ඉංග්‍රීසීන් උඩරට ගිවිසුම කඩකිරීම නිසා ආරම්භ වුණු වෙල්ලස්ස කැරැල්ලට මොණරවිල කැප්පෙටිපොළ එකතු වීමෙන් පසුව, එය පැතිරී ගිය ආකාරය පිළිබඳව අපි පසුගිය ලිපිවලින් කතා කළා. එලෙස වේගයෙන් පැතිරී ගිය කැරැල්ල හමුවේ ඉංග්‍රීසීන් අඩපණ වී සිටි අවස්ථාවක, උඩරට රදලයන් අතර තිබුණු අසමගිය මහා විනාශයකට පාර කැපුවා. එදා සමහර උඩරට රදලයන්ගෙන් ලැබුණු සහායෙන් ප්‍රාණවත් වුණු ඉංග්‍රීසීන් කැරැල්ල සාර්ථකව මර්දනය කළේ අභීත සිංහල විරුවන් රැසක් රටට අහිමි කරමින්. 

වෙල්ලස්ස කැරැල්ලේ වැඩි වාසිය සිංහලයන්ට 

එදා ඉංග්‍රීසීන් ගෙන ගිය දරදඬු පාලනයට විරුද්ධ වුණු භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය සිංහල ජනතාව කැප්පෙටිපොළ වටා එකතු වුණු නිසා කැරැල්ල සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකි වුණා. එසේම, එම කාල සමයේ අධික වර්ෂාවක් ඇඳ වැටීම නිසා ගංගාවල ජල මට්ටම ද ඉහළ යන්නට වුණා. එලෙස ගංගාවල ජල මට්ටම ඉහළ යාමත් සමගම ඉංග්‍රීසීන්ට පණිවුඩ හුවමාරු කරගැනීම අසීරු වීම සිංහල සේනාවට වාසියක් වුණා. දිගින් දිගටම සටන් කිරීමෙන් හෙම්බත්ව සිටි බ්‍රිතාන්‍යය සොල්දාදුවන්ට ආහාර පාන හිඟ වීම නිසා ඔවුන් දැඩි කෝපයට පත් වුණා. එම නිසාම ඔවුන් සිංහල ගම්වලට වැදී ඔවුන්ගේ ආහාර පාන සහ දේපළ කොල්ල කන්නට වුණා. එපමණක් නොව, ඔවුන්ගේ ගෙවල් දොරවල් පවා ගිනිබත් කිරීමට තරම් ඉංග්‍රීසි සොල්දාදුවන් කෲර වුණේ සිංහල සේනාව ද කෝපයට පත් කරමින්. එලෙස කෝපයට පත් සිංහල සේනාව සැඟවී සිට ගම්වලට පැමිණෙන ඉංග්‍රීසි භටයන්ට පහර දෙන්නට වුණා. එම පහරදීම් සාර්ථක වුණු නිසාම සිංහලයන්ගේ බලය තිබුණු ප්‍රදේශවල සිටි ඉංග්‍රීසි භටයන් එම ප්‍රදේශවලින් ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළා.

ඉන්දියාවෙන් ආධාරක භට පිරිසක් ලංකාවට 

ලංකාවේ තත්ත්වය අයහපත් අතට හැරෙමින් තිබුණු අවස්ථාවේ දී ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ඉන්දියාවේ සිටි බ්‍රිතාන්‍යය පාලකයාගෙන් උදව් ඉල්ලා සිටියා. එහි දී බ්‍රවුන්රිග්ගේ ඉල්ලීමට ඇහුන්කම් දුන් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයා ලංකාවට ආධාරක භට සේනාවක් එවනු ලැබුවා. එලෙස පැමිණි භට සේනාවේ සෙබළුන් වැඩි පිරිසකට ගරිල්ලා සටන් ක්‍රම පිළිබඳව පුහුණුවක් තිබුණා. එසේම, ඔවුන්ට කඳුකර සටන් පිළිබඳව ද හොඳ අවබෝධයක් තිබුණා. එදා ලංකාවට පැමිණි එම භට සේනාව ස්ථාන තුනකින් රට තුළට යැවීමට ඉංග්‍රීසීන් කටයුතු කළා. එහි දී කොළඹ, ත්‍රිකුණාමලය, සහ මඩකලපුව යන ස්ථානවලින් රටට ඇතුල් වුණු එම භටයන් සිංහල සේනාව සමග සටන් ආරම්භ කළා. 

