1914 ජූලි 28 වන දා ඔස්ට්‍රියා-හන්ගේරියානු අධිරාජ්‍යය විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමග පළමු ලෝක යුද්ධය ආරම්භ වුණා. මෙම යුද්ධයේ බටහිර පෙරමුණ ලෙස හඳුන්වන ලද්දේ බෙල්ජියම සහ ප්‍රංශය ආශ්‍රිත ප්‍රදේශයන් හි වූ සටන් පෙරමුණ යි. යුද්ධයේ අවධානය වැඩිපුර ම යොමු වූ පෙරමුණ වූයේ බටහිර පෙරමුණ යි.

1915 වසරේ අවසානය වන විට යුරෝපයේ සහ මැද පෙරදිග සටන් පෙරමුණු කිහිපයක ම සටන් සිදුවෙමින් තිබුණා. නමුත් ජර්මන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එරික් ෆොන් ෆැල්කන්හයින් දිගට ම විශ්වාස කළේ යුද්ධයේ ප්‍රතිඵලය තීරණය වන්නේ බටහිර පෙරමුණේ දී බව යි. දැවැන්ත යුධ මෙහෙයුමක් මගින් ප්‍රංශය දණ ගැස්වීම 1916 වසර ඇරඹෙද්දී ෆැල්කන්හයින්ගේ සැලසුම වුණා. ඔහු මේ සඳහා තෝරාගත්තේ වර්ඩාන් (Verdun) ප්‍රදේශය යි.

ෆැල්කන්හයින්ගේ ​සැලසුම​

ෆැල්කන්හයින් විසින් ම යුද්ධයෙන් පසු ප්‍රකාශ කරන ලද කරුණු අනුව ඔහුගේ සැලසුමේ ප්‍රධාන ම අංගය වූයේ ප්‍රංශ සෙබළුන් හැකි පමණ මරණයට පත් කොට එරට පරාජය කිරීම ය​. මෙය ලේ ගැලීමට සලස්වා විනාශ කිරීම යන අර්ථයෙන් Ausblutung යනුවෙන් හඳුන්වනු ලැබුණා.

එරික් ෆොන් ෆැල්කන්හයින් (Public Domain)

මියුස් නදීබඩ නගරයක් වූ වර්ඩාන් සහ ඒ ආශ්‍රිත ව ගොඩනංවා තිබුණු බලකොටු පද්ධතිය ප්‍රංශ පෙරමුණේ වැදගත් ම ආරක්ෂක විධිවිධානයන්ගෙන් එකක් වුණා. එමෙන්ම වර්ඩාන් නගරය ප්‍රංශයට ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වුණා. ඒ හේතුවෙන් ප්‍රංශය වර්ඩාන් ආරක්ෂා කිරීම සඳහා හැකි සියල්ල ම කරනු ඇති බවට ෆැල්කන්හයින් විශ්වාස කළා. මේ නිසා ඔහු බලාපොරොත්තු වූයේ දැවැන්ත ප්‍රහාරයක් එදෙසට එල්ල කොට ප්‍රංශ සේනාංක හැකි පමණ එහි අද්දවා ගැනීම සහ එහි දී විනාශ කිරීම යි.

වර්ඩාන් සටන් බිම (Wikimedia Commons)

ජර්මන් පස්වන හමුදාවේ අණදෙන නිලධාරියා වූ කිරුළ හිමි විල්හෙල්ම් කුමරු සහ ඔහුගේ මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් ෂ්මිඩ් ෆොන් ක්නොබල්ස්ඩෝර්ෆ් මෙම අදහසට එකඟ වුණා. නමුත් ඔවුන් බලාපොරොත්තු වූයේ ෆැල්කන්හයින්ට වඩා වෙනස් සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට යි.

