Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ ‘පූස්’ දුම්රිය ස්ථානාධිපතිනිය

ශ්‍රී ලංකාව විදෙස් රටවලින් පැමිණෙන සංචාරකයන්ට නැරඹීම සඳහා ආකර්ෂණීය ස්ථාන බහුලව තිබෙන රටක්. විදේශිකයින් පමණක් නොවෙයි දේශීය ජනයාද තමන්ට නිවාඩුවක් ලැබුණු සැණින් උඩරට රේල්ලුවේ සංචාර්ය කරන්නට මහත් කැමැත්තක් දක්වනවා. ඒ දුම්රිය මාර්ගය අවට සිරිය විඳීමට මෙන්ම ශීත කාලගුණය අත්දකින්නටයි. ඒ හැරුණු විට විශේෂයෙන්ම දුම්රිය ස්ථානයක් නැරඹීම සඳහාම මේ රේල්ලුවට ගොඩවෙන ජනතාව ඉතා අඩුයි. සමහර විටෙක දෙමෝදර වැනි දුම්රිය ස්ථානයක් නැරඹීම සඳහා සිය ගමනේ කාලයක් වෙන් කර ගත්තත් තමන්ගේ චාරිකාවේ උච්ඡතම ස්ථානය හෝ වැඩිම කාලය ඒ සඳහා යොදා ගන්නා පුද්ගලයන් අපට හමු වන්නේ නැති තරම්.

ජපානය කියන්නේත් ශ්‍රී ලංකාව වගේම සොබා සෞන්දර්යය හොඳින්ම ඇති සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් රටක්. මෙවැනි රටක එක් කුඩා දුම්රිය ස්ථානයක් සොයාගෙන ඒ සඳහාම සිය දහස් ගණන් සංචාරකයන් ඇදෙන බව දැනගන්නට ලැබුණොත් ඔබ පුදුමයට පත් වේවි. ජපානයේ වකයාමා හි කිනොකාවා නගරයට ආසන්නව ඇති ‘කිෂි’ නම් දුම්රිය ස්ථානය සොයාගෙන ඔවුන් මේ යන්නේ ඇත්තෙන්ම එහි සිරිය නැරඹීමටත් වඩා එහි සුරූපී ස්ථානාධිපතිනිය බැහැ දකින්නටයි. මේ සුරූපිණිය මනුෂ්‍ය දියණියක් නම් නොවේ. ‘පූස්’ ධේනුවක්.

පූස්’ කතාවේ ආරම්භය

2006 වසර වන විට වකයාමා විදුලි දුම්රිය සමාගම ජපානයේ ඔසාකා නුවරට කිලෝමීටර 78ක් පමණ නිරිත දිගින් පිහිටි සාමාන්‍ය තරමේ නගරයක් වන වකයාමා නුවර හා ඒ තදාසන්න ප්‍රදේශ වලට ගමන් පහසුකම් සපයන කුඩා දුම්රිය සමාගමක්. ප්‍රධාන වශයෙන් කිෂිගාවා දුම්රිය මාර්ගයට අයත් දුම්රිය ගමන් ඔවුන් විසින් සිදු කරමින් සිටියා.

ජපාන විදුලි දුම්රියක්-toshiba.co.jp

2006 වසරේ අවසාන භාගය වන විට මේ දුම්රිය සමාඟම ඉතාම පාඩු ලබන තත්වයකට පත් වී තිබුණා. විශේෂයෙන්ම වසර දෙකක් තිස්සේ ක්‍රමිකව සිය වියදම් ආදයමට වඩා වැඩි වෙන අයුරු දුටු මේ දුම්රිය සමාගමේ පාලන තන්ත්‍රය කෙමෙන් කෙමෙන් සේවක කප්පාදු සිදු කරන්නට පවා තීරණය කළේ මේ තත්වය දිගටම පැවතුනහොත් මාස කීපයක් ගතවන විට සිය සමාගම වසා දැමීමට සිදුවන බැව් තේරුම් ගත් නිසායි. කිෂිගාවා දුම්රිය මාර්ගයට අයත් සියළුම දුම්රිය ස්ථානවල සේවක ප්‍රමාණය අඩු කෙරුණු අතර බොහෝ කොටම තම තමන්ගේ ව්‍යපාර ඇති, තදාසන්නව පදිංචිව සිටින අයවලුන් මේවායේ සැළකිය යුතු නිල වලට පත් කෙරුණා. මේ කාලය වන විට මේ රේල්ලුවට අයත්  ‘කිෂි’ දුම් රිය ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති ලෙස පත්ව සිටියේ ටොෂිකි කොයාමා නම් අයෙක්. 2004 වසරේ පටන් මේ සමාගම මඟින් වරින් වර සිදු කළ සේවක කප්පාදුවට හසු නොවී සිටීමට තරම් ඔහු වාසනාවන්ත වී තිබුණා.

