Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සික්වරුන්ට එරෙහි රන් දෙවොලේ සටන – ඔපරේෂන් බ්ලූස්ටාර්

ඉන්දියාවේ සිටින සික් ජාතිකයන් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 2%ක් පමණ. නමුත් ඉන්දියානු හමුදාවේ සික් නියෝජනය 15% තරම් විශාල යි. ඉන්දියානු සික්වරුන් සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව පවසමින් සික් ජාතිකයන් කණ්ඩායමක් ආයුධ සන්නද්ධව රැගෙන ගිය විමුක්ති ව්‍යාපාරයක් යුධ ක්‍රියාවලියකින් අවසන් කිරීමට ඉන්දියානු මධ්‍යම රජය කටයුතු කරනවා.

ඒ, පන්ජාබයේ අම්රිස්‌තාර් ප්‍රදේශයේ පිහිටි සික් ආගමික මුදුන්මල්කඩ වූ රන් දෙවොල් භූමියේ දී යි.

ඉන්දිරා ගාන්ධි අගමැතිනිව සිටින සමයේ දී මෙම මෙහෙයුම සිදු වූ අතර අන්තවාදයට එරෙහිව ගත් තීරණයක් ලෙස එවකට ඉන්දියානු රජය මෙම මෙහෙයුම නම් කර දක්වනවා. නමුත් ලොව පුරා දේශපාලන, යුධ විචාරකයන් හා ස්වේච්ජා සංවිධාන මෙය සුළු ජාතිකයන්ට එරෙහිව කළ ඝාතන ක්‍රියාවලියක් බව ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ඔපරේෂන් බ්ලූස්ටාර් නම් වූ මෙම මෙහෙයුමෙන් මාස කිහිපයකට පසුව ඉන්දිරා ගාන්ධි ඝාතනය වෙනවා. ඇයගේ ආරක්ෂාවට සිටි සික් ජාතික සෙබළුන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කිරීම සික්වරුන් ඇයගෙන් ගත් පළිගැනීමක් බවට සදහන්.

සික් අන්තවාදය වෙනම රාජ්‍යයක් සඳහා සිහින මැවීම

ජර්නාල් සිංග් බ්‍රින්ද්‍රන්වාලේ (Pinterest)

1947 දී ඉන්දීය නිදහසින් පසු සික්‌ ජාතිකයන්ගෙන් ස්‌වරාජ්‍යයක්‌ සඳහා වූ ඉල්ලීමක්‌ ඉදිරිපත් වෙනවා. 1966 දී පන්ජාබය ප්‍රාන්තයක්‌ බවට පත් කිරීමට මධ්‍යම රජය ඒ අතර කටයුතු කරනවා. එයින් නොනවතින සික් ආගමික ප්‍රධානින් තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවත් එය “කාලිස්ථාන්” ලෙස නම් කරන බවත් පවසමින් 1975 වසරෙන් පසුව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක එළඹීමට තීරණය කරනවා.

ජර්නාල් සිංග් බ්‍රින්ද්‍රන්වාලේ නමැති තරුණ ආගමික නායකයෙක් මේ සඳහා නායකත්වය ලබාදෙන අතර තවත් ආගමික නායකයන් රැසක් සටන සඳහා පළමු පෙළ නායකත්වය ගෙන කටයුතු කරනවා.

ඔවුන් තම ඉල්ලීම මධ්‍යම රජයට ඉදිරිපත් කරන නමුත් මධ්‍යම රජය විසින් එය ප්‍රතික්ෂේප කෙරෙනවා. ක්‍රමක්‍රමයෙන් සික්වරුන් බහුල පන්ජාබයේ ගැටුම් උත්සන්න වූ අතර ඒවා ක්‍රමානුකූලව අසල්වැසි හින්දු හර්යානා ප්‍රාන්තය කරා පැතිර යනවා.

