Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට

එන්රිකේ ඉග්ලේසියස් කියන්නේ අපිට එච්චර නුහුරු ගායකයක් නොවෙයි. (ඉංග්‍රීසියෙන් “එන්රික්” කිව්වාට, ස්පාඤ්ඤ උච්ඡාරණය “එන්රිකේ”). ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වූ බටහිර ගායකයන් අතර ඔහුත් ඉදිරියෙන් ම සිටිනවා. ඔහුගේ සංගීත ප්‍රසංගයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණ අතර, එය තරමක ආන්දෝලනාත්මක සිදුවීමකටත් හේතු වුණා. එන්රිකේ සම්බන්ධයෙන් අලුතෙන් ම නිකුත් වූ පුවත නිසා ඔහුගේ රසිකයන් යම් ශෝකයකින් මේ දවස්වල පසු වෙනවා.

එන්රිකේ සමුගැනීමේ සූදානමක!

 එන්රිකේ ඉග්ලෙසියස් තම වෘත්තීය ජීවිතයේ වැදගත් u තීරණයකට එළඹීමට බලාපොරොත්තුවෙන් සිටින බවට වූ ඉඟි පසුගිය දවස්වල වාර්තා වුණා. “FINAL” ලෙස නම් කළ ඔහුගේ නවත ම ගීත ඇල්බමය එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා නිකුත් කිරීමට නියමිත යි. ඒ අනුව “FINAL” ඇල්බමය ඔහුගේ සංගීත දිවියේ අවසාන සංගීත එකතුව වීමේ හැකියාවක් පවතිනවා.

FINAL ඇල්බමයේ ප්‍රචාරක දැන්වීමක් – www.zee5.com

සතියකට පමණ පෙර කොලොම්බියානු ජාතික ගායකයකු වූ සෙබස්තියන් යට්‍රා සහ රිකී මාටින් සමඟ අන්තර්ජාලය ඔස්සේ විකාශය වූ සජීවි කතාබහේදී එන්රිකේ තම සමුගැනීම ගැන යම්තාක් දුරකට අදහස් ප්‍රකාශ කර තිබුණා. කතාබහට එක්වූ අනෙක් සංගීත ශිල්පීන් දෙදෙනාත් එයින් පුදුමයට පත් වුණා.

“ඒක මගේ අවසාන ඇල්බමය වෙන්න පුළුවන්. ඒ ගැන මං හිතන්න පටන් ගත්තේ පසුගිය මාස කිහිපය ඇතුළත නොවෙයි. ඇත්තට ම අවුරුදු කිහිපයක් තිස්සේ මං ඒ ගැන හිතනවා. අලුත් සංගීත එකතුව වෙළුම් එක සහ දෙක ලෙස නිකුත් වේවි. මගේ ජීවිතය එක්තරා මොහොතකට, පරිච්ඡේදයකට පැමිණ තිබෙනවා. ඉතින්, දැන් කාලය හරි කියලා හිතෙනවා. මේ ගැන මං හිතන්නේ 2015 ඉඳන්.”

කතාබහ අතරතුර එන්රිකේ ඉහත අර්ථයට සමාන අයුරින් අදහස් දක්වා තිබුණා.

එන්රිකේ සහ රිකී මාර්ටින් ඉදිරියේදී ප්‍රසංග මාලාවක් පැවැත්වීමට නියමිත යි. සෙබස්තියන් යට්‍රා විශේෂ අමුත්තෙකු ලෙස සහභාගි වේවි.
 www.axs.com

 එන්රිකේ ඉග්ලේසියස් සංගීත ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන් ම සමු දෙන බවක් එයින් අදහස් කරන්නේ නැහැ. ඔහු ගීත රචකයකු ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ තම භූමිකාව ඉස්මතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. වෙනස් ම ආරක් ගත් ගීත රචකයකු ලෙස ඉදිරියේ දී එන්රිකේ රසිකයන් හමුවට පැමිණීමේ හැකියාවක් තිබෙනවා. එන්රිකේ ප්‍රමුඛ රිකී මාටින් සහ සෙබස්තියන් යාට්‍රා යන තිදෙනා මේ මස අවසානයේ දී උතුරු අමෙරිකාව පුරා සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට නියමිත යි.

