ලොව පළමු බැලස්ටික් මිසයිලය – නාසි ජර්මනියේ V2

මිසයිල තාක්ෂණය ලොවට හදුන්වා දුන් නාසි ජර්මනිය එහි මුල් පියවර ලෙස ලොව පළමු කෲස් මිසයිලය වන V1 මිසයිලය යුධ බිමට හදුන්වා දෙනවා. ඒ පිළිබඳව ලිපියක් අප විසින් පසුගිය දිනෙක ඔබ වෙත ගෙන ආවා. පළමු කෲස් මිසයිලයේ ආකෘතිය වූයේ ගුවන් යානාවකට සමාන ආකෘතියක්. දෙවන ලෝක යුද්ධයේදී, සියළුම පාර්ශව කෙටි දුර මිසයිල භාවිතා කළද, ඉතා ඈත ඇති ඉලක්කයක් වෙත රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා තාක්ෂණය නිර්මාණය කිරීමේ අදහස ඇතිවූයේ ජර්මානුවන්ට පමණයි.

V1 මිසයිලයේ සාර්ථක වීමත් සමඟ නාසීන් විසින් ලොව පළමු බැලස්ටික් මිසයිලය V2 නිර්මාණය කරනවා. ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙන්ම පෘතුවි උප කක්ෂය (කිලෝමීටර් 100 සීමාව දක්වා ගමන් කිරීම) වෙත යෑමට සමත් වූ මිනිසා විසින් නිපදවූ ප්‍රථම මිසයිලය වන්නේද V2 මිසයිලයයි. ඉතින් අද ලිපියේ ඉඩ වෙන් වන්නේ V2 මිසයිලය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි.

මොකක්ද මේ බැලස්ටික් මිසයිලයක් කියන්නේ

බැලස්ටික් මිසයිල වශයෙන් හැඳින්වෙන්නේ බැලස්ටික් ගමන් පථය අනුගමනය කරන මිසයිලයි. බෝලයක් ඉහළට විසි කළ හොත්, එය ඉහළට ගමන් කර පහළ වැටෙන ආකාරයටම මිසයිලත් ඉහළට ගමන් කර පොළොව මත ඉලක්කයකට පතිත වන බවයි. එවැනි මිසයිල බහුල වශයෙන් යොදා ගැනෙන්නේ ගොඩබිම ප්‍රහාර සඳහා වන නමුත් කිසියම් ස්ථානයක් ඉතාමත්ව නිවැරදිව හඳුනාගැනීමට මේ මිසයිලවලට හැකියාවක් නැත. කෙසේ වුවත් වායු ගෝලයේ ඉතාමත් ඉහළම ස්ථරවල ගමන් කරන බැලස්ටික් මිසයිලය ඉතා නිරවද්‍ය ඉලක්කයක් කරා යොමු කිරීමට අවශ්‍ය තාක්ෂණය දෙවන ලෝක යුද්ධයෙන් පසුව වර්ධනය වී තිබෙනවා.

V2 මිසයිලය සැලසුම් කිරීම

වෝල්ටර් රොබර්ට් ඩන්බර්ගර් (The Constantine Report)

නාසි හමුදාවේ ප්‍රසිද්ධ නිලධාරියෙක් වූ මේජර් ජෙනරාල් ආචාර්ය වෝල්ටර් රොබර්ට් ඩෝර්න්බර්ගර්ගේ මෙහෙයවීම මත  (Walter Robert Dornberger) නාසි ජර්මනියේ මිසයිලයේ පියා ලෙස විරුද්ධවලිය ලැබූ වර්නර් ෆොන් බ්‍රෝන් (Wernher von Braun) ඇතුළු ඔහුගේ සහායක විද්‍යාඥයන් පිරිසක් තමයි මේ දිගු දුර මිසයිලය නිර්මාණය කරන්නේ.

