Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙස්සගිරි විහාරය පිළිබඳව තොරතුරු බිඳක්

අනුරාධපුර පූජා නගරයේ දකුණු දෙසට වන්නට සුන්දර ඉසුරුමුණි විහාරය පිහිටා තිබෙනවා. එම විහාරයට ආසන්නව විශාල ගිරිකුළුවලින් ගහන ගල් තලාවක් සහිත නිස්කලංක භූමියක් පිහිටා තිබෙනවා. වෙස්සගිරිය නමින් හැඳින්වෙන එම පූජා භූමිය, අනුරාධපුර යුගයේ ආරම්භය දක්වා විහිදී යන ඉතිහාසයක් ඇති බිමක්. ක්‍රි.පූ 3 වන සියවසේ අනුරාධපුර යුගයේ රජකම් කළ දෙවන පෑතිස් රජතුමා විසින් ඉදිකෙරුණු මෙම විහාරය තුළ භික්ෂූන් වහන්සේලා 500ක් පැවිදිව වාසය කළ බව වංශකතාවල සඳහන් වනවා. ඉතිහාස මූලාශ්‍රවල වෙස්සගිරි විහාරය පිළිබඳව සඳහන් වුණත්, මෙය නියම වෙස්සගිරිය විහාරය බව ඔප්පු කළ හැකි කිසිදු සාක්ෂ්‍යයක් මෙම භූමියෙන් හමු වී නැහැ.

වෙස්සගිරිය පිළිබඳව ඉතිහාස කතාවල සඳහන් කරුණු 

ක්‍රි.පූ 307-267 කාල සමය තුළ මෙරට රජකම් කළේ දෙවන පෑතිස් රජතුමා යි. එම රජතුමාගේ රාජ්‍ය කාලය තුළ මහින්දාගමනය සිදුවීමත් සමගම ලංකාවට බුදු දහම ලැබුණා. ඉන් අනතුරුව අප රට තුළ වෙහෙර විහාර රැසක් ඉදි වුණා. එලෙස ඉදිවුණු වෙහෙර විහාර අතරට ථූපාරාමය, ඉසුරුමුණිය, සෑගිරිය, වෙස්සගිරිය යන පූජනීය ස්ථානයන් කිහිපය අයත් වනවා. ඒ අතුරින් වෙස්සගිරිය නම් විහාරයට එම නම් ලැබී ඇත්තේ වෛශ්‍ය හෙවත් වෙළද කුලයට අයත් 500 දෙනෙකු පැවිදි වී මෙහි වාසය කළ නිසා යි. එසේම, රාවණාගේ සීයා වුණු විශ්‍රවස් මුණි මෙහි වාසය කළ නිසා එදා විශ්‍රවස් ගිරි ලෙසින් හැඳින්වුණු ප්‍රදේශය පසුව වෙස්සගිරිය වුණු බවට ද මතයක් පවතිනවා.

මහින්දාගමනය සිදු වුණු මිහින්තලාව (Silumina)

දෙවන පෑතිස් රාජ්‍ය සමයෙන් පසුව යළිත් වෙස්සගිරිය ගැන සඳහන් වන්නේ වළගම්බා රජුගේ රාජ්‍ය සමයේ දී යි. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් හත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්‍රමණය කළ අවස්ථාවේ දී වළගම්බා රජතුමා පළා ගොස් සැඟවුණේ වෙස්සගිරිය ආශ්‍රිතව යි. ඉන් පසු යුගවල දීත් විවිධ රජවරුන් මෙම විහාරයට විවිධ දේවල් පූජා කළ බව පැරණි ඉතිහාස කතාවල සඳහන් වනවා. පහත දක්වා ඇත්තේ රජවරුන් කිහිප දෙනෙකු වෙස්සගිරිය ආරාමය දියුණු කළ ආකාරය පිළිබඳව යි.

* ඉළනාග රජුගේ පුත් චන්ද්‍ර මුඛ සිව රජු විසින් මෙම විහාරයට මණිකාර ගම අසල වැවක් පූජා කළා. එසේම   එසේම ඔහුගේ දමිළ අග බිසව මණිකාර නම් ගමෙන් ලැබුණු ආදායමෙන් ඇගේ කොටස වෙස්සගිරියට පූජා කළ බව පැරණි ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වනවා. 

* වසභ රජතුමා මෙම විහාරය තුළ උපෝසථාගාරයක් සාදවා තිබෙනවා. 

* වෝහාරිකතිස්ස රජු මෙහි ප්‍රාකාරයක් ඉදිකරනු ලැබුවා.

* සීගිරි කාශ්‍යප රජතුමා මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර ඔහුගේ දියණියන් වුණු බෝධි සහ උත්පලවණ්නා නමින් නම් කරනු ලැබුවා.

