Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධි මානසික හැකියාවෙන් කිරුළු පැළැඳි යුරි ගෙලර්

ලොව ඇති විශාලත ම ලෝහමය හැන්ද  තිබෙන්නේ ඊශ්‍රායලයේ ජැෆා නුවර පිහිටි යුරි ගෙලර් කෞතුකාගාරයේ ය. දිගින් මීටර 16.18 ක් (අඩි 53 යි, අඟල් 1ක්) වන එම හැන්ද එහි වන තවත් දහසකුත් එකක් වූ අසාමාන්‍ය පෙනුමැති, විස්මිත වස්තු එකතුවෙන් එකක් පමණි. එම එකතුවේ බහුතරයක්ම තිබෙන්නේ නැවුණු හැඳි ය. ඒවායේත් මෙම සමස්ත විස්මිත කෞතුක භාණ්ඩ එකතුවේත් හිමිකරු වන යුරි ගෙලර් මහත් ගර්වයෙන් යුතුව පවසන්නේ ඒවා තම අධිමානසික බලයෙන් නැවූ හැඳි බව ය. සිතේ බලයෙන් හැඳි නැවීම යනු සැබවින් ම ගෙලර් සතු තවත් අධි මානසික හැකියා අතරින් එකක් පමණි. යූරි ගෙලර්ගේ අනන්‍යතා ලකුණ වන අධි මානසික හැකියාව ඔප්පු කරන භෞතික සාධක වන මෙම නැවුණු හැඳි එකතුව, දශක පහක් ඔස්සේ විහිදුණු, පොප් සංස්කෘතිය හා අත්වැල් බැඳගත් ගෙලර්ගේ විස්මිත ජීවිකාවත්, ජීවන පුවතත් අපට කියන්නකි.

with his cadlack
යූරි ගෙලර් තමා නැවූ හැඳිවලින් සැරසූ කැඩිලැක් මෝටර් රථය ඉදිරිපිට  – independent.co.uk

 

පොප් තාරකා පුදුම කළ හිතේ ගැම්ම

මනසේ බලයෙන් හැඳි නවන මෙම අපූරු අධි මානසික බලවතා ලෝක පූජිත වූයේ ඔහුගේ එම හැකියාවටත් වඩා පොප් සංස්කෘතිය සමඟ ඔහුගේ වූ අවියෝජනීය සම්බන්ධය නිසා ය. එය යූරි ගෙලර් ගැන අපට පුදුම වීමට ඇති තවත් හේතුවකි. ගෙලර් පවසන්නේ අධි මානසික හැකියාවැති සුපිරි තරුවක් වීමේ නොතිත් ආශාවකින් පෙළුණු තමාට ජනප්‍රියත්වය කරා යන මාර්ගය විවරවුයේ පොප් තාරකා සමඟ ඇති කර ගත් මිත්‍රත්වය හරහා බව යි. ඔහුගේ අරුම පුදුම කෞතුකාගාරයේ වන කෞතුක වස්තු බොහෝමයක් ලොව ප්‍රකට පුද්ගලයන් වෙතින්, මිත්‍රත්වයේ නාමයෙන් ලැබුණු සිහිවටන ය.

“ මං හරිම දිළිඳු පවුල් පසුබිමකින් ආපු කෙනෙක්. ඉතින් මට අධි මානසික හැකියාවක් තිබුණත් ඒක ලෝකය හමුවට ගේන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. හැබැයි මට එක දෙයක් තිබුණා. ඒ තමයි ඊශ්‍රායල ජාතිකයන්ට ම ගැළපෙන නොහික්මුණු විනෝදශිලීත්වය. එල්ටන් ජෝන් ගාවට වුණත් ගිහින් එයත් එක්ක ඡායාරූපයකට පෙනී ඉන්න පුළුවන්ද?, එයා හමුවෙන්න එයාගේ ගෙදර එන්න පුළුවන්ද කියලා අහන්න තරම් හයියක්, ගැම්මක් මට තිබුණා. ඉතින් එයාලත් මගේ ඒ එඩිතරකම ගැන පුදුම වුණා වගේම මා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න පවා පටන් ගත්තා. මං සාර්ථකත්වයේ හිණිමඟ නඟින්න ගත්තේ අන්න එහෙමයි.“

