ඊශ්‍රායලයට අවාසි ගෙන දුන් යොම් කිපූර් යුද්ධය – 2 කොටස

මීට වසර 45 කට පමණ පෙර 1973 වසරේ දී මැද පෙරදිග දෙවනත් කළ ‘යොම් කිපූර්’ යුද්ධය සඳහා පසුබිම සැකසුණු ආකාරය ගැන මේ ලිපි පෙළෙහි පළමු ලිපියෙන් අපි සාකච්ඡා කළා. යුදෙව් කැලැන්ඩරයේ ශුද්ධවන්තම දිනය වන යොම් කිපූර් දිනය යෙදුණු දා එක වරම යුධ ගිණි ඇවිලුණු ආකාරය ගැන මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අප අදහස් කළා.

ශුද්ධ වූ දිනයේ ප්‍රහාරය

ක්‍රි.ව 1973 ඔක්තෝබර් මස 6 වනදා යුදෙව් දින දර්ශනයේ ශුද්ධවන්තම දිනය හෙවත් ‘යොම් කිපූර්’ දිනය යෙදී තිබුණා. එදිනට යුදෙව්වන් බොහෝ රාජකාරී කටයුතු වලින් බැහැරව ආගමික කටයුතු වල නිරත වන බව අරාබි ලීගයේ බලවතුන් හොඳින්ම දැන සිටියා. මේ හේතුවෙන් එදින ප්‍රහාරයක් දියත් කළහොත් ඊශ්‍රායලයෙන් නැඟෙන ප්‍රතිරෝධය වෙනදාට වඩා අඩු වන බව ඔවුන් අනුමාන කළා. ඊජිප්තුව ඇතුළු අරාබි ලීගයේ රටවල් අනුමාන කළ පරිදිම ඊශ්‍රායල දේශ සීමා රැකවල්ලා සිටි හමුදා ඛණ්ඩ යොම් කිපූර් දිනයේ දී නිවාඩු ලබාගෙන සිය නිවෙස් වලට ගොස් තිබුණා. සේවයෙහි රඳවා සිටියේ අත්‍යවශ්‍යම රාජකාරි වල නියුතු භට පිරිස් අතලොස්සක් පමණයි. ඔත්තු සේවා වලින් මහා ප්‍රහාරයක් සිදු වීමේ ඉහළ සම්භාවිතාවය හැන හමුදා ඛණ්ඩ නිසි පරිදි දැනුවත් කර නොතිබීම මෙයට හේතුව වුණා.

යොම් කිපූර් යුධාරම්භය- Getty Images

සෑහෙන කාලයක් ඊශ්‍රායලයේ දුර්වල අවස්ථාවක් එන තුරු මාන බලමින් සිටි ඊජිප්තුව හා සිරියාව කල් තබාම මේ ‘යොම් කිපූර්’ දිනයේ තමන්ට එළැඹෙන අවස්ථාව දුටුවා. ඔක්තෝබර් 6 වනදා මහා ප්‍රහාරයකට සූදානම් වූ ඔවුන් එකම අවස්ථාවකදී සූවස් ඇල දෙසින්ද, ගෝලාන් උස් බිම් දෙසින්ද ඊශ්‍රායල භූමියට කඩා වදිනවා. සිරියානු යුධ ටැංකි 1400ක් හා ඊජිප්තු යුධ ටැංකි 2000 ක් මෙන්ම ප්‍රහාරක යානා 550 ක් යොදාගෙන දියත් කළ මේ අනපේක්ෂිත ප්‍රහාරයට නිසි ලෙස මුහුණ දීමට දුර්වලව තිබූ ඊශ්‍රායල දේශ සීමා ආරක්ෂක වළල්ලට හැකි වන්නේ නැහැ. විශේෂයෙන් 600,000 ක් වූ භට කණ්ඩායමුත් යුධ ටැංකිත් සූවස් ඇළ ඔස්සේ තරණය කරවීමට ඊජිප්තුව විසින් නවීන තාක්ෂණය යොදා ගෙන තාවකාලික පාලම් ඉදි කළ අතර මේවා ඉතා කාර්යයක්ෂම වුණා. මේ නිසා ඊශ්‍රායලය සිහිනයකින්වත් නොසිතූ පන්නයේ ප්‍රහාරයක් ඔවුනට එල්ල වුණා.

