Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඊශ්‍රායලයට අවාසි ගෙන දුන් යොම් කිපූර් යුද්ධය – 3 කොටස

1973 වසරේදී මැදපෙරදිග ඇවිලී ගිය ‍යොම් කිපූර් හෙවත් ඔක්තෝබර් යුද්ධය දේශපාලනිකමය වශයෙන් ඊශ්‍රායලය ඇතුළු සෙසු තදාසන්න රටවලට දැඩි බලපෑමක් එල්ල කළා. මේ යුද්ධය ආරම්භ වීමට පසුබිම සැකසුණු හැටි හා ඊශ්‍රායලයට දැඩි අවාසි ගෙන දෙමින් ආරම්භ වූ හැටි මේ ලිපි පෙළෙහි පසුගිය ලිපි දෙකෙන් අපි ඔබ වෙත ගෙන ආවා. මේ යුද්ධයේ පළමු දින දෙක නිමා වන විට ඊශ්‍රායලය සිටියේ නියත පරාජයක් පෙණෙන මානයේ යි. කෙසේ නමුත් නැවතත් ලෝකයා පුදුම කරන්නට ඊශ්‍රායලය සමත් වෙනවා. ඉතා දැඩි අභියෝග මධ්‍යයේ ඊශ්‍රායලය නියත පරාජයක් ජයග්‍රාහී මාවතකට හැරවූ ආකාරය ගැන මේ කොටසින් කියවමු.

ඊශ්‍රායලය අළු ගසා දමමින් නැඟිටියි

ඔක්තෝබර් මස 6 වන දින යොම් කිපූර් යුද්ධය ඇවිලී ගිය පසු පළමුවන දින දෙක ගතවන විට ඊශ්‍රායලය සිටියේ ඉතා අසීරු අඩියකයි. කෙසේ වෙතත් ඉක්මණින්ම සිය බළමුළු නැවත ශක්තිමත් කරගත් ඔවුන් දිගට හරහට ඊජිප්තු හා සිරියානු ප්‍රතිපාක්ෂික හමුදා වලට පහර දෙන්නට පටන් ගන්නවා.

සිරියා හා ඊජිප්තු දේශසීමාවන්හි යුද්ධ කටයුතු සිදු වුණු අයුරු – adst.org

සයිනයි කාන්තාරයේ ශුෂ්ක දේශගුණය නිසා එහි සටන මදක් මන්දගාමීව සිදු වුණු අතර විශාල යුද මුක්ත කලාපයක් ද තාවකාලිකව ඇති වෙනවා. කෙසේ වෙතත් උතුරේ තත්ත්වය හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගෙන තිබුණු අතර සිරියානු හමුදා හතර වටින් පහර දෙමින් ගෝලාන් උස්බිම් ඔස්සේ ඊශ්‍රායලයට කඩා වැදීමට උත්සාහ කරනවා. කෙසේ නමුත් සටන අත් නොහැරි ඊශ්‍රායල හමුදාව ඉතා ප්‍රබල ලෙස සිරියානු හමුදාවන්ට පහර දෙන්නට පටන්ගන්නවා. මේ පහර දීමේ ප්‍රබලත්වය නිසාම සයිනයිහි සටන් වදින ඊජිප්තු බළමුළු වලින් කොටසක්ද ගෝලාන් උස්බිම් වෙත ගෙන එන්නට අරාබි ලීගයේ බලධාරීන්ට සිදු වෙනවා. කෙසේ නමුත් ඉක්මණින්ම ඊශ්‍රායල හමුදා ප්‍රහාර වලින් ප්‍රතිපාක්ෂික හමුදා අඩපණ වන අතර ඊශ්‍රායල බළමුළු සිරියාවේ ඩැමස්කස් නුවර දෙසට පිය මනින්නට පටන් ගන්නවා.

