ක්‍රිස්තු වර්ෂ 117 වන විට තම ආධිපත්‍යයේ හිණිපෙතට නැගී සිටි රෝම අධිරාජ්‍යය සලකන ලද්දේ ඒ යුගයේ බටහිර ශිෂ්ටාචාරය සතු වූ වඩාත් විස්තීර්ණ දේශපාලන සහ සමාජ ව්‍යුහය ලෙස යි. සියවසකට පසු ව රෝම ශිෂ්ටාචාරය තනි පුද්ගලයෙකුගේ පාලනයට යටත් කළ නොහැකි අයුරින් බටහිර දෙසින් බ්‍රිතාන්‍ය දක්වා ද නැගෙනහිර දෙසින් සිරියාව, අරාබිය, ඊජිප්තුව සහ ඇනටෝලියාව (වත්මත් තුර්කිය) දක්වා ද පැතිර තිබුණා. මෙහි ප්‍රතිඵලය වුණේ ක්‍රිස්තු වර්ෂ 235 දී සිදු වූ ඇලෙක්සාන්ඩර් සෙවරස් අධිරාජ්‍යයාගේ ඝාතනයෙන් පසු ව රෝම අධිරාජ්‍යය, ගැලික් අධිරාජ්‍යය, පැල්මයිරා අධිරාජ්‍යය සහ රෝම අධිරාජ්‍යය ලෙස කොටස් තුනකට බිඳී යාම යි. ඉතිහාස පොතේ මෙය හඳුන්වා දී ඇත්තේ ‘තෙවැනි සියවසේ අර්බුදය’ නැතහොත් ‘අධිරාජ්‍ය අර්බුදය’ යන නාමයෙන්.

(© Wikimedia Commons)
‘තෙවැනි සියවසේ අර්බුදය’ හේතුවෙන් තුනට බෙදුණු රෝම අධිරාජ්‍යය

වර්ෂ 49 ක කාලයක් පුරාවට පැවති ‘තෙවැනි සියවසේ අර්බුදය’ හේතුවෙන් බිහි වූ පැල්මයිරා අධිරාජ්‍යය පිහිටා තිබුණේ බටහිර දෙසින් මධ්‍යධරණී මුහුදට සහ නැගෙනහිර දෙසින් යුප්‍රටීස් නදියට මායිම් වූ සාරවත් ක්ෂේම භූමියක යි. වත්මත් සිරියාව සතු සුවිසල් බිම් පෙදෙසක පැතිරී තිබුණු එය පුරාතන රෝම අධිරාජ්‍යය, මෙසපොතේමියාව සහ පෙරදිග අධිරාජ්‍යයන් එකිනෙක හා සම්බන්ධ කළ පුරුක ලෙස ද කටයුතු කළා. මෙසේ ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන පැල්මයිරා අධිරාජ්‍යය, ක්‍රිස්තු වර්ෂ 267 – 272 දක්වා පස් වසරක කාලයක් පාලනය කරන ලද්දේ සෙනෝබියා නම් සටන්කාමී රැජිනක් විසින්. ඇයගේ පාලන සමය තුළ දී පැල්මයිරා අධිරාජ්‍යය සිරියාවේ පමණක් නොව ඉරාකය සහ තුර්කිය හරහා ඊජිප්තුව දක්වා ම පැතිරුණු බව සඳහන් වෙනවා.

පැල්මයිරාවේ මව් රැජින

© Wildweasel339 (Lane)/Deviant Art

ක්‍රිස්තු වර්ෂ 240 දී ජූලියා ඕරේලියා සෙනෝබියා (ඇතැම් ග්‍රන්ථයන්ට අනුව සෙප්ටිමියා සෙනෝබියා) ලෙස උපත ලද සෙනෝබියා රැජිනගේ පියා රෝමයේ පුරවැසියෙක්. ඇයගේ පරම්පරාව පිළිබඳ එතරම් තොරතුරු නොපැවතුණ ද ‘Historia Augusta’ නම් රෝම අධිරාජ්‍යයින්ගේ චරිතාපාදනය එකතුව සඳහන් කරන්නේ ඇගේ පියා, සෙප්ටිමස් සෙවරස් නම් වූ රෝම අධිරාජ්‍යයාගේ බිසව වූ ජූලියා ඩොම්නාගේ ලේ ඥාතියෙකු බව යි. ග්‍රීස් සහ ලතින් බසින් අධ්‍යාපනය ලද සෙනෝබියා, ඊජිප්තු සහ ඇරමෙයික් භාෂාවන් ද චතුර ලෙස හැසිරවීමට සමත් ව සිටි අතර ඇය ෆිනීෂියානු රැජිනක් වූ කාතේජ් හි ඩිඩෝට සහ ක්ලියෝපැට්‍රා රැජිනට ද නෑකම් කියන ලද බව පැවසෙනවා.

