Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සයුරේ සැඟව ගිය ප්‍රහාරකයා – යමටෝ

ප්‍රහාරකයෙක්ලු, සයුරේ සැඟවිලාලු, යමටෝලු, මාතෘකාවම චුට්ටක් ප්‍රශ්නාර්ථයක් වගේ දැනෙනවද? එහෙනම් මේ ලිපිය කියවද්දී ඒ ප්‍රශ්න සියල්ලටමට ඔබට උත්තර හොයාගන්න පුළුවන් වේවි.

හැමෝම අහලා තියෙන දෙවන ලෝක යුද්ධයේදී තම අධිරාජ්‍යයේ බලයට ලෝකයම නතු කරගන්න උත්සාහ කළ ජපානයට දෙවන ලෝක යුද්ධයේ පරාජය බාරගන්න සිදු වුණේ අනපේක්ෂිත ආකාරයේ න්‍යෂ්ටික සංහාරයකයට ලක්වීමට සිදු වීම නිසයි.

දෙවන ලෝක යුධ සමයේ විවිධ ජාතීන් යුද්ධයේ ජයග්‍රහණය උදෙසා විවිධ අවි ආයුධ නිර්මාණය කළා. ඒ අතරින් ජපානය මහ සයුරේ තම යුධ ශක්තිය වැඩි කරගැනීමට නිපදවූ එක් දැවැන්තයෙක් තමයි “යමටෝ” කියන්නේ.

දෙවන ලෝක යුධ සමයේ නිපදවුණු මෙය ලොව විශාලතම යුධ නෞකා වර්ගය ලෙස වාර්තා පොත් අතරට එක්වුණා. වර්තමානයේදී අැමරිකාව සතුව මීට වඩා විශාල ගුවන් යානා ප්‍රවාහන නෞකා තිබුණත් යමටෝ යුධ නැව් පන්තියට (Yamato class battleships) වඩා විශාල යුධ නැව් (ගුවන් යානා මත යැපෙනවා වෙනුවට කෙලින්ම යුධ ප්‍රහාර එල්ල කරන) නම් මෙතෙක් බිහි වෙලා නැහැ.

නිර්මාණයේ පසුබිම

දෙවන ලෝක යුධ සමයේ පැසිපික් සාගරයේ අණසක තමන් සතු කරගැනීමට ජපානයට අවශ්‍ය වූ අතර  ඒ සඳහා ඔවුනට තම නාවුක බලය වැඩි කරගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වුණා. යමටෝ ව්‍යාපෘතිය නිර්මාණය වෙන්නේ ඒ පසුබිම යටතේ යි. එම ව්‍යාපෘතිය යටතේ නෞකා 05 ක් නිර්මාණය කිරීමට සැලසුම් කෙරුණත් සයුරට දියත් කෙරුණේ යමටෝ, මුසාශි සහ ෂිනානෝ යන නෞකා ත්‍රිත්වය පමණයි (යුධ නෞකාවක් ලෙස ෂිනානෝ සැලසුම් කළද පසුව ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්, නැතිනම් “Aircraft Carrier” එකක් ලෙසට එහි සැලසුම් වෙනස් වුණා).

යමටෝ පවුලේ සාමාජිකයින් (Wikipedia)

සැලසුම්වලට පමණක්  සීමා වූ ඉතිරි නෞකා දෙක නිර්මාණය කිරීම අත්හැර දැමීමට සිදු වුණා.

රහසේ ඉදිවූ යමටෝ

“Kure” නෞකා අංගනයේ ඉදි කෙරෙමින් පවතින “යමටෝ” (Wikipedia)

පරීක්ෂණ සහ අත්හදා බැලීම් රැසකින් පසුව නිර්මාණය වන යමටෝ නෞකාව සුවිශේෂී හැඩයකින් සහ අවි ආයුධ රැසකින් සමන්විත දැවැන්ත නිර්මාණයක්. 1937 නොවැම්බර් මස 04 වනදා ඇරඹි මෙහි නිර්මාණ කටයුතු 1940 අගෝස්තු 08 වනදා තමයි අවසන් වුණේ. රාජකීය ජපන් නාවික හමුදාවේ අධිකාරී නිලයට යමටෝ උසස් වන්නේ  1941 දෙසැම්බර් 16. හිරෝෂිමාවල “Kure” නෞකා අංගනයේ ඉතා රහසිගතව නිර්මාණය කෙරුණු මෙම නෞකාව සයුරට දියත් කරන තුරුම ලෝකයේ කිසිම රටක් මෙවැනි දැවැන්තයෙක් නිර්මාණය වන බවවත් දැනගෙන හිටියේ නෑ. ජපනා හපනා කියන්නෙත් ඉතින් නිකන් නෙවෙයිනේ.

