Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කණ්ඩායම් සංගීතයේ නොමැකෙන අයිරිෂ් සලකුණ: Boyzone

 90 දශකයේ බටහිර රටවල් මූලික කර ගත් කණ්ඩායම් සංගීතයේ සොඳුරු මතක අප අතර තවමත් පවතිනවා. විශේෂයෙන් ම Backstreet Boys, Westlife, NSYNC වගේ සංගීත කණ්ඩායම් ගැයූ බොහෝ ගීත ශ්‍රී ලංකාවේත් අතිශයින් ජනප්‍රිය වුණා. Boyzone කියන්නේත් ශ්‍රී ලාංකික රසික හදවත් දිනාගත් තවත් එවැනි ම බටහිර සංගීත කණ්ඩායමක්. Key to My Life, Love Me for a Reason, All That I Need, No Matter What ඇතුළු තවත් බොහෝ ගීත අදටත් ඔවුන්ගේ රසික රසිකාවියන්ගේ සිත් තුළ තැන්පත් වී තිබෙනවා.

Boyzone කණ්ඩායම ගැයූ ඇතැම් ජනප්‍රිය ගීතවල මුල් ගායනය සිදු කළේ වෙනත් ගායකයන්. Boyzone සාමාජිකයන් එම පැරණි ගීත තමන්ට ම අනන්‍ය වූ ආකෘතියකින් හා ඒවායේ ජීව ගුණය නොනැසෙන පරිදි ගායනය කළා. මේ හේතුවෙන් එම ගීත මුල් ගායනයටත් වඩා අතිශයින් ජනප්‍රිය වුණා.

තරුණ Boyzone කණ්ඩායම – glamsham.com 

 මේ උත්සාහ කරන්නේ අතීත මතකයක් යළි හාරා අවුස්සා ඔබ හමුවට ගෙන ඒමට යි. Boyzone කණ්ඩායමේ ආරම්භය, සංගීත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විකාශනය සහ වර්තමානයේදී සංගීත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ භූමිකාව වැනි කරුණු රැසක් මේ ලිපියෙන් ඔබට දැන ගැනීමට හැකි වේවි.

ජීවිත වෙනස් කළ පුවත්පත් දැන්වීම

 Boyzone කියන්නේ අයර්ලන්තය මූලික කරගෙන බිහි වූ සංගීත කණ්ඩායමක්. ජාත්‍යන්තර සංගීත තලයේ අය‍ර්ලන්තය ඔසවා තැබීමෙහිලා ඔවුන් වැදගත් කාර්යභාරයක් ඉටුකොට තිබෙනවා. Boyzone කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ 1993 වර්ෂයේදී යි. වරෙක ලුවී වෝල්ෂ් නමැති සංගීත කළමනාකරුවෙක්ගේ මූලිකත්වයෙන් අයර්ලන්තයේ පුවත්පත්වල එක්තරා දැන්වීමක් පළ වුණා. අලුතෙන් පිහිටුවීමට යන සංගීත කණ්ඩායමක් සඳහා සුදුසු දක්ෂයන් කිහිපදෙනකු තෝරා ගැනීම එහි අරමුණ වුණා. 300 කට වැඩි පිරිසක් දැන්වීම සඳහා ප්‍රතිචාර දැක්වූ අතර, 1993 නොවැම්බර් මාසයේදී ඔවුන් සඳහා කුසලතා පරීක්ෂණ ඩබ්ලින් නගරයේ දී ආරම්භ වුණා. එහිදී සහභාගී වූ සෑම දෙනාට ම ජෝර්ජ් මයිකල්ගේ “Careless Whisper” ගීතය ගායනා කිරීමට සිදු වුණා.