අතිශය රූමත් සහ බුද්ධිමත් රැජිනක් ලෙස ඉතිහාසයේ සඳහන් වන සෙනෝබියා, පතිව්‍රතාවේ ප්‍රතිමූර්තියක් බඳු පිවිතුරු කාන්තාවක් බව යි පැරණි අරාබි මූලාශ්‍රයන් සඳහන් කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 258 දී සෙනෝබියා, එවකට සිරියාවේ රෝම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ලුසියස් සෙප්ටිමස් ඕඩාන්තස් හා විවාහ වුණා. සේද මාවතේ වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ සශ්‍රීක පැල්මයිරාව පාලනය කළ ඔහුට දාව සෙනෝබියාට ක්‍රිස්තු වර්ෂ 259 දී වැබලිතිස් හෙවත් ඇතිනොඩෝරස් නම් පුතෙකු උපන් බව සඳහන්.

(© Wikimedia Commons)
වැබලිතිස්ගේ රුව රැගත් කාසියක්

අවාසනාවන්ත ලෙස ක්‍රිස්තු වර්ෂ 266 – 267 දී සෙනෝබියාගේ සැමියා සහ ඔහුගේ උරුමකරු වූ හෙරෝඩස් නම් වැඩිමල් පුතු ව (කලින් විවාහයේ දරුවා) ඝාතනය කරන ලද අතර එහි ප්‍රතිඵලය වුණේ සොනෝබියාගේ පුතු වූ වැබලිතිස්ට පැල්මයිරාවේ සිහසුන හිමි වීම යි. නමුත් එවකට කුඩා දරුවෙකු වූ වැබලිතිස් වෙනුවෙන් මව් රැජින ලෙස සෙනෝබියා පැල්මයිරාවේ පාලනය සියතට ගෙන තිබෙනවා.

රෝමයෙන් වෙන් වූ පැල්මයිරාව

බලයට පැමිණි මුල් කාලයේ දී සිය සැමියාගේ රාජ්‍ය පාලන ප්‍රතිපත්තීන් ඉදිරියට ගෙන ගිය සෙනෝබියා රැජින, ඉදිරි දෙවසරක කාලය තුළ කටයුතු කරන ලද්දේ රෝම අධිරාජ්‍යයේ අනුගාමිකයෙක් ලෙස යි. නමුත් ‘තෙවැනි සියවසේ අර්බුදය’ හේතුවෙන් රෝම අධිරාජ්‍යයේ පාලන කටයුතු අස්ථාවර වී පැවති අතර රෝම අධිරාජ්‍යයේ සීමාවෙන් පිටත පිහිටි රාජ්‍යයන් නිසි ලෙස පාලනය කිරීමට රෝම අධිරාජ්‍යයාට හැකියාවක් පැවතුණේ නැහැ. මෙසේ රෝම අධිරාජ්‍යය ක්‍රමයෙන් බිඳ වැටෙන කල සෙනෝබියා රැජිනගේ අවධානය යොමු වුණේ පැල්මයිරා අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම කෙරෙහි යි. ක්‍රිස්තු වර්ෂ 269 වන විට ඇය සතු ව ප්‍රබල හමුදාවක් පැවති අතර ඇය ඊජිප්තුව සහ ඇනටෝලියාවේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක් යටත් කර ගැනීමට සමත් වුණා. ඇය ක්‍රිස්තු වර්ෂ 270 දී රෝම අධිරාජ්‍යය සමග පැවති මිත්‍ර සම්බන්ධතා අත්හැර දමන ලද්දේ මැදපෙරදිග බලය තහවුරු කර ගැනීමෙන් අනතුරු ව යි.

