දෙවන ලෝක යුද්ධයේ අවසානය සිදු වී 75 වසරක් ආසන්න වෙද්දී ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ අලුත් ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා. මෙයට මූලිකව හේතු වන්නේ පෝලන්තය විසින් කරන ලද චෝදනාවක්. ඔවුන් පවසන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹීමට ස්ටාලින් ද හිට්ලර් හා සමානව වගකිව යුතු බව යි. මෙම අදහස සඳහා ඇතැම් බටහිර මාධ්‍යයන් ඔස්සේ ද සැලකිය යුතු ප්‍රචාරයක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන රුසියාව සඳහන් කරන්නේ පෝලන්තය ඉතිහාසය විකෘති කරන බව යි. දෙවන ලෝක යුද්ධය දියත් කිරීමේ වරද, හිට්ලර්ට සහ ස්ටාලින්ට සමානව පැවරීම පිළිගත නොහැකි සහ නිවැරදි නොවන කරුණක් බව ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ; 1938 දී මියුනික් හි මහා පාවාදීමෙන් ජර්මනියට සිය බලය වර්ධනය කරගැනීමට හැකියාව ලැබුණ බව යි.

ඇත්තෙන්ම, ‘හිට්ලර් හා ස්ටාලින් දෙවන ලෝක යුද්ධය ඇරඹීම සම්බන්ධව, එක හා වැරදි ද?’ යන්න විමසිය යුතු කරුණක්.

නට්සි- සෝවියට් ගිවිසුම

දෙවන ලෝක යුද්ධය ඇරඹීම පිළිබඳ හිට්ලර්ට සහ ස්ටාලින්ට සමානව වරද පැටවීමට බලපා ඇති මූලිකම හේතුව වන්නේ 1939 අගෝස්තු 23 වන දා අත්සන් කෙරුණු නට්සි - සෝවියට් ගිවිසුම යි. දෙරටෙහි විදේශ අමාත්‍යවරුන් වූ යෝකිම් ෆොන් රීබන්ත්‍රොප් සහ ව්‍යචෙස්ලාව් මෝලතෆ් අතර අත්සන් කෙරුණ මෙම ගිවිසුම හේතුවෙන් ජර්මනියට සෝවියට් දේශයේ බාධාවක් නොමැතිව පෝලන්තය ආක්‍රමණය කිරීමේ අවස්ථාව ලැබුණා. ජර්මනිය 1939 සැප්තැම්බර් 1 වන දා පෝලන්ත ආක්‍රමණය ඇරඹුවා.

මෝලතෆ් ගිවිසුමට අත්සන් කාරයි. රීබන්ත්‍රොප් හා ස්ටාලින් ආදී පිරිසක් පිටුපසින් වෙති. (Getty Images)

මේ අතර දෙරට අතර ඇති වූ රහස් එකඟතාවක් අනුව සැප්තැම්බර් 17 වන දා නැගෙනහිර පෝලන්තයට සෝවියට් හමුදා ළඟා වුණා. මේ අනුව පෝලන්තයේ කොටසක් සෝවියට් පාලනයට යටත් වුණා.

මේ අනුව, බැලූ බැල්මට යුද්ධය ඇරඹීමේ සහ පෝලන්තය ආක්‍රමණය කිරීමේ වරද හිට්ලර් සහ ස්ටාලින් දෙදෙනාට පැවරිය හැකියැ යි සිතෙන්නට පුළුවන්. එහෙත්, හිට්ලර් යටතේ ජර්මනිය ශක්තිමත් වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් බව බොහෝ දෙනා අමතක කරනවා.

රයින්ලන්තයට හමුදා යැවීම

පළමු ලෝක යුද්ධයෙන් පසු රයින්ලන්තය එනම්, රයින් නදියේ සිට ප්‍රංශ - ජර්මන් දේශසීමාව තෙක් වූ ප්‍රදේශය යුධ හමුදා මුක්ත කලාපයක් ලෙස නම්කර තිබුණා. හිට්ලර් රයින්ලන්තයට හමුදා එවීමට සැරසෙන බව 1936 මුල වන විට ඉඟි පළ වී තිබුණ ද, ඒ පිළිබඳ එතරම් අවධානයක් යොමු වුණේ නැහැ. ප්‍රංශය අභ්‍යන්තර දේශපාලන වියවුල් හි ගැලී සිටියෙන් එරට අවධානය ප්‍රමාණවත් ලෙස මේ පිළිබඳ යොමු නොවූ අතර, බ්‍රිතාන්‍යය ද ඒ කෙරෙහි දැක්වූයේ උදාසීන බවක්.

