එංගලන්තයේ රෝස යුද්ධ – VI හෙන්රි සහ IV එඩ්වර්ඩ් රජවරු​

රෝස යුද්ධ පිළිබඳව ලිපි පෙළෙහි මුල් ලිපියෙන් අප එම යුද්ධ ඇතිවීමට බලපෑ මූලික කරුණු සාකච්ඡා කළා. මෙම ලිපියට පෙර එම ලිපිය කියවීම වැදගත් වේවි.

කියවන්න​: ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම් වූ රෝස යුද්ධ – පසුබිම

යෝර්ක්හි රිචර්ඩ් පන් දහසක් පමණ පිරිස් බලයකින් යුතු සිය හමුදාව රැගෙන ලන්ඩනය වෙත පැමිණෙන්නට වුණා. තමන්ට ලන්ඩනයේ දී විශාල සහායක් නොලැබෙන බව වටහාගත් හයවන හෙන්රි දෙදහසක් වූ සිය සේනා රැගෙන සාන්ත ඇල්බන් නගරය වෙත පැමිණියා. යෝර්ක්ට ද අවශ්‍ය වූයේ හෙන්රි බලයෙන් නෙරපීම නොවේ. ඔවුන් සාකච්ඡා ඇරඹූ නමුත් සමර්සෙට්ව යෝර්ක් වෙත බාර දීමට ලැන්කැස්ටර්වරුන් අකමැත්ත පළ කළෙන් සටන් හටගැනුණා. සමර්සෙට් ඇතුළු ලැන්කැස්ටර් පාක්ෂික ප්‍රධානීන් කිහිප දෙනකු මියගිය අතර රජුව ද අල්ලා ගැනුණා. යෝර්ක් විසින් රජුව ලන්ඩනය වෙත කැඳවාගන යන ලද අතර නැවත ඔහු රාජකීය ආරක්ෂකයා බවට පත් වුණා.

රෝස යුද්ධවල ප්‍රධාන සටන් දැක්වෙන සිතියම (warsoftheroses.com)

සාන්ත ඇල්බන් සටනින් දෙපාර්ශවයම තරමක් තිගැස්සුණ බව දකින්න ලැබුණා. විවිධ අවස්ථාවන්හි දී දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කරගැනීමේ උත්සාහයන් ගනු ලැබුණ ද ඒවා සාර්ථක වූයේ නැහැ. මාග්‍රට් රැජිණ තම පුත්‍රයා වූ එඩ්වර්ඩ්ට සිහසුන පිළිබඳ උරුමය අහිමි කෙරෙන විසඳුමකට විරෝධය දැක්වූවා. (එඩ්වර්ඩ් උපන්නේ 1453 දී යි).

1459 දී දෙපාර්ශවය ලුඩ්ෆර්ඩ් පාලම අසල සටනේ දී ගැටුණ අතර ලැන්කැස්ටර්වරුන් එහිදී ජයගත්තා. යෝර්ක්හි රිචර්ඩ් අයර්ලන්තයට පළා ගියා. ඔහුට එහි සැලකිය යුතු සහායක් තිබුණා. මේ අතර ඔහුගේ පළමු පුත්‍රයා වූ එඩ්වර්ඩ් (මාර්ච්හි අර්ල්වරයා) ප්‍රංශයේ කැලේ (Calais) වෙත පළා ගියා.

යෝර්ක්හි රිචර්ඩ්ගේ මරණය

යෝර්ක් පාක්ෂිකයන් 1460 ගිම්හානයේ දී නැවත එංගලන්තයට පැමිණියා. ජූලි 10 වන දා නෝර්දම්ටන් සටනේ දී ලැන්කැස්ට්‍රියන්වරුන් පරාජය කළ ඔවුන් යළිත් හෙන්රිව අල්ලාගත්තා. මේ අවස්ථාවේ යෝර්ක් සිහසුනට පත් වීමට උත්සාහ කළ ද ඔහුට බලාපොරොත්තු වූවාට වඩා විරෝධයකට මුහුණ දීමට සිදු වුණා. ඒ අනුව දෙපාර්ශවය අතර ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ අනුව හෙන්රි මියගිය පසු යෝර්ක් සිහසුනට පත්වන ලෙස එකඟතාවක් ඇති වුණා.

