හිට්ලර්ට අභියෝග කළ යුගොස්ලාව් කුමන්ත්‍රණය​

1941 මාර්තු 27 වන දා යුගෝස්ලාව් රාජකීය ගුවන් හමුදාවේ නිලධාරීන් කිහිප දෙනකු විසින් නට්සි පාක්ෂික යුගොස්ලාව් රජය පෙරළා දැමීම, දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය කෙරෙහි මෙන්ම ඉන්පසු කාලයේ ලෝක ඉතිහාසය කෙරෙහි ද විශාල බලපෑමක් එල්ල කළා.​

මෙම කුමන්ත්‍රණයට ආසන්නම හේතුව වූයේ 1941 මාර්තු 25 වන දා එවකට පැවති යුගෝස්ලාව් රජය අක්ෂ බලවතුන්ගේ ත්‍රයිපාර්ශවික ගිවිසුමට එක් වීමයි.

ග්‍රීක – ඉතාලි යුද්ධය​

දෙවන ලෝක යුද්ධය අතරතුරේ 1940 ඔක්තෝබරයේ දී, ඉතාලිය විසින් ග්‍රීසිය ආක්‍රමණය ලැබුණා. ඒ එවකට ඉතාලි පාලනය යටතේ වූ ඇල්බේනියාව හරහා යි. මෙම ආක්‍රමණය පිළිබඳ ඉතාලි නායක මුසෝලිනී විසින් ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් දැනුවත් කෙරුණේ නැහැ. හිට්ලර් තමන්ට නොදන්වා යම් යම් වැදගත් දේශපාලන තීරණ ගැනීම පිළිබඳ (විශේෂයෙන්ම ඔස්ට්‍රියාව ඈඳා ගැනීම පිළිබඳව​) මුසෝලිනී තරමක් උරණව සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ හිට්ලර් පුදුම කිරීමට යි.

කෙසේ නමුත් ග්‍රීක හමුදා විසින් ඉතාලි ආක්‍රමණය මැඩ පවත්වන ලද අතර දෙපාර්ශවය අතර යුධ පෙරමුණ ඇල්බේනියා – ග්‍රීක දේශසීමාව ආශ්‍රිතව නැවතුණා. මෙය මුසෝලිනීට ලජ්ජා සහගත පසුබැස්මක් වූ අතර හිට්ලර් ඔහු හා කුපිත වීමට ද හේතුවක් වුණා.

ග්‍රීක යුධ සෙබළුන් ඉතාලිය සමඟ සටන් පෙරමුණේදී (ww2today.com)

මෙම අවස්ථාවේ දී මුසෝලිනීට ජර්මානු සහය ඉල්ලා සිටීම හැර වෙනත් විකල්පයක් වූයේ නැහැ. නමුත් ඔහු හා කුපිතව සිටි හිට්ලර් මුලින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත්, පසුව හිට්ලර් තේරුම් ගත්තේ ග්‍රීසිය නිරුපද්‍රිතව සිටියහොත් ඒ හරහා බෝල්කන් කලාපයේ කටයුතුවලට ඇඟිලි ගැසීමට බ්‍රිතාන්‍යයට අවස්ථාව ලැබෙන බවයි. මේ අනුව සිය දකුණු පෙරමුණ අස්ථාවර විය හැකි බව හිට්ලර් අවබෝධ කරගත්තා. එහෙයින් ග්‍රීසිය පරාජය කිරීම පිණිස සහය දීමට ඔහු තීරණය කළා​.

මාර්තු 27 කුමන්ත්‍රණය​

මේ වනවිට යුගෝස්ලාවියාවේ රජු වූයේ දෙවන පීටර් කාරාජෝර්ජ්වික් රජතුමායි. නමුත් ඔහු 17 හැවිරිදි වූ හෙයින් යුගෝස්ලාවියාවේ පෝල් කුමාරයාගේ ප්‍රධානත්වයෙන් වූ ත්‍රිපුද්ගල භාරකාර මණ්ඩලයක් රට පාලනය කළා.