රයින්ලන්තයට හමුදා යැවීම සිදුවූයේ 1936 මාර්තු 7 වන දා යි. මෙම පියවර හිට්ලර් හා ජර්මන් හමුදා නායකත්වය අතර මතභේදයකට හේතු වුණා. ප්‍රංශය හා බ්‍රිතාන්‍යය මේ පිළිබඳ කිසිවක් නොකරන බව හිට්ලර් තදින් විශ්වාස කළා. ඒත් හමුදා නායකත්වය සිටියේ දෙගිඩියාවෙන්. ප්‍රංශය රයින්ලන්තය ආක්‍රමණය කළේ නම් ජර්මන් හමුදාවන්ට සිදුවන්නේ පැමිණි වේගයෙන්ම ආපසු පළා යාමට බැව් ජර්මන් හමුදා ප්‍රධානීහු දැන සිටියා. ප්‍රංශය සමග යුද්ධයක් සඳහා කිසිදු සූදානමක් ජර්මනියට තිබුණේ නැහැ. ප්‍රංශය එම වෙලාවේ එවන් පියවරක් ගත්තා නම්, හිට්ලර්ගේ දේශපාලන අනාගතය පවා අනතුරට ලක් වෙන්නට ඉඩ තිබුණා. එහෙත් ඔවුන් කළේ හිට්ලර් සිතූ විදියෙන්ම, බලා සිටීම යි.

රයින්ලන්තයට හමුදා යැවීම (Imperial War Museum)

ප්‍රංශය මුහුණදුන් ගැටළුව දෙයාකාර වුණා. එක් අතකින් දේශපාලනිකව වූ අස්ථාවර තත්ත්වය එරට දුර්වල කළා. එමෙන්ම ප්‍රංශ යුධ උපක්‍රමවල ආරක්ෂාකාරී ප්‍රතිපත්තිය විසින් යුධ හමුදාව අකර්මණ්‍ය කළා.

ප්‍රංශයින් එක් ප්‍රබල සේනාංකයක් එවන්නට කටයුතු කළේ නම් ජර්මානුන්ට පසුබැසීම හැර විකල්පයක් නොමැති වන බව පැහැදිලි කරුණක්. අවාසනාවට ප්‍රංශය, යුද්ධය තමා වෙත එනතෙක් බලා සිටින පරාජිත මානසිකත්වයක සිටියා.

මියුනික් පාවාදීම දක්වා

රයින්ලන්තය අත්පත් කරගැනීමෙන් සිව් මාසයකට පසු මීළඟ යුරෝපීය අර්බුදය මතු වුණා. ස්පාඤ්ඤ සමූහාණ්ඩුවට එරෙහිව ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝට පක්ෂ යුධ හමුදා කැරලි ගැසුවා. ඉතාලිය හා ජර්මනිය ෆ්‍රැන්කෝට සහාය දුන් අතර, සෝවියට් දේශය සමූහාණ්ඩුවාදීන්ට සහාය දුන්නා. ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය මධ්‍යස්ථ බව ප්‍රකාශ කළා.

කියවන්න: ෆැසිස්ට් ඒකාධිපතියෙකු බලයට ගෙනා ස්පාඤ්ඤ සිවිල් යුද්ධය

මේ මධ්‍යස්ථභාවය සත්‍ය ලෙසම උපකාර කළේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කඳවුර වෙත යි. එයින් ෆැසිස්ට් කඳවුර ශක්තිමත් වුණා. ජර්මනිය හා ඉතාලිය දිගටම ෆ්‍රැන්කෝට සහාය දුන්නා. දෙවනුව, සමූහාණ්ඩු පක්ෂය වැඩි වැඩියෙන් සෝවියට් දේශය මත රැඳී සිටින තත්ත්වයක් මින් ඇති වුණා. ප්‍රංශය හා බ්‍රිතාන්‍යය ස්පාඤ්ඤ සමූහාණ්ඩුවාදීන්ට සහාය දුන්නේ නම් මෙම ප්‍රතිඵල දෙකම නොවන්නට ඉඩ තිබුණා.