රුසියානු හා ඇමෙරිකානු බලපෑම්

යොම් කිපූර් යුද්ධය ඇරඹීමට තදාසන්න සමයේ ඊජිප්තුව සමඟ යම් යම් මත ගැටුම් ඇති වුවත් සමස්ථයක් ලෙස ගත් විට ඊශ්‍රායලයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට රුසියාව විසින් අරාබි ලීගයට විශාල වශයෙන් ආධාර උපකාර ලබා දුන්නා. ඔක්තෝබර් මස 9 වනදා වන විට ඊජිප්තුව හා සිරියාවට රුසියාව විසින් ටොන් 8000ක බරින් යුතු අවි ආයුධ ඇතුළු යුධෝපකරණ ගොන්නක් ලබා දෙනවා. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට සැළකිය යුතු ප්‍රමාණයක යුධාධාර ලබා දුන්නත් ඊශ්‍රායලය ඉල්ලූ තරම් ඒවා ලබා නොදීමට වග බලාගත්තේ අරාබි රටවල් විසින් ඔවුනට තෙල් සැපයුම් අත්සිටුවා බලපෑම් එල්ල කළ නිසායි.

යොම් කිපූර් යුද්ධය සඳහා අරාබි පාර්ශවයට අවි ආයුධ ප්‍රධාන වශයෙන් සපයන්නේ රුසියාව බැව් දැන හුන් ඇමෙරිකා එක්සත් ජනපදය යම් හෙයකින් අරාබි ලීගයේ හමුදා යුද්ධය ජයගතහොත් එය රුසියාව ලබන ජයග්‍රහණයකට සමාන වන නිසා එය වැලැක්වීමට කටයුතු කරනවා. මේ නිසා කිසි ලෙසකින් රුසියානු ආධාර මත ඊශ්‍රායලය පරාජය නොකළ යුතු යැයි ඇමෙරිකාව විසින් අරාබි ලීගයට දන්වනවා. ඉන්ධන ගැටළුවට වඩා තමන් හා රුසියාව අතර ඇති රාජ්‍යතාන්ත්‍රික ශීතල යුද්ධය වඩා බලවත්යැයි නිර්ණය කරන ඇමෙරිකාව ඔක්තෝබර් 12 වනදා ඊශ්‍රායලයට ශක්තිමත් යුධෝපකරණ ලබා දීමට තීරණය කරන්නේ අරාබි ලීගය රුසියානු ආධාර දිගටම ලබාගත් නිසායි.

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට යුධාධාර – bibletruthandprophecy.com

ඇමෙරිකානු ජනපති රිචඩ් නික්සන් විසින් ඊශ්‍රායලයට වහාම යුධෝපකරණ ගුවන් මඟින් යැවීමට සූදානම් වුවත් ඉන්ධන ගැටළුවෙන් මිරිකී සිටි නේටෝ සංවිධානයට අයත් යුරෝපීය රටවල් සිය ගුවන් සීමා ඒ සඳහා යොදා ගැනීමට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් පෘතුගාලය ඒ සඳහා කැමැත්ත පළ කිරීමත් සමඟ පෘතුගාලය ඔස්සේ ගුවන් මඟින් හා නැව් මඟින් ටොන් 22,000 ක් බර යුධාධාර ඇමෙරිකාව විසින් ඊශ්‍රායලයට සේන්දු කරනවා.

ඊශ්‍රායල භට කණ්ඩ පෙරටම

ඔක්තෝබර් මස 12 සිට 14 වනදා වනතුරු බටහිර සයිනයි ප්‍රදේශයේ ඉතාම දරුණු යුධ ටැංකි සටනක් ඇති වෙනවා. මේ සඳහා ඊජිප්තු හා ඊශ්‍රායල යන දෙපක්ෂයේම යුධ ටැංකි 1000ක් පමණ සහභාගී වූ අතර කෙමෙන් කෙමෙන් සටනේ වාසිය තමන් දෙසට නතු කරගත් ඊශ්‍රායල හමුදා ඔක්තෝබර් 14 වනදා උදාවත් සමඟම ඊජිප්තු යුධ ටැංකි 250ක් පමණ විනාශ කිරීමට සමත් වෙනවා. එදින සවස් වරුව වන විට සතුරා සම්පූර්ණයෙන් අඩපණ කිරීමට ඔවුනට හැකි වෙනවා.