(© Wikimedia Commons)
ක්‍රිස්තු වර්ෂ 271 දී පැල්මයිරා අධිරාජ්‍යය

බිඳ වැටෙන රෝම අධිරාජ්‍යයේ පාලනයට යටත් ව සිටිනවාට වඩා ක්‍රමයෙන් නැගී සිටින පැල්මයිරාව සමග එක් වීම වඩාත් සුදුසු බව තීරණය කළ ප්‍රාදේශීය පාලකයින් බොහෝමයක් සෙනෝබියා රැජින හා එක් වූ අතර ක්‍රිස්තු වර්ෂ 271 වන විට ඇය, පැල්මයිරා අධිරාජ්‍යය වත්මන් ඉරාකය සහ තුර්කිය යන ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට සමත් වුණා. නමුත් මේ කාලය වන විට රෝම අධිරාජ්‍යයේ වියවුල් තරමක් දුරට අවසන් වී ඕරේලියන් අධිරාජ්‍යයා බලයට පැමිණ තිබුණා.

ඩැෆ්නි නුවර දී සිදු වූ ‘ඉමා හි සටන’

සෙනෝබියා රැජිනගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් නොදැක් වූ ඕරේලියන් අධිරාජ්‍යයා, ක්‍රිස්තු වර්ෂ 271 දී ඇයට එරෙහි ව යුද ව්‍යාපාරයක් දියත් කළා. එයට ප්‍රතිචාරයක් ලෙස සෙනෝබියා රැජින ඇගේ හමුදාව රැස් කරන ලද අතර සේනාවන් ක්‍රිස්තු වර්ෂ 272 දී ඩැෆ්නි නුවර දී යුද ප්‍රකාශ කර තිබෙනවා. ‘ඉමා හි සටන’ ලෙස ප්‍රකට මෙය අවසන් වුණේ සෙනෝබියා රැජින පරාජයට පත් වීමෙන්. ඉතිහාසයේ සඳහන් වන්නේ ඕරේලියන් අධිරාජ්‍යයා උපක්‍රමශීලී ව සෙනෝබියා රැජිනගේ සේනාවන් සතු ශක්තීන්, දුර්වලකම් බවට පත් කිරීම මගින් මෙම ජයග්‍රහණය අත්පත් කර ගත් බව යි.

(© Herbert Gustave Schmalz)
අවසන් වරට පැල්මයිරාව ලෙස බලන සෙනෝබියා රැජින

ජයග්‍රහණයෙන් පසු ව ඕරේලියන් අධිරාජ්‍යයා, සෙනෝබියා රැජිනට පක්ෂපාතී සියලු ම නගර විනාශ කරන ලද බව සඳහන් වෙනවා. පරාජයට පත් වීමෙන් පසු ව සෙනෝබියා රැජින, ඇගේ පුතු සමග පළා යාමට උත්සාහ කර ඇති නමුත් යුප්‍රටීස් නදිය තරණය කිරීමට පෙර ඔවුන් ව අල්ලා ගැනීමට රෝම හමුදාවන් සමත් වී තිබෙනවා. ඉන් පසු ව ඇයට අත් වූ ඉරණම කුමක් ද යන්න ඉතිහාසයේ නිශ්චිත ව සඳහන් කර නැහැ. ඇතැම් මූලාශ්‍රයන් පෙන්වා දෙන්නේ ඕරේලියන් අධිරාජ්‍යයාගේ විජයග්‍රාහී පෙළපාලියේ දී ඇය ව රන්වන් දම්වැලකින් බැඳ රෝමයේ වීදි පුරා ගෙන ගොස් පසු ව නිදහස් කරන ලද බව යි. නමුත් සමහර මූලාශ්‍රයන්ට අනුව ඇය රෝමයට රැගෙන යන අතරතුර දී නිරාහාර ව සිට මියගොස් තිබෙනවා.

කවරයේ පින්තූරය : තම සේනාවන් මෙහෙය වන සෙනෝබියා රැජින (© Wikimedia Commons)