ඊශ්‍රායලයට අවාසි ගෙන දුන් යොම් කිපූර් යුද්ධය – අවසන් කොටස

ඊශ්‍රායලය හා අරාබි ලීගයට අයත් සෙසු මැදපෙරදිග රටවල අතර සිදු වූ යොම් කිපූර් හෙවත් ඔක්තෝබර් යුද්ධය විසි වන සියවසෙහි සිදුවූ ඉතා තීරණාත්මක යුද්ධයක් ලෙස සැළකෙනවා. මේ ලිපි පෙළෙහි පළමු, දෙවන, හා තෙවන ලිපි පෙළින් ඒ සඳහා පසුබිම සැකසුණු හැටිත්, යුධාරම්භය හා ඊශ්‍රායල හමුදා දැඩි ප්‍රහාරයකට ලක් වුණු හැටිත් අනතුරුව ඔවුන් නැවත නැඟී සිටිය හැටි මෙන්ම ලොව බලවත් ජාතීන් මේ හමුවේ ක්‍රියා කළ හැටිත් ගැන හරබර තොරතුරු අපි ඔබ වෙත ගෙන ආවා. න්‍යෂ්ඨික යුද්ධයකට පවා පත් වීමට ගිය මේ යුද්ධයේ අවසානයත් මදක් අනපේක්ෂිත එකක්.

න්‍යෂ්ඨික යුද්ධයක් අබියස

ක්‍රි.ව 1973 ඔක්තෝබර් මස 12 වනදා ඊශ්‍රායල හමුදා සිරියාවේ අගනුවර වන ඩැමස්කස් වෙත පියමනිමින් සිටින් විට රුසියානු තානාපති ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි කිසින්ගර් වෙත දන්වා යවන්නේ ඩැමස්කස් රැකගැනීම සඳහා රුසියාව සිරියාව වෙත හැකි උපරිම අයුරින් සහය වන බවයි. රුසියානු භට ඛණ්ඩ ඩැමස්කස් වෙත අනුයුක්ත කරන බව ද ඔහු කියා සිටියා. මේ නිසා ඊශ්‍රායලය හා සිරියාව අතර යුධ ගැටුම ඔස්සේ ඇමෙරිකාව හා රුසියාව  උණුසුම් තත්ත්වයක් ඇති වෙමින් තිබුණා.

තත්ත්වය මෙසේ තිබිය දී ඊශ්‍රායල හමුදා දකුණු දිගින්ද ඉදිරියට යමින් තිබුණා. සයිනයි අර්ධද්වීපය ඔස්සේ සූවස් ඇල තරණය කර සිටි ඔවුන් ඊජිප්තුවේ අගනුවර වන කයිරෝව දෙසට පිය මනිමින් සිටි අතර ඉක්මණින්ම ඊජිප්තු හමුදාවේ තෙවන බල ඝණය වටකොට රතු කුරුස සංවිධානයෙන් ඔවුනට යැවෙන ආධාර අවහිර කිරීමට ඔවුනට හැකි වෙනවා. මේ අවස්ථාවේ ඊජිප්තු ජනපති අන්වර් අල් සදාත් රුසියාවේ සහය පතන්නේ සාම ගිවිසුමකට ඊශ්‍රායලය එකඟ කරගන්න ලෙස ඉල්ලමිනුයි.

සූවස් ඇල දෙසට පිය මණින ඊශ්‍රායල හමුදා-Israeli Government Press Office

ඔක්තෝබර් මස 24 වනදා වන විට තත්ත්වය ඉතා දරුණුව තිබූ අතර තමන්ද යුද්ධයට ඍජුවම මැදිහත් වන බව රුසියාව ප්‍රකාශ කරනවා. එදිනම ඇමෙරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය ප්‍රකාශ කරන්නේ රුසියාව ඊජිප්තුව වෙත යුධෝපකරණ වෙනුවට භට ඛණ්ඩ ගෙන ඒමට සූදානම් වන බවයි. මෙයින් සළිත වූ ඇමෙරිකානු ජනපති රිචඩ් නික්සන් ඇමෙරිකානු හමුදා සීරුවෙන් තබන්නේ අවශ්‍ය වුවහොත් න්‍යෂ්ඨික බලය ද යොදා ගැනීමට සූදානම් වෙමිනුයි. මේ නිසා න්‍යෂ්ඨික යුද්ධයක පෙර සළකුණු සියල්ල ඇති වී තිබුණු අතර වාසනාවකට රුසියානුවන් ඊජිප්තුවට භට ඛණ්ඩ යැවීමේ අදහස වෙනස් කරගන්නවා.

