දෙවන ලෝක යුද්ධයේදී ආසියාව (පස්වැනි කොටස) – බුරුම යුධ ව්‍යාපාරයේ සිට යුද්ධාවසානය කරා

දෙවන ලෝක යුද්ධයට ජපන් හමුදා සම්බන්ධ වූ මුල් මාස කිහිපය තුළ ආසියාවේ ප්‍රදේශ ගණනාවක් ඔස්සේ ඔවුන් ඉදිරියට පැමිණි ආකාරය අප මින් පෙර ලිපිවලින් විස්තර කළා ඔබට මතක ඇති.

(මෙම ලිපි පෙළෙහි කොටස් එක, දෙක, තුන සහ හතර මෙම සබැඳි හරහා ඔබට කියවන්නට පුළුවන්.)

කෙසේ නමුත් ලංකාවට පහර දීමේ උත්සාහය අසාර්ථක වීමත් සමග ජපන් හමුදා ඉන්දියන් සාගරය ඔස්සේ ඉදිරියට ගමන් කිරීම ඇණ හිටියා. මේ අතර බුරුමය (වර්තමාන මියන්මාරය​) ජපන් හමුදාවල ගොඩබිම් ප්‍රහාරයේ බටහිරදිග සීමාව බවට පත් වුණා.

1942 සිට 1945 දී යුද්ධය අවසන් වනතෙක් ම බුරුමයේ සටන් පැවතුණා. දෙවන ලෝක යුද්ධයේ අනෙකුත් පෙරමුණු සමඟ බලන කළ සාපේක්ෂව එතරම් ප්‍රකට නොවූ පෙරමුණක් වුණත්, බුරුමය ආශ්‍රිත සටන වැදගත් වුණේ, එහිදී ජපනුන් ජයග්‍රහණය කළා නම් ඉන්දියාවට වගේම චීනයට ද තර්ජනය කළ හැකිව තිබූ නිසයි.

ඉම්පාල් සටනේදී ගුර්කා භටයින්, 1944 (Public Domain)

බුරුමය විශාල වශයෙන් වනගහනයෙන් යුතු රටක් වන හෙයින් ගමනාගමනය එතරම් පහසු වුනේ නැහැ. මෙය දෙපක්ෂයට ම යුද්ධයේදී විවිධ බාධාවන් මෙන් ම වාසි ද ගෙන ආවා. විශේෂයෙන් ම ප්‍රහාරාත්මක මෙහෙයුම් සඳහා බුරුමය එතරම්ම සුදුසු වූයේ නැහැ.

මූලික ප්‍රහාර​

ජපන් හමුදා දකුණු දිග බුරුමයට කඩා වැදුණේ තායිලන්තය හරහා යි. ඔවුන් එම ප්‍රදේශ යටත් කරගෙන බුරුමයේ රැන්ගූන් (වර්තමාන යැන්ගොන්) වෙත ළඟා වුණා. බ්‍රිතාන්‍ය හමුදා එම නගරය ආරක්ෂා කරගැනීමට අසාර්ථක උත්සාහයක් ගත් නමුත් මාර්තුවෙදී ම නගරය අත්හැර ගියා.

මේ අතර බ්‍රිතාන්‍යය ප්‍රමුඛ හමුදා බුරුම සේනාංකය නමින් හමුදා ප්‍රතිසංවිධානය කර ජපනුන්ට මුහුණ දුන්නා. තවද උතුරුදිග බුරුමයට චීන හමුදා ද ළඟා වුණා.

චීනයට බුරුමය ඉතා වැදගත් වුණා. විශේෂයෙන් ම එරට වරායන් ජපනුන් අතට පත්ව තිබූ හෙයින් චීනයට සැපයුම් මාර්ග විවරව පැවතියේ බුරුමය හරහායි. උතුරු බුරුමයේ සිට දකුණු චීනයට වැටුණ බුරුම මාවත නම් කඳුකර මාර්ගය ඔවුනගේ එකම සැපයුම් මාර්ගය වුණා. ජපනුන් බුරුමයේ දකුණුදිග ප්‍රදේශ අල්ලා ගැනීමත් සමඟ එම සැපයුම් මාර්ගද ඇණ හිටියා.

1942 මැයි මාසය වෙද්දී බුරුම සේනාංකය ඉන්දියාවේ මනිපූරයේ ඉම්පාල් වෙත පසු බැස්සේ යාන්තමින් මෝසම් වැස්සට පෙර යි. මෙහිදී ඔවුනට බොහෝ ජීවිත හා උපකරණ අහිමි වුණා. යම් ලෙසකින් හෝ මෝසම් වැස්සට පෙර ඔවුන් පසු නොබැස්සා නම් සිදු විය හැකි වූ විනාශය ඊටත් විශාලයි.

