Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘හාර ලක්ෂය’ට පාර කැපූ ටර්ෆ් කලබ් මංකොල්ලය

ඔබ පැරණි සිංහල සිනමාපට නැරඹීමට කැමති රසිකයෙක් නම් ‘හාර ලක්ෂය’ සිනමාපටය නරඹා ඇති බවට සැකයක් නැහැ. මෙරට සිනමාවේ නිර්මාණය කෙරුණු මුල්ම සැබෑ ක්‍රියාදාම සිනමාපට කිහිපය අතර එයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. විශේෂත්වය වන්නේ මෙම සිනමාපටය නිර්මාණය කෙරුනේ සත්‍ය කතාවක් පදනම් කරගෙන වීමයි. එම සිනමාපටයට පදනම් වුනේ 1949 වසරේදී සිදු වූ සුප්‍රකට ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ කතා පුවතයි.

සුප්‍රකට ටර්ෆ් ක්ලබ් මංකොල්ලය

එවකට මෙරට තුල සිදු වූ විශාලතම මංකොල්ලයක් ලෙසට විශේෂ අවධානයට ලක් වූ ටර්ෆ් ක්ලබ් මංකොල්ලය ‘හාර ලක්ෂය’ නමින් සිනමාවට නැගුවේ ටයිටස් තොටවත්තයන් විසිනුයි. සිංහගිරි චිත්‍රපට වෙනුවෙන් එය නිෂ්පාදනය කළේ සුගතදාස මාරසිංහ විසිනුයි.පියදාස ගුණසේකර,රොබින් ප්‍රනාන්දු,සේනාධිර රූපසිංහ, ජෝ අබේවික්‍රම ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු,ජි.ඩබ්ලිව්.සුරේන්ද්‍ර ඇතුළු ප්‍රවීන නළු පිරිසක් රඟපෑ මෙම සිනමාපටයේ එක විශේෂත්වයක් වුයේ කිසිදු නිළියක රංගනයේ නොයෙදීමයි.සිනමාපටය 1971 දෙසැම්බර් 17 වැනිදා සිට තිරගත කෙරුණු අතර එහි ප්‍රචාරක කටයුතු සඳහා මංකොල්ලයට යොදාගත් සැබෑ මෝටර් රථය මරදානේ දී ප්‍රදර්ශනය කෙරුණා.

sarasaviya.lk

‘හාර ලක්ෂය’ සිනමාපටයට පදනම් වුනු ටර්ෆ් කලබ් මංකොල්ලය සිදුකෙරුණේ 1949 ජනවාරි 31 වැනිදායි.කොළඹ තුරඟ තරඟ පිටියේ සිට කොළඹ චාර්ටඩ් බැංකුව වෙත ගෙන යාමට තිබූ  මුදල් එහිදී කොල්ලකෑමට ලක් වූ අතර එහි තිබූ මුදල් ප්‍රමාණය ලක්ෂ හතරක් බව පැවසුනා.

එම මුදල් මංකොල්ල කෑමට සැලසුම් කල පිරිසට අට දෙනෙකු අයත් වූ  අතර එහි නායකත්වය දරනු ලැබුවේ මිනී පෙට්ටි සාප්පුවක් පවත්වාගෙන ගිය ජේමිස් සෙනෙවිරත්න නම් පුද්ගලයායි. ඊට වසරකට පෙර සිදු වූ සුප්‍රකට වයිට් හවුස් මිනීමැරුමේ මහමොළකරු වූ ලෑතර බාස් නැමැත්තා බේරා ගැනීම සඳහා නීතිඥ ගාස්තු ගෙවීම සඳහා සෙනවිරත්න විසින් මෙම මංකොල්ලය සැලසුම් කල අතර ලෑතර බාස් ඔහුගේ සොයුරියගේ ස්වාමි පුරුෂයායි.

මංකොල්ල සැලසුම් කළ අන්දම

ඔහු ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු වූ අරච්චිරාළ හෙවත්  ජයසිංහ නම් ඔහුගේ හිතවතෙකු ම

මූලික කරගනිමින් කණ්ඩායමක් සුදානම් කළ අතර, එම කණ්ඩායමට හිටපු පොලිස් භටයකු වූ වර්ලිස් මුණසිංහ,රාජකීය යුධ හමුදාවේ රියදුරකු වූ විජේදාස පෙරේරා මෙන්ම දස වසරක් සී.ටී.සී.ආයතනයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය ගිල්බට් ඩයස් නැමැත්තාද ඇතුළත් වුණා.