සැල්වදෝර දාලි සමඟ
ගෙලර් තරුණ වියේදි, සැල්වදෝර් ඩාලි සමඟ  – bbc.com 

 

යූරි ගෙලර් එලෙස පවසන්නේ එවන් ප්‍රකට පුද්ගලයන් වෙතින් තමන්ට තෑගි ලැබුණු අරුම පුදුම සිහිවටන ද, ඔවුන් හා පැවති මිත්‍රත්වයට සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි. ඒ අතර සැල්වදොර් ඩාලි නමැති ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියාගෙන් ලැබුණු, කලක දි ලියනාඩෝ ඩාවින්චිට අයත් ව තිබූ බව කියැවෙන පළිඟු ගෝලයක්, ලිබියානු හිටපු නායක මුවම්මර් ගඩාෆිගෙන් ලැබුණු ගුවන්යානා ආකෘතියක් සේම බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්ගෙන් ලැබුණු රන් පැහැති බිත්තරයක් ද වේ.

මේ සෑම සිහිවටනයක් පිටුපස ම සැඟවුණු රසවත් කතාවක්ද ඇති බවයි ගෙලර් පවසන්නේ. මීට අමතර ව ඔහුගේ ළමා විය හා ජිවිතයේ සංධිස්තානමය ඉසව් ඉඟි කෙරෙන ඡායාරූපවලින් ද කෞතුකාගාරයේ බිත්ති හැඩ ව තිබේ.

john lennon's egg
ගෙලර්  තමාට ජෝන් ලෙනන් වෙතින් තෑගි ලැබුණු රන්වන් බිත්තරය සමඟ  – bbc.com 

 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙත් නෑයෙක්

1946 දෙසැම්බර් 20 වැනි දා, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර දී යූරි ගෙලර් උපදින්නේ හංගේරියානු යුදෙව්වකු වූ අයිසාක් ගෙලර් හා ජර්මානු යුදෙව් කාන්තාවක වූ මාග්‍රට් ෆ්‍රොයිඩ්ට දාව ය. ගෙලර් පවසන්නේ තම මව මනෝවිද්‍යාවේ පියාවන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පෙළපතින් පැවත එන්නියක බව ය. ගෙලර්ට වයස අවුරුදු එකොළහක් වන විට ඔහුගේ මව, පියාගෙන් දික්කසාද වී සයිප්‍රසයේ විසූ හංගේරියානු යුදෙව්වකු හා විවාහ වූ බැවින් එතැන් පටන් ගෙලර්ගේ ළමා කාලය ගෙවුණේ සයිප්‍රසයේ ය. ඔහු ඉංග්‍රීසි බස මැනවින් ප්‍රගුණ කරන්නේ එහිදී ය.

ගෙලර් ම පවසන ආකාරයට ඔහුගේ මෙම විස්මිත අධි මානසික හැකියාව ගැන ඔහුට මුලින් ම ඉව වැටෙන්නේ වයස අවුරුදු පහේ දී පමණ ය. ටෙල් අවීව් නුවර පිහිටි සිය ගෙවත්තේ සිටිය දී කිසියම් ආලෝක කදම්භයක් ඔහුගේ නළලත ගැටුණු බවක් පවසන ගෙලර් එම සිදුවීමෙන් පසු සිය කුළුදුල් ප්‍රාතිහාර්යය පාන්නේ සුප් බොමින් සිටි හැන්දක් මනසේ බලයෙන් නැවීමෙනි. එතැන් පටන් පාසලේ දී සිය විස්මිත හැකියාවන්ගෙන් ඔහු පුදුම කළේ මිතුරන් පමණක් නොවේ. ගුරුවරුන්ව පවා  අදහාගත නොහැකි විස්මයෙන් අන්දමන්ද කරවීමට කුඩා ගෙලර්ගේ ඔරලෝසු කටු කරකැවීමේ හැකියාවට පිළිවන් විය. ක්‍රියා විරහිත ව, නැවතී ඇති ඔරලෝසු මනසේ බලයෙන් යළිත් ක්‍රියාත්මක කරවීමට ගෙලර්ට ඇත්තේ පුදුමාකාර හැකියාවකි.

