චීන අධිරාජ්‍යය බිඳ දැමූ ෂින්හායි විප්ලවය​

වසර 2000කට වැඩි කලක් පැවති චීන අධිරාජ්‍යය සහ සියවස් තුනකට ආසන්න කාලයක් එය පාලනය කළ චිං රාජවංශය බිඳ වැටීමට හේතු වූයේ 1911 දී ඇරඹුණ ෂින්හායි විප්ලවයෙනි. චීනයේ යැංසි නදීබඩ නගරයක හමුදා කැරැල්ලක් ලෙස ඇරඹි මෙම ක්‍රියාවලිය වැඩි කල් නොගොස් සමස්ත අධිරාජ්‍යය ම බිඳ දැමුවේ එය කෙතරම් දුර්වල වී තිබුණි ද යන්න පැහැදිලි කරමින්.

චිං අධිරාජ්‍යය දුර්වල වූයේ කෙසේ ද​?

සාම්ප්‍රදායික චීන ඉගැන්වීම් අනුව චීනය ලෝකයේ මධ්‍යය වුණා. අනෙකුත් රටවල් ඔවුන් විසින් සැලකුණේ නොදියුණු රාජ්‍යයන් ලෙස යි. මේ අතර බාහිර ලෝකය ද චීනය පිළිබඳ වැඩි යමක් දැන සිටියේ නැහැ. මේ සියල්ල වෙනස් වුණේ පළමු අබිං යුද්ධය සමග යි. එහි දී බ්‍රිතාන්‍යය විසින් චිං අධිරාජ්‍යය පරාජය කෙරුණ අතර ඒ සමග ම එය කෙතරම් දුර්වල වේදැ යි පෙන්නුම් කෙරුණා.

මින්පසු එක් අතකින් බටහිර රටවල නිරන්තර තර්ජනයන්ට සහ අභ්‍යන්තර වශයෙන් රාජ්‍ය විරෝධී කැරලි කෝලාහල ඇති වන්නට වුණා. දෙවන අබිං යුද්ධය සහ ටයිපිං කැරැල්ල විසින් චිං අධිරාජ්‍යය බරපතල ලෙස​ දුර්වල කළා. ටයිපිං කැරැල්ලෙන් පසු ප්‍රාදේශීය යුධ නායකයින් අධිරාජ්‍යයට වඩා ප්‍රබල ලෙස ඉස්මතු වුණා.

බටහිර රටවල් හමුදාමය තර්ජනයන් සිදු කරමින් විවිධ චීන නගරවල “අවසර ලද ප්‍රදේශ​” ලබා ගත්තා. එනම් නිශ්චිත ප්‍රදේශයක් තම වෙළෙඳ කටයුතු සඳහා යොදාගැනීමට අධිරාජ්‍යයයෙන් අවසර ලබා ගත්තා. එම ප්‍රදේශයන්හි බල පැවැත්වූයේ ද එම රටවල නීතිය යි.

ට්සෙෂී අධිරාජිනිය (Smithsonian Institute)

කෙමෙන් කෙමෙන් චිං අධිරාජ්‍යය විදේශිකයන් අල්ලේ නටන රූකඩයක තත්ත්වයට පත් වුණා. මෙහි දී බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, රුසියාව​, ජර්මනිය ආදී රටවල බලපෑමට අධිරාජ්‍යය හසු වුණා. ජපානය ද චිං අධිරාජ්‍යයට විවිධ බලපෑම් කළ අතර 1894 දී දෙරට අතර වූ යුද්ධයකින් ජපනුන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තා.

1898 දී ගුවන්‍ෂූ අධිරාජයා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ කළ නමුත් ඒ වන විට මධ්‍යම රජය සැබැවින් ම පාලනය කළ ට්සෙෂී අධිරාජිනිය  (හිටපු අධිරාජයාගේ මව​) විසින් එම උත්සාහය ව්‍යර්ථ කෙරුණා. මීළඟ අවුරුද්දේ විදේශිකයන්ට එරෙහිව “බොක්සර්වරුන්” කැරලි ගැසූ අවස්ථාවේ ට්සෙෂී ඔවුන්ට සහාය දුන්නා. නමුත් ජාතීන් අටක හමුදා විසින් 1901 දී බොක්සර්වරුන් සහ චිං අධිරාජ්‍යයීය හමුදා පරාජය කෙරුණා.

