තෝරු මෝරු ගැටෙද්දී හල්මැස්සන් තැලුණ 1812 යුද්ධය​

ඇමරිකානු නිදහස් සටනට ස්වල්ප කලකට පසු බ්‍රිතාන්‍යය වඩා විශාල යුද්ධයකට පැටළුණා. ඒ විප්ලවකාරී ප්‍රංශය සමග යි. ප්‍රංශයේ නායකත්වයට නැපෝලියන් පත්වීමත් සමග මේ යුද්ධය තවත් බරපතල අතට හැරුණා. මෙහි අතුරුඵලයක් ලෙස බ්‍රිතාන්‍යය නැවතත් ඇමරිකාව සමග ගැටුමකට පැටළුණා.

1812 දී අරඹන ලද හෙයින් මෙම යුද්ධයට 1812 යුද්ධය (එක්දහස් අටසිය දොළහේ යුද්ධය​) යි නම් තබා තිබෙනවා. මෙම යුද්ධය නිම වූයේ ප්‍රධාන පාර්ශව දෙක අතර ජය පැරදුමකින් තොරව යි. නමුත් යුද්ධයට සහභාගී වූ තුන්වන පාර්ශවයක් ඉන් පරාජයට පත්ව ඔවුන් අවාසි සහගත තත්ත්වයකට පත් වුණා. ස්වදේශික ඇමරිකානුවන් එම පාර්ශවය යි.

වෙළෙඳ සම්බාධක

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර යුද්ධය පිළිබඳ ඇමරිකානුවන් තුළ එතරම් විශාල අප්‍රසාදයක් වූයේ නැහැ. මධ්‍යස්ථව සිටිමින් දෙපාර්ශවය සමගම වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වුණා. නමුත් බ්‍රිතාන්‍යයන් ඊට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඔවුන් ප්‍රංශයට එරෙහි වෙළෙඳ බාධකයක් ක්‍රියාත්මක කළා. බ්‍රිතාන්‍යය සතු වූ විශාල නාවික යාත්‍රා ප්‍රමාණය හේතුවෙන් ඔවුනට මෙය පවත්වාගෙන යාමට පුළුවන් වුණා.

ප්‍රංශය සමග වෙළෙඳාම් කරන මධ්‍යස්ථ රටවල නැව් පවා පරීක්ෂා කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළා. මෙය ඇමරිකානුවන් ගේ නොසතුටට හේතු වුණා. එමෙන්ම බ්‍රිතාන්‍යයන් ඇමරිකන් නාවිකයන්ව තම නැව්වල රාජකාරි කිරීම සඳහා පොළඹවා ගැනීමේ ක්‍රියාවලියක් ද ගෙනගියා.

1791 මාර්තු වනවිට ඇමරිකා එක්සත් ජනපදය (Wikimedia Commons)

බ්‍රිතාන්‍යයන් විසින් ගෙනගිය මෙම ක්‍රියාකලාපයන් ඇමරිකානුවන් සමහරකගේ කෝපයට හේතු වුණා. 1807 චෙසපීක් – ලෙපාර්ඩ් සිද්ධිය වූයේ මේ අතර යි. බ්‍රිතාන්‍ය යුධ නෞකාවක් වූ ලෙපාර්ඩ් නෞකාව ඇමරිකානු යුධ නැවක් වූ චෙසපීක් හඹා ආවා. එයට හේතු වූයේ ලෙපාර්ඩ් නැවෙන් පළා ගිය නාවිකයන් සිව් දෙනකු චෙසපීක් නැවෙහි වන බවට වූ රාවය යි. ලෙපාර්ඩ් නැව විසින් චෙසපීක් නැවට වෙඩි තැබූ අතර චෙසපීක් නෞකාව යටත් වුණා. ලෙපාර්ඩ් හි නාවිකයන් පැමිණ චෙසපීක් හි වූ තම නැවෙන් පළාගිය බව කියන සිව් දෙනා රැගෙන ගියා.

මෙම සිද්ධියෙන් පසු දෙරට අතර උණුසුම්කාරී තත්ත්වයක් පැවතුණා. එය තවත් උත්සන්න කළේ ස්වදේශික ඇමරිකානුවන්ට එරෙහිව ඇමරිකානුවන් කරගෙන ගිය යුධ ව්‍යාපාරය යි.