තරුණවියෙදි
හැඳි පමණක් නොව වෙනත් ලෝහමය වස්තු ද මනසේ බලයෙන් නැවීමට ගෙලර් සතුවූයේ විස්මිත හැකියාවකි  – bbc.com

 

සී.අයි.ඒ. ගිය යූරි ගෙලර්   

ඊශ්‍රායලය වෙත වයස අවුරුදු දහසයේ දී යළිත් පැමිණෙන ඔහු ඉදිකිරිම් ක්ෂේත්‍රයේ සුළු රැකියාවක කෙටි කලක් නිරත ව සිට පැරෂුට් හමුදාවට එක්වන්නේ 1967 දී ය. සිය හමුදා සේවා කාලයේ දී මැදපෙරදිග යුද්ධයට ද සහභාගි වී ඇති ගෙලර්ට, සිය අධි මානසික හැකියාවෙන් මහජනතාවට වින්දනය සපයන්නකු ලෙස පූර්ණ කාලීන රැකියාවක නිරත වීමට ලැබෙන්නේ 1969 සිට ය. ඒ ක්‍රියාන්විතයේ දී ලැබූ තුවාල නිසා හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු ය. එකල රාත්‍රි සමාජශාලාවලදී මනසේ බලයෙන් හැඳි නැවීම, ඔරලෝසු කටු කරකැවීම, වැනි අධි මානසික චාලක හැකියා ප්‍රදර්ශනය කරමින් අති මහත් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට ගෙලර් සමත් විය.

ඒ සියල්ල අතිරින් ඔහු සතු වූ වඩාත් ම ආශ්චර්යමත් අධි මානසික හැකියාවක් වුයේ අනුන්ගේ සිත් කියවීමේ හැකියාව ය. ප්‍රේක්ෂකාගාරයේ සිටින්නකුට යමක් තමාට නොපෙනෙන ලෙස සිතුවමට නැඟීමට කියා, එය කුමක්දැයි යන්න මනසේ බලයෙන් නිවැරදි ව පැවසීමට ගෙලර්ට පුළුවන්කම තිබිණි. පසුකලක දී සී.අයි.ඒ. හෙවත් අමෙරිකානු රහස් ඔත්තු සේවය ඇරඹු ‘ස්ටාර් ගේට්‘ නමැති රහසිගත ව්‍යාපෘතියට අනුබද්ධ ව ස්ටැන්ෆර්ඩ් පර්යේෂණායතනය සිදු කළ, ‘අධි සංවේදක අවබෝධතා ඥානය‘ (ESP – Extra Sensory Perception) කේන්ද්‍ර කර ගත් පර්යේෂණ සඳහා දායක වීමට ගෙලර්ට අවස්ථාව ලැබුණේ ද ඔහු සතු වූ මෙම විස්මිත හැකියාව නිසා ය.

ඹරලෝසු කටු කරකැවීම
ඔරලෝසු කටු කරකැවීමේ අධි මානසික හැකියාවැති  යූරි ගෙලර්  – bbc.com

 

සී. අයි.ඒ. ස්ටාර් ගේට්

1972 – 1995 දක්වා කාලයේ දී ක්‍රියාත්මක වූ ස්ටාර් ගේට් ව්‍යාපෘතියට සම්බන්ධ රහසිගත වාර්තා සමූහයක් 2017 දි සී.අයි.ඒ. ආයතනය ප්‍රකාශයට පත් කර තිබිණි. ඒවායින් කියැවුණේ ගෙලර් වැනි මනසේ බලයෙන් අනුන්ගේ සිත් කියැවීමේත්, සිත් පාලනය කිරීමේ හා දුරස්ථ වස්තු චලනය කිරීමේ අධි මානසික හැකියා තිබූ පුද්ගලයන් රාශියකගේ දායකත්වයෙන් යුතු ව, අමෙරිකාවේ සැඟ වී සිටින අපරාධකරුවන් සේ ම ඉස්ලාමීය ත්‍රස්තයන් පැහැර ගත් ප්‍රාණ ඇපකරුවන් ද සොයා ගැනීමේ මෙහෙයුම් ගණනාවක් ඉන් සිදු කර ඇති බව යි.