ඉහත සිතියමෙහි දැක්වෙන පරිදි සමස්ත සටන් පෙරමුණට මියුස් නදියේ දකුණු ඉවුර සහ වම් ඉවුර යන දෙපස ම අයත් වුණා. දකුණු ඉවුරේ ජර්මන් පෙරමුණේ සිට වර්ඩුන් නගරය කරා වූ ප්‍රදේශයේ ප්‍රධාන බලකොටු වූයේ දුආමොන් (Douaumont) සහ වෝ (Vaux) බලකොටු යි. ෆැල්කන්හයින් බලාපොරොත්තු වූයේ දුආමොන් සහ වෝ ආශ්‍රිත කිලෝමීටර​ කිහිපයක පෙරමුණක සටන දියත් කිරීමට යි. නමුත් විල්හෙල්ම් කුමරු අදහස් කළේ දකුණු ඉවුර සහ වම් ඉවුර ආවරණය කෙරෙන පුළුල් පෙරමුණක ජර්මන් ප්‍රහාර එල්ල කිරීමට යි.

කෙසේ නමුත් අවසානයේ දී ෆැල්කන්හයින්ගේ සැලසුම ක්‍රියාවට නැංවීමට ජර්මන් හමුදා නායකත්වය තීරණය කළා.

“වැදගත් නොවූ” බලකොටු

වර්ඩාන් සංග්‍රාමය ඇරඹීම සඳහා සැලසුම් කර තිබුණේ 1916 පෙබරවාරි 12 වන දා යි. නමුත් එදින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රහාරය ඇරඹුණේ නැහැ. යම් හෙයකින් එදින ප්‍රහාරය ඇරඹුණා නම් මෙම සටන මෙතරම් කල් නොයාමට ඉඩ තිබුණා. ඊට හේතු වූයේ ප්‍රංශ හමුදාවේ ඇතැම් නිලධාරීන් විසින් ගන්නා ලද තීරණයක්.

යුද්ධය ඇරඹි සමයේ දී බෙල්ජියමේ වූ බලකොටු ජර්මන් කාලතුවක්කු ප්‍රහාර හමුවේ කඩා වැටුණ ආකාරය දුටු ප්‍රංශ හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරී ජෙනරාල් ජෝසෆ් ජොෆ්‍රෙ තීරණය කළේ පැරණි ක්‍රමයේ බලකොටු කාලතුවක්කු හමුවේ ආරක්ෂා කළ නොහැකි බව යි. ඒ අනුව වර්ඩාන් පෙරමුණේ වූ බලකොටුවල තුවක්කු වෙනත් සටන් පෙරමුණු කරා ගෙන යාමට කටයුතු කෙරෙමින් තිබුණා. වාසනාවකට මෙන් 1916 ජනවාරි වන විට ජොෆ්‍රෙගේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කවුටෙන්සියු මෙම නිරර්ථක ක්‍රියාව නවතා දමා ප්‍රදේශය ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට කටයුතු කළා. හරියට ම පෙබරවාරි 12 වන දා ප්‍රංශ ඩිවිෂන දෙකක් ප්‍රදේශයට ළඟා වුණා.

ප්‍රහාරය ඇරඹෙයි

1916 පෙබරවාරි 21 වන දා උදෑසන 7 පසු වී සුළු වේලාවකින්, විශාල ජර්මන් නාවික තුවක්කුවකින් එල්ල කළ මිනිසෙකු පමණ උසැති උණ්ඩයක් කි. මී. 30ක පමණ දුරක් ගෙවාගෙන පැමිණ​, වර්ඩාන් හි බිෂොප්වරයාගේ නිවහනෙහි මිදුලට පතිත වුණා. එය කිලෝමීටර කිහිපයක පෙරමුණක් ඔස්සේ රඳවා තිබූ ජර්මන් කාලතුවක්කුවලට දුන් සංඥාව වූ අතර එකණෙහි ම එම කාලතුවක්කු සියල්ල සිය ප්‍රහාරය ඇරඹුවා. සිදුව ඇති හානිය නිරීක්ෂණය සඳහා මධ්‍යහ්නයේ දී තාවකාලික ව ප්‍රහාරය නවතා දමන ලද අතර ඉන්පසු යළිදු එය ආරම්භ කෙරුණා​. සවස තුනේ සිට හතර දක්වා එම ප්‍රහාරය තවත් තීව්‍ර කෙරුණේ පාබල හමුදාවේ ඉදිරි ගමනට පෙර යි.