ටෙකුම්සේගේ යුද්ධ​

ඇමරිකානු නිදහස් සටන අවසානයේ, 1783 දී එළඹුණ ගිවිසුම් ප්‍රකාරව බ්‍රිතාන්‍යයන් විසින් ඔහායෝ නදියෙන් උතුරෙහි වූ බිම් කොටසක් ඇමරිකාව වෙත ලබා දුන්නා. ඔහායෝ, ඉන්දියානා, ඉලිනෝයි, විස්කොන්සින්, සහ මිෂිගන් යන වර්තමාන ප්‍රාන්ත මෙම ප්‍රදේශයේ වුණා. එහෙත් 1783 වෙද්දී මෙහි ජීවත් වූයේ ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර යි.

1812 වනවිට ඇමරිකා එක්සත් ජනපදය (Wikimedia Commons)

ඇමරිකානුවන්ට මෙම ගෝත්‍රයන් යටපත් කර වයඹදිග ප්‍රදේශ ලෙස තමන් විසින් හැඳින්වූ ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමට අවශ්‍ය වුණා. මේ සඳහා කළ හමුදා මෙහෙයුම්වල නායකයා ලෙස කටයුතු කළේ ජෙනරාල් විලියම් හෙන්රි හැරිසන් නම් නිලධාරියා ය (ඔහු පසු කලෙක ජනාධිපති ධුරයට ද පත් වුණා).

වයඹදිග ප්‍රදේශයන්හි විශිෂ්ට ස්වදේශික නායකයකු බිහි වූයේ මේ සමයේ යි. ඔහු ටෙකුම්සේ නම් වුණා. ඉන්දියානු ගෝත්‍ර බෙදී සිටීම ඔවුනට අවාසි සහගත බවත්, ඇමරිකානුවන් ඒ එක් එක් ගෝත්‍රය තනි තනිව ගෙන පරාජය කරන බවත් ටෙකුම්සේ තේරුම් ගත්තා. ඒ අනුව ඔහු ස්වදේශික ගෝත්‍ර එක් කිරීමේ උත්සාහයක් ගත්තා. ටෙකුම්සේගේ සංධානය බිහි වූයේ එලෙස යි.

1811 දී දෙපාර්ශවය අතර වූ ටිපකැනූ සංග්‍රාමයෙන් පසු ඇමරිකානුවන් ස්වදේශිකයන් ළඟ තිබූ බ්‍රිතාන්‍ය ආයුධ සොයාගත්තා. බ්‍රිතාන්‍යයන් ස්වදේශිකයන්ට සහය දෙන බවට ඇමරිකානුවන් තුළ වූ සැකය මින් තවත් තීව්‍ර වුණා.

යුධ ප්‍රකාශ කිරීම

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව යුධ ප්‍රකාශ කිරීම කොන්ග්‍රස් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. 1812 ජූනි 1 වනදා ජනාධිපති ජේම්ස් මැඩිසන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඇමරිකානුවන් විසින් මතු කළ චෝදනා පිළිබඳ කොන් ග්‍රස් සභාව වෙත දන්වා යැව්වා. එහෙත් ඔහු යුධ ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළේ නැහැ. කොන්ග්‍රස් සභාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මෙම කරුණු විවාදයට ගත් අවස්ථාවේ යුධවාදී කඳවුර ප්‍රබල ලෙස ඉස්මතු වුණා. දින හතරක විවාදයකින් පසු ඡන්ද 79ට 49ක් ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුධ ප්‍රකාශ කිරීමට අනුමැතිය දුන්නා.

ජේම්ස් මැඩිසන් (Public Domain)

සෙනට් සභාවේ දී මෙම විවාදය මීට වඩා බරපතල වූ අතර අවසානයේ එහිදී ද ඡන්ද 19ට 13ක් ලෙස යුධ ප්‍රකාශ කිරීමට අනුමැතිය ලැබුණා. ජූනි 18 වනදා මැඩිසන් යුධ ප්‍රකාශ කිරීමට අනුමැතිය දෙමින් සිය අත්සන තැබුවා.