* 4 වන මිහිඳු රජතුමා මෙහි ප්‍රාකාරයක් සාදවා භික්ෂූන් උදෙසා පූජාවන් කරනු ලැබුවා.

* 3 වන ජෙට්ඨතිස්ස රජතුමා විසින් මෙම විහාරයට ගම්වර පූජා කරනු ලැබුවා. 

වෙස්සගිරි විහාරයේ දක්නට ලැබෙන දේවල් 

දැනට වෙස්සගිරිය නමින් හඳුන්වන විහාරය අක්කර විස්සක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. එම ප්‍රදේශය තුළ පිහිටා තිබෙන පර්වත කිහිපය තුළ ගල් ගුහා 26ක් පමණ දක්නට ලැබෙනවා. වෙස්සගිරි විහාරය  තුළ දක්නට ලැබෙන ගල් ගුහාවලට ඉහළින් වැටෙන වැසි ජලය ගුහාව ඇතුළට නොයා පහළ තනා ඇති කටාරම්වලට වැටෙන්නට සැලැස්වීමත්, ඊට අමතරව වැටෙන ජලය ගලා යෑම සඳහා ගලේම කාණු සකස් කර තිබීමත් මෙහි දී දක්නට ලැබෙනවා. එසේම එය ස්වභාවික පිහිටා ඇති ආකාරයට  මැද පිහිටි පර්වතයේ ප්‍රධාන ගල් කුළු දෙකම රදා පවතින්නේ, පහළින් ඇති කුඩා ගල් කැබලි කිහිපයක ආධාරයෙන් පමණ යි. එසේම ඒ ගල්කුළු දෙකට වම්පසින් ඇති කුඩා ගුහාවක වහල ලෙස ඇත්තේ, කුඩා තැන් තුනකින් පමණක් රඳවා ඇති විශාල සෘජුකෝණාස්‍ර ගලක් පමණ යි. 

වෙස්සගිරි විහාරයේ ලෙන් (mahaviharaya.lk)

වෙස්සගිරි විහාරය තුළ ගලෙන්ම කොටන ලද පියගැටපෙළවල් සහ සඳකඩපහනක් ද දක්නට ලැබෙනවා. එසේම මෙම භූමියේ තිබී ශිලා ලිපි රැසක් ද සොයාගෙන තිබෙනවා. ඊට අමතරව වෙස්සගිරි විහාරය තුළ ගල් ගුහා සිතුවම් දක්නට ලැබෙනවා. එම සිතුවම්වල ලක්ෂණ සීගිරි සිතුවම්වලට යම් සමානකමක් දක්වනවා. 

වෙස්සගිරියේ සිතුවම් 

වෙස්සගිරිය විහාරයට අයත් වන ප්‍රධාන ගුහාවේ ගලින් නිර්මාණය කළ පියගැටපෙළ පසුකර ගුහාවට ඇතුල් වුණු විට දකුණු පස පිහිටි ගලේ බිතු සිතුවම් කිහිපයක් දක්නට ලැබෙනවා. එලෙස දක්නට ලැබෙන සිතුවම් අතර කාන්තා රූප දක්නට ලැබුණත් සෙසු සිතුවම් පිළිබඳව නිශ්චිතවම අදහසක් දැක්වීමට හැකියාවක් නැත්තේ සමහර සිතුවම් කොටස් මැකී ගොස් ඇති නිසා යි. එහි ඇති සිතුවම්වල ඇති කාන්තා රූප අතර මල් අතින් ගෙන සිටින කාන්තා රූප, වැඳගෙන සිටින කාන්තා රූප සහ වාඩි වී සිටින කාන්තා රූප දැකිය හැකියි. මෙම විහාරයේ ඇති සිතුවම් සීගිරි සිතුවම්වලට ද සමාන කමක් දක්වනවා. එසේම ගුප්ත කලා සම්ප්‍රදායේ යම් ලක්ෂණ ද මෙම සිතුවම් තුළින් පිළිබිඹු වනවා. එම නිසා මේවා අයත් වන කාල සමය නිර්ණය කිරීම අපහසු වී තිබෙනවා. වෙස්සගිරි විහාර භූමිය තුළ දක්නට ලැබෙන මෙම චිත්‍ර 1972 වසරේ දී සංරක්ෂණය කරනු ලැබුවා. එම සංරක්ෂණ කටයුතු බාරව කටයුතු කළේ 1967 වසරේ දී විනාශයට පත්වුණු සීගිරි සිතුවම් සංරක්ෂණය කළ ලුසියානෝ මරන්සි නම් ඉතාලි ජාතිකයා යි. ඉන් පසුව 1984 වසරේ දී මෙම සිතුවම් යළිත් සංරක්ෂණය කිරීමෙන් පසුව ආරක්ෂාව සඳහා වැටක් ද ඉදිකර වර්තමාන තත්ත්වයට පත්කර තිබෙනවා. 