ජපන් ආදර්ශය

1868 දී මෙයිජි ප්‍රතිස්ථාපනයෙන් පසු ජපානය තුළ සීඝ්‍ර ප්‍රතිසංස්කරණයන් සිදු වුණා. චීනය මෙන් ම සියවස් කිහිපයක් සංවෘත රටක් වූ ජපානය ඉතා වේගයෙන් යුරෝපීය දැනුම ද උකහා ගනිමින් නවීන හමුදාවක් ගොඩනැගුවා. එමෙන්ම යුරෝපීයයන් සහ ඇමෙරිකාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කළා. අධ්‍යාපනය ද දියුණු කළා. චීන ජාතික තරුණයින් සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය වෙත යාමට පටන් ගැනුණා. මේ හේතුව නිසා චීනයේ ප්‍රතිසංස්කරණවාදීන්ට ජපානය කදිම ආදර්ශයක් වුණා.

1894-95 සමයේ චීන​-ජපන් යුද්ධය හේතුවෙන් පවා ජපානය පිළිබඳ චීන තරුණ උගතුන් තුළ වූ ගෞරවය අඩු වූයේ නැහැ. ඔවුන් එය දුටුවේ යල් පැන ගිය ක්‍රමයක් පවත්වාගෙන යන තම රටට එරෙහිව නවීන ලෝකයේ රටක් ලද ජයග්‍රහණයක් ලෙස යි. චීනය ද බලවත් රටක් ලෙස නැගී සිටීමට නම් ජපානය ආදර්ශයට ගත යුතු ය යන අදහස එම යුද්ධය සමග චීන තරුණ ප්‍රතිසංස්කරණවාදීන් අතර තවදුරටත් පැළපදියම් වුණා.

මෙම ප්‍රතිසංස්කරණවාදීන් විවිධාකාර අදහස් දරන්නන් වුණා. ඇතැම් ප්‍රතිසංස්කරණවාදීන්ට අවශ්‍ය වූයේ ජපානයේ මෙන් ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් බලයේ තබා ගැනීම යි. නමුත් තවත් අයට අවශ්‍ය වූයේ චීනය ජනරජයක් වනු දැකීම යි. මෙම කඳවුරේ ප්‍රබලයකු වූයේ සුන් යත්-සෙන්.

සුන් යත්-සෙන්

1866 දී උපන් සුන් යත්-සෙන් වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණා. වර්තමාන තායිවාන රජය ඔහු ව පිළිගන්නේ චීන ජනරජයේ පියා වශයෙන්. මහජන චීනයේ රජයට අනුව ඔහු ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ පෙරගමන්කරු වනවා. කිනම් අයුරින් හැඳින්වූව ද චීනය ජනරජයක් බවට පත් වීමේ ක්‍රියාවලියේ දී සුන් යත්-සෙන් විශාල දායකත්වයක් දැක්වූවා.

සුන් යත්-සෙන් (මැද හිඳගෙන​) 1901 දී ජපානයේ (Public Domain)

සුන් යත්-සෙන්ගේ තරුණ කාලය වැඩිපුර ගත වූයේ පිටරට යි. ඔහු 1900 සිට ගත වූ දශකයක පමණ කාලය තුළ අවස්ථා කිහිපයක දී ම රජයට එරෙහිව කැරලි ගැසීමට උත්සාහ කළත් එම කැරැලි සියල්ල ම අසාර්ථක වුණා. මේ අතර ඔහු පිටරටවල චීන ජාතිකයන් අතර සිය ප්‍රචාරක කටයුතු කරගෙන ගියා. 1905 දී තවත් විප්ලවවාදීන් පිරිසක් ද එක් කරගනිමින් තොංග්මෙංග්හුයි නම් රහස් සංවිධානයක් ඔහු විසින් පිහිටුවා ගැනුණා. මෙහි කටයුතු සඳහා ආධාර ලැබුණේ පිටරටවල ජීවත් වූ චීන ජාතිකයන්ගෙන්.