යුධ බලය හා අංගෝපාංග

යමටෝගේ Digital නිර්මාණයක් (warthunder.com)

දිගින්  අඩි 863 ක් (263 m) වූ නෞකාවේ පළල අඩි 128 (39 m) ක්. මෙහි උස තට්ටු 18 ක ගොඩනැගිල්ලක් තරම්. ඉතින් හිතාගන්න පුළුවන් නේද විශාලත්වය කොහොම වෙන්න ඇත්ද කියලා. යමටෝ නිර්මාණකරුවන් සැමවිටම උත්සාහ දැරුවේ උපරිම අවි බලයෙන් මෙම නෞකාව සන්නද්ධ කරන්න. නැවේ විශාලත්වයත් එක්ක ඒ සඳහා අවකාශය නිර්මාණකරුවන්ට නිකන්ම ලැබෙනවා.

නැවේ සම්පූර්ණ බර ටොන් 72,808 ක් පමණ වූවත් සාගරයේදී නාවික සැතපුම් 27 ක (50 km/h) උපරිම වේගයක් ලබා ගැනීමට හැකියාව තිබුණා. ඒ බොයිලේරු 12 කින් සමන්විත නෞකාවේ එන්ජිම වාෂ්ප ටර්බයින 4 ක් හරහා තටු තුනේ අවරපෙති 4 ක් ක්‍රියාත්මක කරමින් ප්‍රචාලන බලය සැපයීම නිසාවෙන්. එන්ජිමෙන් ලැබුණු සම්පූර්ණ බලය අශ්ව බල 153,505 ක්! (නෞකාවේ බලදඬු හෙවත් Shafts හරහා ලැබෙන අශ්ව බල ප්‍රමාණය – Shaft Horse Power – shp).

ඒ වගේම නැවේ ඉදිරිපසින් සෙන්ටිමීටර් 65 ක්, බඳ දෙපසින් සෙන්ටිමීටර් 41 ක් හා නැව් තට්ටුවේ සෙන්ටිමීටර් 20ක් තරම් ඝණකම් වානේ සන්නාහයක් තිබූ නිසා දැඩි සතුරු ප්‍රහාරවලට නොබියව මුහුණ දීමේ හැකියාවක් මෙය සතුයි.

යුධ නෞකාවක් නම් ඉතින් ආයුධත් තියෙන්න ඕනනේ. මෙන්න මේ අවි තමයි යමටෝහි යුධ ශක්තිය වැඩි කළේ. (මෙහි දක්වා ඇත්තේ 1945 වසර වන විට එහි වූ අවි ප්‍රමාණයයි)

  • ප්‍රධාන අවි – අඟල් 18ක විශ්කම්භයක් අැති උණ්ඩ දමන කාලතුවක්කු අවි 9. (ඉදිරියෙන් 3ක් හා එක් පසක 3 බැගින්)
  • දෙවන පෙළ අවි – විශ්කම්භය අඟල් 6 උණ්ඩ දමන කාලතුවක්කු අවි  6 (එක් පසක 3 බැගින්)
  • ගුවන් යානා නාශක අවි – විශ්කම්භය අඟල් 5 උණ්ඩ දමන කාලතුවක්කු අවි 24 (එක් පසක 12 බැගින්), විශ්කම්භය අඟල් 0.98 උණ්ඩ නොකඩවා වෙඩි තැබිය හැකි ස්වයංක්‍රීය ගිනි අවි 152.
  • මීට අමතරව සමුද්‍ර ගුවන් යානා (Seaplanes) 7ක් රැගෙන යාමේ හැකියාවක් ද යමටෝ සතු වුණා.

ආයුධ සන්නද්ධ නෞකාවේ සැකැස්ම (warthunder.com)

දෙවන ලෝක යුද්ධයේ යමටෝගේ භූමිකාව

එකල වියදමින් යෙන් මිලියන 130 ක් (දැන් මුදලින් නම් යෙන් ට්‍රිලියන 3ක් පමණ) වියදමක් දරලා යමටෝව නිර්මාණය කළත් මුදලට සරිලන ප්‍රයෝජනයක් ජපන් රාජකීය නාවික හමුදාව ලබාගත්තද කියන එක නම් ප්‍රශ්නයක්.  අද්මිරාල් “Isoroku Yamamoto” යටතේ පළමු යුධ යාත්‍රා බලගණයේ සේවයට එක්වූ යමටෝගේ පළමු සටන වූයේ අැමරිකාවට අයත් midway දූපත අසල කළ සටනයි. (Battle of Midway) එම සටනේදී ජපන් ප්‍රහාරක බල අැණියට නායකත්වය දෙමින් සිටියත් (flagship එක විදිහට) යමටෝ එම සටන අතරතුරදී එකදු වෙඩිල්ලක්වත් තියලා නෑ. එම සටනින් පසුව වසර දෙකක් පමණ එය යොදාගත්තේ “Truk” සහ “Kure” නාවික කඳවුරු අතර මුර සේවයටයි. ඒ අතරවාරෙදි 1943 දෙසැම්බර් 25 වනදා ඇය ප්‍රථම වරට ටෝර්පිඩෝ  ප්‍රහාරයකයට ලක්වෙනවා. ඒ “USS Skate” කියන ඇමෙරිකානු සම්බැරීනයෙන්.

