අද්භූත විශ්වාස නිසා තැනින් තැනට ගෙනගිය වික්ටෝරියා ප්‍රතිමාව

දීර්ඝ කාලයක් තිස්සේ පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යන ජාතීන් යටතේ පාලනය වූ ලංකාව, 1948 වසරේ දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබාගැනීමෙන් අනතුරුව නිදහස් රටක් බවට පත් විය. ඔවුන් සහ ඔවුන් යටතේ අප රට පාලනය වූ කාල සිමාව පිළිබඳව විවිධ මතවාදයන් ද තිබේ. රටක් ලෙස අපට මුහුණ දීමට සිදුවූ බොහෝ අවාසනාවන්ත සිදුවීම්, ඛේදවාචකයන්, සහ අසාධාරණකම් සඳහා මේ විදෙස් ජාතීන් හේතුව වූවත්, රට දියුණු වීමට අවශ්‍ය ඇතැම් යටිතල පහසුකම්, නීති පද්ධති, ආණ්ඩුක්‍රම ආදිය ඔවුන්ගෙන් අපට ලැබී තිබේ.

යටත්විජිත පාලකයින් අප රට තුළ ඉදිකළ සුවිසල් ගොඩනැගිලි, දුම්රිය මාර්ග, මහා මාර්ග, රාජකීය උද්‍යාන රැසක් වර්තමානය වන විටත් මෙරට දක්නට ලැබේ. එමෙන්ම නිදහස ලබා වසර 73ක් ගත වන වර්තමානය වන විට ද, අප විදේශිකයින් යටතේ පාලනය වූ රටක් බව සිහිගන්වන ස්මාරක ද රට පුරා තැනින් තැන දක්නට ලැබේ. මෙම ලිපිය හරහා ඔබට පවසන්නට යන්නේ ද, කොළඹ නගරයේ පිහිටි එවැනි සුවිශේෂී ස්මාරකයක් පිළිබඳව යි.

කොළඹ හතේ වික්ටෝරියා ස්මාරකය

කොළඹ 7, ලයනල් වෙන්ට් රඟහල අසල මාර්ගය දෙපස චිත්‍ර අලෙවි කිරීම සඳහා තබා ඇති අයුරු ඔබ බොහෝදෙනා අනිවාර්යෙන්ම දැක ඇත. මේ ලිපියේ කියැවෙන ස්මාරකය පිහිටුවා තිබෙන්නේ එම ස්ථානයට යාබදව යි. ක්‍රි.ව. 1819 දී උපත ලබා, හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලි ලත් මහා බ්‍රිතාන්‍යය සහ ඊට යටත්ව පැවැති සියලුම රටවල රාජ්‍ය නායිකාව ලෙස 1837 සිට 1901 වසරේ සිදුවූ සිය මරණය දක්වා කටයුතු කළ වික්ටෝරියා මහා රැජිනගේ ප්‍රතිමාවක් වන මෙය ක්‍රි. ව. 1893 දී නිර්මාණය කර තිබෙන බව මූලාශ්‍රවල සඳහන් වෙනවා.

වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාව

වික්ටෝරියා රැජින අභිෂේක ලබා වසර 60ක් ගතවීම, එනම් ඇය ඔටුණු පැළඳීමේ දියමන්ති ජුබිලිය 1897 වසරට යෙදී තිබුණු අතර, එය සැමරීම පිණිස මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සහ දේශපාලනඥයින්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ ජෝර්ජ් එඩ්වඩ් වේඩ් (1853- 1933). මෙම ප්‍රතිමාව මුලින්ම පිහිටුවා ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ නිල නිවාස ලෙස භාවිත කළ (වර්තමාන ජනාධිපති මන්දිරය) අසල වන අතර, එය වර්තමානයේ පිහිටුවා ඇති ස්ථානයේ ස්ථාපිත කරන තුරු වෙනත් ස්ථානයන් කිහිපයකම තැන්පත් කර තිබෙනවා.

වික්ටෝරියා පිළිමය තැනින් තැනට ගෙනයයි

මුල දී ජනපති මැදුර අසලා පිහිටුවා තිබුණ ද, මෙම ප්‍රතිමාවෙන් යම් යම් අහිතකර බලපෑම් පැමිණිය හැකි බවට පසුකාලීනව පැතිරුණු විශ්වාසයක් නිසා එය ජනාධිපති මන්දිරය ආසන්නයෙන් ඉවත්කර කොළඹ ජාතික පුස්තකාලය අසල පිහිටි භූමි ප්‍රදේශයක, මහජනයාට ප්‍රදර්ශනය නොවන පරිදි ස්ථාපිත කළා. කෙසේ නමුත් 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෙදුනු පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට, වික්ටෝරියා රැජිණගේ මීමුණුපුරෙකු වූ, මහා බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ නිසා මෙම ප්‍රතිමාව නැවැතත් වඩා සුදුසු ස්ථානයක ස්ථාපිත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු උනා.