සවස 4.45ට පළමු ජර්මන් සේනාංක තම යුධ අගල්වලින් පිටතට පැමිණ ප්‍රංශ අගල් දෙස ගමන් ආරම්භ කළා. නමුත් කාලතුවක්කු ප්‍රහාරයන්ගෙන් දිවි ගලවාගත් ප්‍රංශ සෙබළුන් ඇතැම් ස්ථානයන් හි සිටි අතර ඔවුන් මැෂින් තුවක්කු මඟින් ජර්මානුන්ට පහර දුන්නා. එම නිසා එදින සවස් යාමයේ ජර්මානුන්ට තම ප්‍රහාරය බලාපොරොත්තු වූ තරම් සාර්ථක කරගැනීමට හැකි වූයේ නැහැ.

නමුත් මීළඟ දින දෙක තුළ ජර්මන් ප්‍රහාර වඩා සාර්ථක වූ අතර ප්‍රංශ සේනාංක කෙමෙන් පසු බස්වනු ලැබුණා. පෙබරවාරි 24 වන දා වනවිට ජර්මානුන් ප්‍රකට දුආමොන් බලකොටුව ආසන්නය වෙත පැමිණ තිබුණා.

දුආමොන් බලකොටුව (Public Domain)

පෙබරවාරි 25 වන දා ජර්මන් හමුදා දුආමොන් බලකොටුව වෙත පැමිණියා. මේ වනවිට එහි රැඳී සිටියේ විසි ගණනක කුඩා පිරිසක් පමණයි. 1916 ජනවාරියට පෙර වර්ඩාන් පෙරමුණෙන් හමුදාව අඩු කරන ලද අවස්ථාවේ කුඩා පිරිසක් පමණක් එහි රඳවා තිබුණා. මෙම පිරිස ජර්මානුන්ට යටත් වුණේ සටනකින් තොරව යි.

මෙම අවස්ථාවේ වර්ඩාන් සටන මෙහෙයවීම සඳහා පළපුරුදු ජෙනරාල්වරයකු පත් කිරීමට ප්‍රංශ හමුදා නායකත්වය තීරණය කර තිබුණා. පෙබරවාරි 25 වන දා මධ්‍යම රාත්‍රියේ පටන් වර්ඩාන් ආරක්ෂා කිරීමේ වගකීම ජෙනරාල් ෆිලීප් පෙටාන්ට පවරනු ලැබුණා.

ජෙනරාල් ෆිලිප් පෙටාන් වර්ඩාන් හි දී (defense.gouv.fr)

පෙටාන් මුලින්ම කළේ යුධ පෙරමුණට හැකි පමණ කාලතුවක්කු සහ භට පිරිස් ගෙන ඒම යි. එමඟින් ජර්මන් කාලතුවක්කුවල බලපෑමට පිළිතුරු දීමට හැකියාව ප්‍රංශ හමුදා වෙත ලැබුණා. මේ අතර පෙටාන් අවබෝධ කරගත්තේ සමස්ථ යුධ පෙරමුණට එක්වර පහර දීම වෙනුවට කුඩා ප්‍රදේශවලට වෙන්ව පහර දීම ඵලදායක වන බව යි. එමෙන්ම ප්‍රහාරක මෙහෙයුම් අඩු කොට වඩා ක්‍රියාකාරී ලෙස ආරක්ෂාකාරී පියවර ගැනීම පිළිබඳ ඔහු අවධානය යොමු කළා.