මීළඟ වසරවල මෙම කලාපයේ සටන් ප්‍රධාන ලෙසම සිදු වූයේ බුරුමයේ සහ බුරුම ඉන්දියා දේශසීමාවේදී. අග්නිදිග ආසියානු මෙහෙයුම් බලකායේ  හමුදා ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ මවුන්ට්බැටන් සාමි කටයුතු කළ අතර එහි මූලස්ථානය වූයේ ලංකාවේ මහනුවරයි. මේ අතර චීන හමුදා ප්‍රතිසංවිධානය සඳහා ඇමරිකානු ජෙනරාල් ජෝසප් සිට්ල්වෙල් එහි යවනු ලැබුණා.

මිත්‍ර හමුදා පසුබැසීම්

1942 මැයි මාසයෙන් පසු ජපානය බුරුමයේ ප්‍රහාර තාවකාලිකව නවතා දැමුවා. ඔවුන් නාමමාත්‍ර ස්වාධීනත්වයකින් යුතු බුරුම ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කර හමුදා සංවිධානය කරන්නටද වුණා. මේ අතර බ්‍රිතාන්‍යයන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටියා. ඉන්දියාවේ බ්‍රිතාන්‍ය විරෝධී “ඉන්දියාව හැර යනු!” (Quit India) ව්‍යාපාරය බ්‍රිතාන්‍යයට තර්ජනයක් වූ අතර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ම කළ වැරදි හේතුවෙන් බෙංගාලයේ විශාල සාගතයක් හටගත්තා.

මේ අතර 1942 – 43 සමයේ මිත්‍ර හමුදා විසින් බුරුමයේදී එල්ල කෙරුණ ප්‍රහාර ද එතරම් සාර්ථක වූයේ නැහැ.

මවුන්ට්බැටන් බුරුමයේදී (Public Domain)

චීනය විසින් උතුරු බුරුමයේ සිට නිරිතදිග ඉන්දියාව දෙසට අලුත් බුරුම මාවතක් නිර්මාණය කළා. මේ අනුව චීනයට බාහිර ලෝකය සමඟ අපහසුවෙන් නමුත් සැපයුම් මාර්ග පවත්වාගන්නට හැකි වුණා.

සමස්ථ නැගෙනහිර ආසියාතික සෞභාග්‍යවත් කලාපය​

නැගෙනහිර ආසියාතික ප්‍රදේශවල ජපන් රූකඩ රාජ්‍යයන් ඒකාබද්ධ කර නිර්මාණය වූ සංවිධානයක් වූ මෙහි අරමුණ වූයේ එම ප්‍රදේශය තුළ වූ ජපන් පාලනයට නෛතික රාමුවක් සපයා දීමයි. මෙම කලාපයට මැන්චුකුවෝ, අභ්‍යන්තර මොන්ගෝලියාව​, චීනයේ ප්‍රතිසංවිධානය කරන ලද ජාතික ආණ්ඩුව​, පිලිපීන ජනරජය​, බුරුමය සහ නිදහස් ඉන්දියාව ද අයත් වුණා.

මෙහි නිදහස් ඉන්දියාව (අසාද් හින්ද්) හි නායකයා වූයේ ඉන්දීය නිදහස් සටනේ පතාක යෝධයකු වූ සුභාෂ් චන්ද්‍ර බෝස්. ඔහු කළක් ඉන්දීය ජාතික කොන්ග්‍රස් සභාපති ලෙස ද කටයුතු කළ ආයකු වුණත් මහත්මා ගාන්ධි සමඟ ඇතිවූ මත ගැටුම් මත එම ධූරයෙන් ඉවත් වුණා. පසුව ඔහු ජර්මනියට පළා ගොස් ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් හිට්ලර්ගේ උපකාර බලාපොරොත්තු වුණා. එහි සිට 1943 දී සබ්මැරීන මගින් ඔහු ආසියාව කරා පැමිණියා.

සිංගප්පූරුවේදී සහ වෙනත් ස්ථානවලදී යටත් වූ ඉන්දීය හමුදා එක් කර ජපනුන් විසින් ඉන්දීය ජාතික හමුදාව සංවිධානය කළා. එහි නායකත්වය ගත්තේ බෝස්. කුල භේදය හෝ ස්ත්‍රී පුරුෂ භේදය නොසලකමින් සමානාත්මතාව අගයන සේනාංකයක් ලෙස මෙය සංවිධානය කෙරුණා. ඔවුන් බුරුම යුධ ව්‍යාපාරය තුළ සටන් කිහිපයකට සහභාගී වූ නමුත් සාපේක්ෂව ඔවුනගේ බලපෑම එතරම් ප්‍රබල වූයේ නැහැ.