ජර්මනිය​, ඉතාලිය, සහ ජපානය 1940 දී ත්‍රිපාර්ශවික ගිවිසුමකට එළඹ තිබුණා. පසු කාලීනව අක්ෂ බලවතුන් පාර්ශවයේ සිටි කුඩා රාජ්‍යයන් කිහිපයක් ද එම ගිවිසුම අත්සන් කළා. 1941 මාර්තු 25 වන දා යුගොස්ලාව් රජය ද​ ගිවිසුමට අත්සන් තැබුවා. යුගෝස්ලාවියාවේ සහය ලැබීමත් සමඟ ඒ හරහා ජර්මන් හමුදා ගෙනවිත් ග්‍රීසියට පහර දීමට හිට්ලර් අදහස් කළා.

නමුත් තම රජය නට්සින් සමඟ එක් වීම කෙරෙහි අසතුටට පත් හමුදා නිලධාරීන් පිරිසක් මාර්තු 27 වන දා රජය පෙරළා දැමුවා. යුගොස්ලාව් රාජකීය ගුවන් හමුදාපති වූ ජෙනරල් දුෂාන් සිමොවිච් මෙම කුමන්ත්‍රණයට නායකත්වය දුන්නා. මාර්තු 27 කුමන්ත්‍රණයෙන් පසු නව පාලනය විසින් 17 හැවිරිදි වන පීටර් කාරාජෝර්ජ්වික්ගේ වයස් පූර්ණය වූ බව තීරණය කරන ලද අතර සර්බ් ජාතිකවාදී සහ නට්සි විරෝධී ආණ්ඩුවක් පිහිටුවාගත්තා.

ජර්මන් ආක්‍රමණය​

ජර්මානුන් වැඩි දිනක් යන්නට මත්තෙන් නව යුගෝස්ලාව් රජයට පහර දුන්නා. මේ වනවිටත් අවට ප්‍රදේශවල ජර්මානු සහ ඉතාලි හමුදා රැඳී සිටීම ඔවුනට අමතර උපකාරයක් වුණා. බල්ගේරියාවේ රඳවා සිටි ජර්මානු හමුදා සහ ඇල්බේනියාවේ සිටි ඉතාලි හමුදා මේ අතර වැදගත් වුණා. අප්‍රේල් 6 වන දා බෙල්ග්‍රේඩ් අගනුවරට​ ගුවන් ප්‍රහාර එල්ල කරමින් ජර්මනිය සිය යුගෝස්ලාව් ආක්‍රමණය දියත් කළා.

බෙල්ග්‍රේඩ් නගරයට බෝම්බ ප්‍රහාරවලින් හානි (serbia.com)

යුගෝස්ලාවියානු රජය අප්‍රේල් 13 වන දා රටින් පලා ගියා. මේ අතර ග්‍රීසියට එරෙහි යුධ ව්‍යාපාරය ද අප්‍රේල් මස නිම වෙද්දී මහාද්වීපික ග්‍රීසිය යටත් කිරීමෙන් ද මැයි මාසයේදී ක්‍රීට දිවයින් යටත් කිරීමෙන් ද අවසන් වුණා.

මෙයින් පසු ග්‍රීසියේ සහ යුගෝස්ලාවියාවේ ප්‍රදේශ ජර්මන් සහ ඉතාලි හමුදා අතර බෙදාගන්නා ලද අතර ක්‍රොඇට් ජාතිකවාදී ෆැසිස්ට් සංවිධානයක් වූ උස්ටාෂේ සංවිධානයට වර්තමාන ක්‍රොයේෂියාවේ සහ බොස්නියා හර්සගොවිනාවේ විශාල ප්‍රදේශයක් ද වර්තමාන සර්බියාවේ සහ ස්ලොවීනියාවේ ඇතැම් ප්‍රදේශ ද ඇතුලත් “ස්වාධීන ක්‍රොඇට් රාජ්‍යය​” බාර දෙනු ලැබුණා. මෙම ස්වාධීන ක්‍රොඇට් රාජ්‍යය නාමමාත්‍රව ස්වාධීන රජයක් වූ අතර ක්‍රොඇට් නොවන ජනතාව කෙරෙහි දැක්වූ අතිශය දරුණු කුරිරුකම් පිළිබඳ එය අපකීර්තියක් දිනා ගත්තා.