මුල් අවස්ථා

මෙම අවස්ථාවේ ඇමරිකානුවන්ට වාසියට සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපයේ වඩා බරපතල යුද්ධයක පැටලී සිටීම යි. එහෙත් ඇමරිකානු වෙරළ ප්‍රදේශය වෙත සැලකිය යුතු නාවික යාත්‍රා ප්‍රමාණයක් එවීමට බ්‍රිතාන්‍යයට හැකි වුණා. මේ අතර නැපෝලියන් ද රුසියාවට එරෙහිව යුධ ව්‍යාපාරයක් ඇරඹීම බ්‍රිතාන්‍යයන්ට වාසිදායක වුණා.

තනි තනි සටන්වල දී ඇමරිකානු නෞකා යම් සාර්ථකත්වයක් ලැබුවා. යුද්ධයේ මුල් මාසවල ඇමරිකන් යුධ හමුදා අසාර්ථක වෙද්දී ඔවුන්ට සැමරීමට තිබුණේ මෙම නාවික ජයග්‍රහණ පමණ යි. එහෙත් තනි තනි ජයග්‍රහණ කිහිපයක් මගින් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට කළ හැකි වූ සමස්ථ හානිය ඉතා අල්ප වුණා.

යුද්ධය පටන් ගත් අවස්ථාවේ ඇමරිකානු තර්ජනය යොමු වූයේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති කැනඩාව දෙසට යි. ඇමරිකානුවන් තුන් පසෙකින් කැනඩාවට කඩා වැදීමට උත්සාහ කළ ද එම තුන් පසින්ම ඔවුන් පරාජය කෙරුණා.

මුල් කාලීන ඇමරිකන් ජෙනරාල්වරුන් වැඩි දෙනෙක් වයස්ගත​, සම්ප්‍රදායික නිලධාරීන් වූ අතර බ්‍රිතාන්‍යයන් හමුවේ ඔවුන් පහසුවෙන් පරාජය කෙරුණා. ආරම්භක මාසවල සිදු වූ දරුණුම පරාජයක් වූයේ ඩිට්‍රොයිට් බලකොටුව යටත් වීම යි. 1812 අගෝස්තු 16 වන දා ඇමරිකන් ජෙනරාල් විලියම් හල්ගේ අණ පරිදි එම බලකොටුව සුදු කොඩියක් ඔසවා යටත් වුණා. මෙය ඇමරිකානු භූමිය තුළ බලකොටුවක් සුදු කොඩියක් ඔසවා යටත් වූ එකම අවස්ථාව ලෙස සැලකෙනවා. ජෙනරාල් හල් පසු කලෙක යුධ අධිකරණයක් හමුවට පමුණුවා මරණ දඬුවමට නියම කරන ලද නමුත් ජේම්ස් මැඩිසන් විසින් ඔහුට සමාව දෙනු ලැබුණා.

ටෙකුම්සේගේ අවසානය

සමුද්‍රයේ මෙන්ම පංච මහා විල් ප්‍රදේශයේ ද නාවික සටන් යුද්ධයට වැදගත් වුණා. ඊරි විලෙහි නාවික බලය තමන් අතට පත්කර ගැනීමට 1813 දී ඇමරිකානුවන් සමත් වුණා. ඒ සමගම ඩිට්‍රොයිට් බලකොටුව වෙත වූ සැපයුම් මාර්ග බිඳ වැටුණා. එහෙයින් බ්‍රිතාන්‍ය ජෙනරාල් හෙන්රි ප්‍රොක්ටර් සිය හමුදා රැගෙන කැනඩාවේ තේම්ස් නදිය දිගේ පසුබැස්සා. ඒ සමග ටෙකුම්සේගේ ස්වදේශික හමුදා ද පැමිණියා.

ඇමරිකානු හමුදා හමුවේ සටන් නොකර පසුබැසීමට ප්‍රොක්ටර් ගත් තීරණය ටෙකුම්සේගේ අප්‍රසාදයට හේතු වුණා. 1813 ඔක්තෝබර් 5 වනදා තේම්ස් නදී සටනේ දී  ඇමරිකන් ප්‍රහාර හමුවේ ප්‍රොක්ටර් පසුබැස්සා. බ්‍රිතාන්‍ය සේනාංක කොටසක් යටත් වුණා.

