1815 වසරේ දී අත්සන් කළ උඩරට ගිවිසුම ඉංග්‍රීසීන් විසින් කඩ කිරීම නිසා ඌව-වෙල්ලස්ස කැරැල්ල ඇරඹුණු ආකාරය පිළිබඳව මෙම ලිපියේ පළමු කොටසින් කතා කරනු ලැබුවා. එසේ නම් මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ, ඉංග්‍රීසීන් කැරැල්ල මර්දනය කිරීම සඳහා වෙල්ලස්සට යැවූ මොණරවිල කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වීමෙන් පසුව කැරැල්ල පැතිරී ගිය ආකාරය පිළිබඳව යි.

ඉංග්‍රීසීන් කැරැල්ල මර්දනය කිරීමට පියවර ගනියි 

දොරේසාමි සහ බූටෑවේරාළ එක්ව වෙල්ලස්ස ප්‍රදේශයේ වාසය කළ සිංහල ජනයා සමග ගෙන ගිය අරගලය මැඩ පැවැත්වීම සඳහා යැවූ සේනාව සිංහලයගෙන් හොඳහැටි පහර කෑවා. එසේම, එම ප්‍රහාරය මෙහෙයවනු ලැබූ බදුල්ලේ ඒජන්ත විල්සන්, සිංහලයන් අතින් මරණයට පත් වීම නිසා ඉංග්‍රීසීන් වඩාත් උරණ වුණා. එම නිසාම මිල්ලෑව, කොබ්බෑකඩුව වැනි දිසාවේවරුන්ට එක් එක් ප්‍රදේශවල තත්ත්වය පාලනය කිරීමට භාර දෙන විට කොළඹ සහ සෙංකඩගල අතර සබඳතාවය පවත්වා ගැනීමට භාර දුන්නේ මොල්ලිගොඩ අදිකාරමට යි. ඊට අමතරව, සත්කෝරළයේ සේනා සංවිධානය කිරීමේ වගකීමත් ඔහුට පැවරුණා. එම අවධිය වන විට මාතලේ මහ දිසාව ලෙසින් කටයුතු කළේ මොණරවිල කැප්පෙටිපොළ මහ අධිකාරම යි. රණශූරයෙකු ලෙසින් ප්‍රසිද්ධව සිටි කැප්පෙටිපොළ එදා වෙල්ලස්සට යැවීමට ඉංග්‍රීසීන් කටයුතු කළේ කැරැල්ල මර්දනය කිරීමේ අරමුණ ඇතිව යි. එලෙස ඉංග්‍රීසින් ලබාදුන් අණ පිළිපදිමින් කැප්පෙටිපොළ මහ අදිකාරම වෙල්ලස්ස බලා මහා සේනාවක් සමගින් පිටත් වුණේ සිය ජාතියට ද්‍රෝහියෙකු බවට පත් වෙමින්.

කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වෙයි

විශාල සේනාවක් සමග වෙල්ලස්ස බලා යමින් සිටි කැප්පෙටිපොළ අදිකාරම ප්‍රමුඛ සේනාවට අතරමඟ දී කොහුකුඹුරේ රටේ රාළ නම් පුද්ගලයා මුණගැසුණා. බූටෑවේරාළගේ මස්සිනා කෙනෙකු වුණු කොහුකුඹුරේ රටේ රාළ, එම අවස්ථාවේ මොණරවිල කැප්පෙටිපොළ වෙත ගොස් ඔහු සමග මඳක් කතා කිරීමට අවශ්‍ය බව පවසා සිටියා. එහි දී කොහුකුඹුරේ රටේ රාළගේ ඉල්ලීමට කන් දුන් කැප්පෙටිපොළ, ඔහු සමග කතාවට වැටුණා. එවිට සිය හඬ අවදි කළ කොහුකුඹුරේ රටේ රාළ, මොණරවිල කැප්පෙටිපොළ ඉංග්‍රීසීන්ගේ ඇකයේ සිට රටට ද්‍රෝහී වන ආකාරය හොඳින්ම පැහැදිලි කර දුන්නා. එඩිතර සිංහලයෙකු වුණු කොහුකුඹුරේ අභීත විලාසයෙන් කළ සිය පැහැදිලි කිරීම අසා මොණරවිල කැප්පෙටිපොළට තමා ගැනම මහත් ලැජ්ජාවක් ඇති වුණා. ඉන්පසුව මොණරවිල, ඉංග්‍රීසි සේනාවේ ඉහළ නිලධාරියෙකු ළඟට කැඳවා ඔහු සතුව තිබුණු ආයුධ යළි භාරදෙමින් පවසා සිටියේ උඹලාගේ ආයුධවලින් උඹලාටම ගහන්න තරම් මන් නිවටයෙක් නොවේ යන්න යි. ඉන්පසුව මොණරවිල කැප්පෙටිපොළ, ගාම්භීර හඬින් ඉංග්‍රීසි සේනාවට සැලකර සිටියේ කැප්පෙටිපොළත් සිංහල සේනාවට එකතු වුණු බව උඹලාගේ ආණ්ඩුකාරවරයාට දැනුම් දෙන ලෙස යි. එලෙස කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වුණු බව ඇසූ සිංහල සේනාව වඩාත් ධෛර්යමත් වුණා. එසේම, ඉංග්‍රීසීන්ව මව්බිමින් එළවීමේ සටනට කැප්පෙටිපොළ සමග එක්ව දිවිහිමියෙන් සටන් කරන බවට ඔවුන් ප්‍රතිඥා ලබාදුන්නා. 

මොණරවිල කැප්පෙටිපොළ (dinamina)

සටන දරුණුවටම ඇවිළී යයි 

බලාපොරොත්තු නොවූ අවස්ථාවක කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වීම ඉංග්‍රීසීන් පුදුමයට පත් කළ කාරණයක් වුණා. එසේම, ඉංග්‍රීසීන්ගේ යුධ උපක්‍රම ගැන පවා අවබෝධයක් තිබුණු කැප්පෙටිපොළ වැනි රණශූරයෙකු සිංහලයන්ට නායකත්වය ලබාදීම ඉංග්‍රීසීන්ට මහත් අභියෝගයක් වුණා. එදා මොණරවිල කැප්පෙටිපොළ සිංහලයන්ට එකතු වී වෙල්ලස්ස අරගලයට නායකත්වය දෙන බව ඇසූ ඇතැම් උඩරට රදලයන් කැප්පෙටිපොළට සහාය ලබාදුන්නා. එම නිසාම කැරැල්ල දරුණුවටම ඇවිළී ගියේ ඉංග්‍රීසින්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින්. එහි දී ඉතාම සූක්ෂම යුධ උපක්‍රම අනුගමනය කළ සිංහල සේනාව භූමියේ වාසිය ද උපයෝගී කරගනිමින් කැප්පෙටිපොළ අදිකාරම සමග පෙරට ගියේ, පරසතුරන්ව මව්බිමෙන් එළවා දැමීමේ ස්ථීර අරමුණ සිතේ රඳවා ගනිමින්. 