ලුසියානෝ මරන්සි (archeology.lk)

අනුරාධපුර වෙස්සගිරිය නියම වෙස්සගිරිය විහාරයම ද?

වර්තමානයේ වෙස්සගිරිය නමින් හඳුන්වනු ලබන විහාරය අතීතයේ දී වෙස්සගිරිය නමින් පිළිගෙන තිබුණා. නමුත් මෙම භූමියෙන් සොයාගත් ශිලා ලේඛනයක ඉසුරුමෙණු යනුවෙන් සඳහන්ව තිබුණු නිසා මෙය නියම වෙස්සගිරිය විහාරය ද යන්න සැකයට තුඩු දෙන කාරණයක් බවට පත්ව තිබෙනවා. මීට දශක ගණනාවකට පෙර අභයගිරි ස්තූපය සහ ජේතවන ස්තූපය මාරු වී හඳුනාගෙන තිබුණා. අදටත් පැරණි ඉතිහාස පොතක් ගෙන බැලුවොත් ජේතවනාරාම ස්තූපයට අභයගිරිය යන නාමයත් අභයගිරි ස්තූපයට ජේතවනාරාමය යන නාමයත් භාවිතා කර තිබෙන ආකාරය දැකිය හැකියි. ඉතිහාසය තුළ එවැනි වැරදි සිදුවී ඇති නිසා වර්තමාන වෙස්සගිරිය විහාරය වෙනත් විහාරයක් වීමට තිබෙන ඉඩ වැඩියි. එසේම වළගම්බා රජු පළා යාම පිළිබඳ පුවත සත්‍ය නම් මෙය නියම වෙස්සගිරි විහාරය විය නොහැකියි. එදා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් අනුරාධපුරයට පැමිණෙන විට වළගම්බා රජතුමා පළා ගියේ වර්තමානයේ අභයගිරි ස්තූපය පිහිටා තිබෙන ප්‍රදේශය හරහා යි. අභයගිරි ස්තූපය අනුරාධපුර නගරයේ උතුරු දිශාවෙන් පිහිටා තිබෙන නිසා රජතුමා පළා ගියේ අනුරාධපුරයෙන් උතුරු දිශාවටයැ යි නිගමනය කළ හැකියි. රජතුමා එලෙස පළා ගොස් සැඟවුණේ වෙස්සගිරිය විහාරයේ යි. ඒ අනුව එම විහාරය අනුරාධපුර නගරයට උතුරු දෙසින් පිහිටා තිබිය යුතු යි. නමුත් වර්තමානයේ වෙස්සගිරිය යන නමින් හඳුන්වනු ලබන විහාරය අනුරාධපුර නගරයට දකුණු දෙසින් පිහිටා තිබෙනවා. එනිසා මෙය නියම වෙස්සගිරි විහාරය වීමට තිබෙන ඉඩකඩ අවම බවට සැක පලවී තිබෙනවා. එසේම සතුරන්ට බියෙන් පළා යන වළගම්බා රජු අනුරාධපුර නගරය ආසන්නයේ පෙදෙසක සැඟවී සිටි බව ද පිළිගැනීමට අපහසු යි. එවැනි හේතු නිසා මෙය නියම වෙස්සගිරි විහාරයම දැයි සැකයක් පවතිනවා. 

මහාචාර්ය සෙනරත් පරණවිතාන මීට කලකට පෙර ප්‍රකාශ කර සිටියේ නියම වෙස්සගිරි විහාරය දඹුල්ල ප්‍රදේශයේ පිහිටා තිබිය හැකි බව යි. එසේම මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් අනුමාන කරන්නේ ගල්ගමුව දිවුල්ගනේ ප්‍රදේශයේ පිහිටා තිබෙන කදුරුවැව නම් ඓතිහාසික ස්ථානය නියම වෙස්සගිරිය විහාරය වීමට ඉඩ ඇති බව යි. වර්තමානය වන විට නියම වෙස්සගිරිය විහාරය පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යවලට අනුව නිවැරදිවම හඳුනාගෙන නැතත්, දැනට වෙස්සගිරිය නමින් අප හඳුනන විහාරය ද ඉතා පෞරාණික, විශාල වටිනාකමකින් යුත් බිමක් බවට සැක නැහැ. 

කවරයේ ඡායාරූපය- වර්තමානයේ දී වෙස්සගිරිය ලෙසින් හඳුන්වනු ලබන විහාරය (archeology.lk)

මූලාශ්‍රයයින්- මහාවංසය

                        පුරාණ අනුරාධපුරය- අනුරාධ සෙනෙවිරත්න

Related Articles