ඒරියල් ෂැරෝන් -mirror.co.uk/Rex

මේ අතර ඊශ්‍රායල හමුදාවේ ජෙනරාල් ඒරියල් ෂැරෝන් ඇඟිලි ගණිමින් සිටියේ සූවස් ඇල තරණය කොට ඊජිප්තුවට කඩා වැදීමටයි. ඊජිප්තු ප්‍රධාන බලඝණය සම්පූර්ණයෙන් පරාජය වන තුරු එය කල් දමන ලෙස ඔහුට ඉහළින් උපදෙස් ලැබුණු අතර ඔක්තෝබර් 18 වනදා සූවස් ඇල තරණය කොට කයිරෝව දෙසට ගමන් කිරීමට ඊශ්‍රායල හමුදාවට ඉඩ හසර ලැබෙනවා. මෙලෙස සූවස් ඇල තරණය කිරීමට ලැබීම ඊශ්‍රායල ජාතිකයින්ට මහඟු ජයග්‍රහණයක් වූ අතර ඊජිප්තුව එය සැළකුවේ තමන් ලද විශාල ලැජ්ජාවක් ලෙසයි.

සයිනයිහි තත්ත්වය එසේ වනවිට අනෙක් පසින් ඊශ්‍රායල හමුදා සිරියාවේ ඩැමස්කස් නුවරට ළං වෙමින් තිබුණා. ඉතා කෙටි කලෙකින් ඔවුන් ඩැමස්කස් නුවරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ හැකි තරම් දුරකට ළඟා වුණත් ඊශ්‍රායල අගමැතිනි ගෝල්ඩා මයර් ඔවුනට උපදෙස් දුන්නේ පහර නොදෙන ලෙසයි. මේ නිසා ඊශ්‍රායල හමුදා ඩැමස්කස් අත්පත් කරගැනීමට යනු වෙනුවට හර්මන් කන්ද දෙසට හැරෙනවා. මෙය ප්‍රදේශයේ ඉහළම උන්නතාංශය සහිත ස්ථානය වූ අතර රේඩාර් නිරීක්ෂණ කටයුතු වැනි දේ සඳහා ඉතා වැදගත් ස්ථානයක් වුණා. සටන ආරම්භයේ දී ඊශ්‍රායලයට අයත්ව තිබුණු මේ භූමි ප්‍රදේශය සිරියානු හමුදා විසින් කෙටි කාලීනව අත්පත් කරගෙන තිබුණා. ඔක්තෝබර් මස 22 දා වන විට හර්මන් කන්ද හා ගෝලාන් උස්බිම් වල බලය සම්පූර්ණයෙන්ම තමන් නතු කරගැනීමට ඊශ්‍රායලයට හැකියාව ලැබෙනවා.

1973 ඔක්තෝබර් 8 වනදා යොම් කිපූර් යුද්ධය ගැන ඇමෙරිකානු පුවත්පත් සඳහන් කර තිබූ අයුරු -rarenewspapers.com

මේ වන විට ඊජිප්තුව හා සිරියාව පරයා යුධයෙහි සිය නිපුණත්වය ලෝකයා හමුවේ මොනවට ප්‍රකට කරන්නට ඊශ්‍රයලය සමත් වී සිටියා. මේ සටන් වලින් ඊශ්‍රායල ගුවන් යානා 114ක් පමණක් හානි වී තිබුණු අතර ඉන් උඩුගුවනේදී ප්‍රහාරයන්ට ලක්ව තිබුණේ 20 ක් පමණයි. අරබි ලීගයට අයත් ප්‍රහාරක යානා 450 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා මඟින් විනාශ කර තිබුණා.

යොම් කිපූර් යුද්ධය න්‍යෂ්ඨික යුද්ධයකට හැරීමේ අවධානමක් ඇති වීම හා එහි අනපේක්ෂිත අවසානය ගැන මේ ලිපි පෙළෙහි අවසාන කොටසින් ගෙන එන්නට අපි සූදානම්.

කවරයේ පින්තූරය -Wikimedia Commons

Related Articles