කියුබානු විප්ලවයේ ජයග්‍රහණය

මොන්කාඩා  බැරක්කයට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයත් සමග​ බොහෝ විප්ලවකරුවන් ප්‍රමාණයක් මරා දමන අතර පසුව අසු වූ කැස්ත්‍රෝ සහෝදරයන් දෙදෙනා හා අනෙකුත් නායකයන් වසර ගණනාවකට සිර ගත කිරීමට අධිකරණය  විසින් තීරණය කරනවා. ඒ පිළිබඳව තොරතුරු පසුගිය ලිපියෙන් ගෙන ආ අතර අද දිග හැරෙන්නේ හිරෙන් නිදහස්ව මෙක්සිකෝවට පිටුවහල් කරන කැස්ත්‍රෝ ඇතුළු පිරිස නැවතත් හොර රහසේ කියුබාවට පැමිණ සන්නද්ධ අරගලයක් තුළින් බැටිස්ටා පාලනය පරාජය කර කියුබානු විප්ලවය ජයගත් ආකාරය පිළිබඳවයි.

මෙක්සිකෝවට පිටුවහල් කිරීම

ෆිදෙල් මෙක්සිකෝවේදී (Getty Images)

කැස්ත්‍රෝ හා ජූලි 26 ව්‍යාපාරයේ ඉහළ පෙළේ නායකන් පිරිස ඊස්ල ද පීනස් (Isla de Pinos) නම් කියුබානු දූපතේ රදවා තබන්නේ මොන්කාඩා ප්‍රහාරයේ වැරදිකරුවන් බවට පත්කර වසර ගණනක සිර දඬුවමකට යටත් කිරීමෙන් පසුවයි.ඉන් පසුව  කියුබාව තුළ කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාර වල යෙදීම තහනම් කිරීමට ද බැටිස්ටා විසින් තීරණය කරනවා.

දිගින් දිගටම එල්ල වන දේශපාලන බලපෑම් හමුවේ මෙන්ම ජනතා විරෝධතාවය හේතුවෙන් විප්ලවකරුවන් නිදහස් කිරීමට කියුබානු ජනාධිපති බැටිස්ටාට සිදුවෙන අතර ඔහු කැස්ත්‍රෝ ඇතුළු පිරිස නිදහස් කර මෙක්සිකෝවට පිටුවහල් කිරීමට තීරණය කරනවා.

ඒ අනුව 1955 වසරේ මැයි මාසයේදී  කස්ත්‍රෝ ඇතුළු පිරිස මෙක්සිකෝවට පිටුවහල් කිරීම සිදු වෙනවා.

“ජූලි 26 ව්‍යාපාරය” සංවිධානයේ භටයන් ගරිල්ලා පුහුණුව ලැබීම

චේ හා පිදෙල් මෙක්සිකෝවේ දී (Güneyin Işıkları / THE AURORA AUSTRALIS)

මෙක්සිකෝවට පිටුවහල් කිරීමෙන් පසු බැටිස්ටා පරාජය කිරීම සඳහා ෆිදෙල් හා රාවුල් එක්ව කරන ලද සොයාබැලීම් හේතුවෙන් එහිදී හොර රහසේ ගරිල්ලා භට පුහුණුව ලබා ගන්නට මෙම පිරිසට හැකියාව ලැබෙනවා. ඒ ඇල්බෙර්ටෝ බේයා (Alberto Bayo) නම් ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී සටන් කළ රිපබ්ලිකන් පාර්ශවයේ යුධ නායකයෙක් හරහායි.

ඔවුන්ට 1955 වසරේ ජූනි මාසයේදී විප්ලවීය අදහස් ඇති තරුණයෙක් වූ අර්නෙස්ටෝ ගුවේරා (Ernesto Guevara) හෙවත් චේ මුණ ගැසෙන අතර ඔහු ෆිදෙල්ගේ ප්‍රධාන උපදේශකයා බවට පත්වන්නේ මේ අතරවාරයේදියි. එහිදී කියුබාවට ගොස් බැටිස්ටා පාලනය බිද දැමීමට සැළසුම් සකස් වෙන අතර මෙම කණ්ඩායම “ජූලි 26 ව්‍යාපාරය” ලෙස නම් කරන්නට ෆිදෙල් විසින් තීරණය කරන්නේ ඔවුන්ගේ පළමු ප්‍රහාරය සිහි නැංවීම උදෙසායි.

