Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අශෝක අධිරජුගේ මෙහෙසිවරු ගැන ඔබ දන්නවා ද?

මහා අශෝක අධිරාජ්‍යයා පිළිබඳව නොදන්න ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්. මෞර්‍ය අධිරාජ්‍යයේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සැලකෙන අශෝක අධිරාජ්‍යයා ඉන්දියානු අර්ධද්වීපය ද ඇතුළු විශාල ප්‍රදේශයක් පාලනය කළ රණකාමියෙක්. ක්‍රි. පූ. 304 දී උපත ලද බව සැලකෙන ඔහු ක්‍රි. පූ. 268 – 232 අතර කාලයේ රාජ්‍යය පාලනය කළා.

මිහිඳු හිමි ක්‍රි. පූ. 2 වන සියවසේ දී ලංකාවට බුදු දහම ගෙන ආ බවත්, සංඝමිත්තා මෙහෙණිය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවූ බවත් ඔබ දන්නවා. නමුත් ඔවුන්ගේ පියා මේ අශෝක අධිරාජ්‍යයා බව ඔබ සමහරෙක් නොදන්නවා වෙන්නත් පුළුවන්. මේ ලිපිය අශෝක අධිරාජ්‍යයා හෝ ඔහුගේ දරුවන් පිළිබඳව නොවේ, ඔහුගේ මෙහෙසියන් පස්දෙනා පිළිබඳවයි.

දේවි බිසව

මේ අශෝක කුමරුගේ පළමු බිසව. අශෝක කුමරු බින්දුසාර රජුගේ යුවරාජයාව සිටි කාලයේ උජ්ජයින් ප්‍රාන්තයේ අවන්ති හි වාසය කළ බවත්, එහිදී මේ බිසව හමුවුණු බවත් අශෝකාවදානය නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා.

අශෝක කුමරු උජ්ජයින් ප්‍රාන්තයේ විදිශා නගරයෙහි සි‍ටුවරයෙකුගේ දියණියක වූ දේවි කුමරියව සරණ පාවා ගන්නේ ඔහු 18 හැවිරිදි වියේ සිටියදී යි. ඈ බෞද්ධ කාන්තාවක් බවයි ඇතැම් පොතපතවල සඳහන් වන්නේ. බෝධිවංශයට අනුව මේ දේවි කුමරිය සිදුහත් කුමරු උපන් ශාක්‍ය වංශයට ද නෑකම් කියන නමුත්, එය සත්‍යයක් ද යන වග හෝ නෑකම කුමක් ද යන වග පිළිබඳව නිවැරදි පැහැදිලි කිරීමක් නැහැ.

2001 වසරේ තිරගත වූ අශෝක චිත්‍රපටයේ දේවි කුමරියගේ චරිතයට පණ පෙව්වේ රිෂිතා බාත් විසිනුයි (Asoka/Distributed by Dreamz Unlimited)

අශෝක හා විවාහයෙන් පසු ක්‍රි. පූ. 285 දී දේවි කුමරිය මහේන්ද්‍ර නම් පුතණුවෙකුට උපත ලබා දුන් බව සඳහන් වෙනවා. ඉන් තවත් වසර තුනකට පසුව සංඝමිත්තා දියණිය උපත ලබනවා. ශ්‍රී ලංකාවට බුදු දහම ලැබෙන්නේ මෙසේ බෞද්ධ බිසවකගෙන් අශෝකට දාව උපත ලැබූ පළමු දරුවන් දෙදෙනාගෙනුයි. ඒ වන විටත් අශෝක කුමරු රජකම ලබා තිබුණේ නැහැ.

රාජ්‍ය කටයුතු සඳහා අශෝක පාටලීපුත්‍රයට කැඳවනු ලැබූ විට මේ කුමරිය එහි නොගොස් අවන්තිහිම වාසය කළ බවයි කියවෙන්නේ.

කෞර්වකී

ශා රුක් ඛාන් රඟපාන “අශෝක” චිත්‍රපටයේත්, “අධිරජ ධර්මාශෝක” නම් ටෙලිනාට්‍යයේත් කෞර්වකී නිරූපණය කෙරෙන්නේ කාලිංගයේ රජුගේ දියණිය ලෙසයි. නමුත් ඉතිහාසයට අනුව කෞර්වකී රජ කුමරියක් නොව ධීවරයෙකුගේ දියණියක් බව පැවසෙනවා.

බින්දුසාර රජු අශෝක කුමරුන්ව මගධයෙන් පි‍ටුවහල් කිරීම හේතුවෙන් ඔහු කාලිංගයට පැමිණෙනවා. කාලිංගයේ දී හමුවන කෞර්වකී පිළිබඳව සිතක් පහළවන ඔහු කෞර්වකීව සරණ පාවා ගන්නවා. මේ විවාහයෙන් අශෝකගේ තෙවන දරුවා ලෙස “තීව්‍ර” (තිවල/ තිවර) නම් පුත්‍රයෙක් උපදිනවා. පසුකලෙක අධිරජ අශෝක විසින් මෙකුමරු තක්ෂිලා හි ප්‍රතිරාජයා ලෙස පත්කරන ලද වග සඳහන්.

ඇතැම් පොතපතවල සඳහන් වන පරිදි කෞර්වකී යනු අශෝක කුමරුන්ව පුණ්‍ය කටයුතු සිදුකිරීම සඳහා පොළඹවාගත් ඉතා යහපත් බිසවක්. ඈ පසු කලෙක බුදු දහම වැළඳගත් බවත් ඒවායේ කියැවෙනවා.