 මුල් වටයේ 300 දෙනා අතුරින් දෙවැනි වටය සඳහා 50 දෙනකු තෝරාගත් අතර, අවසානයේදී පිහිටුවීමට යන කණ්ඩායම සඳහා දක්ෂයන් හය දෙනකු ඇතුළත් කර ගැනීමට ලුවී වෝල්ෂ් සමත් වුණා. ඒ අනුව කීත් ඩෆී, ෂේන් ලින්ච්, ස්ටීවන් ගේට්ලි, රෝනන් කීටිං, මාක් වෝල්ටන් සහ රිචී රොක් යන සාමාජිකයන් කණ්ඩායමට ඇතුළත් වුණා. Boyzone සංගීත කණ්ඩායම නිල වශයෙන් පිහිටුවා දවසකට පසු ඔවුන් තමන්ගේ පළමු රූපවාහිනී වැඩසටහන සඳහා සහභාගී වුණා. මාක් වෝල්ටන් සහ රිචී රොක් බොහොම ඉක්මණින් කණ්ඩායම හැර ගියා. එයින් අලුත් සාමාජිකයන් දෙදෙනකුට ඉඩ හසර විවෘත වුණත්, කණ්ඩායමට සාමාජිකයන් පස් දෙනකු ප්‍රමාණවත් බව පසුව තීරණය වුණා. ඒ අනුව මිකී ග්‍රැහැම් පසුකාලීනව කණ්ඩායමට එක්වුණා.

 ආරම්භයේදී ඔවුන් අයර්ලන්තයේ සමාජ ශාලා ආශ්‍රිත ව තම හැකියාව පෙන්වූවා. ඒ අතර ඔවුන්ගේ කළමනාකරු, ලුවී වෝල්ෂ්, “පොලිඩොර් රෙකෝඩ්ස්” නම් ආයතනයත් සමඟ Boyzone කණ්ඩායම ගිවිසුම්ගත කිරීමට සමත් වුණා. කණ්ඩායමේ සාමාජිකයන්ට විශාල පරිමාණයේ සංගීත සැලසුම් වෙනුවෙන් කැපවීමේ අවස්ථාව ඒ අනුව උදා වුණා.

කුළුදුල් ඇල්බමය, Said & Done

 Boyzone කණ්ඩායම නිල වශයෙන් නිකුත් කෙරූ පළමු ගීතය ලෙස සැලකෙන්නේ  ‘Working My Way Back To You’ නම් ගීතය යි. එය අයිරිෂ් ගීත දර්ශකයේ තුන්වැනි ස්ථානයට පැමිණෙන්න සමත් වෙනවා. ඉන්පසුව නිකුත් කළ ‘Love Me For A Reason’ ගීතය නිසා කණ්ඩායමට ඉහළ සාර්ථකත්වයක් අත්වූ අතර, එම ගීතය අයිරිෂ් ගීත දර්ශකයේ පළමු ස්ථානයට පැමිණෙන්නට සමත් වුණා.

 අයර්ලන්තය තුළ නැඟී එන සංගීත තරු ලෙස තම ජනප්‍රියත්වය තහවුරු කරගැනීම සඳහා ප්‍රථම ඇල්බමය ඉක්මනින් ම එළිදක්වන්නට ඔවුන් යුහුසුළු වුණා. කණ්ඩායමේ කුළුදුල් ඇල්බමය ලෙස ‘Said And Done’  1995 දී එළි දැක්වුණා. එහි අඩංගු වූ ගීත අතු‍රින් “Father And Son” ගීතය විශේෂ යි. මෙම ගීතයේ මුල් ගායනය සිදු කළේ කැට් ස්ටීවන්ස් (අද යුසුෆ් ඉස්ලාම් ලෙස හඳුන්වන). Boyzone අනුවාදයේදී එම ගීතයට සුවිශේෂී ජීව ගුණයක් ලැබුණා.

