Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විකාශය වුණු දීර්ඝත ම රූපවාහිනි කතා මාලා 4ක්

එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකාවක විකාශය වුණු දීර්ඝත ම රූපවාහිනී වැඩසටහන ලෙස සැලකෙන්නේ කෝපි කඩේ ටෙලි වෘතාන්තය යි. එය ස්වාධීන රූපවාහිනී නාළිකාවෙන් මුල් ම වරට 1987 අප්‍රේල් 1 වැනිදා විකාශය වුණා. අඛණ්ඩව 35 වසරක් විකාශය වුණු එම ටෙලි වෘතාන්තය මේ වන විට කොටස් 1877 සීමාවට ළඟා වී තිබෙනවා. 

කෝපි කඩේ ටෙලිනාට්‍යයේ දර්ශනයක් – mirrorarts.lk

 

ලෝකයේ දීර්ඝ කාලයක් තිස්සේ විකාශය වුණු රූපවාහිනි කතා මාලාවල ඉතිහාසය විමසා බැලීමේ දී වසර 50කට වඩා කාලයක් විකාශය වුණු කතා මාලා කිහිපයක් හමු වෙනවා. ඒ අතුරින් ඇතැම් කතා මාලා මේ වන විට විකාශය නොවුණත් බොහෝ ඒවා තවමත් විකාශය වෙනවා. එලෙස 50 වසරකට වැඩි කාලයක් විකාශය වුණු රූපවාහිනි කතා මාලා අතුරින් 4ක් පිළිබඳ තොරතුරුයි මේ. 

4). As the World Turns- වසර 54 යි

As the World Turns රූපවාහිනි කතා මාලාව මුල් ම වරට 1956 අප්‍රේල් 2 වැනිදා විකාශය වුණා. එක ම චරිත සමූහකගේ ජීවිතයේ දෛනික සිදුවීම් වටා ගෙතී ඇති කතා Soap Opera යන නමින් හැඳින්වෙනවා. මෙය ද Soap Opera ගණයට වැටෙන කතා මාලාවක්. 1956 අප්‍රේල් 2 වැනි දින සිට 2010 සැප්තැම්බර් 17 දක්වා විකාශය වුණු මෙම කතා මාලාව කොටස් දහතුන් දහස් අටසිය පනස් අටකින් (13,858) යුක්ත වුණා.

ඉර්නා පිලිප්ස් නම් ලේඛිකාවගේ නිර්මාණයක් වන මෙය අමෙරිකාවේ CBS නාළිකාවේ විකාශය වුණා. මෙම කතා මාලාවේ ප්‍රධාන චරිතය වුණේ නැන්සි හියුස් නම් කාන්තාව යි. හෙලන් වැග්නර් නම් සුප්‍රකට නිළිය එම චරිතය නිරූපණය කළා. ඇය එම චරිතය 1956-2010 කාලය තුළ නිරූපණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

හෙලන් වැග්නර්, නැන්සි හියුස් චරිතය නිරූපණය කරමින්  – astheworldturns.fandom.com

 

හෙලන්ට අමතර ව අයිලීන් ෆුල්ටන් නම් නිළිය සහ ඩොන් හැස්ටින්ග්ස් නම් නළුවා 1960-2010 කාලය තුළ As the World Turns කතා මාලාව සඳහා සිය දායකත්වය ලබා දුන්නා. මෙම කතා මාලාව විකාශය වුණු වසර 57 පුරාවට 350කට ආසන්න නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. විවිධ කාලවල දී විධායක නිෂ්පාදකවරුන් 10 දෙනෙක් මෙම කතා මාලාව සඳහා අනුග්‍රහය ලබා දුන්නා.

ඒ අතුරින් වැඩි ම කාලයක් අනුග්‍රහය ලබා දුන්නේ ක්‍රිස්ටෝපර් ගවුට්මන් නම් නිෂ්පාදකයා යි. ඒ 1999-2010 අතර කාලයේ දී යි. 1956-1975 කාලයේ මෙම කතා මාලාවේ එක් කොටසක් විනාඩි 30කට සීමා වුණා. ඊට පසු යුගයේ දී එක් කොටසක් විනාඩි 60ක් තරම් දීර්ඝ වුණා. 2010 වන විට මෙම කතා මාලාවේ ජනප්‍රියත්වය පහත වැටුණා. එනිසා කතා මාලාව අවසන් කිරීම CBS නාළිකාව තීරණය කළා. 