සන්ඩාල් බලකොටුවේ නටඹුන් (Wikimedia Commons)

මේ අතර​, සිය පුත්‍රයාගේ සිහසුන සඳහා වූ උරුමය වෙනුවෙන් සටන් වැදීම සඳහා රටේ උතුරු ප්‍රදේශවල සිට අන්ජූහි මාග්‍රට් සේනා සංවිධානය කළා. සමර්සෙට්හි ආදිපාද එඩ්මන්ඩ් බියුෆෝර්ට් මියගිය පසු එම ධුරයට පත් වූ හෙන්රි බියුෆෝර්ට්, මාග්‍රට්ගේ ප්‍රධාන සහායකයා වුණා. මෙම උත්සාහයන් මැඩීමට යෝර්ක්හි රිචර්ඩ් සිය සේනාංක රැගෙන උතුරු දෙසට පිටත් වුණා.

1460 දෙසැම්බර් 30 වන දා සන්ඩාල් බලකොටුව අසල සිදු වූ වේක්ෆීල්ඩ් සටනේදී යෝර්ක්ගේ සේනා පරාජය කරනු ලැබුණා. යෝර්ක් මියගිය අතර ඔහුගේ දෙවන පුත්‍රයා වූ එඩ්මන්ඩ් අල්ලාගන්නා ලදුව මරණයට පත් කෙරුණා.

හතරවන එඩ්වර්ඩ්

යෝර්ක්හි රිචර්ඩ්ගේ වැඩිමහළු පුත්‍රයා වූ එඩ්වර්ඩ්, යෝර්ක් පාර්ශවයේ නායකත්වයට පත් වුණා. මේ වන විට ඔවන් ටියුඩර් සහ ඔහුගේ පුත්‍ර ජැස්පර් ටියුඩර් යටතේ ලැන්කැස්ටර් පාක්ෂික සේනාංකයක් වේල්සයේ වුණා. එඩ්වර්ඩ් මුලින්ම ඔවුන් ප්‍රධාන ලැන්කැස්ටර් සේනාව හා එක්වීම වැළැක්වීමට තීරණය කළා.

ඔවන් ටියුඩර් රෝස යුද්ධ පිළිබඳ කතාවේ වැදගත් පුරුකක් වනවා. 1422 දී පස්වන හෙන්රි මියගිය බව අප කලින් ලිපියේ දී සඳහන් කළා. හෙන්රිගේ මරණින් වසර කිහිපයකට පසු, ඔහුගේ බිසව වූ කැතරින් සහ ඔවන් ටියුඩර් විවාහ වුණ බව සඳහන්. මේ විවාහය ඇත්තෙන්ම සිදු වී ද යන්න පිළිබඳ සැකයක් ඇතත් ඊට විරෝධයක් මතු වූ බවක් පෙනෙන්නේ නැහැ. මේ දෙදෙනාගේ පළමු පුත්‍රයා වූයේ එඩ්මන්ඩ්. ඔහු වයස 26 දී මියගියේ ඔහුගේ පුත්‍රයා වූ හෙන්රි ඉපදීමට මාස දෙකකට පෙර යි. මේ හෙන්රි මෙන්ම ඔහුගේ මව වූ මාග්‍රට් බියුෆෝර්ට් ආර්යාව අපේ කතාවට ඉතා වැදගත් දෙදෙනකු වනවා. නමුත් ඔවුන් ගැන පසුවට අපි විස්තර කරමු.