සික් ආයුධ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය දිනෙන් දින වර්ධනය වූ අතර ඔවුන්ගේ පිරිස් බලය ද ඉහළ යනවා. සන්නද්ධ ව්‍යාපාරය සමග වැඩිපුරම එකතුවන්නේ හමුදා සාමාජිකයන් හා සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් වීම විශේෂත්වයක් ලෙස සදහන් කළ හැකි යි.

මධ්‍යම රජය හා ඇති වූ විරසකය

නායකයා තම අනුගාමිකයන් සමග (ThePrint)

වර්ධනය වන ගැටුම් අවම කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව හා සික් දේශපාලන නායකයන්, ආගමික නායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන නමුත් ඒවා අසාර්ථක වෙනවා.

1984 පෙබරවාරි මාසයේ දී ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපිට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඉරා දමා මධ්‍යම රජයට විරෝධය පෑමට සික්‌ නායකයන් පස්‌ දෙනකු කටයුතු කරන අතර අන්තවාදී සික් කණ්ඩායම් විසින් මනුෂ්‍ය ඝාතන, පොදු දේපොළවලට හානි කිරීම් වැනි ත්‍රස්ත ක්‍රියාවල දිගින් දිගටම නිරත වෙනවා.

ආරක්ෂක අංශ විසින් සික් නායකයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන අතර මේ හේතුවෙන් ගැටුම්කාරී වාතාවරණය තවත් වර්ධනය වෙනවා.

සික් ළමා සොල්දාදුවෙක් (Flickr)

මේ අතර තවත් එක්තරා සිදුවීමක් වෙනවා. ඒ අන්තවාදී සික් ජාතිකයන් ලෙසත් මධ්‍යම ආණ්ඩුවට හිතවත්ව ක්‍රියා කරන සික්වරුන් ලෙසත් සික් සාමාජය කොටස් දෙකකට බෙදී යාම යි. අන්තවාදී කණ්ඩායම විසින් අනෙක් සික් කණ්ඩායම මර්දනය කිරීමත් මේ සමගම ආරම්භ වෙනවා.

හින්දූන් ඝාතනය කිරීම දිගින් දිගටම කරගෙන යාමට ද ඔවුන් කටයතු කරනවා. නමුත් සික් සන්නද්ධ කණ්ඩායමේ නායකයා වන ජර්නාල් සිංග් බ්‍රින්ද්‍රන්වාලේ පවසන්නේ සික් ජාතිකයන් හින්දූන්ගේ වහලුන් ලෙස සිටීම තම ජාතිය ප්‍රතික්ෂේප කරන බවත් මධ්‍යම ආණ්ඩුව විසින් සික් ජාතිකයන්ව ත්‍රස්ත චෝදනා මත ඝාතනය කරන බවත් ය.

සික්වරුන්ගේ ආගමික මුදුන්මල්කඩ වූ රන් දෙවොල මූලස්ථානයක් ලෙස  

සික් කැරලිකරුවන් – පන්ජාබයේ වීදියක (The Japan Times)

සන්නද්ධ සික් ජාතිකයන් ඔවුන්ගේ මෙන්ම ලෝකය පුරා විසිරි සිටින සික්වරුන්ගේ ආගමික මුදුන්මල්කඩ වූ රන් දෙවොල තමන්ගේ සටන් මුලස්ථානය බවට පත්කර ගන්නවා. රන් දෙවොල පිහිටා ඇත්තේ පන්ජාබයේ අම්රිස්‌තාර් ප්‍රදේශයේ යි.

මේ වන විට කැරලිකරුවන්ට පකිස්ථානයෙන් යුධ ආධාර හා යුධ පුහුණුව ද ලැබී ඇති බවට ඉන්දියානු ඔත්තු සේවා විසින් ප්‍රකාශ අකරනවා. මධ්‍යම ආණ්ඩුවට එරෙහිව රන්දෙවොලේ සිට යුද්ධ ප්‍රකාශ කිරීමට ජර්නාල් සිංග් බ්‍රින්ද්‍රන්වාලේ ප්‍රමුඛ සන්නද්ධ සික් කණ්ඩායම තීරණය කරනවා. මධ්‍යම රජයේ හමුදාව විසින් කෙදිනකවත් ලෝක පූජිත ආගමික ස්ථානයකට පහර දෙනු ඇතැයි ඔවුන් සමහරවිට නොසිතන්න ඇති.  

