1815 වසරේ මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඬුවේ දී ඉංග්‍රීසීන් සහ උඩරට ප්‍රධානීන් අතර අත්සන් කළ ගිවිසුම, උඩරට ගිවිසුම ලෙසින් ප්‍රසිද්ධියට පත් වුණා. එලෙස අත්සන් කරන ලද ගිවිසුමෙන් උඩරට රදල ප්‍රධානීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවට ඉංග්‍රීසීන් පොරොන්දු වුණා. නමුත්, ටික කලක් යන විට ඉංග්‍රීසීන් එම පොරොන්දු කඩ කරන බව දුටු සිංහලයන්, ඉංග්‍රීසීන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළා. එදා ඌව පළාතේ වෙල්ලස්ස ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුණු මෙම කැරැල්ල ප්‍රසිද්ධ වුණේ වෙල්ලස්සේ කැරැල්ල ලෙසින්.

උඩරට ගිවිසුම 

එදා උඩරට රදල ප්‍රධානීන් සහ ඉංග්‍රීසින් විසින් අත්සන් කළ උඩරට ගිවිසුමේ ප්‍රධාන වශයෙන් පහත සඳහන් වගන්ති ඇතුළත්ව තිබුණා. එහි දී ගිවිසුමට මෙම වගන්ති ඇතුළත් කෙරුණේ දෙපාර්ශවයම එකඟතාවයකට එළඹීමෙන් පසුව යි.

1) මලබාර් රජෙකු වුණු ශ්‍රී වික්‍රම රාජසිංහට කන්ද උඩරට රාජධානියේ කිරුළ සම්බන්ධයෙන් පැවති  හිමිකම් අහෝසි කළ යුතු යි.

2) රජතුමාගේ සියලුම පිරිමි ඥාතීන් රටින් පිටුවහල් කිරීම සහ යළි මෙරටට පැමිණීම තහනම් කළ යුතු යි.

3) රජතුමාගේ රාජ්‍ය කාලය සහ කන්ද උඩරට පාරම්පරික හිමිකම ද සිංහලේ ආණ්ඩුවක් පිහිටුවීමට ද්‍රවිඩ  ජාතිකයන්ට පැවති සියලුම අයිතිවාසිකම් ද අහෝසි කළ යුතු යි. 

4) බුදු දහම, සංඝයා වහන්සේ, විහාරස්ථාන සහ දේවාල ආරක්ෂා කිරීමට සහ නිසි ලෙස නඩත්තු කිරීමට පොරොන්දු විය යුතු යි.

5) සිංහලේ පරමාධිපත්‍ය බලය බ්‍රිතාන්‍ය කිරීටය යටතට ගත් බව ප්‍රකාශ කිරීම සහ සිංහල නීති රීති දිගටම පවත්වා ගෙන යාම සඳහා උඩරට අධිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට,  විදානේලාට සහ කෝරළේවරුන්ට බලය පිරිනැමිය යුතු යි.

6) එතෙක් ලබාදුන් ශාරීරික වධහිංසාවන් සහ අවයව කැපීමේ දඬුවම් අහෝසි කළ යුතු යි.

7) මරණ දඬුවම නියම කිරීම සඳහා අවශ්‍ය බලතල ආණ්ඩුකාරවරයා වෙත ලබාදීම සහ මරණ දඬුවම ක්‍රියාවට නැංවීම රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිට දී සිදුකළ යුතු යි.

8) කන්ද උඩරට නොවන අනෙකුත් ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍ය නීතිය ක්‍රියාත්මක විය යුතු යි. 

9) කන්ද උඩරට රාජධානිය තුළ සිදුවන සෑම සිවිල් සහ අපරාධ ක්‍රියාවක්ම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ දී එය පවතින උඩරට නීති ක්‍රම යටතේ සිදුකළ යුතු යි. නමුත්, අවශ්‍ය අවස්ථාවල දී පමණක් බ්‍රිතාන්‍ය නීතිය ඒ සඳහා යොදාගැනීමට එකඟ විය යුතු යි. 

10) එවකට තුන් කෝරළේ, හතර කෝරළේ සහ සබරගමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද දැන්වීම් පත්‍ර සියල්ලක්ම අහෝසි කළ යුතු යි.

11) ජනතාවගෙන් අය කරන බදු සහ අනෙකුත් ආදායම් සියල්ලම බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් වෙන් කළ යුතු යි.

12) වෙළඳාම් කටයුතු සහ අනෙකුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් ලබාදීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට බලය ලබාදිය යුතු යි.