ඔවන් සහ ජැස්පර්ගේ හමුදාව 1461 පෙබරවාරි 2 වනදා මෝර්ටිමර් ක්‍රොස් සටනේ දී යෝර්ක්හි එඩ්වර්ඩ් විසින් පරාජය කෙරුණා. ඔවුන්ව අල්ලා ගනු ලැබ මරා දැමුණා.

මේ අතර​, අන්ජූහි මාග්‍රට්ගේ සේනා විසින් සාන්ත ඇල්බන්හි දෙවන සටනේ දී යෝර්ක් පාක්ෂිකයන් පරාජය කළා. ඔවුන් විසින් හයවන හෙන්රි ද නිදහස් කරගනු ලැබුණා. මේ අතර පරාජිත යෝර්ක් පාක්ෂිකයන් සමග වේල්සයෙන් පැමිණෙමින් සිටි එඩ්වර්ඩ්ගේ හමුදා එක් වුණා.

හතරවන එඩ්වර්ඩ් රජු (Public Domain)

ලැන්කැස්ටර්වරුන් වෙත වූ ජනතා විරෝධය හමුවේ ඔවුන් ලන්ඩන් ප්‍රදේශයෙන් උතුරට පසුබැස්සා. එඩ්වර්ඩ් ලන්ඩනයට විත් හතරවන එඩ්වර්ඩ් ලෙස කිරුළු පැළඳුවා.

1461 මාර්තු 29 වනදා ලැන්කැස්ටර් සහ යෝර්ක් පාර්ශව දෙක යෝර්ක් නගරයට දකුණින් ටවුටන් නගරය අසල දී ගැටුණා. මෙය ඉංග්‍රීසි භූමිය සිදු වූ විශාලම සටන බවයි සැලකෙන්නේ. එහිදී යෝර්ක් පාර්ශවය ජයග්‍රහණය කළා. හයවන හෙන්රි, මාග්‍රට් සහ ඔවුන්ගේ පුත්‍රයා වූ එඩ්වර්ඩ් ස්කොට්ලන්තයට පළා ගියා.

රජුන් තනන්නා

හතරවන එඩ්වර්ඩ් රජකමට පත් කිරීම සඳහා ප්‍රධාන වැඩ කොටසක් සිදු කළ තැනැත්තකු ලෙස වොරික්හි ආදිපාද (Duke of Warwick) රිචර්ඩ් නෙවිල් හඳුන්වන්න පුළුවන්. හයවන හෙන්රි ඇතුළු පිරිස පළා ගියාට පසුවත් නෝර්තම්බ්‍රියාවේ ඇතැම් බලකොටු ලැන්කැස්ටර් පාක්ෂිකයන් විසින් පාලනය කළා. 1463 දී එම ප්‍රදේශයන්හි තම බලය තහවුරු කරගැනීමට එඩ්වර්ඩ් විසින් වොරික්ව යවන ලද අතර ඔහු එහි ඉතිරි බලකොටු ද අල්ලාගත්තා. මෙසේ තම බලය ස්ථාවර වූ පසු එඩ්වර්ඩ් රජු තම පැරණි සතුරන් වූ සමර්සෙට්හි හෙන්රි සහ රැල්ෆ් පර්සි ඇතුළු ඇතමුන්ට සමාව දුන්නා.

එඩ්වර්ඩ් මීළඟට අවධානය යොමු කළේ ස්කොට්ලන්තය දෙසට යි. ස්කොට්ලන්තය දිගටම ලැන්කැස්ටර්වරුන්ට සහාය දුන් හෙයින් එරට හා එකඟතාවකට පැමිණීමට හතරවන එඩ්වර්ඩ් රජුට අවශ්‍ය වුණා. ඔහු ස්කොට්ලන්තයේ තුන්වන ජේම්ස් වෙත මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා. 1464 දී ස්කොට් නියෝජිත පිරිසක් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණියා. මෙසේ එකඟතාවයක් ඇතිවීම වැළැක්වීම සඳහා රටේ ආරවුල් ඇති කිරීමට සිතූ සමර්සෙට් සහ පර්සි ඇතුළු පිරිසක් උතුරු එංගලන්තයේ කැරැල්ලක් දියත් කළා. ඊට අනුබලය ලැබුණේ අන්ජූහි මාග්‍රට්ගෙන්. නමුත් වොරික්ගේ සහෝදරයා යටතේ වූ යෝර්ක් හමුදාවක් කැරැල්ල මැඩ පැවැත්වූ අතර එහිදී ලැන්කැස්ටර් පාර්ශවයේ ප්‍රධාන නායකයින් මියගියා.