“දහයයි දහයේ සිද්ධිය​”

දෛවයේ සරදමකට මෙන් චිං අධිරාජ්‍යය කඩා වැටීමට ආසන්නතම සිද්ධිය වූ 1911 ඔක්තෝබර් 10 වන දා වූචාංග් කැරැල්ල අවස්ථාවේ සුන් යත්-සෙන් සිටියේ චීනයෙන් බොහෝ ඈත​, ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ යි. ඇමෙරිකාවේ ප්‍රචාරක සහ අරමුදල් රැස් කිරීමේ සංචාරයක් අතරතුර ඔහු එම නගරයට පැමිණ තිබුණා.

1911 ඔක්තෝබර් 9 වන දා යැංසි නදීබඩ වූචාංග් (වූහාන්) නගරයේ රුසියානු “අවසරලත් ප්‍රදේශයේ” පිපිරීමක් සිදු වුණා. චිං හමුදාවට බැඳීමට සමත් වූ විප්ලවවාදීන් පිරිසක් ප්‍රහාරයක් සඳහා සූදානම් වන අවස්ථාවක මෙය සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබුණා. විප්ලවකාරී කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තීරණය කළේ චිං බලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර තමන් ක්‍රියාත්මක විය යුතු බව යි. මේ අනුව ඔක්තෝබර් 10 වන දා (දහයයි දහය​) සවස් යාමයේ එම සාමාජිකයන් නගරයේ ආණ්ඩුකාර නිවස ඇතුළු වැදගත් ගොඩනැගිලි කිහිපයක් අල්ලා ගත්තා. ඔවුන් චීන ජනරජයක් සඳහා තම පක්ෂපාතීත්වය ප්‍රකාශ කළා. දින කිහිපයක සටන්වලින් පසු ව සම්පූර්ණ නගරය ම කැරලිකරුවන් අතට පත් වුණා.

වූචාංග් කැරැල්ලෙන් පසු රජය පිහිටවූ ගොඩනැගිල්ල​. මෙය වර්තමානයේ කෞතුකාගාරයක් වන මෙය ඉදිරියේ සුන් යත්-සෙන් ප්‍රතිමාවක් ඉදිකර ඇත (Wikimedia Commons)

මේ අතර විප්ලවකාරී කණ්ඩායම අනෙකුත් නගරවල හමුදා කණ්ඩායම් වෙත ද පණිවිඩ යවමින් කැරැල්ලට එක්වන ලෙස ආරාධනා කළා. චිං අධිරාජ්‍යයට එරෙහි හමුදා කණ්ඩායම් වෙනත් ප්‍රදේශයන්හි ද කැරලි ඇති කළා. විශේෂයෙන් ම යැංසි නිම්නයේ සහ දකුණුදිග චීනයේ චිං පාලනය කඩා වැටුණා.

මේ අවස්ථාව වන විට ප්‍රධාන බලවතුන් බොහෝ දෙනෙක් තම තමන්ගේ ප්‍රශ්නවල හිර වී සිටි අතර චීන අර්බුදය කෙරේ අවධානය යොමු කළ හැකි තත්ත්වයක වූයේ බ්‍රිතාන්‍යය පමණ යි. චීනය එක්සත් ව තබාගැනීම සඳහා හැකියාව ඇත්තේ චිං හමුදාවේ සෙනෙවියෙකු වූ යුවාන් ෂිකායිට බව ඔවුන් තීරණය කළා. මේ අනුව බ්‍රිතාන්‍ය සහාය යුවාන් ෂිකායි වෙත ලැබුණා. ඔහුව අග්‍රාමාත්‍ය තනතුරට උසස් කරනු ලැබුණු අතර දකුණුදිග චීනයේ කැරලි මර්දනය කිරීම සඳහා ඔහු ව යවනු ලැබුණා.

අධිරාජ්‍යය බිඳ වැටෙයි

මේ අතර සුන් යත්-සෙන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය හරහා චීනය කරා පැමිණියා. 1912 ජනවාරි 1 වන දා ඔහු චීන ජනරජයේ තාවකාලික ජනාධිපති ලෙස නම් කරනු ලැබුණා. මේ අනුව චීනයේ රජයයන් දෙකක් මතු වුණා.