ඇනී ජේකබ්සන් රචිත ‘Phenomena: The Secret History of the US Government’s Investigations into Extrasensory Perception and Psychokinesis’ නමැති කෘතියෙන් ද  හෙළි කරන ආකාරයට, සී.අයි.ඒ. ආයතනයට අවශ්‍ය වූයේ යුරි ගෙලර්ගේ අධි මානසික හැකියාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමට ය. ඔහු සතු වූ මනසේ බලයෙන් දුරස්ථ වස්තු චලනය කිරිමේ හැකියාව, න්‍යෂ්ඨික හා ලේසර් අවි වැනි නවීනත ම යුද තාක්ෂණික අත්හදා බැලීම් සඳහා පවා යොදාගැනීමට සී.අයි.ඒ. ආයතනය පියවර ගත් බව ජේකබ්සන් සිය කෘතියෙන් වැඩිදුරටත් හෙළි කරන්නී ය. මෙවැනි පර්යේෂණවලට ලබා දුන් දායකත්වය හරහා තමාට හිමි වූ පිළිගැනීම ගැන ගෙලර් අදට ද කතා කරන්නේ ඉමහත් ආඩම්බරයකිනි.

කෞතුකාගාරයේදි
යූරි ගෙලර් සිය කෞතුකාගාරයේ දී  – bbc.com

 

ගෙලර් ඇස්බැන්දුම්කරුවකු හමුවේ පරාජයට

ගෙලර් ම පවසන ආකාරයට ඔහුගේ අධි මානසික ආශ්චර්යයන් විදහා පෑමේ වෘත්තීය ජීවිතයට හඳ පායන්නේ හැත්තෑව දශකයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරිය වූ ගෝල්ඩා මෙයර් හමුවීමත් සමඟ ය. අගමැතිවරිය සිය දස්කම්වලින් පුදුමයට පත්කරවීම, ගෙලර් ජාතික මට්ටමේ වීරයකු දක්වා වූ තලයකට රැගෙන ගියේ එක් රැයකිනි. එම තීරණාත්මක හමුව ගෙලර් ජාත්‍යන්තර බුද්ධි අංශ වෙත හඳුන්වා දීමට ද පදනම සැපයීය. ඔහුගේ විස්මිත හැකියාව අගයමින් හා තහවුරු කරමින් ගෙලර්ට සී.අයි.ඒ. ආයතනය ප්‍රදානය කළ සහතිකපත්, අදට ද ගෙලර් කෞතුකාගාරයේ බිත්ති මත ලෙළදෙන්නේ ගාම්භීර අන්දමිනි.

1974 දී ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැරාමනෝවිද්‍යාඥයන් කණ්ඩායමක් පාලිත තත්ව යටතේ ගෙලර්ගේ අධිමානසික හැකියා සූක්ෂම අයුරින් පරික්ෂාවට ලක් කළේ එහි කිසියම් සැඟවුණු වංචාවක් හෝ බොරුවක් තිබේදැයි සැකහැර දැන  ගැනීමටය. ඉන් තහවුරු වූ නිගමන පසුව බ්‍රිතාන්‍යෙය් ‘නේචර්‘ සඟරාවේ ද පළවුණේ යූරි ගෙලර්ගේ විස්මිත හැකියා ප්‍රෝඩාවක් නොව සත්‍යයක් බව ඔප්පු කරමිනි. ඒ සා සාර්ථකත්වයක් ලැබූව ද ගෙලර්ගේ ජීවිතයේ ද පසුබෑම් නැතිවා ම නොවේ.