මේ අතර 1938 මාර්තුවේ දී ජර්මනිය විසින් ඔස්ට්‍රියාව ඈඳා ගනු ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටවලට කළ හැක්කක් වූයේ නැහැ. මින්පසු හිට්ලර් චෙකොස්ලොවැකියාව ඉලක්ක කළා. ඊට මුල් වූයේ සුඩෙටන්ලන්තය යි. චෙකොස්ලොවැකියාවේ ජර්මන් දේශසීමාව අසල වන සුඩෙටන්ලන්තයෙහි විශාල ජර්මන් ජනගහනයක් වූ අතර​ එහි අර්බුද නිර්මාණය කිරීමට ප්‍රදේශයේ නට්සිවාදීහු කටයුතු කළා. හිට්ලර්ගේ චෝදනාව වූයේ චෙකොස්ලොවැකියා රජය ජර්මානුන් පීඩාවට පත් කරන බව යි.

ප්‍රධාන වශයෙන්ම නට්සීන් විසින් ම නිර්මාණය කළ මෙම අර්බුදය සඳහා විසඳුමක් සෙවීමට යුරෝපීය බලවතුන්ගේ හමුවක් සංවිධානය කරනු ලැබුණා. ඊට සහභාගී වූයේ ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ඉතාලිය යන රටවල් හතර යි. සෝවියට් දේශය ඊට සම්බන්ධ නොකරගන්නා ලද අතර,​ මෙම අර්බුදයේ අනෙක් පාර්ශවය වූ චෙකොස්ලොවැකියාව ද ඊට සම්බන්ධ කරගනු ලැබුණේ නැහැ. ජර්මනියේ මියුනික් හි 1938 සැප්තැම්බරයේ දී සිදු වූ මෙම සමුළුවේ තීරණය සැලකෙන්නේ මියුනික් හි මහා පාවාදීම ලෙස යි. සුඩෙටන්ලන්තය ජර්මනියට පවරා දිය යුතුයැ යි බලවතුන් විසින් චෙකොස්ලොවැකියාව වෙත දැනුම් දෙනු ලැබුණා.

සුඩෙටන්ලන්තය හිමි වීම ජර්මනියට කිහිප ආකාරයකින් වාසිදායක වුණා. චෙකොස්ලොවැකියාවේ අවි කම්හල් වැඩිපුර වූයේ මෙම ප්‍රදේශයේ යි. ගල් අඟුරු කර්මාන්තය ද ප්‍රධාන ලෙසම වූයේ මෙම ප්‍රදේශයේ යි. එමෙන්ම කඳුකර බලකොටු වූයේ සුඩෙටන්ලන්තයේ යි. මෙම අවි කම්හල් පසුකාලීන ජර්මන් යුධ ප්‍රයත්නයට ඉමහත් පිටුවහලක් වුණා. තව ද, සුඩෙටන්ලන්තයේ බලකොටු ජර්මනියට අයත් වූ පසු චෙකොස්ලොවැකියාවට කිසිදු ආරක්ෂාවක් තිබුණේ නැහැ. 1939 මාර්තු මාසයේ දී එරටෙහි අනෙක් ප්‍රදේශ ද ජර්මනිය විසින් ආක්‍රමණය කර අල්ලා ගැනුණේ කිසිදු විරුද්ධත්වයකින් තොරව යි.

සෝවියට් දේශයේ ප්‍රතිපත්ති

සෝවියට් දේශයෙහි විදේශ අමාත්‍යවරයා වූ මක්සිම් ලීත්විනෆ්, ඒකාබද්ධ සුරක්ෂිතතාව පිළිබඳ විශ්වාස කළ අයකු වුණා. නට්සි ජර්මන් තර්ජනයට එරෙහිව සියලු ප්‍රධාන රටවල් ඒකාබද්ධ වී ආරක්ෂාව සලසාගත යුතු බව ඔහුගේ ස්ථාවරය වුණා.