No Matter What

 ‘Said And Done’ ඇල්බමය අයර්ලන්තයේ පමණක් නොව එක්සත් රාජධානියේ පවා ඉහළ සාර්ථකත්වයක් ලබා ගත්තා. ඉන්පසු 1996 සහ 1998 වර්ෂවලදී පිළිවෙලින් A Different Beat, Where We Belong යන ඇල්බම් ද්විත්වය නිකුත් කරමින් ලෝකය පුරා ඉමහත් රසික ආකර්ෂණයක් දිනා ගන්න ඔවුන් සමත් වුණා. මවු රට සහ අසල්වැසි එක්සත් රාජධානියෙන් ඔබ්බට යමින් මුළු යුරෝපාකරයේ ම සහ ඕස්ට්‍රේලියාව, ජපානය, නවසීලන්තය වැනි ලෝකයේ අනෙක් අන්තයේ රටවල සංගීත දර්ශකවලත් ස්ථානයක් දිනාගන්නට මේ සංගීත ඇල්බම සමත් වුණා. 

 Boyzone කණ්ඩායමේ වැඩියෙන් ම ජනප්‍රිය වූ ගීත බොහෝමයක් අඩංගු වන්නේ මුල් කාලය තුල නිකුත් කළ ගීත ඇල්බමවල යි. ගීතවලට අදාළ නිර්මාණශීලි වීඩියෝ රැසක් ඔවුන් එළි දක්වන්නට සමත් වුණා. ඒ අතරින් “Picture of You” ගීතය සඳහා රෝවන් ඇට්කින්සන් හෙවත් “මිස්ටර් බීන්” සමඟ එක්ව කළ වීඩියෝව අදටත් මුවඟට සිනහවක් නංවන්න සමත් වීඩියෝවක්. 

Boyzone කණ්ඩායම මිස්ටර් බීන් හෙවත් රෝවන් ඇට්කින්සන් සමඟ – thesun.ie

 ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් Boyzone කණ්ඩායමට රසික පදනමක් ඇති වුණත්, අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔවුන් එතරම් ජනප්‍රිය වුණේ නැහැ. 1998 දී නිකුත් කළ “No matter what” ගීතයෙන් පසු එම තත්ත්වය තරමක් වෙනස් වුණා. “No matter what” ගීතය එක්සත් ජනපදය තුළ ඉහළ ජනප්‍රියත්වයක් අත්කර ගත් අතර, එක්සත් ජනපදය මූලික කරගත් “බිල්බෝඩ්” නම් ප්‍රමුඛ පෙළේ සංගීත දර්ශකයේ ස්ථානයක් ලබා ගැනීමටත් සමත් වුණා. මෙම කාලය අතරතුර ඔවුන් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රධාන ධාරාවේ සම්මාන රැසකට නිර්දේශ වූ අතර, එයින් කිහිපයක් දිනා ගැනීමටත් ඔවුන්ට හැකි වුණා. එක දිගට සංවිධානය කළ සංගීත ප්‍රසංග මාලාවන් නිසා ඔවුන් ගත කළේ බොහොම අවිවේකී ජීවිතයක්.

කණ්ඩායම තුළ ගායනයෙන් වැඩිම දායකත්වයක් ලබා දුන්නේ රෝනන් කීටිං – digitalspy.com 

තාවකාලික සමුගැනීම

 1999 දී Boyzone කණ්ඩායම යම් විවේකයක් ලබා ගැනීමට තීරණය කළා. ඒ අනුව කණ්ඩායමේ සාමාජිකයන් තාවකාලිකව එකට වැඩ කිරීම නවතා දැමුවා. විවේකය අතරතුර ඔවුන් තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති කටයුතු සඳහා කැප වුණා. කීත් ඩෆී “කොරොනේෂන් ස්ට්‍රීට්” රූපවාහිනි වැඩසටහන සඳහා දායක වූ අතර, මිකී ග්‍රැහැම් රංගනය පුහුණු වීම සඳහා එක්සත් ජනපදයට පිටත් වුණා. සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක් තම දීර්ඝ විවේකය අතරතුර පෞද්ගලික ගායන ව්‍යාපෘති සඳහා දායක වීමක් දක්නට ලැබෙනවා. නමුත්, Boyzone කණ්ඩායමේ සාමාජිකයන් බොහෝ දෙනකු තම විවේක කාලය රංගනය සඳහා කැප කරපු ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