යුධ පෙරමුණ පුළුල් වේ

මේ අවස්ථාවේ ජර්මන් හමුදාවේ නායකයින් අතර උපක්‍රම පිළිබඳ නව ගැටුමක් ඇති වුණා. ෆැල්කන්හයින් විසින් කරන ලද මුල් ප්‍රහාර බලාපොරොත්තු නොවූ තරම් සාර්ථක නොවීමත් පෙබරවාරිය අවසන් වෙද්දී ජර්මනියට ද විශාල හානි සිදු වීමත් හේතුවෙන් මෙම ගැටුම නිර්මාණය වුණා. මේ අනුව වඩා පළල් පෙරමුණක යුධ වැදීමට ෆැල්කන්හයින් ද අනුමැතිය පළ කළා.

මේ අනුව දින දෙකක කාලතුවක්කු ප්‍රහාරයකින් පසු මාර්තු 6 වන දා මියුස් නදියේ වම් ඉවුරේ වූ මෝර්ටෝම් (Mort Homme) ප්‍රදේශයට ජර්මානුන් පහර දුන්නා. මේ අතර වෝ බලකොටුව දෙසට ද ප්‍රහාරයක් එල්ල කෙරුණා. මෝර්ටෝම් ප්‍රදේශයේ සටන දෙපසට දෝලනය වෙමින් පැවතුණ අතර වෝ බලකොටුව මෙම ප්‍රහාරයේ දී යටත් වූයේ නැහැ. මේ අනුව සටන ප්‍රතිඵලයක් නොමැති ව ඇදෙන්නට වුණා. අප්‍රේල් මාසයේ 21 වන දා වන විට කිරුළ හිමි විල්හෙල්ම් කුමරු ප්‍රකාශ කළේ සමස්ථ ප්‍රහාරය අතැර දැමිය යුතු බව යි.

මේ අවස්ථාවේ පෙටාන් ද අදහස් කළේ ප්‍රහාරක මෙහෙයුම් සඳහා නොගොස් ආරක්ෂාකාරී වීම වැදගත් බව යි. නමුත් ජෙනරාල් ජොෆ්‍රෙ ඊට එකඟ වූයේ නැහැ. ඔහු පෙටාන් ව මධ්‍යම ප්‍රංශ හමුදා කාණ්ඩයේ අණදෙන නිලධාරී ලෙස උසස් කොට දෙවන හමුදාව රොබර්ට් නිවෙල්ට බාර දුන්නා. ඒ අනුව යුධ පෙරමුණේ සටන් මෙහෙයවීම නිවෙල්ට පැවරුණා.

ජෙනරාල් රොබර්ට් නිවෙල් (Public Domain)

නිවෙල් මැයි 22 වන දා ප්‍රහාරයක් දියත් කොට දරුණු සටනකින් පසු දුආමොන් අල්ලාගත්තා. නමුත් එදින ම ජර්මන් ප්‍රහාර හමුවේ ඔවුන් එය අතැර ගියා. මේ අතර ජූනි 1 වන දා සිට ජර්මානුන් නැවත වෝ බලකොටුවට පහර දුන්නා. ජූනි 7 වන දා බලකොටුව ජර්මානුන් අතට පත් වූ අතර නිවෙල්ගේ ප්‍රතිචාරය වූයේ දිගින් දිගට ම පහර දෙමින් බලකොටුව යළි අල්ලාගැනීමට උත්සාහ කිරීම යි. ජීවිත දහස් ගණන් විනාශ වෙද්දී නිවෙල් එය දිගට ම කරගෙන ගිය අතර අවසානයේ දී එම ප්‍රහාර අත්හිටුවන ලෙස පෙටාන් ඔහුට අණ කළා.