ජර්මන් යුධ ටැංකියක් යුගෝස්ලාවියා ආක්‍රමණය අතරතුරදී (Pinterest)

ප්‍රතිඵල​

යුගෝස්ලාව් සහ ග්‍රීක යුද්ධවල එක් ප්‍රතිඵලයක් වූයේ ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සති කිහිපයකින් පමා වීම යි. ජූනි 22 වනදා ඇරඹි “බාබරෝසා” මෙහෙයුමේ දී ජර්මානුන් මොස්කව් අගනුවර පෙනෙන මානයටම පැමිණි අතර​, අධික ශීතල සහ වෙනත් සාධක හේතුවෙන් එහි දී ඔවුනගේ ගමන නතර කරනු ලැබුණා. යම් හෙයකින් ජූනි මාසයට පෙර මෙම ප්‍රහාරය ඇරඹී නම් අධික ශීතලෙන් පීඩා විඳීමට පෙර මොස්කව් වෙත ඇතුළු වීමට ජර්මානුන්ට හැකියාව තිබුණි යයි ඇතමුන් විශ්වාස කරනවා. නමුත් බාබරෝසා මෙහෙයුමේ දී ජර්මන් හමුදා අතින් සිදු වූ අඩුපාඩු හේතුවෙන් ද මොස්කව් පරාජය සිදු වූයේ යයි තර්ක කළ හැකියි. එක් අතකින් ඔවුන් ශීත කාලය සඳහා සූදානම් වූයේ නැහැ. අනෙක් අතින් යුධ මෙහෙයුම් ක්‍රියාත්මක වීමේ දී ජර්මන් හමුදා එක් අවස්ථාවක මොස්කව් වෙත එල්ල කරන ප්‍රහාරයන් සඳහා මූලික අවධානය යොමු නොකර දකුණු දිග පෙරමුණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. එහෙයින් මොස්කව් පෙරමුණ ඔස්සේ ජර්මන් හමුදාවල ගමනෙහි වේගය අඩු වුණා. එය ද ශීත කාලය පැමිණීමට පෙර මොස්කව් අසලට ළඟාවීම සඳහා ජර්මානුන්ට තිබූ අවස්ථාවක් අහිමි කිරීමට හේතු වුණා.

දෙවන පීටර් කාරාජෝර්ජ්වික් රජු චර්චිල් සහ ජෙනරල් මොන්ට්ගොමරි (වම් කෙළවර​) සමග 1941 ජූලි මසදී (Wikimedia Commons)

ජර්මන් ආක්‍රමණය හේතුවෙන් නට්සි විරෝධී යුගොස්ලාව් රජය රටින් පළා ගොස් එංගලන්තයට පැමිණියා. එහිදී ඔවුන් පිටුවහල්ව සිටින රජයක් ලෙස කටයුතු කළා. නමුත් ඔවුනට සහය දක්වන පිරිස් යුගෝස්ලාවියාව තුළ එතරම් වූයේ නැහැ. ඒ වෙනුවට ෆැසිස්ට් විරෝධී සටනේ ප්‍රමුඛත්වය ගත්තේ ජොසිප් බ්‍රොස් හෙවත් මාර්ෂල් ටිටෝ ප්‍රමුඛ කොමියුනිස්ට්වාදීන් විසින්.

මේ අනුව දෙවන ලෝක යුද්ධය අවසානයේ දී යුගෝස්ලාවියාව කොමියුනිස්ට් පාලනයට නතු වුණා. 1945 නොවැම්බර් 29 වන දා යුගෝස්ලාව් රාජාණ්ඩුව එරට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායකය විසින් අහෝසි කරනු ලැබුණා. දෙවන පීටර් රජුට සහ මාර්තු 27 කුමන්ත්‍රණයේ ඇතැම් නායකයන්ට ආපසු යුගෝස්ලාවියාවට පැමිණීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දුෂාන් සිමොවිච් යළි සිය රට බලා පැමිණි අතර 1962 දී මිය ගියා.

Cover Image: දෙවන පීටර් කාරාජෝර්ජ්වික් රජු සහ යුගෝස්ලාවියාවේ ඇලෙක්සැන්ඩර් කුමරු (royalfamily.org)

මූලාශ්‍ර​

The Rise and the Fall of the Third Reich by William L. Shirer

Related Articles