ටොෂිකි කොයාමා සත්ත්වයින්ට ඉතාමත් ලැදි පුද්ගලයෙක් ඔහු මේ දුම්රිය ස්ථානයට පත් වී ආ දා පටන් අවට අයාලේ යන සතුන්ට ආහාර සපයා සුරක්ෂිත කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගියා. මේ අතර සිටි වසර 6ක් පමණ වයසැති බළල් ධේනුවක් හොඳින්ම ඔහු සිත් ගත්තා. මුලින් කේඬෑරිව සිටියත් සාත්තු සප්පායම් හමුවේ ඇය නොබෝ කළෙකින්ම පුෂ්ඨිමත් වුණා.

කඩා වැටීමට විසඳුමක්

තමන් සේවයේ නියුක්ත දුම්රිය සමාගම කඩා වැටෙනු දුටු කොයාමා දිවා රෑ ඊට විසඳුමක් කල්පනා කළා. අවසානයේ ඔහුට එක් වරම යමක් සිහියට ආවා. ඒ තමා සුරතලයට හදා වඩා ගන්නා අයාලේ ගිය බැළලිය යොදාගෙන යම් ප්‍රවර්ධන වැඩපිළිවෙලක් කිරීමයි. ඒ සඳහා සුදුසු පෙණුමක් මේ වන විට ඇයට ලැබී තිබුණා. තමා නිලයෙන් ඉවත් වී ඒ වෙනුවට මේ ‘පූසිය’ කිෂි දුම්රිය පොළේ සංකේතාත්මක ස්ථානාධිපති කිරීමට ඔහු තීරණය කර තිබුණා.

ටොෂිකි කොයාමා- klankosova.tv

කොයාමා වහාම දුම්රිය සමාගමේ ප්‍රධානීන් සමඟ මේ සාකච්ඡා කළා. පිස්සු අදහසක් ලෙස සලකා ඒ අදහස ඉවත දමාවි යැයි ඔහු සිතුවත් එහි වටිනාකම වහා වටහාගත් ඔහුගේ ප්‍රධානීන් ඔහුට ඒ සඳහා අවසර දුන්නේ අගය කිරීමකුත් සමඟයි.

දුම්රිය පොළත් ස්ථානාධිපතිත් වෙනස් වෙයි

ක්‍රි.ව 2007 ජනවාරි මස 5 වැනිදා නිල වශයෙන් ‘ටාමා’ නම් මේ පූස් ධේනුව කිෂි දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස සංකේතාත්මකව පත් කෙරෙනවා. ඒ වන විට ඇය සත් වන වියේ පසු වූ අතර මුලින්ම කිරීමට තිබුණේ එහි එන මඟීන්ට සුබ පැතීමයි.

මඟීන්ට සුබ පතන ටාමා-picquery.com

කොයාමා හා ඔහුගේ ප්‍රධානීන් ගත් මේ නිර්භීත තීරණය මල්ඵල ගැන්වෙන ලකුණු ඉක්මණින්ම පහළ වෙන්නට ගත්තා. ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු සංචාරක ආකර්ෂණයක් තිබූ කිෂිගාවා දුම්රිය මාර්ගය අයත් ප්‍රදේශයට සෙමින් සෙමින් සංචාරකයන් සම්ප්‍රාප්ත වන බවක් පෙණුනා. ඒ මේ හුරුබුහුටි ස්ථානාධිපතිනිය නැරඹීමටයි. ඇයව සුරතල් කිරීම හා එකට හිඳ පින්තූර ගැනීම ඔවුන් හා ඔවුන්ගේ දරුවන් ඉතා ප්‍රිය කරන දෙයක් වුණා. මේ නිසා වසරක් තුළ දුම්රිය සමාගමේ ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියා.

