Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රබල ජර්මානු පැන්තර් යුධ ටැංකිය

මීට පෙර ලිපියකින් දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකානු නිෂ්පාදනයක් වන M4 ෂර්මන් යුධ ටැංකිය පිළිබඳව ඔබ වෙත ගෙන ආවා. M4 ෂර්මන් යුධ ටැංකියේ ප්‍රභේද කිහිපයක් මෙම සමයේ නිෂ්පාදන වන අතර ඒ සියල්ලටම බලවත් තර්ජනයක් එල්ල කරන ලද අක්ෂ පාර්ශවයට අයත් යුධ ටැංකියක් පිළිබඳව යි ඔබ වෙත මේ ගෙන ඒමට සැරසෙන්නේ.

පැන්තර් යුධ ටැංකිය යනු ජර්මානු යුධ ටැංකි විශේෂඥයන් විසින් නිර්මාණය කරන ලද පැන්සර් (Panzer) යුධ ටැංකි සමූහයේ 5 වන යාවත්කාලින යුධ ටැංකිය යි. ඒ හේතුවෙන් මෙය පැන්සර් 5 ලෙසත් හඳුන්වනු ලබනවා.

මෙම යුධ ටැංකිය මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක් ලෙසයි ජර්මානුවන් විසින් හඳුන්වන්නේ. මෙම යුධ ටැංකිය දෙවන ලෝක යුධ සමයේ දී යුරෝපයේ බටහිර හා නැගෙනහිර පෙරමුණේ සටන්වලට දායක වෙනවා. ඒ 1943 වසරේ මැද භාගයේ සිට දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරු කාල සීමාව තුළ යි. මෙම යුධ ටැංකිය දෙවන ලෝක යුධ සමයේ ප්‍රබල මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක් ලෙස නමක් දිනාගෙන සිටිනවා.

පැන්සර් යුධ ටැංකි සමූහය නිර්මාණය කිරීම ආරම්භ කිරීම

පැන්සර් යුධ ටැංකි පෙළේ පළමු ටැංකිය – පැන්සර් 1 (Wikipedia)

පළමු ලෝක යුද්ධයෙන් පසුව ජර්මානුවන්ගේ හමුදා ශක්තිය සීමිත කිරීමට මිත්‍ර ජාතින් විසින් කටයුතු කරනවා. නමුත් 1933 බලයට පත් වූ ඇඩොල්ෆ් හිට්ලර් සිය රටේ යුධ ශක්තිය දියුණු කිරීම සඳහා හොර රහසේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යි පැන්සර් යුධ ටැංකි මාලාව නිර්මාණය වීම ආරම්භ වෙන්නේ.

දෙවන ලෝක යුද්ධ කාලයටත් ප්‍රථම සිට නිර්මාණය කිරීම ආරම්භ කරන පැන්සර් යුධ ටැංකි පෙළෙහි පළමු ටැංකිය හඳුන්වන්නේ පැන්සර් 1 ලෙස යි. අනතුරුව පැන්සර් 1, පැන්සර් 2, හා පැන්සර් 3 නමින් ඔවුන් පැන්සර් යුධ ටැංකි සමූහයක් නිර්මාණය කරනවා.

පැන්තර් ටැංකිය යුධ බිමට

පැන්සර් 5 හෙවත් පැන්තර් යුධ ටැංකිය හිම බිමක (Pinterest)

1941 වසරේ ජූලි මස 22 වන දින ජර්මන් හමුදා විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමේ “බාබරෝසා” මෙහෙයුම දියත් කරනවා. ඔවුන් පැති තුනක් ඔස්සේ සෝවියට් දේශය වටලනු ලබනවා. රුසියානු ආක්‍රමණයේ දී ජර්මානු හමුදාවට ප්‍රථම වතාවට රුසියානුවන්ගේ දියුණු යුධ ටැංකි තාක්ෂණයෙන් හෙබි T 34 හා KV 1 යුධ ටැංකි මුණගැසෙනවා.

එම සමයේ ජර්මානුවන් විසින් භාවිතා කරන ලද පැන්සර් 3 හා පැන්සර් 4 යුධ ටැංකිවලට සාපේක්ෂව රුසියානුවන්ගේ මෙම යුධ ටැංකි සුපිරි වෙඩි බලයකින් හා ආරක්ෂාවකින් යුක්ත වෙනවා. ඒ හේතුවෙන් රුසියානුවන්ගේ ටැංකිවලට වඩා වැඩි බලයකින් හා වේගයකින් හෙබි යුධ ටැංකියක් නිර්මාණය කළ යුතු බව හිට්ලර් විසින් යුධ ටැංකි ඉංජිනේරුවන්ට අණකර සිටිනවා.

ඒ අනුව 1942 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙතෙක් ජර්මානු හමුදාව සතුව නොතිබූ තාක්ෂණයකින් ඉහළ පැන්සර් 4 හෙවත් පැන්තර් යුධ ටැංකිය නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා. 1943 වසරේ මුල් භාගයේ දී එහි ප්‍රථම ටැංකිය නිෂ්පාදනය කර අවසන් කිරීමට ජර්මානුවන් සමත් වෙනවා. පසුව මෙය ජර්මානුවන්ගේ ඉතා ප්‍රසිද්ධ පැන්සර් යුධ ටැංකි ඩිවිෂණයට ඇතුළත් වෙනවා.