 Boyzone කණ්ඩායමේ සාමාජිකයන් අතර ඒක පුද්ගල ගායනයෙන් වඩාත් සාර්ථක වුණේ රෝනන් කීටිං පමණ යි. ඔහු මතකයේ රැඳෙන ගීත රැසක් ලෝකයට දායාද කළා. රෝනන් කීටිං කියන්නේත් රංගනයට දක්ෂ තැනැත්තෙක්. ඔහු අනෙක් සාමාජිකයන්ගෙන් වෙනස්ව සංගීත ක්ෂේත්‍රය තුළ වඩාත් ස්ථාවර වෙන්නට උත්සහ කළා. ඒක පුද්ගල ගායකයකු ලෙස රෝනන් කීටිං එළිදැක්වූ When You Say Nothing At All, Life Is A Rollercoaster, If tomorrow never comes, The long goodbye යන ගීත අතිශයින් ජනප්‍රිය වුණා. කණ්ඩායම තුළ වුණත් අපිට වැඩියෙන් ම ඇසෙන කටහඬ අයත් වන්නේ රෝනන් කීටිං හට යි. මීට අමතරව ස්ටීවන් ගේට්ලිගේ ළයාන්විත හඬත් කණ්ඩායමේ අගය වැඩි කළා.

ස්ටීවන් ගේට්ලිගේ වියෝව Boyzone රසිකයන්ට මෙන්ම කණ්ඩායමටත් දැරිය නොහැකි පාඩුවක් – pinknews.co.uk

 ස්ටීවන් ගේට්ලි ජීවිතයෙන් සමුගනියි!

 1999 සිට 2007 අතර කාල පරාසය තුළ කණ්ඩායමේ එතරම් ලොකු සක්‍රීය බවක් දක්නට ලැබුණේ නැහැ. 2003 දී Boyzone කණ්ඩායම නැවත එක්වන බවට කටකතා පැතිරුණත්, ඒවා සත්‍ය වුණේ නැහැ. 2007 මුල් භාගයේදී කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන්ගේ කළමනාකරු, ලුවී වෝල්ෂ් හමු වූ බවට ප්‍රවෘත්ති වාර්තා වෙන්න පටන් ගත්තා. විවිධ කටකතා සහ ප්‍රවෘත්ති මැද නැවතත් තමන්ගේ රසිකයන්ට සාධාරණයක් කරමින් ඔවුන් 2008දී “Back Again, No Matter What” ඇල්බමය හරහා සංගීත ක්ෂේත්‍රයේ සක්‍රීය වුණා.

ස්ටීවන් ගේට්ලිට අවසාන ගෞරව දක්වන කණ්ඩායමේ සහෘදයන් – irishmirror.ie

එහිදී ඔවුන් Love you anyway, Better යනුවෙන් අලුත් ගීත දෙකක් රසිකයන්ට ලබා දුන්නා. නවමු ජීවයකින් කණ්ඩායම නැවතත් සංගීත ලෝකය ජයගන්න උත්සාහ කළත්, ඔවුන්ට වේදනාත්මක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කණ්ඩායමේ බොහොම කඩවසම් සහ ආකර්ෂණීය කටහඬක් තිබූ ස්ටීවන් ගේට්ලි හදිසියේම ජීවිතයෙන් සමුගත්තා.

 2009 ඔක්තෝබර් 10 වැනිදා හදවත මූලික කරගත් සංකූලතා හේතුවෙන් ස්ටීවන් ගේට්ලි ස්වභාවික මරණයකට මුහුණ දුන්නා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 33ක් පමණ යි.  Boyzone කණ්ඩායම තුළ ඔහුට විශේෂ ස්ථානයක් හිමි ව තිබූ අතර, කණ්ඩායමේ ජීව ගුණය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් ව සිටි පුද්ගලයෙක්. ඔහුගේ වියෝව සාමාජිකයන්ට හැඟීම් අතින් වේදනාබර මොහොතක් වුණා වගේම, කණ්ඩායමේ අනාගතය කෙරෙහිත් අහිතකර ලෙස බලපෑවා. Boyzone රසික රසිකාවියන්ට අදටත් ස්ටීවන් ගේට්ලි යනු ආදරණීය වගේ ම වේදනාබර මතකයක් වූ පුද්ගලයෙක්.