උඩරට ගිවිසුම (lankadeepa)

උඩරට ගිවිසුමේ වගන්ති පිළිබඳව ඉංග්‍රීසීන් අසතුටු වෙයි 

උඩරට ගිවිසුම මඟින් ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට ජනතාවට ලබාදුන් පොරොන්දු ගැන ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන් අතර නොයෙක් මතභේද හටගත්තා. එසේම, බ්‍රිතාන්‍යයේ තිබුණු විවිධ සංවිධානත් උඩරට ගිවිසුමේ තිබුණු ඇතැම් වගන්ති ගැන විවේචන එල්ල කරන්නට වුණා. එම නිසාම එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලෙසින් කටයුතු කළ රොබට් බ්‍රවුන්රිග් උත්සාහ කළේ ගිවිසුම පිළිබඳව නොතකා තමාට කැමති අයුරින් පාලනය ගෙන යාම යි. ආණ්ඩුකාරවරයා එසේ කටයුතු කිරීමට උත්සාහ කළත්, ඔහු යටතේ සේවය කළ පරිපාලන නිලධාරියෙකු වුණු ජෝන් ඩොයිලිගේ මතය වුණේ එලෙස ගිවිසුමට පටහැනිව පරිපාලන කටයුතු කිරීම නිසා උඩරට රදල ප්‍රධානීන් උරණ විය හැකි බව යි. නමුත්, ඩොයිලිගේ මතය කනකට නොගත් ආණ්ඩුකාරවරයා උඩරට ගිවිසුමේ තිබුණු ඇතැම් වගන්ති අමතක කරමින් සිය පාලන කටයුතු සිදුකරනු ලැබුවා. එසේම, උඩරට පාලන ක්‍රමය වෙනස් කිරීමට තීරණය කළ බ්‍රවුන්රිග්, එම අවධිය වන විට උඩරට පාලනය කිරීමට පත්කර සිටි කොමසාරිස් මණ්ඩලයට අණකර සිටියේ උඩරට පාලනය වෙනස් කිරීමට අවශ්‍ය තොරතුරු සපයා දෙන ලෙස යි. එහි දී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ පහත කරුණු 5 පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස යි. 

1) භාණ්ඩවලින් බදු ගෙවීම වෙනුවට මුදලින් එම බදු ගෙවීමට නියම කිරීම.

2) ආදායම් එකතු කිරීමේ කටයුතු නියම ලෙස සිදුකිරීම.

3) ගම්මුලාදෑනීන්ගේ කටයුතු සීමා කර ඔවුන්ගේ සේවය වෙනුවෙන් මුදල් ගෙවීම. 

4) ප්‍රභූ පවුල්වල තරුණයන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීම. 

5) එම තරුණයන්ව පාලන කටයුතුවලට සම්බන්ධ කරගැනීම සහ අධිකරණ කටයුතු නැවත සැකසීම. 

ඌව වෙල්ලස්සෙන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව විරෝධයක් 

උඩරට පාලනය කිරීමට පත්කර සිටි කොමසාරිස් මණ්ඩලය තොරතුරු එකතු කරමින් සිටින අතරතුර ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඌව-වෙල්ලස්සෙන් යම් විරෝධතා මතු වෙන්නට පටන් ගත්තා. වෙල්ලස්සෙන් පටන් ගත් එම විරෝධය පසුව උඩරට ප්‍රදේශ කිහිපයකටම පැතිර යන්නට වුණා. උඩරට සිංහල රාජධානිය පැවති සමයේ ඌව-වෙල්ලස්ස රජුට ඉතාමත් පක්ෂපාතී ප්‍රදේශයක් වුණා. මෙම පළාතේ ඒ වන විට පදිංචිව සිටි මුස්ලිම් ජනතාව උඩරට රාජධානියට අයත් ප්‍රදේශවලට අමතරව මුහුදුබඩ ප්‍රදේශවල ද සිය වෙළඳාම් කටයුතු කරගෙන ගියා. ලුණු, රෙදිපිළි සහ කරවල ඔවුන් ප්‍රධාන වශයෙන් අලෙවි කළ වෙළඳ භාණ්ඩ අතරට අයත් වුණා. එලෙස වෙළඳ කටයුතු කළ මුස්ලිම් වෙළෙන්දන්ගෙන් එදා බදු එකතු කිරීමට සිංහල මුහන්දිරම්වරයෙකු පත්කර සිටියා. එහි දී ඔහු අයකරගත් බද්ධ මඩිගෙ බද්ධ යනුවෙන්  හඳුන්වනු ලැබුවා. 