ස්කොට්ලන්තය සහ එංගලන්තය අතර ගිවිසුම අත්සන් කෙරුණ අවස්ථාවේ මාග්‍රට් ඇගේ පුත්‍රයා සමග තම ඥාතියා වූ ප්‍රංශයේ එකොළොස්වන ලුවී රජු වෙත ගියා. 1465 දී ලැන්කෂයර් ප්‍රදේශයේදී හයවන හෙන්රි අල්ලාගනු ලැබුණා. ඒ සමගම කෙටි කලක් එංගලන්තයට සාමය උදා වුණා.

එකොළොස්වන ලුවී රජු (Public Domain)

නමුත් වොරික් සහ එඩ්වර්ඩ් අතර මිත්‍රත්වය වැඩිකල් පැවතුණේ නැහැ. තරුණ එඩ්වර්ඩ් රජු සිය බලපෑමට තවත් හසු කරගැනීමට වොරික්ට අවශ්‍ය වුණා. එමෙන්ම මාග්‍රට් වෙත ප්‍රංශ රජුගේ සහාය ලැබීම වළක්වන්නත් ඔහුට අවශ්‍ය වුණා. ඒ අනුව ලුවී රජුගේ දියණිය සහ එඩ්වර්ඩ් අතර විවාහයක් සිදු කිරීමට වොරික් අදහස් කළා.

එඩ්වර්ඩ් රජුගේ රහසිගත විවාහයක් පිළිබඳ කරුණු හෙළි වූයේ එම අවස්ථාවේ යි. ඔහු පහළ ස්ථරයේ රදළ පවුලක කාන්තාවක වූ එලිසබෙත් වුඩ්විල් සමග විවාහ වී තිබුණා. මෙම විවාහය පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග වුඩ්විල් පවුලේ තත්ත්වය ඉහළ ගියා. අනෙකුත් රදළ පවුල් ඒ පිළිබඳ දැක්වූයේ අප්‍රසාදයක්. මේ අතර​, එඩ්වර්ඩ් රජු බර්ගන්ඩියේ ආදිපාදවරයා සමග එකඟතා ගිවිසුමකට පැමිණීමෙන් ලුවී සමග එකඟතාවක් ඇති වීමේ ඉඩකඩ ද ඇහිරුණා. මේ හේතු මත 1467 දී වොරික් රාජ සභාව හැර ගියා.

එතැන් පටන් වොරික් උත්සාහ කළේ රජුගේ පාලනය පෙරළා දැමීමට යි. මෙහිදී ඔහු එඩ්වර්ඩ් රජුගේ සහෝදරයා මෙන්ම තම බෑණා ද වූ ක්ලැරන්ස්හි ආදිපාද ජෝර්ජ් සමග එක්ව​ කුමන්ත්‍රණය කිරීමට වුණා.

1469 දී වොරික් විසින් කළ පෙළඹවීම මත උතුරුදිග එංගලන්තයේ කැරැල්ලක් හටගත්තා. එඩ්වර්ඩ් රජු නොටිංහැම් වෙත ගිය නමුත් කැරලිකාර සේනාංක තම හමුදාවට වඩා විශාල බව දැනගෙන අතිරේක සේනාංක එනතුරු සිටීමට ඔහු තීරණය කළා.