සහෘදයෙක් නොමැති Boyzone

 අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුවත්, ස්ටීවන් ගේට්ලි නොමැති ව කණ්ඩායම දිගට ම පවත්වා ගෙන යාමට සාමාජිකයන් තීරණය කළා. ඒ අනුව 2010 දී “Brother” ඇල්බමය වසර ගණනාවකට පසු ඔවුන්ගේ අලුත් ම ගීත රැසක් ඇතුළත් වූ සංගීත එකතුව ලෙස නිකුත් වුණා. එහි අඩංගු වූ “Gave It All Away” ගීතය හරහා කණ්ඩායමේ සාමාජිකයන් ස්ටීවන් ගේට්ලිට ගෞරවය දක්වා තිබුණා. එම ගීතයට අදාළ වීඩියෝ නිර්මාණයත් තරමක සංවේදී එකක්. Boyzone කණ්ඩායමට වසර 20 ක් පිරීම නිමිත්තෙන් 2013 වර්ෂයේදී ඔවුන්ගේ ඊළඟ සංගීත එකතුව නිකුත් වුණා. ඉන්පසු වෙනස් ම ආරක සංගීත ශෛලයකින් යුතු “Dublin to Detroit” නම් සංගීත එකතුවත් ඔවුන් නිකුත් කළා.

Thank you and Goodnight ගීත එකතුවත් සමඟින් Boyzone කණ්ඩායම් සංගීතයට සමු දුන්නා – celebmix.com 

බොහොම ස්තූතියි, සුබ රාත්‍රියක්!

 වසර විසි පහක් පුරා සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළ Boyzone කණ්ඩායම 2018 දී සිය අවසාන සංගීත එකතුව රසිකයන්ට තිළිණ කළා. එය නම් කළේ “Thank you & Goodnight” යනුවෙන්. තමා දිනා ගත් රසිකයන්ට උපහාර දැක්වීම පිණිස ඔවුන් ලෝකය පුරා සමුගැනීමේ ප්‍රසංග මාලාවක් සංවිධානය කළා. Boyzone කණ්ඩායමේ ඉතා දිගු සමුගැනීමේ ප්‍රසංග මාලාවේ එක් අදියරක් ශ්‍රී ලංකාවේත් පැවැත්වුණා.

  “Thank you & Goodnight” ගීත ඇල්බමය සංගීත පරම්පරා දෙකක සහයෝගයෙන් නිර්මාණය කළ ගීත එකතුවක් ලෙස දැක්විය හැකි යි. නව පරපුරේ අති සාර්ථක බටහිර ගායකයන් වූ එඩ් ශීරාන්, සෑම් ස්මිත්, කැලම් ස්කොට් වැනි අය ගීත රචනයෙන්  Boyzone කණ්ඩායමේ අවසාන ඇල්බමය සඳහා දායක වුණා. මේ හේතුවෙන් මැදි වයසත් පසුකරමින් සිටින Boyzone සාමාජිකයන් අවුරුදු විසි පහකට පෙර පැමිණි තරුණයන් පරිද්දෙන්ම කණ්ඩායම් සංගීතයෙන් සමුගත්තා.

ඉතින්, ඔබ Boyzone කණ්ඩායමේ වඩාත් ම ප්‍රිය කරන ගීතය කුමක් ද?

කවරයේ පින්තූරය: දිවි සැරිය නිමා කළ ස්ටීවන් ගේට්ලි සමඟ Boyzone කණ්ඩායමේ සාමාජිකයන් -hulldailymail.co.uk

මූලාශ්‍ර:

 thesun.ie

planetradio.co.uk 

 news.sky.com

 sundaytimes.lk 

Related Articles