නට්සි ජර්මනියට එරෙහිව නැගුණ වෝර්සෝ කැරැල්ල

දෙවන ලෝක යුධ සමයේ දී නට්සි ජර්මන් පාලනයට නතු වූ ප්‍රදේශයන්හි මතු වූ ප්‍රධානම කැරැල්ලක් ලෙස 1944 වෝර්සෝ කැරැල්ල හඳුන්වන්නට පුළුවන්. 1944 අගෝස්තු 1 වන දා මෙම අරගලය දියත් කළේ නැගෙනහිර පෙරමුණේ සෝවියට් හමුදා වෝර්සෝව අසලට පැමිණෙමින් සිටිය දී යි. මේ අතර මිත්‍ර හමුදා නෝර්මැන්ඩියට ද ගොඩබැස තිබුණා.

මේ වනවිට ජර්මනිය යුධමය වශයෙන් පරාජය වනු ඇතැ යි යන විශ්වාසය මිත්‍ර රටවල් තුළ ඇති වෙමින් තිබුණා. එහෙයින් ජර්මන් පාලනය යටතේ වූ ප්‍රදේශයන්හි අනාගතය පිළිබඳ කතිකාවක් නිර්මාණය වෙමින් පැවතුණා.

පෝලන්තය තුළ ද සිය අනාගතය පිළිබඳ ප්‍රධාන කඳවුරු දෙකක් මතුවුණා. එකක් නම් පෝලන්තය බටහිර රටවල් හා සමීප වියයුතු බව පිළිගත් පිරිස යි. ඔවුන් ලන්ඩනයේ පිහිටුවාගෙන තිබුණ පෝලන්ත තාවකාලික රජය වටා එක්ව සිටියා. මේ අතර සෝවියට් දේශයට සමීපව කටයුතු කළ යුතු ය යනුවෙන් පිළිගත් පිරිසක් පෝලන්ත දේශප්‍රේමීන්ගේ එකමුතුව ලෙස සංවිධානය වී සිටියා.

ලන්ඩන් හි පෝලන්ත රජය සමග සම්බන්ධ වූ සන්නද්ධ අංශයක් “ස්වදේශ හමුදාව​” ලෙස පෝලන්තයෙහි සංවිධානය වෙමින් තිබුණා. මේ අතර සෝවියට් හමුදා විසින් ජර්මානුන් වේගයෙන් පසුබස්වමින් සිටියා. 1944 ජූලි මාසය වෙද්දී ඔවුන් දෙවන ලෝක යුද්ධය ඇරඹීමට පෙර තිබූ පෝලන්ත දේශසීමාවට ඇතුල් වී සිටියා. මිත්‍ර පාක්ෂික හමුදා ඒ වන විට වූයේ පෝලන්තයෙන් බොහෝ ඈතින්. ඒ අනුව සෝවියට් හමුදා විසින් පෝලන්තය අත්පත් කරගනු ඇතැ යි පෙනෙන්නට වුණා.

ස්වදේශ හමුදාවේ ප්‍රධානී තදෙයුස් බෝර්-කොමරොව්ස්කි (Public Domain)

සෝවියට් හමුදා විසින් පෝලන්තය අත්පත් කරගන්නා තෙක් නරඹන්නන් සේ සිටින්නේ ද නැද්ද යන උභතෝකෝටිකයට ස්වදේශ හමුදාව මෙම අවස්ථාවේ මුහුණ දුන්නා. එහිදී ඔවුන් තීරණය කළේ සටන් කිරීම වඩා සුදුසු බව යි. සෝවියට් දේශයෙන් ඔවුන් වෙත ඍජු සහායක් ලැබීමට වූයේ අඩු ඉඩක් වූ හෙයින් මෙය අභියෝගාත්මක තීරණයක් වුණා. එහෙත් නිහඬව සිටියේ නම් ස්වදේශ හමුදාව සහමුලින්ම නොවැදගත් සංවිධානයක් ලෙස අමතක වී යාමට ද ඉඩ තිබුණා.

ස්වදේශ හමුදාවේ ප්‍රධානී තදෙයුස් බෝර්-කොමරොව්ස්කි, කැරැල්ල දියත් කිරීමට 1944 අගෝස්තු 1 වන දා සවස 5 යන වෙලාව තෝරාගත්තා. වෝර්සෝවේ ස්වදේශ හමුදාවේ 40,000ක පමණ පිරිසක් වූ නමුත් ඔවුන් සතුව ගිනි අවි වූයේ 2,500ක පමණ පිරිසකට පමණ යි.

මෙම අවස්ථාව වන විට ජර්මන් හමුදාවන්හි 15,000ක් පමණ වෝර්සෝවෙහි සිටියා. ළඟ එන සෝවියට් ප්‍රහාරය හමුවේ වෝර්සෝව ආරක්ෂා කරගෙන එය සිය ප්‍රධාන බලකොටුවක් බවට පත් කරගැනීමට ජර්මානුන් තීරණය කර තිබුණා. ඒ අනුව තවත් හමුදා ප්‍රදේශයට පැමිණීමට නියමිත වුණා.

