත් සබඳතාවට ප්‍රධානතම හේතුවක් මෙයට වසර 38කට පමණ පෙර මේ දෙරට අතර ඇතිවූ ඉතාම අමිහිරි සිදුවීම් පෙළක්. අපි ඒ ගැන විමසා බලමු.

ඉරාන- ඇමරිකා සබඳතා ඉතිහාසය

විසිවැනි සියවස වන විට බ්‍රිතාන්‍යයන් විසින් ඉරානයේ විශාල තෙල් නිධි සොයාගත් අතර තෙල් කැනීමේ කටයුතු පාලනය කරන ලද්දේ ද බ්‍රිතාන්‍ය ඛණිජ තෙල් සමාගම විසින්. කෙසේ වුවත් ඉරාන ජාතිකවාදියෙක් වන අග්‍රාමාත්‍ය මොහොමඩ් මොසඩේ බ්‍රිතාන්‍යයේ මේ ඒකාධිකාරයට එරෙහි වුණා. බටහිර ආධාර ලබන ෂා රජුගේ පාලනය දුර්වල කිරීමට මොසඩේ සමත්වුවත් කෙටිකලකට පසු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස මොසඩේ බලයෙන් පහවී නැවතත් මොහොමඩ් රෙසා පහ්ලවි ෂා රජු ඉරානයේ බලයට පත්වනවා.

ෂා රජුගේ පාලනයට ඇමරිකානු අනුග්‍රහය මොනොවට ලැබෙනවා. රටේ තෙල් සම්පත් නිසා ලැබෙන ධනය හා ඇමරිකානු අනුග්‍රහයත් නිසා, ෂා රජුගේ පවුල මෙන්ම ඔවුන් හා සම්බන්ධ සුළු පිරිසක් ධනවත් වන විට සාමාන්‍ය ජනතාව එම සෞභාග්‍ය භුක්ති වින්දේ නැහැ. ෂා රජු විසින් රටේ සංරක්ෂණවාදී සමාජ පසුබිම වෙනස් කොට වඩාත් ලිබරල් අදහස් ස්ථාපනය කිරීමට ගන්නා උත්සාහයට ද රටේ ගම්බද ජනතාවගෙන් හා ෂියා ආගමික නායකයන්ගේ දැඩි විරෝධය එල්ලවුණා. මේ අතර තම රහස් පොලිසිය වන සවක් උපයෝගි කොටගෙන දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීමටත් ෂා රජු පියවර ගත්තා. 1963 දී ජනප්‍රිය ෂා විරෝධී ආගමික නායකයෙක් වන අයතොල්ලා කොමේනි ප්‍රංසයට පිටුවහල් කරන්නෙත් මේ පසුබිම යටතේ.

ඉරානයේ ෂා රජු   (pinterest.com)

ඉරාන විප්ලවය හා ඇමරිකානු විරෝධය  

1970 දශකය වන විට ෂා රජුගේ ප්‍රතිපත්ති සහ එවකට ලෝක ආර්ථිකයේ ගැටළු නිසා ඉරානය ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා. මේ නිසා සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්වෙනවා. එම නිසා ෂා රජුට හා ඇමරිකාවට ඔවුන්ගේ ඇති විරෝධය තවත් ඉහළ යනවා. 1979 දි ෂා රජුට හා ඇමරිකාවට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ටෙහෙරානයේ වීදි බසිනවා. ප්‍රංසයේ පිටුවහල්ව සිටි අයතොල්ලා කොමේනි ද ආපසු ඉරානයට පැමිණෙනවා. විවිධ බලවේගයන් මේ ජනතා නැගිටීමට දායක වුණත් අවසානයේ විප්ලවයේ ප්‍රධාන මෙහෙවන්නා වන්නේ අයතොල්ලා කොමේනි හට හිතවත් සංරක්ෂණවාදී ආගමික බලවේගය යි.