පරාජිතයින් ගලවා ගැනීම

සෝව්යට් රුසියාව අරාබි ලීගය ජයගන්නා බව පෙණුනු කාල සීමාවේ දී සටන් විරාමයක් සඳහා දෙපාර්ශවය එකඟ කර ගැනීමට කිසිදු වෙහෙසක් ගන්නේ නැහැ. කෙසේ නමුත් තත්ත්වය වෙනස් වී ජය ඊශ්‍රායලය දෙසට දෝලනය වූ විට ඔවුනට සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමේ තදබල උවමනාවක් ඇති වෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වන කර්ට් වෝල්ඩ්හයිම් හැසිරෙන්නේත් ඒ ආකාරයටයි.

කර්ට් වෝල්ඩ්හයිම් – archives.un.org

ඔක්තෝබර් මස 22 දා නොහොත් යුද්ධයේ සියළු වාසි ඊශ්‍රායලය දෙසට දෝලනය වූ හැටියේම වාගේ එක්සත් ජාතීන්ගේ සමුළුව 338 වන යෝජනාවලිය සම්මත කරගන්නවා. එයින් කියැවුණේ යොම් කිපූර් යුද්ධයට සම්බන්ධ ‘සියළු පාර්ශවයන්’ හමුදා කටයුතු වහාම නැවැත්විය යුතු බවයි. මෙය සම්මත වූයේ ඊශ්‍රායල හමුදාව ඊජිප්තු හමුදාවේ තෙවන බල ඝණය සම්පූර්ණයෙන් කොටු කරනු ලැබූ දිනමයි.

යොම් කිපූර් යුද්ධයේ අවසාන දින කිහිපයේ හමුදා ස්ථානගතවීම් පෙන්වන සිතියමක්- adst.org

ඊජිප්තු හමුදාව සම්පූර්ණයෙන් විනාශ කිරීමේ මහඟු අවස්ථාව අබියස සිටි ඊශ්‍රායලය මේ යෝජනාවලියට අකමැත්තෙන් හෝ එකඟ වන්නේ අවසානයේ ඇමෙරිකාව ද සටන් විරාමයක් සඳහා ඔවුනට බල කිරීම නිසායි. ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ නොවුණා නම් සිරියානු හා ඊජිප්තු අගනුවර ද්විත්වයම පැය ගණනක් තුළ අත්පත් කර ගැනීමට ඔවුනට හොඳින්ම අවස්ථාව තිබුණා. කෙසේ නමුත් යුද්ධය නිමා වන විට සියළු පාර්ශව වලට දැඩි හානි ගෙන දී තිබුණු අතර ඊශ්‍රායල සෙබළුන් 2,688 ක්ද ඊජිප්තු හමුදාවේ 7,700ක් ද සිරියානු හමුදාවේ 3,500ක් ද ඒ වන විට මරු වසඟයට ගොස් සිටියා.

ඇමෙරිකාවේ දේශපාලනික උපක්‍රමය

ඇමෙරිකා එක්සත් ජනපදය යොම් කිපූර් යුද්ධයේදී ක්‍රියා කළේ ඉතා උපක්‍රමශීලී ආකාරයටයි. එක් අතෙකින් රුසියාව සහයෝගය දැක්වූ ඊජිප්තුව යුද්ධය ජයග්‍රහණය කිරීමට ඉඩ දීම සිදු වීමට ඉඩ නොතැබිය යුතු එකක් වූ අතර අනෙක් අතින් බොර තෙල් වැනි ස්වභාවික සම්පත් හේතුවෙන් ඊජිප්තුව ඇතුළු අරාබි ලීගය විරසක කර ගැනීමද ඇමෙරිකාවට අවාසිදායක එකක් වූවා. අවසානයේ යොම් කිපූර් යුද්ධය ඇමෙරිකාවට වාසිදායක වන අයුරින් නවත්වා ගැනීමට ඔවුනට හැකි වෙනවා. සටන් විරාමය හා ඒ සමඟම ඇති කළ එකඟතා ගිවිසුමත් සමඟ යුද්ධය නැවතුණු පසු තව දුරටත් දෙපාර්ශවයම සෑහීමකට පත් වන ‘රැවුලත් කැඳත් බේරාගත හැකි’ යෝජනා කිහිපයක් ගෙන එන්නට ඇමෙරිකාව සමත් වෙනවා. මේ අනුව 1974 වසරේදී නැවතත් සූවස් ඇලේ බලය ඊජිප්තුවට ලැබුණු අතර සයිනයි කාන්තාරයේ සූවස් ඇල අසබඩ කොටසින් ඊශ්‍රායල හමුදාව ඉවත් කර ඇමෙරිකානු සාම සාධක හමුදාව ඊට ප්‍රතිස්ථාපනය කිරීම සිදු වෙනවා. ඊජිප්තුව මීට එකඟ වූවත් සිරියාව සමඟනම් ඇමෙරිකාවට සතුටුදායක ලෙස එකඟතාවයන්ට පැමිණීමට හැකි වන්නේ නැහැ.