As the World Turns කතා මාලාවේ එක් අවස්ථාවක් – gettyimages.com 

 

3). Days of Our Lives- වසර 56 යි 

Days of Our Lives කතා මාලාව අමෙරිකාවේ NBC නාළිකාව ඔස්සේ තවමත් විකාශය වෙනවා. මෙහි මුල් ම කොටස 1965 නොවැම්බර් 8 වැනිදා විකාශය වුණා. Soap Opera වර්ගයේ කතාවක් වන මෙහි කොටස් දාහතර දහසක් (14,000) මේ වන විට විකාශය කර තිබෙනවා. ටෙඩ් කෝඩේ සහ බෙටී කෝඩේ අතින් නිර්මාණය වුණු මෙම කතා මාලාවේ තිර රචනය සිදු කළේ රොන් කාර්ලිවාටි නම් ප්‍රසිද්ධ ලේඛකයා යි.

හර්බ් ස්ටෙයින්, පිල් සොගාර්ඩ්, ඇල්බට් ඇලර්, ග්‍රාන්ට් ජොන්සන්, ස්ටීවන් විල්ෆර්ඩ් යන පුද්ගලයන් විවිධ කාලවල දී මෙම චිත්‍රපටයට අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබා දුන්නා. Days of Our Lives කතා  මාලාවේ එන ජූලි විලියම්ස් චරිතය නිරූපණය කරන්නේ සුසාන් හේයස් නම් නිළිය යි. ඇය 1968 සිට අඛණ්ඩ ව එම චරිතය නිරූපණය කරනවා.

සුසාන් හේයස්, ජූලි විලියම්ස් චරිතය නිරූපණය කරමින් – soapoperaspy.com

 

ෆ්රාන්සස් රීඩ් නම් නිළිය 1968-2007 කාලය තුළ දී Days of Our Lives කතා මාලාවට සම්බන්ධ වුණා. එහි දී ඇය නිරූපණය කළේ ඇලිස් හෝර්ටන්ගේ චරිතය යි. මෙම කතා මාලාවේ මැගී හෝර්ටන් චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ සුසෑන් රොජර්ස් නම් නිළිය යි. ඇය 1973 සිට අඛණ්ඩ ව Days of Our Lives කතා මාලාව සමඟ සම්බන්ධ වී සිටිනවා. කෝඩේ නිෂ්පාදන සමාගම 1965 සිට මෙම කතා මාලාවේ ප්‍රධාන නිෂ්පාදන සමාගම බවට පත්ව සිටිනවා.

ඊට අමතර ව තවත් නිෂ්පාදන සමාගම් කිහිපයක් ද මෙහි සම නිෂ්පාදක ලෙසින් කටයුතු කළා. එහි දී Columbia Pictures Television 1974 – 2001 කාලයේ ද, Sony Pictures Television 2002 වසරේ සිට මේ දක්වා ද Days of Our Lives කතා  මාලාවේ සම නිෂ්පාදන සමාගම් ලෙසින් කටයුතු කරනවා. කැලිෆෝනියාවේ බර්බෑන්ක් චිත්‍රාගාරයේ නිෂ්පාදනය වන මෙම කතා මාලාව ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි රටවල්වල ද විකාශය වීම විශේෂත්වයක්. 

Days of Our Lives  කතා මාලාවේ ජවනිකාවක්  – gettyimages.com

 

2). General Hospital- වසර 59 යි 

අමෙරිකාවේ ABC නාළිකාවේ ඔස්සේ තවමත් විකාශය වන General Hospita Soap Opera වර්ගයේ කතාව ලොව දීර්ඝත ම Soap Opera කතා මාලාවලින් එකක් ලෙස සැලකෙනවා. මෙහි මුල්ම කොටස 1963 අප්‍රේල් 1 වැනිදා විකාශය වුණා. ෆ්රෑන්ක් හර්ස්ලි සහ ඩොරිස් හර්ස්ලි නිර්මාණය කළ මෙම කතා මාලාවේ තිර පිටපත රචනා කළේ ඩෑන් ඕ’කෝනර් සහ ක්‍රිස් වෑන් එටන් නම් රචකයන් දෙදෙනා යි.

ලොස් ඇන්ජලීස් හි ප්‍රොස්පෙක්ට් චිත්‍රාගාරයේ නිර්මාණය වන මෙම කතා මාලාව 1963-1976 කාලය තුළ විනාඩි 30 කොටස් ලෙස ද, 1976-1978 කාලය තුළ විනාඩි 45 කොටස් ලෙස ද, 1978 සිට විනාඩි 60 කොටස් ලෙස ද විකාශය වුණා. ABC නිෂ්පාදන සමාගම 1968 සිට මෙම කතා මාලාව සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා. 