Vergeltungswaffen-2, Vengeance Weapon 2 හා A-4 ලෙසද නාසීන් විසින් මෙම මිසයිලය හදුන්වා තිබෙනවා. 1934 වසරේ වර්නර් ෆොන් බ්‍රවුන් මෙම ආකෘතියට සමාන කුඩා බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කළ අතර 1936 වසරේ සිට V2 මිසයිලය නිර්මාණය කිරීමට ෆොන් බ්‍රෝන් ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ ගන්නවා. මෙහිදී ප්‍රධානතම ගැටළුව ලෙස පැන නගින්නේ V2 මිසයිලය ඉහළට එසවීමට තරම් ජවසම්පන්න එන්ජිමක් නිර්මාණය කිරීමයි. වසර හතක පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුව ශබ්දයේ වේගයෙන් ගමන් කළ හැකි මෙන්ම ගුවන්ගත කරන ස්ථානයේ සිට සැතපුම් 200ක දුරින් ඇති ඉලක්කයකට එල්ල කළ හැකි බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කරනවා. නමුත්  මිසයිලයේ අවසන් ගැටළුව ලෙස පැන නගින්නේ රේඩියෝ තරංග වලින් නිවැරදිම ඉලක්කය වෙත මිසයිලය යැවීමයි. එයට පිළිතුරක් ලෙස විද්‍යාඥයන් විසින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ඉතිහාසයේ පළමුවරට telemetry systems නම් පද්ධතියක් නිර්මාණය කරනවා.

නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම

ගුවන්ගත කිරීමට සුදානම් කර (Daily Mail)

1942 වසරේ දෙසැම්බර් 22 වනදා මෙම මිසයිලය අවියක් ලෙස භාවිතා කිරීමට හිට්ලර්ගෙන් අවසර ලැබෙනවා. අවසර ලැබුණු නමුත් එය 1944 වසරේදී භාවිතා කිරීමට ප්‍රථම තවත් සියගණනක් වෙනස් වීම් සිදු කරනු ලබනවා. සියළු වෙනස් කිරීම් අවසන් කිරීමෙන් පසුව මිසයිලය නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කරනවා. මිසයිලය නිෂ්පාදනය කිරීම සඳහා Peenemunde, Friedrichshafen හා Wiener Neustadt යන ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්තශාලා ආරම්භ කරනවා. පසුව මිත්‍ර පාර්ශවයේ ගුවන් ප්‍රහාර වලට මෙම ස්ථාන ලක්වූ බැවින් සැළසුම වෙනස් කර, Nordhausen (Mittelwerk) හා Ebensee යන ප්‍රදේශ වල භූගත කර්මාන්තශාලා ඉදිකර නිෂ්පාදන කටයුතු ඉදිරියට කරගෙන යනවා. මිසයිලය නිෂ්පාදන කටයුතු හා අත්හදා බැලීම් කටයුතු වලට සිරකරුවන් යොදා ගැනුණු අතර ඒ හේතුවෙන් Nordhausen කර්මාන්තශාලාවේදී පමණක් මියගිය සිරකරුවන් ගණන 20 000ක් පමණ වෙනවා. මෙම කර්මාන්තශාලා ආශ්‍රිතව යුධ සමයේදී නිර්මාණය වූ මිසයිල ගණන 5700ක් ලෙසද වාර්තා වී තිබෙනවා. මෙය යුද්ධයේදී සිදු වූ හානිය පවා ඉක්මවා යාමක්.

මිසයිලයක උස මීටර් 14ක් වූ අතර එහි බර කිලෝග්‍රෑම් 12 700 – 13 200ත් අතර වුණා.  කිලෝග්‍රෑම් 900ක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමට හැකිවන ලෙස නිර්මාණය කර තිබුණා. ඉන්ධන ලෙස ද්‍රව ඔක්සිජන් හා ඇල්කොහොල් යොදාගෙන තිබූ අතර මිනිත්තුවට සැතපුම් 2700ක වේගයක් අත් කරගැනීමේ හැකියාව පැවතිනි.