ඉංග්‍රීසීන් සාර්ථකව කැරැල්ල මැඩපවත්වයි 

ඉන්දියාවෙන් ආධාරක භට පිරිසක් පැමිණීමත් සමගම වඩාත් ධෛර්යමත් වුණු ඉංග්‍රීසි හේවායන්, නැවතත් සිංහල සේනාවට පහර පිට පහර දීම ආරම්භ කළා. එසේම, ඔවුන් උඩරට රාජධානියට අයත් වුණු සිංහල ගම්බිම් නැවතත් විනාශ කරන්නට පටන්ගත්තා. එලෙස ඉංග්‍රීසීන් කළ විනාශය නිසා බියට පත් වුණු එම ගම්වල මුලාදෑනිවරුන් බොහෝමයක් ඉංග්‍රීසීන්ට අයත් වුණු බල ප්‍රදේශවලට පලා යන්නට වුණා. එසේම, ඔවුන් තාන්න මාන්න ලබාගැනීමේ අරමුණෙන් සිංහලයන් පිළිබඳව ඉංග්‍රීසීන්ට ඔත්තු ලබාදුන්නේ සිය ජාතියට ද්‍රෝහී වෙමින්. එසේම එදා මොල්ලිගොඩ, එක්නැලිගොඩ, සහ මහවලතැන්න වැනි උඩරට රදලයන් ද ඉංග්‍රීසීන්ට පක්ෂපාතීව කටයුතු කළා. එම නිසාම සිංහලයන්ගේ සමහර යුධ රහස් සතුරන් අතට පත් වුණා. මේ අතර ඇත්ත දොරේසාමි ඉන්දියාවේ මදුරාසියේ සිටින බවත්, ලංකාවේ සිටින දොරේසාමි කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ පදිංචි සිවුර හරින ලද අයෙකු බවත් කියමින් බ්‍රවුන්රිග් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා උඩරට රදලයන් සම්පූර්ණයෙන්ම මුලා වුණා. එම නිසාම එම රදලයන් බොහෝදෙනෙකු  මොණරවිල කැප්පෙටිපොළට එරෙහි වුණා. උඩරට රදලයන් අතර තිබුණු එකමුතුකම බිඳීයාමත් සමගම සටනේ වාසිය ඉංග්‍රීසීන්ට හිමි වුණා. එලෙස සටනේ වාසිය ඉංග්‍රීසීන්ට හිමි වෙමින් තිබුණු අවස්ථාවේ ඔවුන් නිවේදනයක් නිකුත් කළා. 1818 වසරේ අගෝස්තු 1 වැනිදා නිකුත් කළ එම නිවේදනයෙහි සඳහන් වුණේ බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතී වන සිංහලයන්ට සමාව දෙන බව යි. ඒ සඳහා ඔවුන් සැප්තැම්බර් 21 වැනිදා වන තුරු කල් ලබා දී තිබුණා. ඉංග්‍රීසීන් විසින් නිකුත් කළ එම නිවේදනයත් සමගම ඇතැම් උඩරට නායකයන් ඉංග්‍රීසීන්ට සහාය පළ කිරීමත් හේතුවෙන් සිංහල සේනාව තවත් අඩපණ වුණා. ඒ අනුව වැඩි කලක් යන්නට පෙර ඇහැලේපොළ අදිකාරම, මඩුගල්ලේ අදිකාරම, බූටෑවේ රාළ, සහ කිවුලේගෙදර මොහොට්ටාල වැනි සිංහල නායකයන් ඉංග්‍රීසීන් විසින් අල්ලාගනු ලැබුවා. සිය සගයන් අහිමි වෙමින් පැවතුණු අවස්ථාවේ වුණත්, අවසන් මොහොත දක්වා අභීතව සටන් කළ මොණරවිල කැප්පෙටිපොළ, 1818 වසරේ ඔක්තෝබර් 28 වැනිදා ඉංග්‍රීසීන්ට හසුවීමත් සමගම කැරැල්ල නිමාවට පත් වුණා.