එන්රිකේ, රිකී මාටින් සහ සෙබස්තියන් එක්වූ සාකච්ඡාව:

 එන්රිකේ යනු තම සම්භාවනීය පියාගේ අනුග්‍රහය නොලබා ස්වෝත්සාහයෙන් නැඟී සිටි පුද්ගලයෙක්. ඔහුගේ සවිස්තරාත්මක ලිපියක් අප පළ කර ඇති නිසා මෙම ලිපිය තුළ මූලිකව ම අවධානය යොමු කරන්නේ ABBA සංගීත කණ්ඩායම වෙතට යි.

 එන්රිකේ ගැන සවිස්තරාත්මක ලිපිය මෙතනින් කියවන්න.   

“ABBA යළිත් රසිකයන් හමුවට

 ජාත්‍යන්තර මට්ටමින් සංගීත ක්ෂේත්‍රය ජයගත් එන්රිකේ තම සමුගැනීම ගැන සිතන අතරතුර, දශක ගණනක පැරණි මතකය නැවත අලුත් කිරීමට ABBA (ඇබා) කණ්ඩායම සුදානමින් සිටිනවා. දශක හතරක නිහැඩියාව බිඳමින් “Voyage” ලෙස නම් කළ සිය අලුත් ම ගීත එකතුව නොවැම්බර් 5 වැනිදා නිකුත් කරන බව ABBA කණ්ඩායම නිවේදනය කොට තිබෙනවා. “Voyage” ඇල්බමයේ ගීත දහයක් අඩංගු අතර, ඒ අතුරින් “I Still Have Faith In You” සහ “Don’t Shut Me Down” යන ගීත ද්විත්වය දැනටමත් රසිකයන්ට තිළිණ කොට අවසන්. කණ්ඩායමේ සියලු ම සාමාජිකයන් මේ වනවිට හැත්තෑවියේ පසු වුණත්, ඔවුන්ගේ ජීව ගුණය එදා වගේ ම අදත් එලෙසින් ම රැකී තිබෙනවා.

ABBA සාමාජිකයන් තරුණ වියේදි – www.thecurrent.org

තාක්ෂණයත් සමඟ අලුත් මුහුණුවරක්

 ABBA සංගීත කණ්ඩායම සිය අලුත් ම ඇල්බමයට සමගාමී ව සංගීත ප්‍රසංගයක් 2022 වසරේ මැයි මාසයේ දී සංවිධානය කරන්නට සැලසුම් කරගෙන සිටිනවා. එය ලන්ඩන්හි ක්වීන් එළිසබෙත් ඔලිම්පික් උද්‍යානයේ තුන්දහසක පමණ ප්‍රේක්ෂක ධාරිතාවක් ඇති රංග පීඨයක පැවැත්වීමට නියමිත යි. මේ දැවැන්ත ප්‍රසංගය සඳහා කණ්ඩායම් සාමාජිකයන් භෞතික ව පෙනී සිටින්නේ නැහැ. සාමාජිකයන් සිව්දෙනාගේ තරුණ වියේ රුව අති නවීන ඩිජිටල් තාක්ෂණය මඟින් ප්‍රතිනිර්මාණය කොට ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන්නටයි ඔවුන් සූදානම් වෙන්නේ.

 ඔවුන්ගේ තරුණ විය පෙන්වන ඩිජිටල් ප්‍රභේද නිර්මාණය කිරීම සඳහා ප්‍රසංගයේ නිර්මාණ කණ්ඩායම දැවැන්ත හොලිවුඩ් චිත්‍රපට වූ ස්ටාර් වෝර්ස්, ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හි භාවිත කළ “චලන ග්‍රහණ තාක්ෂණය” වෙත යොමු වී තිබෙනවා. එම තාක්ෂණය සඳහා භාවිත කරන සුවිශේෂී ඇඳුම් සහිත ABBA කණ්ඩායමේ ඡායාරූපයක් මෑතකදී ප්‍රසිද්ධ කොට තිබුණා.

සුවිශේෂී ප්‍රසංග අත්දැකීමට පෙරාතු ව ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් උක්ත සඳහන් තාක්ෂණයෙන් ග්‍රහණය කර, ප්‍රසංගයේදී දක්නට ලැබෙන ත්‍රිමාණ සජීවිකරණ නිරූපණවලට මුසු කරනු ඇති.