ටෙකුම්සේගේ මරණය (Public Domain)

ටෙකුම්සේගේ සෙබළුන් දිගටම සටන් කළ අතර ඇමරිකානුවන් විසින් ඔවුන් පරාජය කෙරුණා. ඇමරිකන් ප්‍රහාර හමුවේ ටෙකුම්සේ ද මියගියා. ඔහුගේ ස්වදේශික සන්ධානය ද ඒ සමගම බිඳ වැටුණා.

“නැව අත නොහරින්න!”

1813 ජූනි 1 වනදා බොස්ටන් නගරයට ඔබ්බෙන් මුහුදේදී බ්‍රිතාන්‍යයේ HMS ෂැනන් යුධ නෞකාව ඇමරිකානු USS චෙසපීක් යුධනැව සමග ගැටුණා. HMS ෂැනන් නැව මෙහෙයවූයේ කපිතාන් ෆිලිප් බ්‍රෝක් විසින්. චෙසපීක් නැවේ කපිතාන් වූයේ ජේම්ස් ලෝරන්ස් නමැත්තා යි.

සටන ඇරඹී ස්වල්ප වෙලාවකින් බ්‍රිතාන්‍යයන් විසින් එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ චෙසපීක් නෞකාවට සැලකිය යුතු අලාභහානි සිදු වුණා. ලෝරන්ස්ට ද වෙඩි වැදුණ අතර ඔහුව පහල තට්ටුවේ ආරක්ෂාව කරා රැගෙන යද්දී “මිනිසුන්ට වේගයෙන් වෙඩි තබන්න කියන්න​. නැව අත නොහරින්න​” යයි අණ කළා. එහෙත් ඉතා කෙටි කාලයක දී නැව යටත් වුණා. ලෝරන්ස් තුවාලවලින් මියගියා.

චෙසපීක් නැව අල්ලාගැනීම​ (Public Domain)

චෙසපීක් නෞකාව බ්‍රිතාන්‍යයන් විසින් තම සේවයට ගෙන වසර කිහිපයකට පසු සේවයෙන් ඉවත් කළා. එය දැව සඳහා විකුණනු ලැබුණේ 1819 දී යි. එය මිලට ගත් තැනැත්තා එම දැවයෙන් මෝලක් ඉදිකළ අතර එය අදට ද පවතිනවා.

ධවල මන්දිරය ගිනි තැබීම

ඇමරිකා එක්සත් ජනපදයෙහි අගනුවර වූ වොෂිංටන් ඩී.සී. නගරය ඉදි කෙරුණේ එරට නිදහස ලද පසු යි. ජනාධිපති නිල නිවස වූ ධවල මන් දිරයේ වැඩ ඇරඹුණේ 1792 දී. 1814 වනවිට ද වොෂිංටන් ඩී.සී. යනු 8,000ක පමණ ජනගහනයෙන් යුතු කුඩා නගරයක් වුණා.

මෙම නගරය චෙසපීක් බොක්ක ආසන්නයේ වූ යෙහින් බ්‍රිතාන්‍යයන් එම බොක්ක ආශ්‍රිතව කරන ලද නාවික මෙහෙයුම්වලින් නගරය දෙසට තර්ජනය කෙරුණා. මීට එරෙහිව කුඩා ඇමරිකන් නාවික සේනාංකයක් සටන් කළ නමුත් කල් යාමේ දී එම ප්‍රදේශයේ නාවික බලය බ්‍රිතාන්‍යයන් අතට පත් වුණා.

මේ අතර 1814 අප්‍රේල් මාසයේ දී නැපෝලියන් අධිරාජයා සිහසුන අත හැරියා. ඒ සමගම යුරෝපයේ සටන් කළ ඇතැම් බ්‍රිතාන්‍ය සේනාංක උතුරු ඇමරිකාව වෙත එවනු ලැබුණා. එවන් සේනාංකයක් චෙසපීක් බොක්ක ඔස්සේ පැමිණ ඇමරිකන් වෙරළෙහි ගොඩබැස වොෂිංටන් ඩී.සී. වෙත පැමිණියා.