කියුබාව බලා …

ග්‍රැන්මා බෝට්ටුව (Cuba 1952-1959 – Blogger)

මෙලෙස සංවිධානය වන ෆිදෙල්, රාවුල්, චේ හා කැමිලෝ සියෙන්ෆුවේගොස් ආදී ගරිල්ලා නායකන්ගේ ප්‍රධානත්වයෙන් විප්ලවවාදීන් කණ්ඩායමක් 1956 නොවැම්බර් 25 වන දා මෙක්සිකෝවේ වෙරකෘස් (Veracruz) සිට කියුබාව බලා ග්‍රැන්මා (Granma) නම් සැහැල්ලු බෝට්ටුවේ නැගී පිටත් වුණා. එය සාමාන්‍යයෙන් 12 දෙනෙකුට ගමන් කළ හැකි බෝට්ටුවක් වූ අතර උපරිමය වූයේ මගීන් 25 දෙනෙක් පමණයි. නමුත් මෙහි නැගී කියුබාව බලා ඒමට පිටත් වූ විප්ලවවාදීන් ප්‍රමාණය 81ක් විය. ඊට හේතුව වූයේ ප්‍රමාණවත් තරම් විශාලවත් නෞකාවක් හෝ බෝට්ටුවක් මිල දී ගැනීමට ජුලි 26 ව්‍යාපාරය සතුව අරමුදල් නොතිබීමයි.

දෙසැම්බර් 2 වනදා වන විට කියුබාවේ ප්ලයා ලස් කොලරාඩස් (Playa Las Coloradas) වෙත බෝට්ටුව ළඟා වූ අතර එහි තිබූ අධික බර නිසා ඔවුන්ට පැමිණීමට අපේක්ෂිත කාලයට වඩා දින දෙකක අමතර කාලයක් ගමන සඳහා ගත වෙනවා. ගොඩ බැස විගසම සියේරා මැඑස්ට්‍රා (Sierra Maestra) කඳු ප්‍රදේශයට ගොස් සැඟවීම ගරිල්ලන්ගේ අරමුණ විය. ගොඩ බිමට පැමිණ දින තුනකින් පමණ බැටිස්ටාගේ හමුදාව ඔවුන් සොයා එන අතර සියේරා මැඑස්ට්‍රා ප්‍රදේශයේ සිදු වූ දරුණු ගැටුම් හේතුවෙන් පැමිණි ගරිල්ලා භටයන් 81ක් අතුරින් ඉතිරි වන්නේ 20 ක් පමණ කැරලිකරුවන් පිරිසක් පමණයි. ඇති වූ ගැටුම් වලින් සියළු කැරලිකරුවන් මියගිය බව බැටිස්ටා රජය විසින් ප්‍රකාශ කර සිටිනවා.

ශිෂ්‍ය විප්ලවවාදීගේ සහය ලැබීම

අර්නෙස්ටෝ ගුවේරා (Liberation School)

හවානා නුවර බිහි වූ ශිෂ්‍ය විප්ලවාදී  (Student Revolutionary Directorate) සංවිධානය ද මේ වන විට බැටිස්ටාගේ ඒකාධිපති පාලනයට එරෙහිව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට පිවිසී සිටි අතර ඔවුන් විසින් 1957 වසරේ මාර්තු 13 වන දා බැටිස්ටාගේ ජනාධිපති මන්දිරයට අසාර්ථක පහර දීමක් සිදු කරනවා.

එහිදී එම සංවිධානයේ නායකයා වන හොසේ අන්තෝනියෝ (José Antonio Echeverría) මිය යනවා. මෙම සංවිධානය පසුව කැස්ත්‍රෝ පාලනයට තදින් විරුද්ධ වූවත් මුල් කාලයේදී ජුලි 26 ව්‍යාපාරය සමග සම්බන්ධව​ සිටි අතර බොහෝ දෙනෙක් චේ ගුවේරා නායකත්වය දෙන කණ්ඩායමට ඇතුල් වෙනවා. මේ අතරතුර සියේරා මැඑස්ට්‍රා කදු ප්‍රදේශයේ සිටි පිදෙල්, චේ ඇතුළු ගරිල්ලා කණ්ඩායම ප්‍රදේශයේ වැසියන්ගේ උපකාර මත සංවිධානයට නව භටයන් බදවා ගැනීම සිදු කරනවා.

කඳු ප්‍රදේශයේ සිට බැටිස්ටා හමුදාවට කුඩා කණ්ඩායම් වශයෙන් ප්‍රහාර එල්ල කරන්නට ගරිල්ලන් සමත් වෙන අතර ඔවුන්ගේ මෙම හදිසි පහරදීම් හමුවේ සියේරා මැඑස්ට්‍රා ප්‍රදේශයේ බලය ගරිල්ලන් විසින් අත්පත් කරගන්නවා. මීට අමතරව ඔවුන් විසින් කඳුකරයේ සිට විසුරුවා හරින ලද ගුවන්විදුලි නාළිකාවක් (Radio Rebelde) හරහා තම සංවිධානයේ පණිවුඩ කියුබානු ජනතාවට ලබා දීමට සමත් වෙනවා.

