Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවතාරයක් හා විවාහ වූ ඇමැන්ඩා

ලොව බොහෝ දෙනාට සිය විවාහ සහකරු හමුවන්නේ විවිධාකාරයට යි. සමහරෙක් වසර ගණනාවක් ප්‍රේමයෙන් වෙලී විවාහ වන විට තවත් සමහරෙක් යෝජිත විවාහවල බැඳෙනවා. සමහරෙක් සම වයස් අයෙකු සිය සහකරු ලෙස තෝරාගන්නා අතර තවත් සමහර යුවලවල වයස් පරතරය වසර ගණනාවක්. උස් මිටි කළු සුදු භේදත් මේ අතර වෙනවා.

ලොව බොහෝ දෙනාගේ විවාහ සහකරුවන් හා සැසඳීමේ දී උතුරු අයර්ලන්ත ජාතික කාන්තාවක් වන ඇමැන්ඩා ටීග් සිය විවාහ සහකරු ලෙස තෝරාගත් තැනැත්තා අති සුවිශේෂී යි. ‘ජැක්’ නම් ඔහු වසර 300ක් වයසැති ‘අවතාරයක් ‘වීම එයට හේතුව යි.

කවුද මේ ඇමැන්ඩා ටීග්?

47 හැවිරිදි ඇමැන්ඩා ටීග් උතුරු අයර්ලන්තයේ ඩවුන්පැට්‍රික්හි පදිංචිකාරියක්. ඇය විනෝදාශ්වාදය සපයන්නියක් ලෙස කටයුතු කළ අතර නිතරම පාහේ ඉදිරිපත් කළේ, ලෝ පතල චිත්‍රපට මාලාවක් වන ‘පයිරට්ස් ඔෆ් ද කැරිබියන්’ හි එන ‘ජැක් ස්පැරොව්’ චරිතය යි. මේ හේතුව නිසාම ඇයට මුහුදු කොල්ලකරුවන් පිළිබඳ මහත් වූ බැඳීමක් ඇති වුණා.

ඇමැන්ඩා ටීග්- Loose Women/ITV

යම් කිසි අයෙක් මුහුදු කොල්ලකරුවන්ට පෙම්  බැඳීම හුදෙක් විනෝදාශ්වාදය සඳහා සිදුවන්නක් බැවින්, ඇගේ මේ ලැදියාව තුළ අසාමාන්‍ය හෝ සුවිශේෂී යමක් ගැබ්ව ඇතැ යි කිසිවෙකුට නිරීක්ෂණය වූයේ නැහැ. කෙසේ නමුත් මීට වසර කිහිපයකට පෙර ඇය ලොව හමුවේ කියා සිටියේ තමන් ඇත්තෙන්ම ජැක් නම් මියගිය මුහුදු කොල්ලකරුවෙකුගේ ‘අවතාරය’ සමග පෙමින් වෙලී ඇති බව යි. මෙය ප්‍රකාශ වීමත් සමගම සමහරෙක් එය ‘විහිළුවක්යැ’ යි සැලකූ අතර තවත් සමහරෙක් ඇයට ඔල්මාදය වැලඳී ඇති බවට විශ්වාස කළා. කෙසේ නමුත් මේ අභියෝග කිසිවකින් නොසැලුණු ඇමැන්ඩා වසර ගණනාවක් තිස්සේ ‘ඔහු’ ආශ්‍රය කරන බව’ පමණක් නොව තමන් විනෝද චාරිකා යන බවත්, තෑගි හුවමාරු කරගන්නා බව හා ලිංගිකව පවා හැසිරෙන බවත් දිගින් දිගටම ලෝකයා හමුවේ පවසා සිටියා.

ඇමැන්ඩාට ජැක් හමු වූ ආකාරය

ඇමැන්ඩාට අනුව ඇයට සාමාන්‍ය ලෝකයේ ‘ජීවත් වන’ මිනිසුන් සියල්ල එපා වී තිබෙනවා. ඒ ඇය රැවටීම් කිහිපයකටම භාජනය වී තිබීම නිසා යි. මෙලෙස ඉච්ඡාභංගත්වයට පත් වී සිටින විට 2014 වසරේ දිනක හදිසියේම ඇගේ ඇඳ අසලින් 18 වන සියවසෙහි ජීවත් වූ ජැක් නම් මුහුදු කොල්ලකරුවෙකුගේ ‘අවතාරයක්’ මතු වී තිබෙනවා. අනතුරුව ඔවුන් කුමන හෝ ආකාරයකට සංනිවේදනය ද සිදුකර ඇති අතර ඇමැන්ඩා හා ජැක් ප්‍රේමයෙන් වෙලී තිබෙනවා. 

මේ ආදර සම්බන්ධය ඇරඹී යම් කාලයක් ගත වූ පසු දෙදෙනාගේ විවාහ මංගල්‍යය සිදුකිරීම සඳහා විවාහ ලියාපදිංචි නිලධාරියෙකුත් සොයාගැනීමට ඇය සමත් වුණා. අනතුරුව ජාත්‍යන්තර මුහුදු සීමාවට බෝට්ටුවකින් ගොස් ඔවුන් විසින් 2016 වසරේ දී ‘නීත්‍යානුකූල වශයෙන් විවාහ වුණා.