අලුත්වැඩියාවකින් පසු පරීක්ෂණ සංචාරයක නිරතවන යමටෝ (Wikipedia)

අලුත්වැඩියාවලින් පස්සේ නැවත යමටෝ එක්වන්නේ පිලිපීන මුහුදේ යුධමය කටයුතුවලටයි. ඒ අලුත්වැඩියා කටයුතු අතරේදි ඇයට සවි කරන ලද නව ගුවන් යානා නාශක අවිත් සමග. 1944 වසරෙදි තමයි යමටෝ ප්‍රථම වරට සටනකට තම යුධ බලයෙන් දායක වෙන්නේ. එ් Leyte Gulf මුහුදු තීරයේ සටන සඳහා යි. දින 5ක් පුරා සටන සිදු වුණත් එම සටනෙන් යමටෝට නම් සිදු වුණේ සුළු හානි විතරයි. ඊට පසු අවස්ථා කිහිපයකදීම යමටෝ සටන්වලට එකතුවෙලා තියෙනවා.

ගෞරවනීය අවසන් සටන

මේ වකවානුවේ දී ක්‍රම ක්‍රමයෙන් පැසිෆික් සාගරයේ ආධිපත්‍යය ඇමෙරිකාව සියතට ගනිමින් පැවතුණා. යුද්ධයේ පසුබෑමත් සමග සැපයුම් නොමැතිවීම නිසා තවදුරටත් යමටෝව නඩත්තු කිරීමට අවශ්‍ය සම්පත්  ජපානයට තිබුණේ නෑ. ඒ නිසා “Ten-Go” නම් මරාගෙන මැරෙන මෙහෙයුමට යමටෝව පිටත් කෙරුණේ අවසන් මොහොත දක්වා සටන් කිරීමටයි. ඔකිනාවා දූපත ආරක්ෂා කිරීම හා සතුරු හමුදා තවදුරටත් රට තුළට ඇතුළු වීම වැළැක්වීම තමයි එම මෙහෙයුමේ අරමුණු වුණේ.

යමටෝගේ අවසන් සටන් දිනය ලෙස ඉතිහාසයට එකතුවෙන්නේ 1945 අප්‍රේල් මාසේ 7 වෙනිදායි. ඊට පෙර දා හිරෝෂිමාවට මුල්ම පරමාණු බෝම්බය හෙළීමත් එක්ක ජපානයේ ඉරණම විසඳෙන්න කොහොමත් තව වැඩි කාලයක් ඉතිරිව තිබුණේ නැහැ. ඔකිනාවා දූපතට 270 km පමණ උතුරේ දී ඇමෙරිකානු ගුවන් යානා 227 ක් මගින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය හේතුවෙන් ලොව මෙතෙක් නිපදවුණු විශාලම යුධ නෞකාව වූ යමටෝ මුහුදුබත් වී යනවා. එ් ජපාන නාවික හමුදාවේ අවසන් අභිමානයත් සාගරයට එකතු කරමින්. මේ ප්‍රහාරයෙන් යමටෝ විනාශ වී, ගිලී යාමට ගතවෙන්නේ පැය දෙකක් වැනි කෙටි කාලයක්.

ගිලී යාමට ප්‍රථමව නෞකාව පුපුරා ගිය මොහොත (ww2db.com)

දිගින් දිගටම ගුවනින් හෙළන ලද බෝම්බ, ටෝපිඩෝ ප්‍රහාර සහ මුහුදු බෝම්බ (sea mines) හමුවේ සිය අවසන් මොහොත දක්වා යමටෝ සැබෑ සමුරායි විරුවෙක් වගේ නොපසුබටව සටන් වැදුණා. අදටත් ජපන් නාවික ඉතිහාසයේ සංකේතයක් විදියට යමටෝව සළකනවා.

පසු කලෙකදී ජපන් රජය “Kure” නාවුක අංගනය යමටෝ නමින්ම කෞතුකාගාරයක් බවට පත් කරන්නේ එයට සිදුකරන ගෞරවයක් විදිහටයි. මොන තරම් දැවැන්තයෙක් වුණත්, කොයි තරම් බලයක් තිබුණත් ඒ හැමෝටම දවසක අවසානයක් දකින්න වෙනවා කියන සදාතනික පාඩම අපිට සිහියට ගෙන දුන් යමටෝගේ කතාව අවසන් වෙන්නේ එහෙමයි.

මුහුදු පත්ලෙන් සොයාගත් ඇයගේ ඉතිරි වූ කොටස් සහ දැවැන්ත අනුරුවක් Kure කෞතුකාගාරය පැත්තේ ගියොත් ඔබටත් දැක බලාගන්න පුළුවන්.

යමටෝ කෞතුකාගාරයේ තැන්පත් කර යමටෝගේ අනුරුව (japan.apike.ca)

කවරයේ ජායාරූපය – (http://vignette2.wikia.nocookie.net)

මූලාශ්‍ර:

  1. combinedfleet.com
  2. battleshipyamato.info
  3. Wikipedia
  4. youtube

Related Articles