සෝවියට් දේශයට නට්සි ජර්මන් බලය වර්ධනය වීම පිළිබඳ පැහැදිලි බියක් තිබුණා. පෝලන්තය සහ රුමේනියාව වැනි රටක් ජර්මන් බලපෑමට යටත් වූයේ නම් ඊළඟ ඉලක්කය විය හැකි වූයේ සෝවියට් දේශය යි. හිට්ලර්, 1920 දශකයේ මැද දී ලියැවුණු "මගේ සටන" කෘතියෙන් ද පෙන්වා දී තිබුණේ ජර්මනිය නැගෙනහිර දෙසට ව්‍යාප්ත කළයුතු බව යි. එමෙන්ම නට්සි පක්ෂය සිය පරම සතුරා ලෙස සැලකූයේ කොමියුනිස්ට්වාදය යි.

එමෙන්ම, සෝවියට් දේශය සමග ආරක්ෂක එකඟතාවක් කරා එළඹීම ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා පෝලන්තය වැනි රටවලට අත්‍යවශ්‍ය කරුණක් වුණා. කිසියම් ආකාරයකින් ජර්මනිය පෝලන්තයට පහර දුන්නහොත්, ඊට මුහුණදීම සඳහා සෝවියට් සහාය අත්‍යවශ්‍ය වුණා. බටහිරින් පිහිටි ප්‍රංශය හා බ්‍රිතාන්‍යය සිය හමුදා එක්රැස් කරගෙන සටනට එළඹෙද්දී පෝලන්තයේ අවසානය වුව ද ළඟා වී තිබිය හැකි වුණා. එමෙන්ම බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට පෝලන්තය වෙත ඍජුව සහාය දීම අපහසු වුණා. එයට හේතුව වූයේ එම රටවල් අතර දුර මෙන්ම ඔවුන් අතර ජර්මනිය පිහිටීමත් හේතුවෙනි.

මේ අනුව සෝවියට් දේශය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුණා. එහෙත් තම උග්‍ර කොමියුනිස්ට් විරෝධය හා පෝලන්තයේ සාමාන්‍යයෙන් පැවති රුසියන් විරෝධී ස්වභාවය හේතුවෙන් පෝලන්ත රජය ඊට එකඟ වූයේ නැහැ.

මේ අතර, සෝවියට් දේශය ඒකාබද්ධ ආරක්ෂක ක්‍රමවේදයක් සඳහා යෝජනා කරද්දී බ්‍රිතාන්‍යය හා ප්‍රංශය උදාසීන සෙයක් පෙන්නුම් කළා. 1939 අප්‍රේල් මාසයේ ද එවැනි යෝජනාවක් ලීත්විනෆ් විසින් ඔවුන් වෙත යොමු කරන ලද නමුත්, එය කෙරෙහි ද බ්‍රිතාන්‍යය හා ප්‍රංශය දැක්වූයේ උදාසීනභාවයක්.

තව ද, මියුනික් හි දී චෙකොස්ලොවැකියාව පිළිබඳ තීරණය කිරීමේ සමුළුවට සෝවියට් දේශය වෙත ආරාධනා නොකිරීම ද එරටෙහි අප්‍රසාදයට හේතු වුණා.

මක්සිම් ලිත්වීනෆ් (Public Domain)

ජර්මනියට නැගෙනහිරින් පිහිටි කුඩා රටවල් ආරක්ෂා කිරීමේ දී සෝවියට් දේශය අත්‍යවශ්‍ය සාධකයක් බව එම කුඩා රටවල් මෙන්ම ප්‍රංශය හා බ්‍රිතාන්‍යය අමතක කළ බවක් පෙනුණා. රයින්ලන්තයට ජර්මන් හමුදාවක් එවීම වැළැක්වීමට කෂේරුකාවක් නොවූ ප්‍රංශය, නැගෙනහිරින් ජර්මනිය පෝලන්තයට පහර දෙද්දී, බටහිරින් ජර්මනියට පහර දී පෝලන්තය ගලවා ගනු ඇතැ යි හිතන්න පුළුවන්කමක් වූයේ නැහැ.

මියුනික් පාවාදීමෙන් පසු සෝවියට් දේශය හා ජර්මනිය කෙමෙන් කෙමෙන්, ඉතා සෙමින්, එකිනෙකාට සමීප වන බවක් දිස් වුණා. මුලින්ම මෙය සිදුවූයේ වෙළෙඳ සබඳතා පිළිබඳ සාකච්ඡා ලෙස යි.

