උප සහරානු අප්‍රිකාවේ පළමු ශිෂ්ටාචාරය “නොක්” සංස්කෘතියද?

ගල් යුගයේදී ආරම්භ වී ලෝහ යුගය දක්වාම තම ජනපදය පවත්වාගත් ජනපදයක් ලෙස “නොක්වරුන්ගේ” ජනපදය (Nok Culture) සහ ඔවුන්ගේ සංස්කෘතිය හඳුනාගත හැකි බවට පුරාවිද්‍යාඥයින් මේ වන විට මත පළ කරනවා. උප සහරානු අප්‍රිකාවේ (Sub Saharan Africa) පිහිටි මනා ලෙස සංවිධානය වූ පළමු ශිෂ්ටාචාරය ලෙසින්ද මෙම නොක්වරුන්ගේ ජනපදය හැඳින්වෙනවා. වර්තමානයේ බටහිර අප්‍රිකාවේ නයිජීරියාවට අයත් වන භූමි ප්‍රදේශයේ මෙම නොක්වරුන් තම ජනපදය පිහිටුවාගෙන සිට තිබෙනවා. ස්ථිර ගොඩනැගිලි තනා තිබූ, කෘෂිකර්මාන්තයට සහ විවිධ නිෂ්පාදනයන් සඳහා වෙන් කරන ලද භූමි ප්‍රදේශ හා මධ්‍යස්ථානයන්ගෙන් යුක්ත වූ නොක්වරුන්ගේ අපූරු ශිෂ්ටාචාරය පිළිබඳ මේ ලිපියෙන් ඔබ වෙත තොරතුරු බිඳක් සැපයෙනවා.

අහඹු ලෙස මතු වූ “නොක්” සංකෘතිය

මේ නොක්වරුන්ගේ සංස්කෘතියේ ආරම්භය සිදු වූයේ කුමන සමයේද, එය අවසන් වූයේ කෙසේද යන්න මෙන්ම මේ නොක්වරු යනු කවුරුන්ද යන්නට පවා මේ වන විට නිශ්චිත පිළිතුරු ලබාගන්නට පුරාවිද්‍යාඥයින් හට හැකියාවක් ලැබී නැහැ. 1943 වසරේ දිනෙක නයිජීරියාවේ “ජෝස්” නම් වූ සානුවේ (Jos Plateau) දකුණුදිග හා බටහිර ප්‍රදේශයන්හි සිදු කෙරෙමින් පැවතුණු පතල් කැණීම් ව්‍යාපෘතියක් අතරතුරදී අහඹු ටෙරා කොටා වලින් තනන ලද  හිසක රුවක් සහ කැඩී බිඳී ගිය මැටි කැබලි කිහිපයක් පොළොවෙන් මතුව තිබෙනවා.

බටහිර අප්‍රිකාවේ නොක් ජනපදයේ පිහිටීම දැක්වෙන සිතියමක් (Image Credit: newsela.com)

බර්නාර්ඩ් ෆැග් නැමති පුරාවිද්‍යාඥයා වෙත ගෙන යන ලද මෙම මැටි කැබලි දුටු විගසම ඔහු විසින් ඒවායේ වටිනාකම හඳුනාගෙන තිබෙනවා. වහාම එම කැබලි තවදුරටත් සෙවීමේ කටයුතු වල නිරත වූ බර්නාර්ඩ් ෆැග් එකල පැවති නවතම ක්‍රම උපයෝගී කරගනිමින් ඒවා නිර්මිත යුගය සොයන්නට තැත් කළත් ඉන් ලැබුණු පිළිතුරු වලින් ෆැග් සෑහීමකට පත් වූයේ නෑ. බටහිර ක්‍රමයන්ට අනුව මෙහි ඇත්ත නැත්ත සැක හැර දැනගැනීමද  අපහසු බව ඔහුට වැටහුණා. බර්නාර්ඩ් ෆැග්ගේ මතය වූයේ මෙම සංස්කෘතිය ක්‍රි. පූ. 500වන සියවස දක්වා ඈතට දිවෙන්නක් බවයි. ඔහු විසින් මෙම සංස්කෘතියට “නොක්” යන නම තැබූයේ එම වස්තූන් හමු වූ පතලට ආසන්නයෙන්ම වූ ගම්මානයේ නමද නොක් නම් වූ නිසාවෙනුයි.