ඒ අනුව ගනු ලැබූ තීරණයක් මත වික්ටෝරියා රැජිනගේ ප්‍රතිමාව කලක් “වික්ටෝරියා උද්‍යානය” ලෙස හැඳින්වූ, අද කොළඹ විහාරමහාදේවි උද්‍යානය ආසන්නයේ පිහිටි, වර්තමානයේ එය දැකිය හැකි ස්ථානයේ ස්ථාපිත කෙරුනා. වික්ටෝරියා රැජින සිය සිංහාසනයේ අසුන්ගෙන සිටින අයුරු මෙම ප්‍රතිමාවෙන් නිරුපනය කෙරෙන අතර අද වන විට එය අවස්ථා ගණනාවක දී ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

වික්ටෝරියා රැජින/ britannica.com

වික්ටෝරියා රැජිණ කවුද?

1837 වසරේ සිට 1901 ජනවාරි 22 දක්වා මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, සහ හිරු නොබසින අධිරාජ්‍යය යටතේ පැවැති, ලංකාව ද ඇතුළු සියලුම රටවල රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළ වික්ටෝරියා රැජිනගේ පාලන කාලය “වික්ටෝරියානු යුගය” ලෙස හැඳින්වෙනවා. එම යුගය කාර්මික, දේශපාලන, විද්‍යාත්මක, සහ යුධමය වශයෙන් විශාල පුනරුදයක් ඇති වූ කාල සීමාවක් වුණා. 1876 ​​වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ඇයට “ඉන්දියාවේ අධිරාජ්‍යයා” යන අතිරේක පදවි නාමය ලබා දුන්නා.

වික්ටෝරියා රැජිනගේ දෙමව්පියන් වූයේ කෙන්ට් සහ ස්ට්‍රැතර්න්හි ආදිපාදවරයා ද තුන්වන ජෝර්ජ් රජුගේ සිව්වන පුත්‍රයා ද වූ එඩ්වඩ් කුමරු සහ සැක්සිකෝබර්ග්-සාල්ෆෙල්ඩ්හි වික්ටෝරියා කුමරිය යි. 1820 වන විට ආදිපාදවරයා සහ ඔහුගේ පියා ද මියගොස් තිබූ අතර, වික්ටෝරියා කුමරිය ඇයගේ මව සහ ඇගේ මවගේ මූල්‍ය පාලනාධිකාරී ජෝන් කොන්රෝයිගේ දැඩි අධීක්ෂණය යටතේ හැදී වැඩුනා. වයස අවුරුදු 18 දී ඇයට සිංහාසනය උරුම වුණා. වසර 64කට ආසන්න කාලයක් කිරුළ දැරූ ඇය දීර්ඝතම කාලයක් මහා බ්‍රිතාන්‍යයේ කිරුල දැරූ තැනැත්තා ලෙස ඉතිහාසයට එක් වූ නමුත්, ඇයගේ මිනිපිරියක සහ බ්‍රිතාන්‍ය කිරීටය වර්තමානයේ හොබවන දෙවැනි එලිසබෙත් රැජින එම වාර්තාව බිඳහෙලුවා.

වික්ටෝරියා රැජිණ සහ ඇල්බර්ට් කුමරු/The Sun

 

වික්ටෝරියා රැජිණ සිය ඥාති සොහොයුරෙකු වූ ඇල්බට් කුමරු සමග 1840 දී විවාහ වුණා. ඔවුන්ගේ දරුවන් යුරෝපය පුරා රටවල් රැසක රාජකීය පවුල් සහ වෙනත් ප්‍රභූ පවුල් සමග විවාහ වූ නිසා, වික්ටෝරිය රැජින ‘යුරෝපයේ මිත්තනිය’ ලෙස හැඳින්වෙනවා. 1861 වසරේ දී සිදුවූ ඇල්බට් කුමරුන්ගේ අභාවයෙන් පසුව දැඩි කනස්සල්ලෙන් පසු වූ වික්ටෝරියා රැජින ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකුණු නමුත් ඇයගේ පාලන කාලයේ අවසන් සමයේ දී නැවත ජනයා ඉදිරියේ පෙනී සිටීමෙන් පෙර තිබූ ජනප්‍රියත්වය නැවතත් ළඟා කරගැනීමට ඇයට හැකිව තිබෙනවා.

මෙරට පැරණිතම උද්‍යානවලින් එකක් ලෙස සැලකෙන, කොළඹ නගරයේ පිහිටි විහාරමහාදේවි උද්‍යානය ද ඉදිකර තිබෙන්නේ ඇයගේ පාලන කාලයේ යි. ඒ හේතුවෙන් එය මුලින්ම හඳුන්වා ඇත්තේ “වික්ටෝරියා උද්‍යානය” යනුවෙනුයි. කෙසේ වෙතත් පසුකාලීනව, වර්ෂ 1958 දී පමණ, එය විහාරමහාදේවි උද්‍යානය ලෙස නැවත නම්කොට තිබෙනවා.

Related Articles