1939 මැයි තුන්වන දා සෝවියට් පුවත්පත්වල කුඩාවට එක් පුවතක් පළ වී තිබුණා. ඊට අනුව​ ලීත්විනෆ් විදේශ අමාත්‍ය ධුරයෙන් විශ්‍රාම ගෙන තිබුණා. ඔහුගේ ඉල්ලීම මත එය සිදුවූයේයැ යි සඳහන් වුව ද, එම තීරණය ස්ටාලින්ගේ බව පැහැදිලි යි. ස්ටාලින්ගේ සමීපතමයකු වූ ව්‍යචෙස්ලාව් මෝලතෆ් (Vyacheslav Molotov) එම තනතුරට පත් කෙරුණා. ලීත්විනෆගේ ඒකාබද්ධ සුරක්ෂිතතාව අසාර්ථක වී තිබුණ හෙයින් ස්ටාලින්ට වෙනත් උපක්‍රමයක් අවශ්‍ය වුණා.

කෙසේ වෙතත්, නැගෙනහිර යුරෝපයේ ආරක්ෂාව සඳහා සෝවියට් දේශය අවශ්‍ය බව​ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය තේරුම් ගනිමින් සිටියා. එහෙත්, ඔවුන් ඒ පිළිබඳ තවමත් දැක්වූයේ උදාසීනභාවයක්. ඒකාබද්ධ හමුදා උපක්‍රම සාකච්ඡා කිරීමට ඔවුන් විසින් දෙවන පෙළ නිලධාරීන් කිහිප දෙනකු නැව් මඟින් සෝවියට් දේශයට​ පිටත් කළා. මෙම නොසැලකිල්ල සෝවියට් දේශයේ පාලකයින් හොඳින්ම දුටුවා.

එම තත්ත්වය යටතේ වුව ද සාකච්ඡා පැවති නමුත්, පෝලන්තය සෝවියට් ආධාර ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමේ කරුණ මත සාකච්ඡා අයාලේ යන්නට වුණා. පෝලන්තය කොමියුනිස්ට් සෝවියට් රජය කෙරෙහි බිය වීම සම්පූර්ණයෙන් අසාධාරණ නොවෙතත්, වඩා ළඟ එන උවදුර ඔවුනට පෙනුණේ නැහැ.

ප්‍රංශය හා බ්‍රිතාන්‍යය සෝවියට් ඉල්ලීම්වලට උදාසීන ලෙස ප්‍රතිචාර දැක්වූ හෙයින් සෝවියට් දේශය ජර්මනියෙන් පැමිණි උද්‍යෝගීමත් ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට පෙළඹුණා. ප්‍රංශය හා බ්‍රිතාන්‍යය දෙවන පෙළ නිලධාරීන් කිහිපදෙනකු නැව් මඟින් එව්වත්, ජර්මනිය කළේ සිය විදේශ ඇමති ගුවනින් මොස්කව් යැවීම යි. ජර්මනියට වූ හදිසිය මෙන්ම සෝවියට් දේශය හා ගිවිසුමක් අත්සන් කිරීම කෙරෙහි ඔවුන් දුන් වැදගත්කම ස්ටාලින් දුටුවා. සෝවියට් දේශයට ද අවශ්‍ය වූයේ තම ආරක්ෂාව සැලසෙන ක්‍රමයක්. බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඒ පිළිබඳ උනන්දු නොවූයෙන් ස්ටාලින් ඉතා කැමැත්තෙන් ජර්මන් ඉල්ලීමට එකඟ වුණා. එහි අවසානය වූයේ ලොවම තිගැස්සූ මෝලතෆ් - රීබන්ත්‍රොප් ගිවිසුම යි.

කවරයේ පින්තූරය: යුද්ධය ඇරඹි බව පුවත්පත්වලින් දකින ඇමරිකානුවන් පිරිසක් (AP)

මූලාශ්‍රයයන්:

  1. The Rise and the Fall of the Third Reich - William L. Shirer
  2. Mein Kampf - Adolf Hitler
  3. Origins of the Second World War - A.J.P. Taylor