කැරැල්ල ඇරඹෙයි

1944 අගෝස්තු 1 වන දා ස්වදේශ හමුදාවේ පිරිස් වෝර්සෝවේ ඉලක්ක 180කට පහර දුන්නා. මෙහිදී ඇතැම් ස්ථාන වෙත නියමිත වූ වෙලාවට කලින් පහර දෙනු ලැබුණා. පාලම්, ගුවන් තොටුපල​, දුම්රියපලවල්, හමුදා සහ පොලිස් ඉලක්ක බොහොමයකට එල්ල වූ ප්‍රහාර සාර්ථක වූයේ නැහැ. නමුත් විස්ටියුලා නදියෙහි වම් ඉවුරේ ප්‍රදේශ කිහිපයක බලය කැරලිකරුවන් අතට පත්වුණා.

පෘඩෙන්‍ෂල් ගොඩනැගිල්ල​, ගෑස් සහ විදුලි බලාගාර​, ජල සම්පාදන මධ්‍යස්ථානය යනාදිය ඒ අතර වුණා. කෙටි කලකින්ම විදුලි බලාගරය යළි ක්‍රියාත්මක තත්ත්වයට පත් කරගැනීමට ස්වදේශ හමුදාව සමත් වුණා.

වෝර්සෝ කැරැල්ලේ අවස්ථාවක් (eutoday)

මේ අතර වෝලා ප්‍රදේශයේ දී වෆන්-එස්.එස්. ගබඩාවක් කැරලිකරුවන් අතට පත් වූ අතර එහි ආහාර සහ නිල ඇඳුම් විශාල තොගයක් වුණා. කැරලිකරුවන් බොහෝ දෙනෙක් මෙම නිල ඇඳුම් තම පාවිච්චියට ගත් අතර ඒ සමග රතු සහ සුදු යන පෝලන්ත ජාතික වර්ණ අත්පටි ද පැළඳ සිටියා.

මෙම අවස්ථාවේ දී සෝවියට් හමුදා ප්‍රශ්නකාරී තීරණයක් ගත්තා. විස්ටියුලාවෙහි, වෝර්සෝවට අනෙක් පස ඉවුරෙහි වූ ප්‍රාගා සිට කිලෝමීටර් 19ක් පමණ ඈත දී ඔවුන් සිය මෙහෙයුම් නතර කළා. එමෙන්ම සෝවියට් ගුවන් හමුදාව ද සිය ක්‍රියාන්විත අවම කළා. සෝවියට් පාර්ශවයෙන් කියවුණේ ඔවුන් කලක් තිස්සේ වේගයෙන් ඉදිරියට පැමිණ සිටියෙන් අවශ්‍ය සැපයුම් ගෙන්වීමට ඇති අවශ්‍යතාව මත මෙසේ ප්‍රහාර නැවතූ බව යි.

ජර්මන් ප්‍රතික්‍රියා

දින කිහිපයක් තුළ ජර්මනිය යුන්කර්ස් Ju-87 ස්ටූකා ගුවන් යානා යොදාගෙන ස්වදේශ හමුදා ඉලක්ක වෙත පහර දීමට වුණා. ඒ අතර අමතර ජර්මන් සේනා එම ප්‍රදේශය වෙත ළඟා වුණා. මේ අතර ප්‍රාගා ප්‍රදේශයේ මතු වූ කැරැල්ල පරාජය කරනු ලැබුණා. කැරලිකරුවන් අත්පත් කරගත් ප්‍රදේශයන් හි ඔවුන් “යටිබිම්ගත පෝලන්ත රාජ්‍යය” සංවිධානය කර පරිපාලන කටයුතු සකස් කරන්නට වුණා.

අගෝස්තු 5 වනදා සිට දින දෙකක් තුළ ජර්මන් හමුදා විසින් වෝලා හා ඔහ්ටා ප්‍රදේශයන්හි කළ ක්‍රියාන්විතවලින් සැලකිය යුතු ප්‍රදේශයක් නැවත තම පාලනයට නතු කරගැනීමට ඔවුන් සමත් වුණා. ඔවුන් පෝලන්ත ජනතාවගෙන් පළිගත්තේ දහස් ගණනක් මරා දමමින්.

වෝර්සෝ කැරැල්ලේ දී ස්වදේශ හමුදාව විසින් මුදාගත් ප්‍රදේශ​ (Wikimedia Commons)

අගෝස්තු මාසයේ 14 වන දා ජර්මන් හමුදා විසින් වෝර්සෝවේ පැරණි නගරය වෙත පහර දීම ඇරඹුවා. සැප්තැම්බරය මුල වනතෙක්ම මෙහි සටන් පැවතුණා. ආරම්භයේ දී මේ සඳහා ජර්මානුන් 8,000ක් සම්බන්ධ වුණා. ජර්මානුන් එල්ල කළ දරුණු ප්‍රහාර හමුවේ සැප්තැම්බර් 1 වෙනි දා සහ 2 වන දා එම ප්‍රදේශයේ ඉතිරි වූ පෝලන්ත සටන්කාමීන් නගර මධ්‍යය දෙසට පසුබැස්සා. ඒ භූගත කාණු පද්ධතිය ඔස්සේ යි.