රූපවාහිනි තිරය මත
රූපවාහිනි තිරය මත සිය දස්කම් දක්වන යූරි ගෙලර්  – bbc.com

 

ස්ටැන්ෆර්ඩ්, සී.අයි.ඒ. වැනි ඉහළ ම පෙළේ ආයතනවලට ගෙලර්ගේ හැකියා ගැන සැකයක් නොතිබුණත් ඔහුගේ එම අධි මානසික හැකියා දෙස වපරැසින් බලමින්, ඒවා හුදෙක් ඇස්බැන්දුම් ලෙස විවේවචනය කළවුන් ද විය. ඒ අතර පෙරමුණ ගන්නේ ජේම්ස් රැන්ඩි ය. විජ්ජාකරුවකු වන රැන්ඩිගේ ජීවිත පරමාර්ථය වූයේ ගෙලර් වැනි අධි මානසික හැකියා ප්‍රදර්ශනය කරන්නවුන්ගේ එම හැකියා, ප්‍රෝඩාවක් බව ඔප්පු කිරීම ය. ගෙලර් අමෙරිකාවේ ද සිය හැකියා හරහා ජනප්‍රියත්වය උරගාමින් සිටි 1973 සමයේ දී මුහුණදුන් රැන්ඩි හා සම්බන්ධ එම අත්දැකීම ඔහු අදට ද සිහි කරන්නේ මහත් තැතිගැන්මෙනි.

එකල ප්‍රකට රූපවාහිනි වැඩසටහනක් වූ ‘ජොනී කාර්සන් ටුනයිට් ෂෝ‘ හි විකාශනයක් සඳහා ගෙලර්ට ඇරියුම් ලැබුණේ ඔහුගේ මනසේ බලයෙන් හැඳි නැවීමේ හැකියාව ප්‍රේක්ෂයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා ය. ජේම්ස් රැන්ඩි එම වැඩසටහන සඳහා කල් ඇතිව ම පසුතලය සකස් කළ බව ගෙලර් දැන ගන්නේ පසුව ය. අදටද නොදන්නා කිසියම් හේතුවක් නිසාවෙන් එදා සිය ආශ්චර්යය විදහා පෑමට ගෙලර් අසමත් විය. එය නරඹන්නන් සේ ම ගෙලර් ද  දැඩි අපේක්ෂා භංගත්වයකට පත් කළ සිදුවීමක් විය. ඉන් ගෙලර්ට ඇතිවූ චිත්ත බලපෑම කෙතරම්ද  යත් එවක් පටන් කාලයක් ද යනතුරු ඔහු ඇනෝරෙක්සියා නර්වෝසා හා බුලීමියා නැමැති ආහාර ගැනීම අප්‍රිය කරවන රෝගවලින් පෙළෙන්නට විය.

“ මං හිතුවේ මගේ මුළු වෘත්තීය ජිවිතය ම එදායින් පස්සේ ඉවරයි කියල යි. කොටින් ම එදා මං මගේ නවාතැනට ගිහින් මගේ ඇඳුම් බෑගය පවා ඇසිරුවා ආපහු ගම රට බලා එන්න. විවේචනවලට ලක්වෙමින් ප්‍රසිද්ධියේ පෙනී ඉන්න මං බය වුණා. අන්න එතකොටයි මට මතක් වුනේ ඔස්කාර් වයිල්ඩ් කියපු කතාවක්. ඒ තමයි “තමන් ගැන හොඳක් හරි නරකක් ගැන හරි ලෝකයා කතාකරනවාට වඩා වෙන්න පුළුවන් නරකම දේ තමයි තමන් ගැන කවුරුත් කිසිවක්ම නොකියා ඉන්න එක“ කියන එක.“

ඛනිජ තෙල් සමාගම්වලින් ඉහළ ඉල්ලුමක්

අමෙරිකාව හැර දා ජපානයට ද, එතැනින් එක්සත් රාජධානිය ද බලා පසුකලක දී  ගිය ගෙලර්, ජීවිතයේ වසර තිස්පහක් ගෙවා දැමුවේ බර්ක්ෂයර්හි නිස්කලංක පෙදෙසක ය. ඒ වන විට ඔහුගේ අධිමානසික හැකියා ගැන ලෝකයට තවදුරටත් සැකයක් තිබුණේ නැත. මානසික බලයෙන් ඛනිජ තෙල් හා වෙනත් ඛනිජ තැන්පතු භූගත ව ඇති ස්ථාන නිවැරදි ව පෙන්වා දීමට ඔහු සතු වූ හැකියාව මිලදී ගැනීමට සමාගම් ඉදිරිපත්වුයේ ඩොලර් මිලියන ගණනින් ගෙවමිනි. අදට ද ගෙලර් සතු වත්කම් හා අදායම් මාර්ග බොහෝමයක් එවැනි ඛනිජ තෙල් හා ඛනිජ නිධි කැණීම් සමාගම්වලින් ලැබෙන ඒවා ය.