මේ අතර වොරික් ලන්ඩනය වෙත පැමිණියා. කැරලිකාර හමුදා උතුරේ සිට නොටිංහැම් මඟ හැර ලන්ඩන් දෙසට පැමිණීමට වූ අතර රජුගේ හමුදා ඔවුන්ව වැළැක්වීමට උත්සාහ කළා. 1469 ජූලි 26 වන දා එජ්කෝර්ට් මුවර් සටනේ දී රජුගේ හමුදා පරාජය වුණා. ඉන් ස්වල්ප දිනකට පසු ලන්ඩනය දෙසට පැමිණෙමින් සිටි හතරවන එඩ්වර්ඩ් රජු අල්ලා ගැනුණා.

වොරික්, රජුගේ නමින් රට පාලනය කිරීමට කළ උත්සාහය අසාර්ථක වූ අතර රජු නෙරපීමට කළ උත්සාහය ද අසාර්ථක වුණා. වොරික්ට එරෙහිව ඇතිවූ කැරලි හේතුවෙන් ඔහුට රජු නිදහස් කිරීමට සිදු වුණ අතර වොරික්ගේ බලය බොහෝ සෙයින් පහළ ගියා.

මේ අතර 1470 මාර්තු මාසයේ දී වොරික් විසින් උසි ගන්වන ලද තවත් කැරැල්ලක් ලින්කන්‍ෂයර් ප්‍රදේශයේ හටගත්තා. එකල වොරික් සිටියේ වේල්සයේ යි. එඩ්වර්ඩ් රජු වහා ක්‍රියාත්මක වී වොරික් සහ කැරලිකරුවන් එක් වීම වැළැක්වීමට කැරලිකරුවන්ට මුලින් පහර දුන්නා. එහිදී කැරලිකරුවන් අන්ත පරාජයකට පත් වුණ අතර වොරික් රටින් පළා ගියා.

ප්‍රංශයට ගිය ඔහු ලුවී රජු හරහා අන්ජූහි මාග්‍රට් සමග සාකච්ඡා කරන්නට වුණා. ඒ අනුව හයවන හෙන්රි යළි සිහසුනට ගෙනෙන්න වොරික් එකඟ වුණා.

1470 සැප්තැම්බරයේදි වොරික් නිරිතදිග එංගලන්තයේ ඩෝර්සෙට්හි ගොඩබැස්සා. මේ සමගම එතෙක් රජුට පක්ෂපාතව සිටි වොරික්ගේ සහෝදරයා ද කැරලි ගැසුවා. එඩ්වර්ඩ් රජු එංගලන්තයෙන් ෆ්ලැන්ඩර්ස් වෙත පළා ගොස් බර්ගන්ඩි ආදිපාද චාර්ල්ස් වෙතින් රැකවරණ ලබා ගත්තා. හයවන හෙන්රි යළි ලන්ඩනයේ සිහසුනට පත් වුණා.

1471 දී හතරවන එඩ්වර්ඩ් යළි එංගලන්‍තය කරා පැමිණියා. ඔහු මෙහිදී ලන්ඩනය කරා නොගොස් යෝර්ක් වෙත ගමන් කළා. ඔහු ඇඟවූයේ ලන්ඩනය කෙරෙහි ඔහු තුළ අභිලාෂයක් නොමැති බව යි. නමුත් යෝර්ක්හි ආදිපාද ප්‍රදේශයට පැමිණි පසු ඔහු තම පාක්ෂිකයන් එක් කරගෙන ලන්ඩනය වෙත ගමන් කළා. සිද්ධි මාලාව ගමන් කරන අත දුටු ඔහුගේ සහෝදරයා ජෝර්ජ් පවා යළි එඩ්වර්ඩ් හා එකතු වුණා.

