මධ්‍යම ඇමරිකාවේ ඉතිහාසය පිළිබඳව ගවේෂණය කිරීමේ දී ප්‍රධාන අවධි තුනක් දක්නට ලැබෙනවා. එම අවධිවල දී මධ්‍යම ඇමරිකාව ආශ්‍රිතව ශිෂ්ටාචාරයන් කිහිපයක් බිහි වුණා. ඒ අතුරින් සපොටෙක් ශිෂ්ටාචාරය බිහි වුණේ පසු සංස්ථාන යුගයේ දී යි. වර්තමානයේ මෙක්සිකෝව පිහිටා තිබෙන භූමි ප්‍රදේශයේ ගොඩනැගී තිබුණු එම ශිෂ්ටාචාරය වසර 1000කට වැඩි කාලයක් පැවතුණා. එදා දියුණු මට්ටමක තිබුණු සපොටෙක් ශිෂ්ටාචාරයට අයත් නටබුන් අදටත් දක්නට ලැබෙනවා.
මධ්‍යම ඇමරිකානු ඉතිහාසයේ අවධි තුන
ක්‍රි.පූ 1500 සිට ක්‍රි.ව 150 දක්වා කාල සමය තුළ මධ්‍යම ඇමරිකානු ඉතිහාසය ප්‍රධාන අවධි 3කට වෙන්කර තිබෙනවා. ඒ මුල් සංස්ථාන, මධ්‍යම සංස්ථාන, සහ පසු සංස්ථාන යන අවධි තුන යි. එම යුගයන් තුනෙහි එකිනෙකට වෙනස් ලක්ෂණ දක්නට ලැබෙනවා.
1) මුල් සංස්ථාන යුගය (ක්‍රි.පූ. 1500-900)- චියපාස්, ඔක්සකා, ලාටිල්කෝ ප්‍රදේශ
2) මධ්‍ය සංස්ථාන යුගය (ක්‍රි.පූ. 900-300)- ශාන්ත ලොරෙන්සෝ, ලා වෙන්තා ප්‍රදේශ
3) පසු සංස්ථාන යුගය (ක්‍රි.පූ. 300-ක්‍රි.ව. 150)- කුයිකුල්කෝ, නයාරිත්, ජලිස්කෝ, කොලීමා ප්‍රදේශ
සපොටෙක් ශිෂ්ටාචාරයේ ආරම්භය
ක්‍රි.පූ 1200-400 කාල සමය තුළ මධ්‍යම ඇමරිකාව ආශ්‍රිතව ඔල්මෙක් නමින් ශිෂ්ටාචාරය පැවතුණා. මධ්‍ය සංස්ථාන යුගය අවසන් වන විට ඔල්මෙක් ශිෂ්ටාචාරයට අයත් නගර බිඳ වැටුණා. ඉන් පසුව පසු සංස්ථාන යුගය ආරම්භ වුණා. එම අවධියේ ආරම්භයත් සමගම මෙක්සිකෝ නිම්නය සහ එහි ද්‍රෝණිය ආශ්‍රිතව තවත් ශිෂ්ටාචාරයක් බිහි වුණා. ඒ සපොටෙක් නම් ශිෂ්ටාචාරය යි. මෙය මධ්‍යම ඇමරිකාව තුළ මායා ශිෂ්ටාචාරය බිහිවීමට පෙර ආසන්නතම අවධියේ දී පැවති ශිෂ්ටාචාරය යි. මොන්ටෙ ඇල්බාන් සහ තිඔතිහුවකාන් යන නගර සපොටෙක් ශිෂ්ටාචාර සමයේ ගොඩනැගුණු විශාලතම නගර දෙක ලෙසින් සැලකෙනවා. එම නගර තිබුණු ප්‍රදේශ ආශ්‍රිතව තවමත් නටබුන් දක්නට ලැබෙනවා.
මොන්ටෙ ඇල්බාන් නගරය
මුල් සංස්ථාන යුගයේ දී ඔක්සකා නිම්නය ආශ්‍රිතව ජනාවාස බිහි වුණා. සන් ජොසේ මොගොටේ නම් ප්‍රදේශය තුළ සිදුකරන ලද කැණීම්වල දී පැරණි ගම්මානවල නටබුන් ද හමු වුණා. සන් ජොසේ මොගොටේ ප්‍රදේශයේ ජනාවාස විනාශයට පත්වීමෙන් පසුව ඒ අසන්නයේ මොන්ටෙ ඇල්බාන් නම් නගරයක් බිහි වුණා. උසැති කඳු ගැටයක් මත පිහිටි සමතලා භූමියක මෙම නගරය ගොඩනැගීම ආරම්භ වුණේ ක්‍රි.පූ 300 තරම් ඈත යුගයක යි. ඉතාමත් ආරක්ෂිතව ගොඩනැගූ මොන්ටෙ ඇල්බාන් නගරය තුළ ක්‍රමයෙන් ජනගහනය වැඩි වන්නට වුණා. ඒ අනුව ක්‍රි.පූ 200 පමණ වන විට 17,000ක පමණ ජනගහනයක් නගරය තුළ ජීවත්ව සිටියා. ඉතාමත් දියුණු වාස්තු විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉදිකර ඇති මෙම නගරය තිබුණු බවට එහි ඇති නටබුන් සාක්ෂ්‍ය සපයනවා.