ප්‍රහාර එල්ල කිරීම

1945 වසරේදී V2 මිසයිලය ගුවන්ගත කිරීම (Pinterest)

මිසයිලය ගුවන්ගත කිරීම සඳහා රොකට් ලෝන්චර් ලෙස ස්ථිර ලෙස සකස් නොකළ ජංගම ලෝන්චර් නිර්මාණය කරන අතර ඒවා ප්‍රවාහනය කිරීම සඳහා විශාල ට්‍රක්රථ 30ක් පමණ භාවිතා කරනු ලබනවා. V2 මිසයිල පහරදීම් සඳහා වෙනම කණ්ඩායමක් නාසි හමුදාව තුළ සිටි අතර තත්පර 90ක් තුළ ප්‍රහාරය සුදානම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන අතර ප්‍රහාරයෙන් පසුව තත්පර 30කින් එම ස්ථානය තිබුණු ආකාරයටම සකසා ඉන් පිටවීමට හැකියාවද පැවතිනි. ඒ හේතුවෙන් මිත්‍ර පාර්ශවයන්ට රෝකට්ටු එල්ල වෙන ප්‍රදේශ විනාශ කිරීමේ හැකියාව සීමිත විය.

1944 වසරේ සැප්තැම්බර් 8 වනදා නාසීන් විසින් පැරිස් හා ලන්ඩන් නගර ඉලක්ක කරගෙන පළමු ප්‍රහාර එල්ල කළ අතර ඊළඟ මාස අට ඇතුළත London, Paris, Antwerp, Lille, Norwich හා Liege යන නගර ඉලක්ක කරමින් මිසයිල 3172ක් පමණ එල්ල කරනවා. ජර්මන් හමුදාව විසින් මිසයිල සුදානම්කර එල්ල කිරීමට භාවිතයට ගත් සියළුම ස්ථාන මිත්‍ර හමුදාව විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව ප්‍රහාර එල්ල කිරීම සම්පූර්ණයෙන්ම නැවතෙනවා. ඔවුන් අවසන් ප්‍රහාරය එල්ල කරන්නේ 1945 වසරේ මාර්තු මාසයේ 27 වනදායි.

මිසයිල කිහිපයක් (Wolfenstein Wiki – Fandom)

V 2 මිසයිල හේතුවෙන් මරණයට පත් වූ මිත්‍ර හමුදා සෙබළුන් හා සිවිල් වැසියන් ගණන 2500ක් පමණ වූ අතර තුවාල ලැබූ පුද්ගලයන් ගණන 6000ක් ලෙස වාර්තා වෙනවා. මිසයිල පතිත වීම නිවැරදිම ඉලක්කයට සිදු නොවූ අතර ජර්මානුවන්ට එය දියුණු කරන්න වැඩි කාලයක් ලැබුණේ නම් හෝ ඔවුන්ට මිසයිල තුළට න්‍යෂ්ටික ශීර්ෂ ඇතුළු කරන්නට හැකියාව ලැබුනේ නම් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙන්නට ඉඩ තිබුනා.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව V1 හා V2 මිසයිල නිර්මාණය කිරීමට දායක වූ වර්නර් වොන් බෝන් ඇතුළු විද්‍යාඥයන් පිරිසක් ඇමරිකානු රහස් ඔත්තු සේවා විසින් කිසිදු නඩු විභාගයකින් තොරව “operation paperclip” යන මෙහෙයුම යට‍තේ ඇමරිකාව වෙත රැගෙන යනවා. පසුව ඔවුන් විසින් ඇමරිකානු රොකට් තාක්ෂණය දියුණු කිරීමට විශාල දායකත්වයක් දැක්වූ බවට වාර්තා වෙනවා.

කවරයේ ජායාරූපය – rarehistoricalphotos.com

Related Articles