බාර්නට් සහ ටූක්ස්බරි

ආධාරක සේනා පැමිණෙන තෙක් සටන මඟ හැරීමට වොරික් තීරණය කළා. ඔහු ලන්ඩනයෙන් ඉවත් වූයේ සමර්සෙට්හි එඩ්මන්ඩ් වෙත නගරයේ ආරක්ෂාව පවරමින්. එහෙත් නගරවාසීන් එඩ්වර්ඩ් ප්‍රිය කළ හෙයින් කැරලිකාර තත්ත්වයක් ඇති වුණා. සමර්සෙට් නගරය අතැර ගියේ ප්‍රංශයේ සිට පැමිණෙමින් සිටි මාග්‍රට් එංගලන්තයේ ගොඩබැස්ස පසු ඇගේ සේනා හා එක්වීම අරමුණු කරගෙන විය හැකියි.

එඩ්වර්ඩ් ලන්ඩනය අල්ලාගන යළිත් හෙන්රිව සිරභාරයට ගත්තා. මෙහිදී වොරික්ගේ සේනා නගරය දෙසට පැමිණෙන්න වුණා. වොරික් යටතේ තමන්ට වඩා වැඩි පිරිසක් සිටි බව දුටු නමුත් එඩ්වර්ඩ්ට සටන මඟ හැරීමේ ක්‍රමයක් වූයේ නැහැ. ප්‍රංශයේ සිට මාග්‍රට්ගේ සේනා පැමිණ සමර්සෙට්හි එඩ්මන්ඩ් සමග එක්ව, එම සමස්ථ​ සේනාවම වොරික් හා එක්වීමේ අවදානමක් තිබුණා. එහෙයින් ඊට පෙර වොරික්ට පහර දීමට එඩ්වර්ඩ් තීරණය කළා.

1471 අප්‍රේල් 14 වන දා එඩ්වර්ඩ්ගේ සේනා සහ වොරික්ගේ සේනා බාර්නට් සටනේ දී ගැටුණා. මිහිදුම් සහිත සටන් බිමෙහි මුල් වාසිය වොරික්ගේ හමුදා විසින් ලබාගත් නමුත් ඉන්පසු සටන අනෙක් පස හැරුණා. වොරික්ගේ හමුදාවෙන් කොටසක් තමන්ගේම තවත් කොටසකට පහර දීමෙන් මේ ව්‍යාකූලත්වය ඇති වූ අතර ඔහුගේ සේනා පරාජය වුණා. වොරික්, සටනේ දී මරණයට පත් වුණා.

මේ අතර අන්ජූහි මාග්‍රට් සිය හය දහසක සේනාව සමග ඩෝර්සෙට්හි ගොඩබැස්සා. ඇගේ පුත්‍රයා වූ එඩ්වර්ඩ් කුමරු ද ඒ අතර වුණා. සමර්සෙට්ගේ සේනාව ද ඇය හා එක්වුණා. ඇය කුඩා පිරිසක් නැගෙනහිර දෙසට එවා ප්‍රධාන සේනාව සමග වේල්සය දෙසට ගමන් කළේ ජැස්පර් ටියුඩර් හා එක්වන අරමුණින්. ඇය විසින් වෙනතක යවන ලද කුඩා සේනාව හේතුවෙන් එඩ්වර්ඩ් රජු රැවටීමට ලක් වූයේ නැහැ. ඔහු මාග්‍රට් වේල්සයට පැමිණීම වැළැක්වීමට සිය හමුදා වේගයෙන් මෙහෙයවූවා.

මේ අවස්ථාවේ සිදු වූයේ හමුදා ගමන් කරවීම පිළිබඳ සටනක්. මාග්‍රට් බ්‍රිස්ටල් නගරයට පැමිණෙන විට එඩ්වර්ඩ් ඊට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ සිරෙන්සෙස්ටර් වෙත පැමිණියා. එඩ්වර්ඩ් රජු විසින් මාග්‍රට්ගේ ගමන් මාර්ගය ඇවිරීමට උත්සාහ කෙරුණ ද ඇය ඔහුගේ හමුදාව මඟ හැරියා.