කැරලිකරුවන්ට ලබාදුන් දඬුවම් 

එලෙස සිංහලයන් කැරැල්ලෙන් පරාජය වීමෙන් පසුව දළදා වහන්සේව දළදා මාලිගාවෙන් සූක්ෂමව පිටතට රැගෙන යමින් වාරියපොල ශ්‍රී සුමංගල හිමි, 1818 වසරේ නොවැම්බර් 1 වැනිදා ඉංග්‍රීසීන්ට හසුවුණා. ඉන් අනතුරුව නොවැම්බර් 2 වැනිදා ඉංග්‍රීසීන් දළදා මාලිගාව ද අල්ලාගනු ලැබුවා. එදා වාරියපොල ශ්‍රී සුමංගල හිමිට චෝදනා ඉදිරිපත් කළ ඉංග්‍රීසීන් උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදුන්නා. ඇහැලේපොළ අදිකාරම ඇතුළු පිරිසක් මුරුසි දිවයිනට පිටුවහල් කළ ඉංග්‍රීසීන් බූටෑවේ රාළ, කිවුලේගෙදර මොහොට්ටාල සමග තවත් කිහිපදෙනෙකු එල්ලා මරා දමනු ලැබුවා. එසේම, මෙම කැරැල්ල මෙහෙය වූ ප්‍රධාන නායකයන් දෙපළක් වුණු කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන අදිකාරම්වරුන් දෙපළ 1818 වසරේ නොවැම්බර් 26 වැනිදා බෝගම්බර දී හිස ගසා මරා දමනු ලැබුවා. එදා ගහලයා විසින් හිස ගසා දැමීමට පෙර ධම්ම පදය පොත මොහොතක් කියවූ කැප්පෙටිපොළ අභීතව මරණයට මුහුණදුන් ආකාරය දැක ඉංග්‍රීසීන් මවිතයට පත් වුණා. එම නිසාම ඔහුගේ හිස එංගලන්තයට යවා පරීක්ෂා කිරීමට පවා ඔවුන් කටයුතු කළා. එදා එංගලන්තයට යැවූ හිස්කබල ග්ලෝස්ටර් ආදිපාදතුමා විසින් නැවතත් ලංකාවට රැගෙන ආවේ 1948 වසරේ දී යි. ඉන්පසුව, 1954 වසර දක්වා ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු එම හිස්කබල පසුව ස්මාරකයක් ඉදිකර මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කරනු ලැබුවා. 

කැප්පෙටිපොළ ස්මාරකය (Sri Dalada Maligawa)

1818 වසරේ දී ඉංග්‍රීසීන්ට එරෙහිව සිංහලයන් දියත් කළ වෙල්ලස්ස කැරැල්ල එලෙසින් නිමාව දුටුවේ කැප්පෙටිපොළ ඇතුළු විරුවන් රැසක් රටට අහිමි කරමින්. එදා සිය මාතෘ භූමිය පර සතුරන්ගෙන් මුදවාගැනීම සඳහා අවසන් මොහොත දක්වා සටන් කළ කැප්පෙටිපොළ විරුවාගේ නාමය සිංහල ඉතිහාසය තුළ හැමදාමත් රන් අකුරින් ලියැවී පවතිනු ඇති.

කවරයේ ඡායාරූපය- කැරලිකරුවන්ට දඬුවම් ලැබුණු හැටි (Prasanna weerakkody Paintings)