General Hospital කතා මාලාවේ අවස්ථාවක් (gettyimages.com)

 

General Hospital කතා මාලාවට සම්බන්ධ වී සිටි ඔඩ්‍රි හාර්ඩි නම් චරිතය නිරූපණය කළේ රේචල් ඒම්ස් නම් සුප්‍රසිද්ධ නිළිය යි. ඇය 1964-2015 කාලයේ එම චරිතය නිරූපණය කළා. ජෝන් බෙරාඩිනෝ නම් නළුවා ස්ටීව් හාර්ඩි චරිතය 1963-1996 දක්වා ද, එමිලි මැක්ලොෆ්ලින් නම් නිළිය ජෙසී බ්‍රීවර් නම් හෙදියගේ චරිතය 1963-1991 දක්වා නිරූපණය කිරීම විශේෂත්වයක්.

2022 අප්‍රේල් මාසය වන විට මෙහි කොටස් දාහතර දහස්ක් නවසිය හැට එකක් (14,961) විකාශය වී තිබුණා. General Hospital කතා මාලාව 1980 දශකයේ මුල් භාගයේ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් Daytime Emmy සම්මානය 1981 දී මුල් ම වරට මෙම කතා මාලාවට හිමි වුණා. එදා සිට ගෙවුණු කාලය තුළ General Hospital කතා මාලාව එම සම්මානය 14 වතාවක් දිනා ගෙන තිබෙනවා. වැඩි ම වාර ගණනක් එම සම්මානය දිනා ගත් කතා මාලාව වශයෙන් ද General Hospital වාර්තා අතරට එක් ව සිටිනවා.

රේචල් ඒම්ස්, ඔඩ්‍රි හාර්ඩි චරිතය නිරූපණය කරමින් – welovesoaps.net

 

1). Coronation Street- වසර 61 යි 

Coronation Street නම් බ්‍රිතාන්‍ය Soap Opera කතා මාලාව දැනට විකාශය වන පැරැණිත ම Soap Opera කතා මාලාව ලෙසින් සැලකෙනවා. මෙම කතා මාලාව මුල්ම වරට  1960 දෙසැම්බර් වැනිදා විකාශය වුණේ ග්‍රැනඩා රූපවාහිනි නාළිකාව හරහා යි. එම නාළිකාව 1960-2006 කාලය තුළ මෙහි විකාශන කටයුතු සිදු කළා.

ITV Studios 2009 සිට මෙහි විකාශන කටයුතු සිදු කරනවා. ටෝනි වොරන්ගේ නිර්මාණයක් වන Coronation Street එතරම් කාලයක් විකාශය නොවනු ඇති බවට 1960 දෙසැම්බරයේ දී අනාවැකි පළ වුණා. එම අනාවැකි සියල්ල බොරු කරමින් වර්තමානය වන විට මෙම කතාවේ කොටස් දහදහස් හයසිය විසි හතක් (10,627) විකාශය වී තිබෙනවා. 

 Coronation Street කතා මාලාවේ ජවනිකාවක් – manchestereveningnews.co.uk

 

එදා මෙදාතුර Coronation Street කතා මාලාව සඳහා නළු නිළියන් 100කට ආසන්න පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතුරින් කෙන් බාර්ලෝ නම් චරිතය නිරූපණය කරන විලියම් රෝච් 1960 සිට ම Coronation Street කතා මාලාව සමඟින් සම්බන්ධ වී සිටිනවා. රීටා සුලිවන් චරිතය නිරූපණය කරන බාබර් නොක්ස් නම් නිළිය 1972 සිට ද, ගේල් ප්ලැට් චරිතය නිරූපණය කරන හෙලන් වර්ත් නම් නිළිය 1974 සිට ද, මෙම කතා මාලාව වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දෙනවා.

Coronation Street කතා මාලාව 1960 මැද භාගය වන විට එංගලන්තය පුරා ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසු යුගයක ඕස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය ආදී රටවල ද මෙම කතා මාලාව විකාශය වුණා. 

කෙන් බාර්ලෝ චරිතය නිරූපණය කරන විලියම් රෝච් – celebratingthesoaps.com

කවරයේ ඡායාරූපය- General Hospital කතා මාලාවේ දර්ශනයක් - gettyimages.com

මූලාශ්‍ර:

screenrant.com

oldest.org

newsweek.com

entertainment.howstuffworks.com 

 

Related Articles