වොෂිංටන් ඩී.සී. නගරයේ ගොඩනැගිලිවලට ගිනි තැබීම (Public Domain)

අගෝස්තු 24 වනදා නගරය වෙත ඇමරිකන් සේනා පැමිණෙමින් සිටියදී ජනාධිපති ආර්යා ඩොලී මැඩිසන් ධවල මන්දිරයෙහි වූ වටිනා දේ පිට කර ඇය ද ඉන් පිට වුණා. නගරය අල්ලාගත් බ්‍රිතාන්‍යයන් ධවල මන්දිරය ආදී ගොඩනැගිලි ගිනි තැබුවා. කෙසේ නමුත් ඉන් පැය ගණනකට පසු ධාරානිපාත වර්ෂාවක් නගරය වෙත ඇද හැළුණ අතර බොහෝ ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ වීමට පෙර ගිනි නිවී ගියා. බ්‍රිතාන්‍යයන් නගරය අල්ලාගෙන සිටියේ ද නැහැ.

තරු විසිරුණ ධජය

වොෂිංටන් ඩී.සී. නගරය ගිනිබත් කළ ද එය හමුදාමය ලෙස වැදගත් ජයග්‍රහණයක් වූයේ නැහැ. මෙයින් ඇමරිකානුවන් ගේ චිත්ත ධෛර්යයට යම් හානියක් වුව ද එය එතරම් කල් පැවතියේ ද නැහැ.

1814 අවසාන මාස කිහිපය තුළ බෙල්ජියමේ ගෙන්ට් නගරයේ දී යුද්ධය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා පැවතියා. මෙහිදී දෙපාර්ශවයම සටන්වලදී පැහැදිලි ජයක් බලාපොරොත්තු වූයේ තමන්ට සාකච්ඡාවල දී කේවල් කිරීමේ ශක්තිය ලබාගැනීමට යි. 1812 සහ 1813 දී ඇමරිකානුවන්ට වඩා බ්‍රිතාන්‍යයන් සාර්ථක වූ නමුත් 1814 අවසන් මාසවල යුද්ධය ඇමරිකාව දෙසට හැරීම මෙහිදී වැදගත් සිදුවීමක් වුණා.

මැක්හෙන්රි බලකොටුවට පහර දීම (Public Domain)

වොෂිංටන් ඩී.සී. දෙසට පහර දුන් බ්‍රිතාන්‍යයන් ඊළඟට ඉලක්ක කළේ ශක්තිමත් බලකොටුවක් වූ බොල්ටිමෝරය යි. මෙහි ආරක්ෂක විධිවිධාන අතර වැදගත්ම ස්ථානයක් ලෙස මැක්හෙන්රි බලකොටුව සැලකුණා. 1813 සැප්තැම්බර් 13 වන දා බ්‍රිතාන්‍ය නාවික ප්‍රහාරයක් සමග බලකොටුව අල්ලාගැනීමේ උත්සාහය ඇරඹුණා.

ෆ්‍රැන්සිස් ස්කොට් කී (Joseph Wood)

මේ අවස්ථාවේ ඒ අසල නැවකට වී මෙම සිද්ධිය බලා සිටි නීතීඥයකු වුණා. ෆ්‍රැන්සිස් ස්කොට් කී නම් වූ ඔහු රත්‍රිය මුළුල්ලේ බලාකොටුවට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාර දුටුවා. පසුදා උදෑසන ඔහු දුටුවේ බලකොටුව මඟින් නැගුණ විශාල ඇමරිකානු ධජයක්. වහා පෑනක් සහ කොළයක් අතට ගත් ඔහු මැක්හෙන්රි බලකොටුව රැක ගැනීම යනුවෙන් පද්‍යයක් ලියුවා. මෙය සති කිහිපයක් තුළ ඇමරිකාවේ බොහෝ පුවත්පත්වල පළ වූ අතර එය ජනතාවගේ චිත්ත ධෛර්යය නැංවීමට හේතු වුණා. පසු කලෙක “තරු විසිරුණ ධජය​” නමින් නම් කළ එය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ගීය බවට පත් වුණා.