පද්මාවතී

මේ බිසව ගැන වැඩි තොරතුරක් සොයාගැනීමට අපට නොහැකි වුණා. නමුත් ඇගේ පුත්‍රයා වූ කුණාල නම් කුමරු අශෝක රජුගෙන් පසු රජකමේ උරුමක්කරු ලෙස සැලකුණු නිසා පද්මාවතී බිසව රජ පෙළපතකින් පැවත එන්නියක් ලෙස සලකන්නට පුළුවන්. ඈ අඩු වයසකින් කළුරිය කළ බවයි සැලකෙන්නේ.

පද්මාවතී ‍රැජිනගේ පුත් කුණාල කුමරු රජුගේම වෙනත් බිසවක නිසා පසු කලෙක මහත් විපතකට පත්වෙන බව ප්‍රසිද්ධ කතාවක්. ඒ පිළිබඳව සුළු විස්තරයක් පහත සඳහන් කළත්, එහි සම්පූර්ණ තොරතුරු වෙනත් ලිපියකින් ඔබ වෙත ඉදිරිපත් කරන්න අප අදහස් කරනවා.

අබනින්ද්‍රනාත් ඨාකූර් විසින් සේයා කළ “අශෝකගේ මෙහෙසිය සහ බෝධි වෘක්ෂය” ( “Asoka’s Queen” by Abanindranath Tagore, 1910/Victoria and Albert Museum, London)

අසන්ධිමිත්‍රා

මේ අශෝකගේ අගමෙහෙසියයි. මෞර්ය අධිරාජ්‍යයේ රජු බවට පත්වූ පසු චාරිත්‍රාණුකූලව විවාහ කරගත් මේ බිසව අසන්ධිවත් නම් කුඩා රාජ්‍යයක රජ පවුලක උපත ලැබූ කුමරියක්. එනිසා අශෝක රජකම හිමි වීමට පෙර විවාහ කරගත් දේවි සහ කෞර්වකී බිසෝවරුන්ට මෙන් නොව, මේ නව බිසවට සියළු රාජ්‍ය බලතලත්, අගමෙහෙසි තනතුරත් හිමිවෙනවා.

පුරාවෘත්තයන්ට අනුව අසන්ධිමිත්‍රා ‍රැජිනට දරුවන් ඉපිද නැහැ. එනිසා ඈ පද්මාවතී දේවියගේ අභාවයෙන් පසුව කුණාල කුමරා තම පුතු සේ සලකා ඇතිදැඩි කර තිබෙනවා. අසන්ධිමිත්‍රා මියයන තෙක්ම අශෝක අධිරාජ්‍යයාගේ අගමෙහෙසි තනතුරේ විසූ බවයි සඳහන් වෙන්නේ.

තිෂ්‍යරක්ෂා

මේ අශෝක අධිරාජ්‍යායාගේ අවසන් බිසව බව කියැවෙනවා. අසන්ධිමිත්‍රාගේ මරණයෙන් පසු, ඇගේ සේවිකාවක වූ තිෂ්‍යරක්ෂා රජුට ආවතේව කළ බවත්, ඈ කෙරෙහි සිත් ඇදීගිය රජු ඈව බිසෝ තනතුරට පත්කළ බවත් කියැවෙනවා.

ඓතිහාසික වාර්තාවන්ට අනුව තිෂ්‍යරක්ෂා ඉතා කුරිරු කාන්තාවක්. අශෝක රජු මහා බෝධියට සිදුකරන වතාවත් ඉවසීමට නොහැකි වූ නිසා, බෝධිය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇතිකරගත් මේ බිසව, මඩු ක‍ටු ගස්සවා බෝධිය මරවන්නට තැත්කරනවා. එය අසාර්ථක වූ තැන ඈ කුණාල කුමරු සමඟ හාදකමක් පැවැත්වීමට උත්සාහ කළ බවත් කුණාලාවදානය නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. තම පියාගේ මෙහෙසිය වූ තිෂ්‍යරක්ෂා වයසින් ඉතා ලාබාල වුවත් තම මවු තනතුරේ ලා සැලකූ කුණාල කුමරු මේ සබඳතාව ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු පිළිබඳව වෛරයෙන් තිෂ්‍යරක්ෂා ඔහුට නොයෙකුත් හිංසා සිදුකරවූ බව කුණාලාවදානයේ සඳහන් වෙනවා. මේ සියල්ල දැනගත් අශෝක රජු ඈව මරණ දණ්ඩනයට කැප කළාලු.

අශෝක රජුගේ මෙහෙසි තනතුරේ සිටියවුන් ලෙස අශෝකාවදානය ආදී ග්‍රන්ථවල වාර්තා කර අැත්තේ මේ බිසවුන් පස්දෙනා පිළිබඳව පමණයි. එයිනුත් තිදෙනෙක් පමණම රජ පවුල්වලට නෑකම් නැති සාමාන්‍ය කාන්තාවන්. කෙසේ නමුත් මේ පොත්වල සඳහන් වන නිල මට්ටමේ සබඳකම්වලට අමතරව වෙනත් බිසවුනුත් ඇතැම්විට ඔහු හා සිටින්නට ඇතැයි සැලකිය හැකියි.

කවරයේ රූපය – India Opines

මූලාශ්‍ර:

  1. අශෝකාවදානය
  2. කුණාලාවදානය

Related Articles