1984 වසරේ මැයි මාසයේ 25 වන දින විට පන්ජාබයේ තත්වය එතරම් යහපත් නොවන බව අවබෝධ කරගන්නා ඉන්දියානු රජය ලක්ෂයක භට කණ්ඩායමක් ඒ වෙත පිටත් කර හරිනවා. ඔවුන් රන්දෙවොල හා තවත් හමුදාමය වැදගත්කමින් යුක්ත මර්මස්ථාන වටලාගෙන සිටිනවා.

ජූනි මාසයේ තුන් වන දා වන විට පන්ජාබයේ සියලුම සන්නිවේදන පද්ධති බිඳ වැට්ටවීමට මධ්‍යම රජය කටයතු කරනවා. මාර්ග බාධක යොදාගනිමින් පන්ජාබයට ඇතුල්වීම හා පිටවීම තහනම් කරනවා. මේ වන විට රන් දෙවොල තුළ කැරලිකරුවන් හා සාමාන්‍ය සික් වැසියන් 10 000 ක් පමණ රැඳී සිටි බව සඳහන් වෙනවා. ඉන්පසු ඇදිරි නීතිය පැනවීමටත් විදුලිය හා ජලය අත්හිටුවිමටත් තීරණය වෙනවා.

රන්දෙවොලේ මෙහෙයුම හෙවත් ඔපරේෂන් බ්ලූ ස්ටාර්

ජූනි 4 වන දා ඉන්දියානු හමුදා රන් දෙවොලට එපිට සිට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන අතර පූජනීය ස්ථානයේ ගොඩනැගිලිවලට හානි නොවිය යුතු යැයි ආණ්ඩුව විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කරනවා. නමුත් ප්‍රහාරය ආරම්භ වූ පසුව ගොඩනැගිලිවලට අවම හානියක් සිදුවෙන ලෙස මෙහෙයුම සිදු කරන ලෙස දන්වා සිටිනවා.

ජූනි 5 වන දා අක්කර 90කට වඩා වැඩි වපසරියක් සහිත භූමියක පිහිටා තිබූ රන් දෙවොලට ඇතුල් වෙන ඉන්දියානු හමුදාව හා සික් කැරලිකරුවන් අතර දරුණු ගැටුම් නිර්මාණය වෙනවා.

ඉන්දියානු හමුදා සටන් බිමේ (Sikh Museum)

ලුතිනන් ජෙනරාල් කුල්දිප් සිං බ්‍රාර් ගේ නායකත්වය යටතේ රන් දෙවොලට කඩා වදින ඉන්දීය හමුදාව, සික් නායකයා ප්‍රමුඛ කැරලිකරුවන් 150කට අධික ප්‍රමාණයක් ඝාතය කරනවා. ඉන්දියානු හමුදා සාමාජිකයන් 83ක් පමණ මෙහිදී මරණයට පත්වෙනවා.

සටනින් පසු (Deutsches Informationszentrum für Sikh Religion)

එහි හා අවට රැදී සිටි සාමාන්‍ය වැසියන් 500කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් වූ බවට රජය විසින් නිවේදනය කළත් මිය ගිය සාමාන්‍ය සික් ජාතිකයන් ප්‍රමාණය 1000කට අධික බව පැවසෙනවා.

මේ ආකාරයට ඔපරේෂන් බ්ලූ ස්ටාර් නිම වූ අතර ඒ හේතුවෙන් ඉන්දිරා ගාන්ධි හා ඉන්දියානු මධ්‍යම රජය ඉන්දියාවේ හා ලෝකය පුරා සිටින සික් ජාතිකන්ගේ වෛරයට පාත්‍ර වෙනවා.

කවරයේ පින්තූරය - The Democratic Buzzer

මූලාශ්‍රයයන්:

indiatoday.in

indiatimes.com

telegraph.co.uk

hindustantimes.com

Related Articles