තවද මෙම කාලය තුළ මහජන වැඩ වර්ජන, බැටිස්ටා රජයට එරෙහිව ක්‍රියාත්මක කරවීමට “ජූලි 26 ව්‍යාපාරය” සමත් වෙනවා. කුඩා කණ්ඩායමක් බැවින් මුල් කාලයේදී බැටිස්ටා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

බැටිස්ටාගේ ගිම්හාන මෙහෙයුම (Operation Verano)

පිදෙල් මාධ්‍යවේදියෙක් වන බොබ් ටේබර් සමඟ සියේරා මැඑස්ට්‍රා හිදී (Age of Revolutions)

1958 වසරේ ජූනි මාසයේදී සියේරා මැඑස්ට්‍රා ආක්‍රමණය කිරීමට සැරසෙන බැටිස්ටා, ගරිල්ලන් 300 ක පමණ පිරිසක් සඳහා 12,000 ක භට කණ්ඩායමක් ප්‍රදේශය වෙත පිටත් කර එවනවා. මෙම මෙහෙයුම යටතේ ලා ප්ලාටා සටන (Battle of La Plata) හා ලාස් මෙසියිඩිස් (Battle of Las Mercedes) යන සටන් දෙපිරිස අතර ඇවිලී යනවා. එහිදී චේ ගුවේරාගේ නායකත්වයෙන් යුතු ගරිල්ලා කණ්ඩායම් මුල් වරට කියුබානු හමුදාවට රැක සිට ගරිල්ලා ප්‍රහාර එල්ල කරන අතර අගෝස්තු මාසයේ සටන අවසන් වන විට කියුබානු හමුදා භටයන් 240ක් පමණ ගරිල්ලන්ගේ සිරකරුවන් බවට පත්වෙනවා සේම බොහෝ යුධ අවි ප්‍රමාණයක් ගරිල්ලන් අතට පත්වෙනවා.

යගුජෙයි සටන හා සැන්ට ක්ලාරා සටන

චේ, පිදෙල් ඇතුළු පිරිස සියේරා මැඑස්ට්‍රා කඳු ප්‍රදේශයේ (Pinterest)

සැන්ට ක්ලාරා නගරය ආසන්නයේදී ගරිල්ල්ලන් විසින් සිදු කළ යගුජෙයි (Yaguajay) මෙහෙයුමෙන් බැටිස්ටාගේ හමුදාවට අන්ත පරාජයක් හිමිවෙනවා. කැමිලෝ නම් ගරිල්ලා නායකයා (Camilo Cienfuegos) මෙම සටනට අණ දුන් අතර 1958 වසරේ දෙසැම්බර් මස පැවති මෙහෙයුමෙන් ගරිල්ලා භටයන් ජයග්‍රහණය​ කරනවා.

කැමිලෝ මෙම සටනේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් “යගුජෙයි හි වීරයා” (The Hero of Yaguajay) ලෙස හදුන්වනවා. 19859 ජනවාරි පළමු වනදා චේ ගුවේරාගේ නායකත්වයෙන් යුත් ගරිල්ලා භට කණ්ඩායමක් විසින් කියුබානු හමුදාවට එරෙහිව කළ සැන්ට ක්ලාරා සටනෙන් පසුව සැන්ට ක්ලාරා නගරයේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වෙනවා.

ගරිල්ල භටයන් හවානා නුවරට ඇතුල් වෙයි

ෆිදෙල් ප්‍රමුඛ ගරිල්ලන් හවානා නුවරට පැමිණීම (Google Sites)

මේ වන විට බැටිස්ටා තම ජනාධිපති ධුරයෙන් ඉවත් වී රටේ පාලනය හමුදා ප්‍රධානී ජෙනරාල් යූලජියෝ කන්ටිලෝ (Gen. Eulogio Cantillo) ට පවරා ඩොමිනිකන් ජනරජය (Dominican Republic) බලා පළාගොස් තිබූ අතර ගුවේරාගේ ප්‍රථම ගරිල්ලා කණ්ඩායම ජනවාරි 3 වනදා හවානා නගරයට ඇතුල් වෙනවා.

මේ වන විටත් බැටිස්ටා පළාගොස් සිටි අතර පිදෙල් ඇතුළු විප්ලව වාදීන් 9000 ක් පමණ ජනවාරි 7 වන දා රථ පෙළපාලියකින් හවානා නගරයට ඇතුල් වන්නේ කිසිදු සටනකින් තොරවයි. පසුව පැවැත් වූ අධිකරණ ක්‍රියාවලියකින් පසු බැටිස්ටා හිතවාදී බොහෝ දෙනෙකුට මරණ දඬුවම හිමිවෙන අතර ෆිදෙල් කියුබානු අගමැතිවරයා බවට පත්වෙනවා.

ෆිදෙල් හා ඇමරිකාව අතර මේ වන තුරු විශාල ඝට්ටනයක් නොතිබූ අතර 1961 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානුවන්ට අයත් කියුබාවේ සියළුම ඉඩම් හා ව්‍යාපාර ජනසතු කිරීම තුළින් ඇමරිකාව, කියුබාව සමඟ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවත්වනු ලබනවා. ඉන් පසුව ඇරඹෙන්නේ ඇමරිකානු – කියුබානු විරසකයයි.

කවරයේ ජායාරූපය – විප්ලවයෙන් පසුව, වමේ සිට පිදෙල්, ඔස්වල්ඩො, චේ, ඔගස්ටෝ හා අන්තෝනියෝ හවානා නුවර දී (forhumanliberation.blogspot.com)

Related Articles