අයාලේ ගිය ‘ටාමා’ වාසනාව ගෙනෙයි

වැඩි කල් යන්නට මත්තෙන් වකයාමා විදුලි දුම්රිය සමාගම තමන් වැටී සිටි මූල්‍ය අර්බුධයෙන් මිදුණා පමණක් නොව ලාබ ලබන සාර්ථක සමාගමක් බවට පත් වුණා. මේ සියල්ලම සිදු වුණේ ‘ටාමා’ නිසායි. මේ සාර්ථකත්වයේ නිහඬ වීරයන් ලෙස රාමුවෙන් පිට යමක් සිතා යෝජනා කළ කොයාමාත් එහි වටිනාකම හඳුනාගෙන ක්‍රියාත්මක කළ දුම්රිය සමාඟමේ ප්‍රධානීනුත් හැඳින්විය හැකියි. ‘ටාමා’ ලොවට හඳුන්වා දී වසරක් ගත වන විට ඇය විසින් දේශීය ආර්ථිකයට යෙන් බිලියන 1.1 ක ආදායමක් උපයා දී තිබුණා.

(රාජකාරියෙ නියුතු ටාමා)-todayonline.com

ටාමාගේ ආකර්ෂණයෙන් තව තවත් ප්‍රයෝජන ගන්නට සිතූ වකයාමා විදුලි දුම්රිය සමාගමේ ප්‍රධානීන් කලෝචිතව සිතා කිෂි දුම්රියපළත් බළලෙකුගේ හැඩයට වෙනස් කළා. ඒ මාර්ගයේ දිවෙන සමහර දුම්රිය වලට ‘පූස්’ තේමාවක් හඳුන්වා දුන් ඔවුන් සමහර විටෙක ටාමාවත් ඒ තුල ගෙන ගියා. ඇයට දුම්රිය පොළ ‘කාර්යයාලයක්’ නවතම තේමාවකට අනුව සකස් කර දුන්නා. එයින් නොනැවතී ඇය බලන්නට එන සංචාරකයින්ට මිලදී ගැනීම උදෙසා විවිධ සමරු වැනි දෑ නිෂ්පාදනය කෙරුණා. මේ සියළු දේ නිසා කඩා වැටුණු සමාගම ජපානයේ ආර්ථික අතින් ශක්තිමත්ම ව්‍යාපාරයක් බවට පත් වුණා.

(පූස් තේමාවට තැනූ කිෂි දුම්රියපොළ-npr.org/Hirorin0505)

(පූස් තේමාවට තැනූ දුම්රිය)-thespacebetweentwoworlds.wordpress.com

සංචාරක ආකර්ෂණය වැඩි කරනු වස් කිහිප විටක්ම ‘ටාමා’ ඉහළ නිල වලට පත් කෙරුණා. මේ ආකාරයට සත් වසරක්ම ටාමා සාර්ථකව සිය සමාගමට ජය ගෙනාවා.

‘ටාමා’ සමුගනියි

(ටාමාගේ අවමඟුල-thirdrailforum.com)

මිනිසෙක්ගේ මෙන් නොවේ බිළාල කුළයේ ආයු අපෙක්ෂාව අඩු අගයක් ගන්නවා. 2015 වසරේ දී සිය වර්ගයට අනුව දීර්ඝ ආයුෂයක් විඳ ටාමා මිය යනවා. මේ වන විට ඇය 16 වියැති වුණා. තුන් දහසක පමණ දෙනාගේ සහභාගීත්වයෙන් අවමඟුල පැවති අතර ඇයගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ‘නිටාමා‘ නැමති තවත් එවැනිම අයාලයේ ගිය පූස් ධේනුවක් පත් කෙරුණා. ඒ වසර ගණනාවක පුහුණුවකින් පසුවයි. ඇය ටාමා මෙන්ම සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගනිමින් විශාල වශයෙන් ආදායම් හා ලාභ සිය සමාගමට ගෙනාවා. තවත් දුරදිග බලමින් මේ සමාගම ‘යොන්ටාමා’ නැමති කුඩා පූස් පැටවෙකු නිටාමා ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පුහුණු කරන බවට 2017 වසරෙදී ප්‍රකාශ කලා.

නිටාමා-japantimes.co.jp

සුරූපී බළල් ධේනුවක් විසින් සමාඟමක පමණක් නොවේ විශාල ප්‍රදේශයක ආර්ථිකය උඩු යටිකුරු කළේ එලෙසයි.

(කවරයේ පින්තූරය-independent.co.uk)

Related Articles