රටවල් රැසකින් ආධාර

ඊජිප්තුව හා සිරියාව පෙරදැරිව ආරම්භ කළ මේ යුද්ධය සඳහා අරාබි ලීගයට අයත් හා එයට හිතවත් රටවල් රාශියක් ආධාර ලබා දුන්නා. විශේෂයෙන්ම මේ යුද්ධයට මාස කිහිපයකට පෙර ඉරාකය විසින් ප්‍රහාරක ජෙට් යානා බළඇණියක් ඊජිප්තුවට යවා තිබුණා. මීට අමතරව යුධ ගිණි ඇවිළුණු පසු භටයින් 18,000 ක් පමණද යුද ටැංකි සැළකිය යුතු ප්‍රමාණයක්ද ඔවුන් විසින් ගෝලාන් උස්බිම් වෙත අනුයුක්ත කරනු ලැබුවා.

ඊජිප්තු හමුදා සූවස් ඇල තරණය කරමින් – defensemedianetwork.com/CIA

කුවේටය හා සෞදි අරාබියත් යුද්ධයට අවශ්‍ය වියදම් මෙන්ම පිරිස් බලය ද ලබා දුන්නා. සෞදි අරාබිය යුද්ධයට අනුයුක්ත කළ භට පිරිස 3,000 ක්. ප්‍රංශයේ විරෝධයත් නොතකමින් ලිබියාව විසින් ප්‍රංශයේ නිෂ්පාදිත අවි ඊජිප්තුවට හා සිරියාවට සටන් සඳහා ලබා දුන්නා. යුධාධාර ලබා දුන් රටවල් අතර ඇල්ජීරියාව, ටියුනීසියාව, සුඩානය, හා මොරොක්කෝව වැනි රටවලුත් සිටියා.

ලෙබනනය යොම් කිපූර් යුද්ධයට සහය ලබා දුන්නේ වෙනත් ආකාරයකටයි. ඔවුන් විසින් සිරියාවට සිය රේඩාර පද්ධති යුද්ධය සඳහා යොදා ගැනීමට ඉඩ ලබා දුන්නා. මීට අමතරව පලස්තීන යුධකාමීන්ට සැඟවී සිට පහර දීමටත් ඉඩ හසර ලබා දුන්නා. නැවත වතාවක් ඊශ්‍රායලය මකර කටක සිටින් සෙයක් යොම් කිපූර් යුද්ධය ආරම්භයේදී දිස් වුණා.

හුසේන් රජු නිවැරදි තීරණයක් ගනී

ජෝර්දානයේ හුසේන් රජු යොම් කිපූර් යුද්ධය ඇරඹුණු විට එයට සහය දීමෙන් හෝ ක්‍රියාකාරීව සහභාගී වීමෙන් වලකිනවා. එක අතෙකින් යුධාරම්භය පිළිබඳ සිරියාවෙන් හෝ ඊජිප්තුවෙන් ඔහුව නිසියාකාරව දැනුවත් කර නොතිබුණු අතර අනෙක් අතින් ජෝර්දානය සතු යුධ බලය ඊශ්‍රායලය සතුව ඇති යුධ බලය හා ගැටීමට ප්‍රමාණවත් නොමැති බවට ඔහු තීරණය කරනවා. විශේෂයෙන් 1967 වසරේ දුර දිග නොහිතා ඊශ්‍රායලයට පහර දෙන්නට ගොස් වැඩ වරද්දාගත් බව මෙනෙහි කළ ඔහු මැදිහත් ප්‍රතිපත්තියක් ගැනීමට තීරණය කරනවා. මෙය යොම් කිපූර් යුද්ධයේ අවසාන ඉරණම සැළකීමේ දී ජෝර්දානය විෂයෙහි නිවැරදි තීරණයක් වූ අතර අනෙක් අතින් ඔහුගේ මේ තීරණය ඊශ්‍රායලය ලද මහත් අස්වැසිල්ලක් වුණා. මේ නිසා ඊශ්‍රායලයට යුධ පෙරමුණු තුනක සටන් කිරීම වෙනුවට සටන් කිරීමට අවශ්‍යතාවය ඇති වූයේ යුධ පෙරමුණු දෙකක් ඔස්සේ .පමණයි.