ABBA කණ්ඩායම වර්තමානයේදී – www.irishmirror.ie 

 ABBA ඇරඹුණු හැටි

 ස්වීඩනය තුළ බිහි වූ ABBA හි මූලාරම්භය 1966 දක්වා ඈතට විහිදෙනවා. යතුරු පුවරු වාදකයකු සහ ගායකයකු වූ බෙනී ඇන්ඩර්සන්, එකල ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ “හෙප් ස්ටාර්ස්” හි සාමාජිකත්වය දැරුවා. ඔහු වරෙක ස්ටිග් ඇන්ඩර්සන් නමැත්තකුට අයත් ව තිබූ “Polar Music” නම් සමාගමකට ගීත රචනයෙන් දායක වුණා. ඒ අතර “හූටනනි සිංගර්ස්” සංගීත කණ්ඩායමේ බියෝර්න් නමැති සාමාජිකයාත් “Polar Music” සමාගමට ගීත රචනයෙන් දායක කර ගැනීමට එහි අයිතිකරු ක්‍රියා කළා. අවසානයේදී බෙනී සහ බියෝර්න්ට එකට වැඩ කිරීමට අවස්ථාව ලැබුණා.

 ABBA 1974 දී – Getty images

 

 බියෝර්න් ඒ වනවිට “I Was So in Love” ගීතයෙන් ස්වීඩනය තුළ ජනප්‍රියව සිටි ඇග්නේතා සමඟ ප්‍රේම සබඳතාවක් අරඹා තිබුණා. ජාතික කුසලතා තරඟාවලියකින් ජයග්‍රහණය කර සිටි ඇනි-ෆ්‍රිඩ් සහ බෙනී ඇන්ඩර්සන් අතරත් ප්‍රේමයක් දළු ලා වැඩෙමින් තිබුණා. පසුකාලීන ව බියෝර්න් සහ බෙනී, ඔවුන්ගේ සංගීත ව්‍යාපෘති සඳහා තම පෙම්වතියන් සම්බන්ධ කර ගැනීමට ක්‍රියා කළා. ABBA කණ්ඩායමට මූලික පදනම වැටුණේ ඔන්න ඔය ආකාරයෙන්.  

ABBA සාමාජිකයන්ගේ තරුණ විය ප්‍රතිනිර්මාණයෙන් පසු මෙවැනි හැඩරුවක් ගනීවියැ යි අනුමාන කරනවා – vrscout.com 

තුන්වැනි තැනට වැටුණු “Ring Ring”

 1972 දී බියෝර්න් සහ බෙනී සුසංයෝගය “People Need Love” ගීතය නිර්මාණය කොට ගායනා කළ අතර, පසුබිම් ගායනය සඳහා ඇග්නෙතා සහ ඇනි-ෆ්‍රිඩ් එක්වුණා. එම ගීතය ජාත්‍යන්තර මට්ටමින් ඉහළ සාර්ථකත්වයක් අත්කර ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට 1973 යුරෝවිෂන් තරගාවලියේ ස්වීඩනය නියෝජනය කිරීම සඳහා ආරාධනාවක් ලැබුණා.

යුරෝවිෂන් තරගාවලිය සඳහා ඔවුන් “Ring Ring” නමැති ගීතය ඉදිරිපත් කළා. ප්‍රේක්ෂයන් අතර “Ring Ring” ගීතය ජනප්‍රිය වුණත්, විනිශ්චය මණ්ඩලය හමුවේ එම ගීතයට ලැබුණේ තුන්වැනි ස්ථානය යි. ජයග්‍රහණය පෙනි පෙනි ඔවුන්ට ලද දෙයින් සතුටු වෙන්න සිදුවුණා.

ජයග්‍රහණය ගෙනා “Waterloo”

 1973 දක්වා සිව්දෙනාගෙන් යුතු කණ්ඩායමට නමක් යෝජනා වී තිබුණේ නැහැ. ඔවුන් විටෙක එක්ව වැඩ කළා වගේම තම තමන්ගේ පුද්ගලික සංගීත ව්‍යාපෘති සඳහාත් කාලය කැප කළා. Polar Music ආයතනයේ ස්ටිග් ඇන්ඩර්සන්ට මෙම සුසංයෝගය සඳහා නිල පිළිගැනීමක් ලබා දීමට අවශ්‍ය වුණා. මීට පෙර ඔවුන්ගේ ගීත නිර්මාණ එළි දැක්වුණේ ඔවුන්ගේ මුල් නම් සියල්ල ම සඳහන් කරමින්.