මේ අතර බ්‍රිතාන්‍ය හමුදා බටහිර පෙරමුණේ වෙනත් ප්‍රදේශයක මෙහෙයුමකට සූදානම් වෙමින් සිටියා. ජූනි මස අවසන් සතියේ බ්‍රිතාන්‍ය හමුදා සෝම් නදී ප්‍රදේශයේ කාලතුවක්කු ප්‍රහාර ඇරඹූ අතර ජූලි 1 වන දා සෝම් නදී සංග්‍රාමය ඇරඹුණා. එයින් පසු ජර්මානුන්ට වර්ඩාන් වෙත හමුදා එවීම අපහසු වුණා. ඒ අනුව මීළඟ මාස කිහිපය තුළ ප්‍රංශ හමුදා කෙමෙන් කෙමෙන් තමන්ට අහිමි වූ ප්‍රදේශ නැවත ලබා ගත්තා. දෙසැම්බරය වෙද්දී වර්ඩාන් සටන නිමාවට පත් වුණා. මෙම සටනේ දී දෙපාර්ශවයේ ම ආසන්න වශයෙන් 150,000ක් බැගින් මිය ගියා. තවත් 200,000ක් බැගින් තුවාල ලැබුවා.

Ausblutung පිළිබඳ විවාදය​​

වර්ඩාන් සටන පිළිබඳ සාමාන්‍ය පිළිගැනීම අනුව ෆැල්කන්හයින් අදහස් කළේ හැකි පමණ ප්‍රංශ හමුදා විනාශ කිරීම යි. නමුත් ඔහුගේ එම උත්සාහය කාරණා කිහිපයක් නිසා අසාර්ථක වුණා. පළමුව​, පටු පෙරමුණකට පහර දීම ජර්මානුන් කරගත් වරදක්. දෙවනුව​, ජර්මානුන් තමන් සතු හොඳම බල ඇණි එම ප්‍රදේශයට යැවීමෙන් වැළකී සිටියා. තව ද අවශ්‍ය පමණ අතිරේක බල ඇණි ද එම ප්‍රදේශයට යැවුණේ නැහැ. මේ අතර බටහිර පෙරමුණේ වෙනත් සමහර ප්‍රදේශයන් හි ප්‍රබල ජර්මන් බල ඇණි රැඳී සිටියා.

වර්ඩාන් වෙත එල්ල වන පීඩනය අවම කිරීම සඳහා වෙනත් ප්‍රදේශයක මිත්‍ර හමුදා කඩිනම් ප්‍රහාරක මෙහෙයුමක් අරඹනු ඇතැ යි ෆැල්කන්හයින් විශ්වාස කළ බව ඇතැම් ඉතිහාසකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ "ලේ හලා ජයග්‍රහණය කිරීම​" හෙවත් Ausblutung යන යෙදුම වර්ඩාන් ප්‍රහාරය ඇරඹීමට පෙර කිසිදු විටෙක ෆැල්කන්හයින් විසින් යොදා නොගත් බව යි.

ප්‍රංශ හමුදා දැඩි ප්‍රහාරයකට ලක් වුව ද​, මිත්‍ර හමුදා හරිහැටි සූදානම් නොවී වෙනත් ප්‍රදේශයක දී යුධ මෙහෙයුම් දියත් කිරීමෙන් වැළකී සිටියා. එහෙයින් ෆැල්කන්හයින්ට වර්ඩාන් මෙහෙයුම දිගට ම ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් වූයේ නැහැ. ඉහත සඳහන් කළ ඉතිහාසකරුවන් සැක පහළ කරන්නේ ෆැල්කන්හයින්ගේ මුල් අදහස සාර්ථක නොවූ නිසා ඔහු තම මුල් අදහස වූයේ Ausblutung බවට පසු කාලයක දී ප්‍රකාශ කළ බව යි.

Cover Image: වර්ඩාන් සංග්‍රාමය (BBC)

මූලාශ්‍රයයන්:

  • History of the First World War - B.H. Liddell Hart
  • The Mammoth Book of Modern Battles (Ed. John E. Lewis)
  • Great War Youtube Channel