දොරේසාමි උඩරට රජු ලෙසින් ප්‍රකාශයට පත් කරයි 

කැරැල්ල සාර්ථක ලෙසින් ඇවිළී යාම නිසා උද්දාමයට පත් කැප්පෙටිපොළ ප්‍රමුඛ සිංහල රදලයන්, දොරේසාමි ඔවුන්ගේ රජු ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එසේම, මොණරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම ලෙසින් පත් කරනු ලැබුවා. මෙම අවස්ථාවේ දී මොණරවිල කැප්පෙටිපොළ අනෙකුත් උඩරට රදලයන්ගෙන් ඉල්ලා සිටියේ, නව රජුට පක්ෂපාතී වෙමින් බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් එළවා දැමීමට සහයෝගය ලබාදෙන ලෙස යි. එලෙස සහයෝගය ඉල්ලූ පණිවිඩ තල්පත්වල ලියා එක් එක් රදල නායකයාට යැවීමට මොණරවිල කටයුතු කළේ, සිය රටින් බ්‍රිතාන්‍යයන් පන්නා දැමීමේ සටන තවත් සවිමත් කිරීමේ අරමුණෙන්. ඉංග්‍රීසින් විසින් උඩරට රදලයන්ගේ සහාය ඇතිව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිහසුනෙන් පහකරනු ලැබුවේ 1815 වසරේ දී යි. එම සිදුවීමෙන් වසර 3කට පසුව උඩරට රදලයන් එක්ව දොරේසාමි සිය රජතුමා ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉංග්‍රීසින්ට දැවැන්ත අභියෝගයක් වුණා. 

උඩරට රදලයන්ගේ අසමගිය ඉංග්‍රීසීන්ට වාසියක් වෙයි 

එවකට උඩරට සිටි බොහෝ රදලයන් කැප්පෙටිපොළ අදිකාරමට සිය සහාය ලබාදුන්නත් මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ යන දිසාවේවරුන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතී වෙමින් ඔවුන්ට ඔත්තු සපයනු ලැබුවා. එදා මොල්ලිගොඩ දිසාවගේ බලය පැතිරී තිබුණු පහළ සබරගමුව ප්‍රදේශය හරහා ඉංග්‍රීසීන් මහනුවර සිට කොළඹට පණිවුඩ හුවමාරු කිරීම සිංහලයන්ට මහත් අභියෝගයක් වුණා. එසේම, එදා සමහර මුස්ලිම්වරුන් ද සිංහල සටන්කරුවන් පිළිබඳව බ්‍රිතාන්‍යයන්ට ඔත්තු ලබාදුන්නා. එම ඔත්තු වෙනුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදීමට කටයුතු කළා. එලෙස උඩරට සිටි සමහර ජන කොටස්වල සහාය නොලැබුණත්, සිංහල සේනාව කැරැල්ල ඉදිරියටම ගෙන ගියා. ඒ වන විට වෙල්ලස්ස බිමේ සටන් කරමින් සිටි ඉංග්‍රීසි හේවායන්, ආහාර පාන හිඟ වීම නිසා මහත් පීඩාවට ලක්ව සිටියා. නමුත්, එම තීරණාත්මක මොහොතේ අපේම මිනිසුන් රට ජාතිය පාවා දෙමින් කටයුතු කළ නිසා ඉක්මනින්ම වෙල්ලස්ස අරගලය වෙනත් අතකට හැරුණා. 

කැප්පෙටිපොළ ප්‍රමුඛ සිංහලයන් කරගෙන ගිය අරගලය තියුණු මුහුණුවරක් ගනිමින් තිබුණු අවස්ථාවක සූක්ෂම ලෙස කටයුතු කළ ඉංග්‍රීසීන්, තාන්නමාන්න බලාපොරොත්තුවෙන් සිටි නිවට සිංහල රදලයන්ව රවටා ගනු ලැබුවා. ඔවුන් එදා ඉංග්‍රීසීන්ට ලබාදුන් ඔත්තු නිසා සටනේ ජවය නැති වී ගියා.

එසේ නම්, මෙම ලිපියේ අවසන් කොටසින් සිංහලයන් අරගලය පරාජය වුණු ආකාරයත්, ඉන්පසුව ඔවුන්ට ලැබුණු දඬුවම් පිළිබඳවත් කතා කිරීමට බලාපොරොත්තු වනවා. 

මූලාශ්‍රය- මහාවංශය 

කවරයේ ඡායාරූපය- පැරණි සටන් බිමක දසුනක් (prasanna weerakkody paintings)