ABBA කණ්ඩායම, චලන ග්‍රහණ තාක්ෂණයේදී භාවිත කරන සුවිශේෂී ඇඳුම් කට්ටල සමඟ – vrscout.com 

කණ්ඩායමක් ලෙස අනන්‍යතාව පවත්වා ගැනීමේදී සාමාජික නම් භාවිත කිරීම හැම අවස්ථාවකදී ම ප්‍රායෝගික නැහැ. ඇග්නෙතා, බියෝර්න්, බෙනී සහ ඇනි-ෆ්‍රිඩ් යන මුල් නම්වල මුල් අකුරු සුසංයෝගයෙන්  ABBA ලෙස කණ්ඩායම නම් කිරීමේ යෝජනාව ගෙන ආවේ ස්ටිග් ඇන්ඩර්සන් බව පැවසෙනවා. ඒ අනුව කණ්ඩායමේ නිල උත්පත්තිය 1973 දී සිදුවූ බව සලකන්න පුළුවන්.

යුරෝවිෂන් තරගාවලිය

 ඊළඟට සහභාගී වීමට නියමිත යුරෝවිෂන් තරගාවලිය සඳහා ABBA කණ්ඩායම වඩාත් හොඳින් සූදානම් වුණා. 1974 වසරේ පැවැත්වුණු යුරෝවිෂන් අදියර උදෙසා ඔවුන් “Waterloo” ගීතය ඉදිරිපත් කළ අතර, උත්සාහය පල දරමින් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ABBA සමත් වුණා. ස්වීඩනය යුරෝවිෂන් තරඟාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසයට එක් වුණා.  සංගීත ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමින් ස්වීඩනයට ගෞරවය අත්කර දීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ABBA ඉටුකොට තිබෙනවා.

දශක හතරකට පසුත් නොවෙනස්වූ රසික පදනමක් ABBA සතු යි – www.bbc.com 

අති සාර්ථක වූ ABBA

 ABBA ලෙස නම් වීමට පෙරාතුව කණ්ඩායමක් ලෙස සාර්ථක වුණත්, ABBA නමැති අනන්‍යතාව හරහා ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලැබුණා. යුරෝවිෂන් ජයග්‍රහණයෙන් පසු ABBA කණ්ඩායම අතිශයින් සාර්ථක වූ සංගීත එකතු කිහිපයක් නිකුත් කිරීමට සමත් වුණා. කණ්ඩායමේ නමින් ම 1975 නිකුත් කළ ඇල්බමය, Arrival, The album, Super Trouper, The visitors, එම ඇල්බමවලින් සමහරක් ලෙස දැක්විය හැකි යි. ඔවුන්ගේ Dancing Queen, Mamma Mia, Fernando, Take a chance on me, Super Trouper, Knowing me.. Knowing you ඇතුළු ගීත නිර්මාණ රාශියක් ලොව පුරා සිටි රසිකයන් දිනා ගැනීමට සමත් වුණා.

Waterloo ඇල්බමය පිටපත් 2,50000ක අලෙවියක් තබමින් වාර්තා පිහිටුවයි – Getty images

 

“The Visitors” ඇල්බමය අවසාන නිර්මාණ එකතුව ලෙස නිකුත් වූ අතර, “Under Attack” ගීතයෙන් පසු 1982 දෙසැම්බරයේදී ABBA කණ්ඩායම නිල වශයෙන් විසුරුවා හැරියා. මෙම කාලයේදී ජාත්‍යන්තර තලයේ සංගීත ක්ෂේත්‍රය තුළ වෙන ම බල කඳවුරක් බඳු අමෙරිකා එක්සත් ජනපදයේ ගීත දර්ශක පවා නිරතුරුව ම ආක්‍රමණය කිරීමට ඔවුන්ට හැකි වුණා. කිසිදා වෙනස් නොවන ශක්තිමත් රසික පදනමක් ABBA කණ්ඩායම සතු යි. දශක හතරකට පසුත් ඔවුන්ගේ නැවත ආගමනය මෙතරම් හරසරින් පිළිගැනෙන්නේ ඒ නිසා යි.   

කවරයේ ඡායාරූපය: එන්රිකේ ඉග්ලෙසියස් සහ ඇබා සංගීත කණ්ඩායම - Getty images

මූලාශ්‍ර:

www.reuters.com

www.allmusic.com

mindlifetv.com

abcnews.go.com 

vrscout.com 

Related Articles