පැරණි නගරය අල්ලාගත් පසු ජර්මන් ප්‍රහාර එල්ල කෙරුණේ ගඟබඩ දිස්ත්‍රික්කයට (Riverside District) යි. එහි වූ විදුලි බලාගාරය දිගින් දිගටම එල්ල වූ ගුවන් ප්‍රහාර හමුවේ ක්‍රියා විරහිත තත්ත්වයට පත් වුණා. එය ද කැරලිකරුවන්ගේ තත්ත්වය තවත් අයහපත් අතට පත් කළා.

රතු හමුදා මෙහෙයුම් අරඹයි

සැප්තැම්බර් 11 වනදා සෝවියට් රතු හමුදාව වෝර්සෝ දෙසට වන සිය මෙහෙයුම් ඇරඹුවා. ඔවුන් දින තුනක් තුළ විස්ටියුලා නදියෙන් නැගෙනහිර ඉවුරේ වූ ප්‍රගා ප්‍රදේශය අල්ලාගත් අතර ජර්මන් හමුදා නදිය හරහා වූ පාලම් විනාශ කර වෝර්සෝවට පසුබැස්සා. මේ අතර වෝර්සෝහි ස්වදේශ හමුදාවට එරෙහි ප්‍රහාර දිගටම කරගෙන යනු ලැබුණා.

සැප්තැම්බර් 15 වනදා සිග්ම්න්ට් බෙර්ලින්ග් විසින් මෙහෙයවූ පළමු පෝලන්ත හමුදාව විස්ටියුලාව තරණය කර වෝර්සෝවේ කොටසක් අල්ලා ගැනීමට උත්සාහ කළා. පළමු පෝලන්ත හමුදාව යනු කොමියුනිස්ට් අනුග්‍රහය මත පෝලන්ත යුධ හමුදාව ප්‍රතිනිර්මාණය කිරීමේදී පිහිටුවන ලද පළමු සේනාංකය යි. මොවුන් විසින් සිදුකරන ලද උත්සාහය දින කිහිපයක් තුළ අසාර්ථක වූයේ එම සේනාංකයට විශාල ජීවිත හානි සිදු කරමින්.

අවසානය​

සැප්තැම්බර් 24 වන දා වෝර්සෝවේ මොකොටොව් ප්‍රදේශය වෙත ජර්මානුන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. දින තුනකට පසු එහි වූ කැරලිකරුවන් යටත් වූයේ ජර්මානුන් ජිනීවා සම්මුතීන් අනුව යටත් වූවන්ට සලකන බවට වූ ප්‍රතිඥාවක් දුන් පසු යි. ඒ අනුව යටත්වන ස්වදේශ හමුදා සාමාජිකයන් කැරලිකරුවන් නොව යුධ සිරකරුවන් ලෙස සලකනු ලැබුණා. ඒ අනුව සැප්තැම්බර් 27 වන දා එම ප්‍රදේශයේ ස්වදේශ හමුදා යටත් වුණා.

සැප්තැම්බර් 29 වනදා සොලිබෝර්ස් ප්‍රදේශයට ද දැවැන්ත ජර්මන් ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රදේශයත් ඊළඟ දිනයේදී යටත් වුණා. කොමියුනිස්ට් සටන්කාමීන් පිරිසක් විස්ටියුලාවෙන් එතෙර වීමට උත්සාහ කළත් එයින් සාර්ථක වූයේ කිහිප දෙනකු පමණ යි.

ඔක්තෝබර් 1 වන දා පැය හයක සටන් විරාමයක දී සිවිල් වැසියන් 8,000ක් නගර මධ්‍යයෙන් ඉවත් වුණා. ඊළඟ දිනයේදී සටාන් නැවැත්වීමේ ගිවිසුමකට අත්සන් කෙරුණ අතර වෝර්සෝ කැරැල්ල ඉන් නිම වුණා. ස්වදේශ හමුදාවේ 15,000ක් යුධ සිරකරුවන් ලෙස යටත් වුණා.

කැරැල්ලෙන් පසු නගරයේ වූ සිවිල් වැසියන් ඉවත් කිරීමට ජර්මනිය ක්‍රියා කළා. ඉන් 55,000ක් දේශපාලන සිරකඳවුරු වෙත ගෙනයන ලදැ යි සඳහන් වනවා. තවත් 150,000ක් වැඩ කඳවුරු වෙත ගෙනයනු ලැබුණා. එමෙන්ම නගරයේ බොහෝ කොටස් විනාශ කරනු ලැබුණා.

Related Articles