ඔවුන්ගේ  අරමුණ වුණේ සී.ටී.සී.ආයතනයේ මුදල් බැංකුව වෙත ගෙන යෑම සඳහා සෑම සඳුදා දිනයකදීම යන වාහනයෙන් මුදල් කොල්ල කෑමයි. ඒ සඳහා වන වාහනය ආම්ස්ට්‍රෝන් නම් ගරාජයකින් සී.ටී.සී.ආයතනය වෙත යවන අතර එහි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරිවරයකුද ඒ සමග යෑම සාමාන්‍ය ක්‍රමයයි. සුපුරුදු පරිදි යොදවන රථය සහ එහි යන සුපුරුදු පිරිස වෙනුවට තමන්ගේ කණ්ඩායමේ පිරිසක් යොදවා අතරමගදී එම මුදල් මංකොල්ල කා පලා යෑම ජේමිස් සෙනෙවිරත්නගේ සැලසුම වී තිබුණා.

ඒ සඳහා ඔහු එක් කරගත් පිරිස අතර පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිය හැකි හිටපු පොලිස් භටයකු, සුපුරුදු රියදුරා වෙනුවට යෙදිය හැකි ආම්ස්ට්‍රෝන් ගරාජයේම කලක් සේවය කළ රියදුරකු මෙන්ම ඊට කලින් දිනයේ සුපුරුදු මෝටර් රථය කුලියට ගන්නා ධනවතකු ලෙස පෙනී සිටින තැනැත්තෙකුද අයත් වුණා.

සැලසුම වූයේ මුදල් ගෙන යාමට යොදන සුපුරුදු මෝටර් රථය ඊට පෙර දින වෙනත් ගමනකට කුලියට ගෙන එහි රියදුරු බැඳ තබා පසු දින සැලසුම් කල පරිදි මංකොල්ලකරුවන් පිරිස සී.ටී.සී.ආයතනය වෙත ගොස් මුදල් රැගෙන යන කළමනාකරුවන් රථයට නංවා ගැනීමටයි.

ඊට පෙර දිනයේ  z6033 දරන චවලට් වර්ගයේ රථය ධනවතකු ලෙස පෙනී සිටි ජයනන්ද ප්‍රේමලාල් නැමැත්තා විසින් වෙන් කරගත් අතර පුත්තලමට යන එම කුලී ගමන අතරතුර එම මෝටර් රථය පැහැර ගැනීම සිදු වුනා. කුලී රථය වෙන් කරගෙන තිබුනේ රුපියල් 50 ක මුදලක් අත්තිකාරමක් ලෙස ගෙවමින් ජයනන්ද යන නමටයි. එම රථය ජයනන්ද යන නමට වෙන්කර ගැනීම මෙම මංකොල්ලයේදී කොල්ලකරුවන්ට සිදු වූ එක් වරදක් වූ අතර එය සැකකරුවන් හඳුනා ගැනීමටද පොලිසියට වාසියක් වුනා.

එහිදී වාහනය වෙන්කර ගන්නා ධනවතා ලෙස මුලින් වීරසිංහ නම් රාජපක්ෂ ගේ හිතවතෙකු වූ පට්ටල් කරුවකු යොදා ගැනීමට නියමිත වූ නමුත්, මංකොල්ලයේ මුදල් එයට සහභාගී වූවන් අතර බෙදා දීම මාස හයකට පසුව සිදු කරන බව සෙනවිරත්න පැවසූ පසු ඔහු මෙම මංකොල්ලයෙන් ඉවත් වුණා. කෙසේ වෙතත් මංකොල්ලයෙන් පසු පොලිසියට ඒ ගැන ඔත්තුව දීමට මූලික වන්නේත් එම පට්ටල් කරුවායි.

පාවා දීම

පුත්තලම් ගමනට විජේදාස,චූලානන්ද,සහ මුණසිංහ එම මෝටර් රථයේ ගමන් කළ අතර සෙනවිරත්න සහ ජයසිංහ වෙනත් වාහනයක පැමිණ එම පැහැර ගැනීමට සම්බන්ධ වුනා.අතරමග පාලු ස්ථානයකදී දී මුත්‍රා කිරීමට අවශ්‍ය බව පවසා විජේදාස වාහනය නවත්වා ගැනීමෙන් පසු ජෝන්ද සිල්වා හෙවත් පොළඟා නම් රථයේ රියදුරු පැහැරගනු ලැබූ අතර කැලයට රැගෙන ගිය ඔහුගේ මුහුණට ගෑස් මුහුණක් පළඳවා ගසක් ගැට ගසා තිබෙනවා. ගෑස් මුහුණ පැළඳ වීම හේතුවෙන් ජෝන්ද සිල්වා පසුව මියගිය අතර එය මෙම මංකොල්ලයේ දී සිදු වූ ප්‍රකට මිනීමැරීම බවට පත් වුණා.

පසුදින z6033 රථයේ රියදුරු ලෙස විජේදාසද පොලිස් පරීක්ෂක ලෙස නිල ඇඳුමෙන් සැරසුණු මුණසිංහ ද සී.ටී.සී ආයතනයට ගමන් කළ අතර සැබෑ පොලිස් නිලධාරියාගේ ගමන පමා කළේ  සී.ටී.සී ආයතනයෙන් ලෙස පෙනී සිටිමින් ජයනන්ද ලබා දුන් ඇමතුමයි. එමෙන්ම එම මෝටර් රථයට පසුපසින් ගමන් කරන සී.ටී.සී.ආයතනයේ රථය මගහැරීමට කරත්තකරුවකු ලවා මග හරස් කිරීමද සෙනවිරත්නගේ සැලසුමේ එක් අදියරයක් වුනා.