පුරාවිද්‍යාඥ ෆැග් තම ගවේෂණ කටයුතු දිගටම සිදු කළ අතර, නයිජීරියාවේ ටරූගා (Taruga) සහ සාමුන් දුකියා (Samun Dukiya) නම් ප්‍රදේශයන් තුළ සිදු කරන ලද කැණීම් තුළින් තවත් බොහෝ දෑ සොයා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ටෙරා කොටා වලින් නිපදවන ලද නිර්මාණ, මැටි බඳුන්, ගලෙන් නිමවන ලද පොරොව සහ යකඩ ආම්පන්න ආදී වස්තූන් රාශියක් එම කැණීම් ස්ථානයන්ගෙන් සොයාගනු ලැබුවේ එලෙසයි. කෙසේ වෙතත්, එම සමයේදී නොක් සංස්කෘතිය පිළිබඳව ගැඹුරින් හැදෑරීමට තරම් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ නැති හෙයින් මෙම සොයාගැනීම් පිළිබඳව වැඩිදුර ගවේෂණයන් කිරීමේ අවස්ථාව මගහැරී ගියා.

ටෙරා කොටා වලින් සාදන ලද පිරිමි උඩුකය රුවක් (Image Credit: newsela.com)

යටත්විජිතවාදී මානසිකත්වය විසින් එකල නිලධාරීන් සිය අප්‍රිකානු සංස්කෘතියෙහි අක්මුල් සොයා යාම වළක්වා තිබීමද ඊට එක් හේතුවක් ලෙස හඳුනාගත හැකියි. එමෙන්ම, එම යුගයේදීම අලුතින් නිදහස ලැබූ නයිජීරියානු රාජ්‍යය දේශපාලනික ගැටුම් මධ්‍යයේ නව මුහුණුවරක් ගනිමින් සිටි නිසාත් පුරාවිද්‍යාත්මක ගවේෂණයන් කෙරෙහි විශාල රාජ්‍ය අනුග්‍රහයක් ලබා ගැනීමටත් පුරාවිද්‍යාඥයින් හට හැකියාවක් ලැබුණේ නැහැ. මේ සියල්ල සිදු වෙමින් පවතිද්දී බටහිරින් පැමිණි කෞතුක වස්තූන් එකතු කරන්නන් විසින් මෙම කැණීම් සිදු කරගෙන ගිය ස්ථානයන් වනසමින් එම වස්තූන් කොල්ලකෑ නිසා, පුරාවිද්‍යාඥයින් ඇතුළු ගවේෂණ කණ්ඩායම් වලට තම කටයුතු ඉදිරියට කරගෙන යාම තවත් අපහසු වුණා.

සංකීර්ණ සමාජයක්

නොක්වරුන්ගේ සංස්කෘතිය පිළිබඳව වඩාත් ගැඹුරින් හැදෑරීම නැවතත් ආරම්භ වුණේ විසි එක්වන සියවසේදීයි. Radio Carbon Dating හෙවත් රේඩියෝ කාබන් තාක්ෂණය වැනි නව ක්‍රමවේදයන් හරහා උකහාගත් තොරතුරු මගින් පැහැදිලි වූයේ නොක්වරුන් ක්‍රි. පූ. 1200 සිට 400 දක්වා වසර අටසියයක කාලයක් මුළුල්ලේ තම ශිෂ්ටාචාරය පවත්වාගෙන ගොස් ඇති බවයි. රේඩියෝ කාබන් තාක්ෂණය කොතරම් සාර්ථක එකක් වුවද, නොක් සංස්කෘතියේ ඇරඹුම හෝ අවසානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලබාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්ව නැහැ.

නමුත් මෙතෙක් සිදු කරන කද කැණීම් වලින් පෙනී යන්නේ ඔවුන් ඉතා සංකීර්ණ ජන සමාජයක් කොටස්කරුවන් වූ බවයි. ටෙරා කොට වලින් නිමවන ලද පිළිම මෙන්ම කැණීම් වලින් සොයාගෙන ඇති යකඩින් සාදන ලද වස්තූන් දෙස බැලීමේදී පැහැදිලි වන්නේ ඉහළ නිපුනතාවයකින් යුතු ශිල්පීන් එකල විසූ බවයි. එමෙන්ම ඔවුන් කෘෂි කර්මාන්තයෙහි නියැලී ඇති බවටද සාක්ෂි සොයාගෙන තිබෙනවා. ඇතැම් පුරාවිද්‍යාඥයින් මත පළ කරන්නේ ඔවුන් අතර විවිධ ක්ෂේත්‍රයන්හි නිපුනතාවයන් දක්වන්නන් විසූ නිසා ඔවුන් අතර එම නිපුණතාවයන්ගෙන් යුත් ශිල්පීන්ට අනුව ඔවුන් කණ්ඩායම් වශයෙන් බෙදී ජීවත් වන්නට ඇති බවයි.