සයදින යුද්ධය හා යොම් කිපූර් යුද්ධය අවසන ඊශ්‍රායල පාලන ප්‍රදේශ – jewishpress.com

යොම් කිපූර් යුද්ධයේ අවසානය

සයදින යුද්ධය මෙන්ම යොම් කිපූර් යුද්ධයත් අවසන් වූයේ ඊශ්‍රායලයට වැඩි ගෞරව ගෙන දෙමින් නමුත් සමස්ථයක් වශයෙන් ගත් විට ඔවුනට අවාසියක් සිදු වී තිබුණා. එක් අතෙකින් ජීවිත දහස් ගණනක් යුද්ධය නිසා අහිමි වන විට අනෙක් අතින් පශ්චාත් යුධ සමයේ දී ඊශ්‍රායලයේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟුණා. එය ඊශ්‍රායලයේ දියුණුවට ඒ තරම් හිතකර වූයේ නැහැ. විශේෂයෙන් ඊජිප්තුව ඇතුළු අරාබි ලීගය සම්පූර්ණයෙන් පරාජය කිරීමේ අවස්ථාව අබියසටම පැමිණ ඇමෙරිකා එක්සත් ජනපදයේ බලපෑමෙන් එය ව්‍යර්ථ කර ගැනීම ඊශ්‍රායල ජාතිකයින් බහුතරයකටම ඉවසුම් නොදෙන කරුණක් වුණා. මෙ සඳහා පාලන තන්ත්‍රය චෝදනා ලැබූ අතර ප්‍රතිඵලය වූයේ බල පෙරළියක් සිදු වීමයි. විශේෂයෙන් යොම් කිපූර් යුද්ධයේ දී අගමැතිනි ගෝල්ඩා මයර් හා 1967 සයදින යුද්ධයේ ප්‍රධානතම විරුවෙක් වූ ආරක්ෂක ඇමති මෝෂේ දයාන් ක්‍රියා කළ ආකාරය ජනතාවගේ දැඩි දෝශ දර්ශනයට ලක් වුණා.

මෝෂේ දයාන් හා ගෝල්ඩා මයර් -haaretz.com

යුද්ධයේ දී පරාජය අභිමුඛයටම පැමිණිය ද ඊජිප්තුව යොම් කිපූර් යුද්ධය සැළකුවේ ජයග්‍රාහී එකක් ලෙසයි විශේෂයෙන්ම යුධාරම්භයේ දී ඊශ්‍රායල හමුදා දැඩි පසුබෑමකට ලක් කිරීමට හැකි වීම නිසා 1967 වසරේ තමන්ට සිදු වූ අවමානය මැකී ගිය බව ඔවුන් විශ්වාස කළා. ඇමෙරිකාව නොවන්නට යුදෙව්වන් ඊශ්‍රායලයෙන් අතුගා දමන්නට තමන්ට හැකියාව තිබුණු බව ඔවුන් පුරසාරම් දෙඩුවා. සමස්ථයක් වශයෙන් ගත් විට යොම් කිපූර් යුද්ධය අරාබි ලීගයේ නැති වී ගිය ගෞරවය යම් තාක් දුවකට නැවත ලබා ගැනීමට හැකි වුණු එකක් ලෙස අවසන් වුණා.

යොම් කිපූර් යුද්ධය සටන් විරාම ගිවිසුමකින් අවසන් වූවත් මැදපෙරදිග දීර්ඝ කාලීන සාමයක් නම් ඇති වූයේ නැහැ. ඉතා ඉක්මණින්ම ඊශ්‍රායලයට 1967 වසරේ දී තමන් අයත් කරගත් භූමි ප්‍රදේශ අහිමි වන අතර යුද්ධ කිහිපයකටම මුහුණ දීමටත් සිදු වෙනවා. ක්‍රි.ව 2018 උදා වන විටත් ඊශ්‍රායලය හා තදාසන්න භූම් ස්කන්ධය විටෙන් විට උණුසුම් වන, දේශපාලනික වශයෙන් විචල්‍ය වන කලාපයක් ලෙස පවතිනවා.

කවරයේ පින්තූරය -Ron Frenkel/GPO

Related Articles