පැන්තර් ටැංකිය (Tank Encyclopedia)

MAN AG නම් ජර්මනියේ සුප්‍රසිද්ධ කාර්මික ඉංජිනේරු ආයතනය විසින් මෙය නිෂ්පාදනය කළ අතර එහි බර ටොන් 44ක් පමණ වෙනවා. ප්‍රධාන අවිය සමග එහි දිග මීටර් 8.66ක් වූ අතර සම්පූර්ණ පළල මීටර් 3.42ක්. උස මීටර් 3කට ආසන්න වෙනවා. ප්‍රධාන අවිය අභ්‍යන්තරය සෙ.මී 7.5ක බැරලයකින් යුක්ත වූ KwK 42 L/70  අවියක් වූ අතර එහි වරකට උන්ඩ 79ක් රැගෙන යාමේ හැකියාව පැවතිණි. මෙහි උප අවිය ලෙස මි.මි 7.92MG 34 මැෂින් තුවක්කු දෙකක් සවි කිරීමේ හැකියාව පැවතුනු අතර ඒ සඳහා උණ්ඩ 5 100 ක් යොදා ගනු ලබනවා. ඊට අමතරව ටැංකිය ශක්ක්තිමත් සන්නාහයකින් ආවරණය වී තිබෙනවා.

ඉන්ධන ලීටර් 720ක් පිරවිය හැකි ටැංකියකින් සමන්විත වූ අතර පැයට කි.මී 55ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ද පැවතිනි. එක්වරක් ඉන්ධන පිරවීමකින් පසුව සාමාන්‍ය මාර්ගයක කි.මී 200ක් ගමන් කළ හැකි අතර බාධක වලින් පිරුණු අභ්‍යන්තර භූමියක කි.මී 100ක දුරක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

යුධ ටැංකියේ ටැංකි සාමාජිකයන් ගණන 5ක් වූ අතර යුධ ටැංකියේ අණ දෙන්නා, උප අවිය ක්‍රියා කරවන්නා, ප්‍රධාන අවිය ක්‍රියා කරවන්නා, රියදුරු හා උණ්ඩ පුරවන්නා ලෙස එම සාමාජිකයන් පස් දෙනා ක්‍රියා කරනවා.

කුර්ක්ස් සටන

කුර්ක්ස් සටනේ විනාශ වී ගිය පැන්තර් යුධ ටැංකියක් (WW2live)

දෙවන ලෝක යුද්ධයේ දී නැගෙනහිර පෙරමුණේ සිදු වූ ප්‍රසිද්ධම සටනක් වන කුර්ක්ස් අඩකවයේ සටනේ දී පැන්තර් යුධ ටැංකි බොහෝමයක් යොදා ගන්නවා. එම මෙහෙයුම ඔපරේෂන් සිටඩෙල් නමින් හැඳින්වුණු අතර ජර්මානුවන් විසින් මෙම මෙහෙයුම ආරම්භ කරන්නේ 1943 ජූලි 5 වන දින යි. ඒ, සටන ආරම්භ කිරීමට නියමිතව තිබූ දිනට මාස කිහිපයකට පසුව යි. ඊට හේතුව වන්නේ පැන්තර් මෙන්ම ඒ සඳහා යොදාගත් ජර්මනියේ ප්‍රබලම යුධ ටැංකිය වන ටයිගර් යුධ ටැංකි සටන් භූමිය වෙත ගෙන ඒම ප්‍රමාද වීම යි.

කොතරම් ප්‍රබල පැන්තර් යුධ ටැංකි විශාල ප්‍රමාණයක් යොදාගනු ලැබුවත් ජර්මානුවන්ට සටන නියමිත ලෙස මෙහෙයවීමට හැකියාව ලැබෙන්නේ නෑ. සටනේ දී පැන්තර් ටැංකි විශාල ප්‍රමාණයක යාන්ත්‍රික දෝෂ ඇතිවෙනවා. ඒ හේතුවෙන් දින කිහිපයක් ඇතුළත දී ඔවුන් පරාජයට ලක් වෙනවා. නමුත් පසු සටන්වල දී පැන්තර් ටැංකියේ සියලුම යාන්ත්‍රික දෝෂ සඳහා ප්‍රමාණවත් විසදුම් ගෙන ඒමට ජර්මානු යුධ ටැංකි විශේෂඥයන් සමත් වෙනවා. ඒ හේතුවෙන් නැගෙනහිර හා බටහිර පෙරමුණු දෙකේම ජර්මානුවන්ගේ ප්‍රබලම යුධ ටැංකිය බවට පැන්තර් යුධ ටැංකිය පත්වෙනවා.

නරඹන්න – කුර්ක්ස් අඩ කවයේ සටන

නොර්මැන්ඩි සටනේ විනාශ වී ගිය පැන්තර් ටැංකියක් (WW2live)

1944 වසරේ ජූලි 6 වන දා බටහිර පෙරමුණේ ඇති වූ වැදගත් සටනක් වන නොර්මැන්ඩි ගොඩ බැසිමේ දී මිත්‍ර හමුදා ආක්‍රමණයට එරෙහිව ජර්මානුවන්ගේ පැන්තර් ටැංකිය විශාල කාර්යයභාරයක් ඉටු කරනවා. ඒ ඇමෙරිකානුවන්ගේ ෂර්මන් හා බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රොම්වෙල් වැනි යුධ ටැංකි බොහෝ ප්‍රමාණයක් විනාශ කරමින්. ප්‍රබල පැන්තර් යුධ ටැංකි 5000කට අධික සංඛ්‍යාවක් දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් විසින් නිෂ්පාදනය කළත්, ඔවුන් අනුගමනය කළ සටන් උපක්‍රම පැවති යම් යම් දුර්වලතා හේතුවෙන් දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මානුවන්ට හිමි වෙනවා.

කවරයේ පින්තූරය - පැන්තර් යුධ ටැංකියේ සිතුවමක් (GoodFon)

මූලාශ්‍රයයන්-

britannica.com

thoughtco.com

warhistoryonline.com

tankmuseum

Related Articles