මොන්ටෙ ඇල්බාන් නගරය පැවති ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි අතරට දේවාල 20ක්, පන්දු පිටියක්, අමු මැටි සහ ගඩොල්වලින් ඉදිකළ මාලිගයක්, ප්‍රභූවරුන් සඳහා ඉදිකරන ලද කුටීර සහිත සොහොනක් අයත්ව තිබුණා. එලෙස ඉදිවුණු ඇතැම් ගොඩනැගිලිවල විශාල ප්‍රමාණයේ ගල් පුවරු සවිකොට තිබුණා. එම ගල්පුවරු මුහුණත්වල මිනිස් රූප වර්ගයක් කැටයම් කොට තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි.
ගල් පුවරුවල දක්නට ලැබුණු මිනිස් රූප කැටයම් සොයාගත් මුල් අවධියේ දී ඉතිහාසඥයන් විසින් නිගමනය කළේ එම රූප මඟින් නැට්ටුවන් පිරිසක් නිරූපනය බවයි. නමුත් පසුකලෙක සිදුකරන ලද පර්යේෂණවලින් එම කැටයම් පිළිබඳව අනාවරණය කරගැනීමට හැකි වුණා. මෙහි ඇති සියළුම මිනිස් රූප නිරූපනය කර තිබෙන්නේ නිරුවත් මිනිස් රූප ලෙස යි. මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරවල දී නිරුවත් බව, මහජනයා හමුවේ ප්‍රදර්ශනය නොකළ යුතු දෙයක් බවට පිළිගැනීමක් පැවතුණා. එම නිසා නිරුවත් මිනිස් රූප භාවිතා කර තිබුණේ සතුරෙකු හෝ යටත් කළ පුද්ගලයෙකු නිරූපණය කිරීම සඳහා යි. ඉන් නිගමනය කළේ මෙම රූප ඝාතනය කරන ලද සතුරු ප්‍රභූවරුන්ගේ රූප බව යි. එසේම මෙම පුවරුවල යම් දිනයක් දක්වා තිබෙනවා. එලෙස දක්වා ඇත්තේ සතුරා ඝාතනය කරන ලද දිනය විය හැකියි.
තිඔතිහුවකාන් නගරය
ක්‍රි.පූ 300-100 අතර කාල සමයේ දී මධ්‍යම ඇමරිකාවේ ප්‍රදේශ රැසක් විනාශයට පත්වුණේ ගිනි කඳු විදාරණය වීම නිසා යි. එලෙස විනාශ වුණු ප්‍රදේශවල ජීවත් වුණු ජනයා තිඔතිහුවකාන් නිම්නය ආශ්රිත ප්‍රදේශවලට සංක්‍රමණය වී ජනාවාස පිහිටුවා ගත්තා. එම නිසා ක්‍රි.ව 100 පමණ වන විට තිඔතිහුවකාන් නගරය තුළ 60,000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා. ඒ අනුව පැරණි මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාර ආශ්‍රිතව බිහි වුණු විශාලතම නගර අතරට මෙම නගරයත් අයත් වුණා.
පළමු සියවස පමණ වන විට ඉතාමත් සැලසුම් සහගතව ඉදිකර තිබුණු නගරය ආසන්නයේ සාමාන්‍ය ජනයා වාසය කළ ගම්මාන පිහිටා තිබුණා. එසේම නගරය තුළ ද විශාල පිරිසක් ජීවත් වුණා. ඔවුන් සතුව තිබුණු ගොවිබිම් නගරයෙන් පිටත පිහිටා තිබුණා. එම නිසා උදෑසන නගරයෙන් පිටතට ගොස් ගොවිබිම්වල වැඩ කළ නාගරිකයන් සවස් වන විට යළි නගරයට පැමිණීමට පුරුදුව සිටියා. නගරයේ ජීවත් වුණු ජනයාට වගාබිම් තුළින් විශාල ආදායමක් ලැබීමෙන් පසුව ඔවුන් ධනවත් වුණා. එවිට නගරය තවත් පුළුල් වුණේ ජනයා එහි පදිංචියට පැමිණි නිසා යි. ඒ අනුව ක්‍රි.ව 400 පමණ වන විට 125,000කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් එහි ජීවත් වුණා.