නිව් ඔර්ලියන්ස්

1814 දෙසැම්බර් 24 වනදා සාම ගිවිසුමක් අත්සන් කෙරුණා. නමුත් ඒ පිළිබඳ පුවත ඇමරිකානු භූමියට ලැබෙන්නට සති කිහිපයක් ගතවුණා. මේ අනුව යුද්ධය නිමා වී නොමැති බව සිතා සිටි දෙපාර්ශවය තවත් සති දෙකක් පමණ සටන් වැදුණා.

ඇමරිකාවේ මිසිසිපි නදියෙහි මුවදොර වූ නිව් ඔර්ලියන්ස් නගරය ඉලක්ක කරගැනීමට බ්‍රිතාන්‍යයන් ක්‍රියා කළේ ඒ අනුව යි. 1815 ජනවාරි 8 වනදා නගරය අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදාව උත්සාහ කළා. එහිදී ඇමරිකන් හමුදා මෙහෙයවූයේ ජෙනරාල් ඇන්ඩෘ ජැක්සන් විසින් (ඔහු ද පසු කලෙක ජනාධිපති ධුරයට පත් වුණා). ඇමරිකන් කාලතුවක්කු විසින් බ්‍රිතාන්‍යය සේනාංකය විනාශ කළේ ඉතා කෙටි, බිහිසුණු සටනකින් පසුව යි.

ඇමරිකානුවන්ට සාම ගිවිසුම පිළිබඳ පුවත ලැබුණේ නිව් ඔර්ලියන්ස් සටන පිළිබඳ පුවත ලැබුණ පසුව යි. එහෙයින් එම සටන සිදුව තිබුණේ යුද්ධය අවසන් වූ පසුව බව බොහෝ දෙනාට එතරම් වැටහුණේ නැහැ. එමෙන්ම එහි වැදගත්කමක් ද වූයේ නැහැ. මෙම සටනින් සිදු වූ ප්‍රධානම කරුණ නම් ජැක්සන් යුධ විරුවකු ලෙස නමක් දිනාගැනීම යි. පසු කලෙක ඩිමොක්‍රටික් පක්ෂය නිර්මාණය කිරීමට ද ජනාධිපති ධුරයට පත් වීමට ද මෙම කීර්ති නාමය ඔහුට මහෝපකාරී වුණා.

සාම ගිවිසුම​

සාම සාකච්ඡාවල දී ඇමරිකාවේ ව්‍යාප්තිය සීමා කිරීමට බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා. මේ අනුව වයඹදිග ප්‍රදේශයේ ස්වදේශික ප්‍රදේශයක් පිහිටුවීමෙන් ඇමරිකාව සහ කැනඩාව අතර බාධකයක් ඇති කිරීමට ඔවුන් යෝජනා කළා. එහෙත් සටන් බිමේ දී ඔවුන් ලද පරාජයත් සමග එවැන්නක් ක්‍රියාත්මක කරවා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට නොහැකි වුණා. මෙහි දිගු කාලීන ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශවල ස්වදේශිකයන් යටපත් කරමින් ඇමරිකානුවන් එහි බලය ස්ථාපිත කිරීම යි.

යුද්ධාවසානයේදී කලින් තිබුණ දේශසීමා ඒ ආකාරයෙන්ම ස්ථාපිත වුණා. කැනඩාව ආරක්ෂා කරන ලද අතර ඇමරිකාව බටහිර දෙසට ව්‍යාප්ත වීමට ද අවස්ථාව සැලසුණා. මේ අනුව වර්තමාන උතුරු ඇමරිකාවේ දේශසීමා ස්ථාපිත වීමට මෙම යුද්ධය විශාල ලෙස හේතු වුණා.

Cover Image: යුද්ධයේ මුල් කාලයේ සිදු වූ ක්වීන්ස්ටන් උස්බිම් හි සටනේදී වෙඩි වැදුණ බ්‍රිතාන්‍ය ජෙනරාල් අයිසැක් බ්‍රොක් සිය සෙබළුන් දිරිමත් කරයි. බ්‍රොක් මියගිය නමුත් බ්‍රිතාන්‍යයන් සටනින් ජයගත් හ​. (John David Kelly)

මූලාශ්‍රය​:

History: The War of 1812 (PBS)

Related Articles