බදු අයකිරීමට මුස්ලිම් මුහන්දිරම්වරයෙකු පත් කරයි 

මෙම කාල සමයේ මුස්ලිම් වෙළඳුන් ඉංග්‍රීසි ආණ්ඩුවේ හිත දිනාගෙන සිටි නිසා ඔවුන්ට වෙළඳාම තුළින් විශාල ලාභයක් උපයා ගැනීමට හැකිව තිබුණා. එලෙස ඉංග්‍රීසි ආණ්ඩුවේ හිත දිනාගෙන සිටි මුස්ලිම් ජාතිකයන් මඩිගෙ බද්ධ එකතු කිරීම සඳහා මුස්ලිම් මුහන්දිරම් කෙනෙකු පත් කරන මෙන් ඉල්ලා සිටියා. එහි දී මුස්ලිම් වෙළඳුන්ට ඇහුන්කම් දුන් ඉංග්‍රීසි ආණ්ඩුව එම රාජකාරිය සඳහා හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් මුහන්දිරම් කෙනෙකු පත් කරනු ලැබුවා. එලෙස පත් කළ හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් නිලධාරියා ඌවේ දිසාවගේ අණ පවා නොතකා ක්‍රියාකිරීම නිසා සිංහලයන් වඩාත් උරණව සිටියා. එහි දී එම පාලනයට එරෙහිව සිංහලයන් මෙහෙයවනු ලැබුවේ බූටෑවේ රාළ නම් පුද්ගලයා යි. 

රාජාධි රාජසිංහ රජුගේ ඥාතියෙකු ඌව-වෙල්ලස්සට පැමිණෙයි 

ඌව-වෙල්ලස්ස ප්‍රදේශය නොසන්සුන්ව පැවති අවධියක කලක් උඩරට රාජධානියේ රජකම් කළ රාජාධි රාජසිංහ නම් රජුගේ ඥාතියෙකු වුණු දොරේසාමි නැමැත්තා ඌව-වෙල්ලස්සට පැමිණියා. ඉන්පසුව, බූටෑවේ රාළට එකතු වුණු දොරේසාමී ඉංග්‍රීසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තා. දොරේසාමි අනාගතයේ දී උඩරට කිරුළ වෙනුවෙන් සටන් කිරීමට ඉඩකඩ තිබුණු නිසා ඔහුව අල්ලාගැනීම සඳහා හජ්ජි මුහන්දිරම්ගේ නායකත්වය යටතේ සේනාවක් යවනු ලැබුවා. එහි දී දොරේසාමිගේ සහායකයන් පිරිසක් හජ්ජි මුහන්දිරම්ගේ සේනාවට හසු වුණත්, දොරේසාමිව අල්ලාගැනීමට හැකි වුණේ නැහැ. එම නිසාම දොරේසාමිව අල්ලාගන්නා අරමුණෙන් ඉදිරියට ඇදුණු හජ්ජි මුහන්දිරම්ගේ සේනාවට බූටෑවේ රාළ ප්‍රමුඛ සිංහලයන් පිරිසක් පහර දී ඔවුන්ව අල්ලාගනු ලැබුවා. එලෙස ඉංග්‍රීසි සේනාව පරාජය වුණු පුවත ඇසූ ඉංග්‍රීසින් බදුල්ලේ ඒජන්ත විල්සන් සහ ලුතිනන් සීමන් ප්‍රමුඛ හමුදාවක් යවනු ලැබුවේ බූටෑවේ රාළ අල්ලාගැනීම පිණිස යි. එදා සිංහල සේනාව ඉදිරියට පැමිණි ඉංග්‍රීසි සේනාවට හොඳ හැටි පහරදුන් සිංහලයන් ඊතලයකින් විද, විල්සන්ව මරා දමනු ලැබුවා. 

මෙම සිදුවීමත් සමගම ඉංග්‍රීසීන් වඩාත් උරණ වුණා. එම නිසාම ඔවුන් වෙල්ලස්සේ සිටි සිංහල ජනයා මර්දනය කිරීමට කැප්පෙටිපොළ දිසාව යටතේ සේනාවක් එවනු ලැබුවා. නමුත්, එලෙස පැමිණි කැප්පෙටිපොළ පසුව සිංහලයන් සමග එක් වුණු නිසා කැරැල්ල වේගයෙන් පැතිරී ගියා.

එසේ නම්, මෙම ලිපියේ ඊළඟ කොටසින් කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වුණු ආකාරයත්, ඉන්පසුව සටන වේගයෙන් පැතිරීගිය ආකාරයත් පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. 

මූලාශ්‍රය- මහාවංශය 

කවරයේ ඡායාරූපය- උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ වාරියපොල ශ්‍රී සුමංගල හිමි (twitter)