ඊට අමතරව පාපන්දු තරග අනාවැකි පළ කිරීම්වලින් ඔහුට ලැබෙන්නේ ද වාසි ම ය. පසුගිය කාලයේ දී බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය, යුරෝපා හවුලෙන් ඉවත්විමේ ආන්දෝලනාත්මක සිද්ධිය ගැන පළ කළ අනාවැකිවලින් සේ ම, සූවස් ඇළ හරහා සිර වූ භාණ්ඩ නැවක්, අධිමානසික බලයෙන් ඉන් ඉවත් කිරිම සම්බන්ධයෙන් ද ගෙලර්ට ඉමහත් ප්‍රසිද්ධියක් හිමි විය. ඒ සියල්ල මැද මීට වසර හයකට එපිටදි සිය බිරිය ද සමඟ මව් රට වූ ඊශ්‍රායලය බලා යළි පැමිණි ගෙලර්ගේ ජීවිතය දැන් මුළුමනින් ම පාහේ කැපවි තිබෙන්නේ සිය කෞතුකාගාරය පවත්වාගෙන යෑම වෙනුවෙනි.              

බිරිය සමඟ
යූරි ගෙලර් සිය බිරිය හැනා සමඟ – bbc.com

 

විස්මය පිරුණු, කුතුහලයෙන් නොඅඩු දිවි කතරේ දී හමු වූ අනේක විධ සුපතල පුද්ගලයන්ගෙන් ලත් සිහිවටනවලින් පිරුණු ගෙලර් කෞතුකාගාරයේ කැපී පෙනෙන ප්‍රදර්ශන භාණ්ඩ බොහෝමයකි. ඒ අතර මොහොමඩ් අලිගේ බොක්සිං අත්වැසුම් යුවළත්, මයිකල් ජැක්සන්ට අයත් ව තිබූ පෞද්ගලික අයිතම සේ ම, වින්ස්ටන් චර්චිල්ගේ සිට ජෝන් එෆ්. කෙනඩි දක්වා වූ පරාසයක විහිදුණු කීර්තිමත් පුද්ගලයන්ගෙන් ලද හැඳිවලින් සැරසුණු කැඩ්ලැක් මෝටර් රථය ද, නරඹන්නන් අතර ජනප්‍රිය ය. ගෙලර් පවසන්නේ නරඹන්නන් තෘප්තිමත් වනු දැකීම සිය පරම අපේක්ෂාව බව යි.

“ මගේ කෞතුකාගාරය නරඹලා යන අයගෙන් මං අහන්නේ එකම දෙය යි. ඒ එයාලා ඒකෙන් විනෝද වුණාද කියල යි. හැමවිටම  වගේ මට ලැබෙන්නේ “ඒක නියමයි“ කියන උත්තරය ම තම යි. මට ලැබෙන හොඳ ම සතුටත් ඒකම යි. ඇත්තට ම ගෙලර් කෞතුකාගාරය වගේ තැනක් මේ ලෝකේ වෙන කොහේවත් නැතුවා වගේම මං වගේ මාර්ගෝපදේශකයෙකුත් කොහෙන්වත් හොයා ගන්න බැරි බව නම් සත්තයි.“  

හැත්තෑ පස් හැවිරිදි ගෙලර් එලෙස පවසන්නේ නිතර මුහුණේ රැඳුණු මන්දස්මිතය ද සමඟිනි.


කතු හිමිකම ©roar.media/sinhala. සියලු හිමිකම් ඇවිරිණි. නිසි අවසරයක් නැතිව උපුටා ගැනීම සපුරා තහනම්.

කවරයේ ඡායාරූපය - හැඳි නිසා ලෝක පූජිත වු යුරි ගෙලර් - timesofisrael.com

මුලාශ්‍ර:  

Israeli 'psychic' Uri Geller still baffling fans at 75  - bbc.com

This day in Jewish history: Uri Geller is born, spoons will be bent - www.haaretz.com

Related Articles