ජැක් පිළිබඳ වැඩිදුර තොරතුරු

ජැක් පිළිබඳව විමසන අයවළුනට ජැක් පිළිබඳව වැඩිදුර තොරතු පවසන්නට ඇමැන්ඩා මැලි වූයේ නැහැ. එවැනි අවස්ථාවල ඇය පවසන්නේ ඔහු තමන්ගේ අත පතාගෙනම පැමිණි තැනැත්තා ලෙස යි. එමෙන්ම ‘ආධ්‍යාත්මික බැඳිම්’ කෙරෙහි බොහෝ දෙනාගෙ අවබෝධය පහළ මට්ටමක පවතින නිසා තවත් බොහෝ කරුණු හරි හැටි යමෙක්ට වටහා දීමට නොහැකි බවත් ඇය පවසනවා. විශේෂයෙන් කතාබහ කිරීම හා ලිංගික ක්‍රියා සිදු කිරීම කුමන ආකාරයට කරන්නේදැ යි යමෙක් ඇසූ විට ඇය පවසන්නට යෙදුනේ හුදු ‘ආධ්‍යාත්මික’ මාධ්‍යයක් භාවිතා කොට ඔවුන් එය සිදු කරගන්නා බව යි.

ජොනී ඩෙප්, ජැක් ස්පැරොව් චරිතය නිරූපණය කරමින්- nme.com

ඇමැන්ඩාට අනුව නිතරම පාහේ මේ භූතාත්මය ඇය රූපවාහිනිය නරඹන විට ඇය අසලට වී සිට තිබෙනවා. එමෙන්ම කාරය පදවන විටත් ඔහු ඇයට යාබදව සිට විවිධාකාරයේ ‘සංවාද’ ගොඩනගා තිබෙනවා. මෙලෙස එකිනෙකා අවබෝධ කරගත් පසු විවාහ ජීවිතයකට ඇතුලත් වන්නට දෙදෙනාම තීරණය කොට තිබෙනවා.

තව ද, යමෙක් ඇය ජැක් ස්පැරෝට කැමති නිසා එවැන්නෙකු සිතේ මවාගෙන සිටින බවට සමච්චල් කරන විට ඇය පවසන්නේ මේ ජැක් ගේ ස්වරූපය ඊට වඩා වෙනස් බව යි. ඔහු ජැක් ස්පැරෝගේ චරිතය රඟපෑ ජොනී ඩෙප්ට වඩා අඳුරු වර්ණයෙන් යුක්ත බැව් වැඩි දුරටත් ඇය ප්‍රකාශ කර සිටිනවා. ලිංගික එක්වීමේ දී ඔහු ආධ්‍යාත්මිකව තමන්ට සුරතාන්තය පවා ළඟා කරන බැව් ඇය පවසා සිටියා.

විවාහ මංගල්‍යය

ප්‍රංශය, සිංගප්පූරුව, හා චීනය වැනි රටවල දී යමෙකුට සිය අභිමතය පරිදි මියගිය අයෙකු හෝ පුද්ගල නාමයක් හා විවාහ විය හැකියි. කෙසේ නමුත්, මහා බ්‍රිතාන්‍යය තුළ මියගිය අයෙකු නීතියේ හැටියට විවාහ කරගත නොහැකියි. මේ නිසා ඇමැන්ඩා තමන්ගේ හා ජැක් ගේ විවාහ මංගල්‍යය ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී සිදු කිරීමට තීරණය කළා.

බෝට්ටුවක සිදු වූ විවාහ මංගල්‍යයේ දී ජැක් වෙනුවට මිනිස් හිස්කබල සහිත කොඩියක් යොදාගන්නා ලද අතර, මුද්ද පළඳවන ලද්දේ ඉටිපන්දමකට යි.

විවාහයෙන් පසු ඇමැන්ඩා නැවතත් උතුරු අයර්ලන්තය බලා පැමිණි අතර, ඉන් අනතුරුව ඇය ලිපි ලේඛණ වැනි දේ අත්සන් කරන සෑම විටක ‘විවාහක’ ලෙස අත්සන් කරන්නට වුණා. නමුත් එහි බලධාරීන් එයට කිසිදු විරෝධතාවක් දැක්වූයේ නැහැ.

ඇමැන්ඩා විවාහ වූ දිනයේ දී, ගොඩබිමදී ගත් ඡායා රූපයක් – huffpost.com

පසුවදන

වසරක් දෙකක් ‘ජැක්’ සමග පවුල් කෑමෙන් අමතර, පසුගියදා ඇමැන්ඩා ඔහු දික්කසාද කිරීමට තීරණය කර තිබුණා. ඔහු විවාහයෙන් පසු මඳින් මඳ ප්‍රචණ්ඩ වූ බවත්, දිනක තමා ඝාතනය කිරීමට පවා උත්සාහ කළ බවත් ඇය විසින් පවසා සිටියා. මේ අනුව අවසානයේ විවාහයෙන් වෙන් වූ ඇය දැන් ‘නිදහසේ’ කල් ගෙවනවා.

ඇමැන්ඩාගේ මේ අසාමාන්‍ය හැසිරීම් විලාසය පිළිබඳව අදහස් දක්වන විද්වතුන් බොහෝ දෙනා පවසන්නේ එක්කෝ ඇමැන්ඩා හට තදබල මානසික ආබාධ‍යක් ඇති බව යි. එසේ නැතිනම් පමණ ඉක්මවා සමාජ අවධානය දිනාගැනීමට උත්සාහ දරන අයෙකු බව යි. එහෙත් ඇය මානසික ආබාධයකින් පෙළෙන බැව් අද වන විටත් ඔප්පු කරගන්නට කිසිවෙකුත් සමත් වී නැහැ. කාරණා කෙසේ වූවත් ඇගේ මේ ‘අවතාර’ විවාහය නිසා ලොව පුරා ඇය පිළිබඳව කසුකුසුවක් ඇති වුණා.

කවරයේ පින්තූරය- people.com

මූලාශ්‍රයයන්

Thesun.co.uk

Newsweek.com

Washingtonpost.com

Irishcentral.com

Related Articles