මාග්‍රට් දැන් ගමන් කරන්නේ සෙවර්න් නදිය තරණය කර වේල්සය වෙත යාමට බව පැහැදිලි වුණා. ග්ලොස්ටර් නගරයේ ආණ්ඩුකාරයා වෙත පණිවිඩයක් යැවූ එඩ්වර්ඩ් රජු නගරය අසල ස්ථානයකින් නදිය තරණය කිරීමට වූ ස්ථානය අහුරා දමන්නට උපදෙස් දුන්නා. මාග්‍රට් වෙනත් සුදුසු ස්ථානයක් සොයාගෙන උතුරට ගමන් කරද්දී ටූක්ස්බරි වෙත පැමිණියා.

ටූක්ස්බරි සටන (Public Domain)

මාග්‍රට්ගේ හමුදාවලට එහි වූ පාලමෙන් එගොඩ වීමට කාලයක් වූයේ නැහැ. හතරවන එඩ්වර්ඩ් සිය සේනාව රැගෙන එහි පැමිණියා. 1471 මැයි 4 වන දා මෙම දෙපිරිස ගැටුණා.

සටන් බිම දෙපසින් ගංගා දෙකක් වුණා. ලඳු කැළෑ, වගුරු, සහ කුඩා කඳුගැට ද වූ හෙයින් ප්‍රහාරක යෝර්ක් පාර්ශවීය හමුදාවට අවාසියක් තිබුණා. භූමිය වාසිදායක වූයේ ආරක්ෂිත සටනකට යි. මෙහිදී එඩ්වර්ඩ් සිය අශ්වාරෝහකයන් කොටසක් අසල කැලයක සැඟවූයේ හදිසි ප්‍රහාරයක් සඳහා අවශ්‍ය වේ ය යන අදහසින්.

සමර්සෙට්ගේ සේනාංක එඩ්වර්ඩ්ගේ හමුදාවේ වම් පසට පහර දුන්නා. එඩ්වර්ඩ් රජුගේ සේනා පසුබසිද්දී සැඟව සිටි ඔහුගේ අසරු සේනා සමර්සෙට්ගේ පිරිස දෙසට කඩා වැදුණා. සටන අනෙක් පස හැරවූයේ එම ප්‍රහාරය යි.

සමර්සෙට් ප්‍රධාන ලැන්කැස්ටර් හමුදාව වෙත පසුබැසීමට සමත් වුණත් යෝර්ක් ප්‍රහාරය හමුවේ සටන පරාජය වුණා. එඩ්වර්ඩ් කුමාරයා සටනේ දී මියගිය බව සැලකෙනවා. සමර්සෙට්හි එඩ්මන්ඩ් ටූක්ස්බරි දේවස්ථානයේ සැඟවී පසුව එඩ්වර්ඩ් රජුට යටත් වුණා. ඔහුට මරණ දඬුවම දෙනු ලැබුණා. අන්ජූහි මාග්‍රට් සිරභාරයට ගනු ලැබුණා.

මේ අනුව යෝර්ක් පාර්ශවයේ ජයග්‍රහණය ස්ථාවර වූ බව පෙනෙන්නට තිබුණා. හතරවන එඩ්වර්ඩ් ශක්තිමත් ලෙස සිය බලය තහවුරු කරගත්තා. ලැන්කැස්ටර් පාර්ශවයෙන් සිහසුනට උරුමකරුවකු පෙනෙන්නට සිටියේ නැහැ.

තවත් දශක එකාහමාරක් තුළ මේ සියල්ල වෙනස් වීමට නියමිතව තිබුණා. එක් මාග්‍රට් කෙනෙකු සටනින් ඉවත් කෙරෙද්දී වෙනත් මාග්‍රට් කෙනෙකු කරළියට පැමිණීමට ද නියමිත වුණා. ඒ පිළිබඳව අප වෙනත් ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වනවා.

Cover Image: රෝස යුද්ධවල අවස්ථාවක ප්‍රතිනිර්මාණයක් (historic-uk.com)

Related Articles