අයතොල්ලා කොමේනි   source: Wikipedia

මේ අතර වසා පද්ධතියේ පිළිකාවකින් පෙලෙන ෂා රජු තම බිරිඳත් සමග ඇමරිකාවට යන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි කියමින්. ඒ 1979 ඔක්තෝබර් 22 දින. එවක ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් ෂා රජුට ඇමරිකාවේ රැකවරණ ලබාදෙනවා. මේ නිසා ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ දිනපතා දැවැන්ත උද්ඝෝෂණයන් සිදුවෙනවා. කොමේනිට සහාය දක්වන රැඩිකල් ශිෂ්‍යයන් පිරිසක් යෝජනා කරන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයේ සිටින ඇමරිකානුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ෂා රජු ආපසු ඉරානයට එවන ලෙස ඇමරිකාවට බල කළ යුතු බවයි.

ඉරාන උද්ඝෝෂකයන් ඇමරිකානු තානාපති කාර්යාලය තුළට වැදීම source: Wikipedia

ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදීම සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම.

1979 නොවැම්බර් 4 වැනි දින 3000ක පමණ පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දෙනවා. ඒ ප්‍රහාරය මෙහෙයවන්නේ කොමේනි හිතවාදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක්. තානාපති කාර්යාලයේ විවිධ තනතුරුවල සිටින ඇමරිකානු ජාතිකයන් 66 දෙනෙක් ඔවුන්ගේ අත්අඩංගුවට පත්වනවා. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ෂා රජු නඩු විභාගයක් සඳහා ආපසු ඉරානයට එවිය යුතු බවයි.

ඇමරිකානු රජය මේ යෝජනා වලට එකඟවන්නේ නැහැ. ජනාධිපති කාටර්ගේ රජය මඟින් මේ ක්‍රියාදාමයට විරුද්ධව අන්තර්ජාතික සහාය ලබා ගැනීමට කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් දෙවරක්ම ඉරානයේ මෙම ක්‍රියාව හෙළා දකිනවා. මේ අතර කාටර් රජය ඉරානයට එරෙහිව විවිධ ආර්ථික සම්බාධක පැනවීමට ද කටයුතු කරනවා. ඉරාන තෙල් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ ඇමරිකාවේ ඇති බිලියන ගණනක ඉරාන වත්කම් රඳවා ගැනීමටත් කටයුතු කරනවා. ඇමරිකාවට මිත්‍ර රටවල් ද ඉරානයට එරෙහි සම්බාධක පනවනවා. එසේ වුවත් ඉරානය තම ස්ථාවරය ලිහිල් කරන්නේ නැහැ.

ප්‍රාණ ඇපකරුවන්ගේ තත්ත්වය හා ඇමරිකානු වැසියන්ගේ ප්‍රතිචාර

1979 නොවැම්බර් 17 වන විට කොමේනි ප්‍රාණඇපකරුවන් අතර සිටි සියලුම කාන්තාවන් හා කළු ජාතිකයන් නිදහස් කරන ලෙස අණ කරන නිසා 13 දෙනෙක් ආපසු ඇමරිකාවට යනවා. අවසානයේ ඉතිරිවන්නේ ප්‍රාණ ඇපකරුවන් 52 දෙනෙක්. මේ ඉතුරු ප්‍රාණ ඇපකරුවන් හට විවිධ වධ හිංසා වලට මුහුණ දිමට සිදුවනවා. ඇතැම් අවස්ථාවල ඔවුන් හුදෙකලා කාමරවල සිර කොට තබනවා. තවත් විටෙක පහරදීම්වලට ද ලක්වනවා. මේ නිසා මානසිකව දැඩි ආතතියකට ඔවුන් මුහුණ දුන් බව පැවසෙනවා. මෙම ප්‍රාණ ඇපකරුවන් දෑස් බැඳ රූපවාහිනී කැමරා ඉදිරිපිට දැක්වීමෙන් ඇමරිකාව හෑල්ලුවට ලක්කර මේ ප්‍රශ්නය හමුවේ එරට අසරණ බව ලොව හමුවේ පෙන්වීමෙන් ඉරානයද ප්‍රචාරකවාදී වාසියක් ලබා ගන්නවා.

ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන්  source: adst.org

මේ අතර විසඳුමක් නැති ප්‍රාණ ඇපකරු අර්බුදය ඇමරිකානුවන්ගේ දැඩි කම්පාවට හේතුවනවා. එරට සිටින ඉරාන ජාතිකයන්ට පහරදීමට පවා ඇතැම් ඇමරිකානුවන් පෙළෙඹෙනවා. ජනාධිපති කාටර්ගේ ජනප්‍රියත්වය ද ඉතා සීඝ්‍රයෙන් පහළ බසිනවා. ඇමරිකාවේ ප්‍රසිද්ධම රූපවාහිනි මාධ්‍යවේදියෙක් වන වෝල්ටර් කොන්ක්‍රයිට් තම දිනපතා ප්‍රවෘත්ති විකාශය අවසන් කරන්නේ ප්‍රාණ ඇපකරුවන් එතෙක් රඳවා සිටි දින ගණන ජනතාවට පැවසීමෙන්.

ඇමරිකාවේ සිටින ඉරාන ජාතිකයන්ට එරෙහි උද්ඝෝෂනයක් source: Wikipedia

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ සඳහා ඇමරිකානු විශේෂ බලකායන් විසින් “ඊගල් ක්ලෝ” නම් මෙහෙයුමක් 1980 අප්‍රේල් මස දියත් කරනවා. එසේ වුවත් එය සාර්ථක වන්නේ නැහැ. අනතුරක් නිසා සෙබළුන් 8 දෙනෙකුගේ සිරුරු ද ඉරානයේ රඳවා ඔවුනට පසුබැසීමට සිදුවනවා. එම මළසිරුරු ඉරාන රූපවාහිනියේ පෙන්වීමට රජය කටයුතු කරනවා. මේ අසාර්ථක හමුදා මෙහෙයුම නිසා දැඩි අප්‍රසාදයට පත් වන කාටර් රජයෙන් එරට රාජ්‍ය ලේකම් සයිරස් වෑන්ස් ඉල්ලා අස්වනවා.

ඇමරිකානු කමාන්ඩෝ භටයන් පිරිසක් ඊගල් ක්ලෝ  මෙහෙයුමට නික්මයාමට පෙර. source:  moody.af.mil

ප්‍රාණඇපකරුවන් මුදවාගැනීමේ සාකච්ඡාමය උත්සාහය

ඇමරිකානු සම්බාධක නිසා ඉරාන ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවුණා. මේ අතර ඉරාකය ඉරානයට පහරදීම නිසා රටවල් දෙක අතර යුද්ධයක් ද ඇතිවුනා. මේ නිසා ඇමරිකාව සමඟ ප්‍රණ ඇපකරු අර්බුද්ධය පිළිබඳ සාකච්ඡාවකට යාමට ඉරානය පෙළඹුනා. කෙසේ වුවත් ඉරානය හා ඇමරිකාව අතර සෘජු සාකච්ඡා වෙනුවට සිදුවූයේ ඇල්ජීරියානු විදේශ සේවා නිලධාරීන් මැදිහත්වීමෙන් අර්බුදයට විසඳුම් සෙවීම යි. මේ අනුව 1980 වසර තුළ හා 1981 මුල් භාගය වන තෙක්ම සාකච්ඡා පැවතුනා. ඒ අනුව ඉරානයට පනවා ඇති වෙළඳ සම්බාධක ඉවත් කිරීම හා ඇමරිකාව තුළ ඇති ඉරාන වත්කම් ආපසු  ලබා දීම යන කරුණු මත ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීමට අවසානයේ ඉරානය එකඟ වුණා.

එවැනි එකඟතාවයකට පැමිණියත් ජිමී කාටර් 1980 නොවැම්බර් ජනපතිවරණයෙන් දරුණු පරාජයකට මුහුණ දුන්නා. ජයගත් රොනල්ඩ් රේගන් 1981 ජනවාරි 20 දින ජනාධිපති පදවියේ දිවුරුම් දීමෙන් මිනිත්තු කිහිපයකට පසු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බව නිවේදනය කෙරුනා. මෙලෙස දින 444ක් පැවති ප්‍රාණ ඇපකරු අර්බුදය අවසන් වුණා.

නිදහස් වී ආපසු ඇමරිකාවට පැමිණෙන හිටපු  ප්‍රාණ ඇපකරුවන් source: host.madison.com

මූලාශ්‍රයයන්: Britannica.com, owlcation.com

Cover : NYPost.com  

Related Articles