සැකකරුවන් -sarasaviya.lk

කෞතුකාගාරය ආසන්නයේදී කළමනාකරුවන් බියවද්දා මුදල් පැහැරගත් පිරිස වාහනය නොරිස් කැනල් පාරේ අතහැර දමා අලුත් කඩේ සාංචි ආරච්චි වත්තට පැමිණ වේලු නමැත්තකුගේ නිවසේ මුදල් සඟවා විසිර යන්නේ සෙනවිරත්නගේ පොරොන්දුව පරිදි මාස හයකින් පසු මුදල් සමසේ බෙදා ගැනීම සඳහායි.

එම මංකොල්ලය සම්බන්ධව සෙවීමට පොලිස් අධිකාරිවරුන් තිදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරු හය දෙනෙකුගෙන් යුතු දැවැන්ත පොලිස් කණ්ඩායමක් ක්‍රියාත්මක වූ අතර මංකොල්ලය සම්බන්ධයෙන් දැනුම් දෙන්නෙකුට මුදලින් රුපියල් විසි දහසක් ලබා දෙන බවට ද ප්‍රචාරය කෙරුනා.

ඊට පසුව යෙදුනු නිදහස් දිනය දා මෙම මංකොල්ලය පිළිබඳව පුවත්පතකින් දැනගන්නා වීරසිංහ නම් පට්ටල් කරුවා රාජපක්ෂගෙන් සිය කොටස ඉල්ලන්නේ එය ලබා නොදුනහොත් පොලිසියට පවසන බව තර්ජනය කරමිනුයි.රාජපක්ෂ විසින් මුදල් ලබා දීම මාස හයකට පසු සිදු කරන බව පැවසීමෙන් කෝපවන වීරසිංහ කොල්ලකරුවන් සම්බන්ධයෙන් පොලිසියට දන්වන්නේ ඒ වෙනුවෙන් ලබා දෙන මුදල් ත්‍යාගය ලබා ගැනීමටයි.

පොලිසිය විසින් කොල්ලකරුවන් සියල්ල අත්අඩංගුවට ගත් අතර රාජපක්ෂ  පසුව රජයේ සාක්කි කරුවකු බවටද පත් වුනා.සැකකරුවන් අට දෙනාගෙන් හතර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවූ අතර එයට අයත් වුනේ සෙනවිරත්න,විජේදාස,මුණසිංහ සහ ජයනන්දයි.ඔවුන් සිවුදෙනා 1950 අගෝස්තු 29,30,31 සහ සැප්තැම්බර් පළමුවැනිදා යන දිනවලදී එල්ලා මරනු ලැබුවා. අනෙක් සිවුදෙනා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් වුණා.

(රූගත කිරීම් අතරතුර) – sarasaviya.lk

හාර ලක්ෂය සිනමාපටයේ අධ්‍යක්ෂණය ටයිටස් තොටවත්ත විසින් සිදු කළ අතර එහි නිශ්චිත තිර රචනයක් අඩංගු නොවූ බව පැවසෙනවා. නඩු වාර්තා සහ වෙනත් ලේඛන තොටවත්තයන් විසින් ඒ සඳහා පදනම් කරගෙන තිබෙන අතර බොහෝ සිදුවීම් සත්‍ය වශයෙන්ම ඒවා සිදු වූ ස්ථානවලම රුපගත කර තිබෙනවා. සිනමාපටයේ එන මුදල් රැගෙන යන පෙට්ටිය සැබෑ මංකොල්ලයට ලක් වූ  මුදල් පෙට්ටියම වීමත් විශේෂත්වයක්. සිනමාපටය නිර්මාණය කෙරෙන වකවානුව වන විට මෙරට තුරඟ තරඟ සිදු නොකෙරුණු නිසා අධ්‍යක්ෂකවරයා විසින් ඒ සඳහා යොදාගෙන ඇත්තේ පැරණි තුරඟ  තරඟ වල පුස්තකාල දර්ශනයි. ඇන්ඩෲ ජයමාන්න සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූ අතර මොහිදීන් බෙග් එහි ගීත ජවනිකාවකට පෙනී සිටීමත් විශේෂත්වයක් වුණා.

(ටයිටස් තොටවත්ත මහතා) http://cdn.srilankamirror.com

හාර ලක්ෂය සිනමා සමාගමට අයත් කිංස්ලි ඇතුළු සිනමා ශාලාවල ප්‍රදර්ශනය වූ අතර එය දෙමළ බසින් හඬ කැවුණේ ‘නාන්ගු ලෙච්චමී’ ලෙසටයි.

කවරයේ පිංතුරය-sarasaviya.lk

Related Articles