හුසේන් රජු – Getty Images

කෙසේ නමුත් අරාබි ලීගය හුසේන් රජුගේ සහය යුද්ධය සඳහා ලබා ගැනීමට හැකි සෑම දේම කරන්නට පටන් ගන්නවා. අරාබි ලීගය තව දුරටත් මිතුරන් ලෙස තබා ගත යුතු වූ නිසා අවසානයේ ඔහු සිය හොඳම භට කණ්ඩ දෙකක් සිරියාවට පිටත් කර හරින්නේ සිරියානු යුධ පෙරමුණට සහය දීම සඳහායි.

බොර තෙල් අවියක් වෙයි

යොම් කිපූර් හෙවත් ඔක්තෝබර් යුද්ධයේදී තවත් එක් වැදගත් තීරණයක් අරාබි ලීගය විසින් ගන්නවා. එනම් ඊශ්‍රායලයට සහය දක්වනවා සේ පෙණෙන ඇමෙරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, නෙදර්ලන්තය වැනි ප්‍රබල රට වලට තෙල් සැපයීම අත්සිටුවීමයි. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු මේ රටවල් සිය ඛණිජ තෙල් අවශ්‍යතා වලින් බහුතරයක්ම පිරිමසාගත්තේ අරාබි ලීගයට අයත් රටවල් වලින් වන අතර මේ හේතුවෙන් ඉතා දැඩි ඉන්ධන හිඟයක් ඒවායේ ඇති වෙනවා. ඇමෙරිකාවේ ඉන්ධන පිරවුම් හල් වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ධන පෝලිම් -David Falconer / EPA / US National Archives

අරාබි ලීගයේ මේ උපක්‍රමය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකානු තෙල් සැපයුම් සමාගම් සිය ව්‍යාපාර නොවැටී තබා ගැනීම උදෙසා ඊශ්‍රායලයට කරන ආධාර නවත්වන ලෙසත් අරාබි රටවලට ආධාර කරන ලෙසත් ඇමෙරිකානු පාලන තන්ත්‍රයට බලපෑම් කරනවා. මින් නොනැවතුණු ඔවුන් ‘සාමාන්‍ය ජනතාව මේ අපහසුකම් විඳින්නේ ඊශ්‍රායලය නිසා’ යැයි මතයක් ද ඇමෙරිකා එක්සත් ජනපදය තුල පතුරවනවා. මේ බළලුන් ලවා කොස් ඇට බෑවීමේ උපක්‍රමය සාර්ථක වන අතර ඇමෙරිකානු ජනපති රිචර්ඩ් නික්සන් ඊශ්‍රායලයට සහය පළ කිරීම නැවැත්වීමට තීරණය කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තමන්ට සහය පළ කළ ප්‍රබල රාජ්‍යයන් හි සහය අහිමි වීම ඊශ්‍රායලයට වැදුණු මරු පහරක් වුණා. ඊශ්‍රායලය වැටී තිබුණේ 1967 සයදින යුද්ධය ආරම්භයට පෙර වැටී සිටියාටත් වඩා අවදානම් තත්වයකට යි.

ඊශ්‍රායල හමුදා අළු ගසා දමමින් නැවත නැඟී සිටිය ආකාරය තෙවන කොටසින් කියවමු.

කවරයේ පින්තූරය – Ministry of Defense, Israel

Related Articles