1944 ඉන්දියානු ආක්‍රමණය​

ජපන් හමුදා 1944 මාර්තු මාසයේ 8 වනදා චින්ඩ්වින් නදිය තරණය කර ඉන්දියාව ආක්‍රමණය කළා. ඔවුනගේ ප්‍රහාරයන් එල්ල වූයේ ඉම්පාල් සහ කොහීමා නගර දෙසටයි. ඉම්පාල් ප්‍රදේශයේ මාර්තු සිට ජූලි මාසය දක්වා සටන් පැවතුණ අතර කොහීමා ප්‍රදේශයේ ද අප්‍රේල් – ජූනි මාසවල සටන් පැවතුණා. මෙම සටන් දෙකම අවසන් වූයේ මිත්‍ර හමුදාවලට ජයග්‍රහණය ගෙන දෙමින්. මේ අනුව ඉන්දියාව දෙසට වූ ජපන් තර්ජනය අවසන් වුණා.

චින්ඩ්වින් ගඟ ඔස්සේ මිත්‍ර හමුදා කඩිනමින් තනන පාලමක් (Public Domain)

1944 වසර අවසන් වනවිට ජපන් හමුදා චින්ඩ්වින් ගඟ දෙසට පසු බස්වන ලද අතර එම ගඟ ස්ථාන කිහිපයකින් ම තරණය කරන්නට ද මිත්‍ර හමුදා සමත් වුණා.

යුද්ධයේ අවසානය​

මේ වනවිට ජපන් හමුදාවලට ඊට වඩා විශාල තර්ජනයකට මූහුණ දෙන්නට සිදු වුණා. එනම් පිලිපීනය ආපසු අල්ලා ගැනීම සඳහා ඇමරිකානුවන් දියත් කළ යුධ ව්‍යාපාරයයි. 1944 ඔක්තෝබර් – දෙසැම්බර් මාසවල ලෙයිටේ සටනෙන් ජපනුන් පරාජය වීම එහිදී වැදගත් වූ එක් ප්‍රහාරයක් වුණා.

මෙයින් පසු ඊළඟ මාස කිහිපයේදී පිලිපීන දූපත්වල සටන් ගණනාවක් ම සිදු වූ අතර ඒවායෙන් ජපන් හමුදා කෙමෙන් කෙමෙන් පසුබස්වනු ලැබුණා. 1945 අප්‍රේල් වනවිට පිලිපීනයේ ප්‍රධාන ජපන් සේනාංක සියල්ලම පරාජයට පත් කෙරුණ නමුත් යුද්ධාවසානය වනතුරු ම කුඩා කණ්ඩායම් දිගටම සටනෙහි නිරත වෙමින් සිටියා.

1945 දී බුරුමයේ ද දිගටම සටන් පැවතුණා. මිත්‍ර හමුදා උතුරු, දකුණු සහ මධ්‍යම බුරුමය ආක්‍රමණය කළ නමුත් මෙම සටන්වලදී එම හමුදා ඉදිරියට ගියේ ද මන්දගාමීවයි. මේ අතර මිත්‍ර හමුදා සිංගප්පූරුව ආදී ප්‍රදේශ නැවත අල්ලා ගැනීමට ද සැලසුම් සකසමින් සිටියා.

කෙසේ වෙතත් 1945 අගෝස්තුවේදී හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමීමත්, 1945 අගෝස්තු 8 වනදා සෝවියට් දේශය ජපානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ වීමත් හේතුවෙන් ජපානය යටත් වීමට තීරණය කළා. ඒ බව හිරෝහිතෝ අධිරාජයා විසින් අගෝස්තු 15 වනදා ප්‍රකාශයට පත් කෙරුණ අතර සැප්තැම්බර් 2 වනදා ජපානය යටත් වීමේ ගිවිසුමට අත්සන් කළා.

මූලාශ්‍ර​: 

wikipedia.org

Cover Image: ඔත්තු බැලීමට පැමිණි බ්‍රිතාන්‍ය හෝකර් හරිකේන් ගුවන් යානයක් මණ්ඩලේ නගරය අසළ අයා පාලම ළඟදී, 1945 (Public Domain)

Related Articles