ක්‍රි.ව 700-800 පමණ වන විට නගරය වර්ග සැතපුම් 8.5ක් දක්වා විහිදී තිබුණා. එම කාල සමය තුළ නගරය මැදින් විහිදුණු රේඛාවක් ලෙස සැලසුම් කළ වීදියක් දක්නට ලැබුණා. එය මළවුන්ගේ වීදිය ලෙසින් හඳුන්වනු ලැබුවා. එසේම හිරු සහ සඳු වෙනුවෙන් ගොඩනගන ලද විශාල දේවාල දෙකක් නගරයේ උතුරු ප්‍රදේශය තුළ දක්නට ලැබුණා. ඉන් වඩාත් විශාල වුණේ හිරු දේවාලය යි. එහි පාදමේ ප්‍රමාණය මිසරයේ කුෆු පිරමීඩයේ පාදමට සමාන යි. තිඔතිහුවකාන් නගරය තුළ ඉතා ඉහළින් වන්දනාවට පාත්‍ර වුණු කල්පිත පියාපත් සහිත සර්පයෙකු සිටියා. එම සර්පයා වෙනුවෙන් ඉදිවුණු දේවාලය මළවුන්ගේ විදීයේ දකුණු කෙළවරේ පිහිටා ඇති මිදුලේ නැගෙනහිර දෙසින් නිර්මාණය කර තිබුණා. එකල මිනිස් බිලි පූජා පිරිනමන ලද්දේ එම සත්ත්වයාට යි.
තිඔතිහුවකාන් නගරය තුළ ඉතාමත් දියුණු නිවාස පද්ධතියක් දක්නට ලැබුණා. නගරයේ පිහිටි පටු මාවත් දෙපස නිවාස පොකුරු ලෙසින් ඒවා පිහිටුවා තිබුණා. චතුරස්රාකාර හැඩයකට නිමවා තිබුණු සෑම නිවසක්ම හොඳින් කපරාරු කොට තිබුණා. එම නිවාසවල කාමර, මුළුතැන්ගේ, මැද මිදුලක් දක්නට ලැබුණ. එසේම සමහර නිවෙස් ආශ්‍රිතව කුඩා දේවාල ඉදිකර තිබුණා. එලෙස ඉදිකර තිබුණු නිවාසවල විවිධ වෙනස්කම් දක්නට ලැබුණා. ඉතිහාසඥයන් අනුමාන කරන්නේ නගරය තුළ ජීවත් වුණු මිනිසුන්ගේ පන්ති වෙනස එම වෙනස්කම්වලින් නිරූපණය වන බව යි.
අක්ෂර
මායාවරුන් විසින් පුරාණ මධ්‍යම ඇමරිකානු අක්ෂර පද්ධතිය නිර්මාණය කළ බව මෑතක් වන තුරුම පැවති මතය යි. නමුත් සපොටෙක් ශිෂ්ටාචාර යුගයේ දී මොන්ටෙ ඇල්බාන් සහ තිඔතිහුවකාන් යන නගරවල ජීවත් වුණු මිනිසුන් අක්ෂර භාවිතා කළ බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. මොන්ටේ ඇල්බාන් නගරය තුළ පිහිටා ඇති ඩන්සාන්ටේ දේවාලවල ඇති පුවරුවල ලියා තිබෙන දින වකවානු තුළින් එයට නිදසුනක් ලෙසින් දැක්විය හැකියි. තිඔතිහුවකාන් නගරයෙන් ද එවැනි සාක්ෂ්‍ය හමු වුණා. ඒ නගරය තුළ පිහිටා ඇති ගොඩනැගිල්ලක කිසියම් අක්ෂර ක්‍රමයකට සටහන් කර තිබුණු රූප සංකේත 42 යි. මෑත යුගයේ දී මෙක්සිකානු පුරාවිද්‍යාඥයන් විසින් එම අක්ෂර ක්‍රමය සොයාගත්තා. ඔවුන් අනුමාන කරන්නේ 16 වැනි සියවසේ දී ඇස්ටෙක්වරුන් විසින් භාවිතා කළ අක්ෂර ක්‍රමයත් මෙම අක්ෂර ක්‍රමයත් අතර සබඳතාවයක් පැවතිය හැකි බව යි. එසේම ඔවුන් විශ්වාස කරන්නේ සැපොටෙක් ශිෂ්ටාචාරය යුගයේ ජීවත් වුණු මිනිසුන් නහුවා නම් භාෂාව භාවිතා කළ බව යි. මධ්‍යම ඇමරිකානු ඉතිහාසය තුළ බිහි වුණු දියුණු ශිෂ්ටාචාරයන් අතරට සපොටෙක් ශිෂ්ටාචාරයත් අයත් වන බව ඉන් නිගමනය කළ හැකියි. එසේම මෙක්සිකෝව තුළ ඉතිරිව ඇති නටබුන්වලින් එය තහවුරු කරගත හැකියි.
කවරයේ ඡායාරූපය- පැරණි තිඔතිහුවකාන් නගරය (Lonely Planet)
මූලාශ්‍රයයන්- ලෝක ශිෂ්ටාචාර