මේ අතර යුවාන් ෂිකායි අවබෝධ කරගත්තේ දකුණුදිග කැරලි මර්දනය කිරීම අපහසු බව යි. ඒ අනුව ඔහු අවස්ථාවාදී ලෙස තමන්ගේ බලය වැඩි කරගැනීමේ ගනුදෙනුවකට එළඹුණා. චිං අධිරාජ්‍යය බලයෙන් නෙරපීමටත් අභිනව ජනරජයේ ජනාධිපති ලෙස යුවාන් ෂිකායි පත් වීමටත් මේ අනුව තීරණය කෙරුණා.

පූ යී 1912 දී (National Geographic Society)

මේ වන විට බීජිං හි නාමික පාලකයා වූයේ සය හැවිරිදි පූ යී අධිරාජ්‍යයා යි. නමුත් සත්‍ය වශයෙන් ම බලය රැඳී තිබුණේ ගුවන්‍ෂූ අධිරාජ්‍යයාගේ වැන්දඹුව වූ ලොංග් යූ අත යි. යුවාන් ෂිකායි ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, චිං රජ පවුලේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමෙන් පසු අධිරාජ්‍යයා සිහසුන අතහැරීමේ නිවේදනය නිකුත් කිරීමට ඇය එකඟ වුණා. මේ අනුව 1912 පෙබරවාරි 12 වන දා එම ඓතිහාසික ලියවිල්ල ලොංග් යූ අධිරාජිනිය  විසින් නිකුත් කෙරුණා.

1912 මාර්තු 10 වන දා යුවාන් ෂිකායි නව චීන ජනරජයේ ජනාධිපති ලෙස පත් වූ අතර සුන් යත්-සෙන් තාවකාලික ජනාධිපති ධුරයෙන් ඉවත් වුණා. නමුත් ජනරජය තුළ වූ ගැටුම් මෙතැනින් අවසන් වූයේ නැහැ. යුවාන් ෂිකායි පිළිබඳ සුන් යත්-සෙන් තුළ සතුටක් වූයේ නැහැ. නමුත් හමුදා බලය ඔහු අත තිබීම හේතුවෙන් යුවාන් ෂිකායිට බලය පැවරීමට සුන් යත්-සෙන්ට සිදු වුණා.

යුවාන් ෂිකායි (Public Domain)

මේ අයගේ බල අරගල මෙයින් නිම වූයේ නැහැ. යුවාන් ෂිකායි වරක් නැවත චීන අධිරාජ්‍යය ගොඩ නැංවීමට උත්සාහ කළේ තමන් ව අධිරාජයා ලෙස ප්‍රකාශ කරගනිමින්. එය ම ඔහුගේ ඉක්මන් විනාශයට හේතු වුණා. මේ අතර සුන් යත්-සෙන් ගුවෝමින්ඩාං (KMT) පක්ෂය පිහිටුවා ගත්තා. පසු කලෙක KMT පක්ෂය සහ චීන කොමියුනිස්ට්වාදීන් අතර යුද්ධයෙන් කොමියුනිස්ට්වාදීන් චීන ප්‍රධාන භූමියේ බලය පිහිටුවද්දී KMTය තායිවානයට පළා ගියා. මේ අතර පූ යී හෙවත් අවසන් අධිරාජයා ද හැල හැප්පීම්වලින් ගහන ජීවිතයක් ගත කර 1967 දී මිය ගියා. මේ සියලු විස්තර ඉදිරි ලිපි කිහිපයකින් ඔබ වෙත ගෙන එන්නට අප බලාපොරොත්තු වෙනවා.

Cover Image: වූචාංග් කැරැල්ලෙන් පසු රජය පිහිටවූ ගොඩනැගිල්ල ඉදිරිපිට​ (Public Domain)

මූලාශ්‍රයයන්:

  • Restless Empire – Odd Arne Westad
  • China’s War with Japan (1937-45) – Rana Mitter

Related Articles