ගල් යුගයෙන් යකඩ යුගයට

ගල් යුගයෙන් ලෝහ යුගය වෙත මනුෂ්‍ය වර්ගයා සංක්‍රමණය වීම පුරාවිද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබන්නේ විශාල පෙරළියක් ලෙසිනුයි. ක්‍රි. පූ. 500 හෝ 400වන සියවස් අතරතුර නොක්වරුන්ද යකඩ උණු කොට ආයුධ නිපදවීමට යොමුව ඇති බවට සාක්ෂි මේ වන විට සොයාගෙන තිබෙනවා. නමුත් ඔවුන් ඊට යොමු වීම පිළිබඳව පුරාවිද්‍යාඥයින් දරන අදහස නම් සහරා කාන්තාරය දෙසින් නොක්වරුන් වෙත පැමිණි ලෝහ කර්මාන්ත ශිල්පය හරහා නොක්වරුන්ද ආයුධ නිපදවීම අරඹන්නට ඇති බවයි.

Image Credit: livejournal.com

යුරෝපීය ශිෂ්ටාචාරයන් ගල් යුගයේ සිට තඹ භාවිතා කරමින් ආයුධ නිපදවීමට යොමු වුවත් බටහිර අප්‍රිකානු ශිෂ්ටාචාරයන් ගල් යුගයේ සිට තඹ භාවිතාව දක්වා ගමන් නොකොට කෙළින්ම යකඩ භාවිතයට යොමු වූ බව පුරාවිද්‍යාඥයින් විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට අනුව ඊට පෙරමුණ ගන්නට ඇත්තේද නොක්වරුන් විය හැකියි. වසර දහසකට ආසන්න කාලයක් තිස්සේ යුරෝපීයයන් විසින් තඹ භාවිතා කරමින් සිට යකඩ වලින් ප්‍රයෝජන ගැනීමට යොමු වුවද, අප්‍රිකානු ශිෂ්ටාචාරයන් ඒ වෙත සෘජුවම ගමන් කොට තිබෙනවා. එහි මූලිකත්වය නොක්වරුන් විසින් ගන්නට ඇතැයි සැක පළ කෙරෙන්නේද ඔවුන්ගේ ජන සමාජය තුළ වූ සංකීර්ණත්වය නිසාවෙනුයි.

නොවිසඳුණු අභිරහසක්

නමුත් මෙතරම් ඉහළ මට්ටමක විසූ නොක්වරුන් හට සිදු වූයේ කුමක්දැයි නිශ්චිතව දැනගැනීමට කිසිවෙකුට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ. නමුත් නයිජීරියාවේ ඉෆේ (Ife) සහ බෙනින් (Benin) නම් වන සංස්කෘතීන් ද්විත්වයට අයත් නිර්මාණයන් සහ නොක්වරුන්ගේ ටෙරා කොටා නිර්මාණයන් අතර සමානතා රැසක් පෙන්නුම් කෙරෙනවා. ඉෆේ සහ බෙනින්වරු අයත් වන්නේ යොරූබා නැමති ගෝත්‍රයටයි. මේ නිසා නොක්වරුන් පසුකාලීනව යොරූබා (Yoruba) ගෝත්‍රිකයින් වන්නට ඇතැයිද මතයක් මේ වන විට හටගෙන තිබෙනවා. යොරූබාවරුන් ටෝගෝ සහ අයිවරි කෝස්ට් රාජ්‍යයන්හිද වාසය කරනවා. නමුත් මේ වන විට යොරූබා වරුන් ලෙසින් පෙනී සිටින්නේ නොක්වරුන්ගේ ඉදිරි පරපුරේ සාමාජිකයින්මදැයි යන්න නම් අදටත් අභිරහසක්.

කවරයේ ඡායාරූපය – www.newsela.com  

තොරතුරු උපුටා ගැනීම – www.newsela.com වෙබ් අඩවියේ “Nok Culture: Sub-Saharan Africa’s earliest civilization?” ලිපිය ඇසුරිනි.

Related Articles