Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජැක්සන්ගේ ‘Thriller’ අදට 40 සපුරයි

සංගීත ලෝකයේ පතාක යෝධයෙක් ලෙස කිරුළු පැළඳූ පොප් ගායකයෙක් තමයි මයිකල් ජැක්සන්. මිය ගිය ද සුවහසක් වූ සංගීත ලෝලී හදවත් මෘදු ව පිනවන්නට අදටත් මෙම ගායකයා සමත් ව සිටිනවා. එසේ වන්නේ මොහුගේ හයවන සංගීත ඇල්බමය – ‘Thriller’ නිකුත් වී අදට (නොවැම්බර් 30) අවුරුදු 40 ක් සැපිරීම යි. 

ඒ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කිරීමට ’Thriller 40’ නමින් සංවත්සර ඇල්බමයක් ද මේ වන විට නිකුත් ව තිබෙනවා. මේ ‘Thriller’ ඇල්බමය සඳහා කලින් එක් නොවූ ගීත අතළොස්සක් ද එයට ඇතුළත් කර තිබෙනවා.

මයිකල් ජැක්සන් thriller 40- img.evbuc.com

මයිකල් ජැක්සන්ගේ හයවන සංගීත ඇල්බමය,’Thriller’ මුලින් ම නිකුත් වූයේ 1982 නොවැම්බර් මාසයේ යි. සංගීත ලෝකයේ Thriller ඇල්බමය ජනප්‍රිය වූ පසු ජැක්සන්ගේ කළමනාකරු – ෆ්‍රෑන්ක් ඩිලියෝ, ඇල්බමයෙහි ඇතුළත් Thriller ගීතය සඳහා සංගීත වීඩියෝවක් නිර්මාණය කිරීමට යෝජනා කළේ 1983 වසරේ යි.

ජැක්සන් zombie සමඟ සිදු කරන නර්තනය

මෙම Thriller සංගීත වීඩියෝව (Music Video) අධ්‍යක්ෂණය කළේ ජෝන් ලැන්ඩිස් වන අතර ජැක්සන්ගේ පෙම්වතිය ලෙස සංගීත වීඩියෝවට දායක වී ඇත්තේ ඕලා රේ යි. “An American Werewolf in London” චිත්‍රපටය මහත් ආසාවෙන් නැරඹූ ජැක්සන් එහි අධ්‍යක්ෂ ජෝන් ලැන්ඩිස්ට පැවසුවේ සිය සංගීත වීඩියෝවට ද එම ත්‍රාසය ඒ හා සමාන අයුරින් මුසු කර දෙන ලෙස යි.  

පිල්ලියක් බවට පරිවර්තනය වන ජැක්සන් පිල්ලි සමූහයක් (zombies) සමඟ සිදු කරන නර්තනය සංගීත ලෝලී ප්‍රේක්ෂකයාට මෙම වීඩියෝවෙන් දැකගත හැකි යි.

ජැක්සන් සහ ඔහුගේ zombie නර්තන කණ්ඩායම – wallpapercave.com 

විනාඩි 13 යි මිනිත්තු 42 ක් පුරාවට දිවයන මෙම Thriller සංගීත වීඩියෝව, අමෙරිකානු කේබල් නාලිකාවක් වූ  MTV ඔස්සේ ද නිතිපතා විකාශය වූවා. මෙමඟින් Thriller ඇල්බමයෙහි අලෙවිය ක්‍රමයෙන් දෙගුණ වී, ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ සංගීත ඇල්බමය බවට එය පත් වුණා. එකල එහි පිටපත් මිලියනයකට වඩා අලෙවි වූ බව ද සඳහන්.

Thriller – ජනප්‍රියත්වයේ හිනි පෙත්ත

මේ වන විට ලොව පුරා මිලියන 100 කට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි වී ඇති Thriller ඇල්බමය, සංගීත ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ සාර්ථක ඇල්බමයක් බව ඇතමුන් සලකනවා.

වර්ණභේදය යම් තරමකට පැවති අවදියක කළු ජාතික ගායකයකුගේ සංගීත වීඩියෝවක් ප්‍රථම වතාවට රූපවාහිනී නාළිකාවක විකාශය වීම,ජැක්සන්ගේ Thriller ජනප්‍රිය වීමට බලපෑ එක හේතුවක් බවත් සඳහන්.

සංගීත විනෝදාස්වාදයට තිබූ වාර්ගික බාධක බිඳ දැමීම මෙමඟින් සිදු වූ බවත්, ජැක්සන් ගෝලීය පොප් සංස්කෘතියේ ප්‍රමුඛ බලවේගයක් බවට පරිවර්තනය වීමට Thriller හේතුපාදක වූ බව ද සංගීත ලෝලීන් පවසනවා.

ග්‍රැමී සම්මාන අටක් දිනා ගනිමින් Billboard 200 සංගීත දර්ශකයෙහි මුල් ගීත අතරට පැමිණීමට ජැක්සන්ගේ Thriller ඇල්බමය පසු ව සමත් වුණා.

ජැක්සන්ගේ සංගීතය දැනට Spotify හි මිලියන 36.7 ක මාසික ප්‍රවාහයකින් (Streaming) සමන්විත වනවා.  වර්තමානය වන විට මොහුගේ සමස්ත අද්විතීය සංගීතය ලෝකයේ 60 වැනි ස්ථානය දක්වා පැමිණ තිබෙනවා.

ජැක්සන් සහ කුවින්සි ජෝන්ස් ග්‍රැමී සම්මානයක් හිමි කරගනිමින් – Chris Walter/WireImage/Gettyimages.com

Thriller පිටුපස සිටි නිහඬ මොළකරු – ක්වින්සි ජෝන්ස්

ක්වින්සි ජෝන්ස් වනාහි අමෙරිකානු සංගීතඥයෙක්, ගීත රචකයෙක් මෙන්ම ගීත නිෂ්පාදකයෙක්. ජෝන්ස් මයිකල් ජැක්සන් හා එක්ව වඩාත් සාර්ථක සංගීත ඇල්බම තුනක් නිෂ්පාදනය කළා. ඒවා නම් Off the Wall (1979), Thriller (1982) සහ Bad (1987) ඇල්බම යි. 

1985 දී ජෝන්ස්, ඉතියෝපියාවේ සාගතයට ගොදුරු වූවන් සඳහා අරමුදල් රැස් කිරීමට ජැක්සන් සමඟ “We Are the World” යන ගීතය නිෂ්පාදනය කළා.

“Thriller’’ සංගීත ඇල්බමය සාර්ථකත්වය කරා ගෙන යාමට මූලික අඩිතාලම දැමූවෙක් ලෙස ක්වින්සි ජෝන්ස්ට සිය ප්‍රණාමය පුද කිරීමටත් ජැක්සන් අමතක කළේ නෑ.

මයිකල් ජැක්සන් සහ ඕලා රේ – www.mamamia.com.au

‘ Thriller සංගීත ඇල්බමයේ ඇතුළත් ‘Beat It’ ගීතයේ සියලු වැඩ කඩිනමින් අවසන් කිරීමට හැකි වූයේ නිදි වර්ජිත රාත්‍රී පහක් ගත කිරීමෙන්. එක් අවස්ථාවක අපගේ එක ස්පීකරයක් අධික ලෙස රත්වී ගිනි ගත්තා”යි ජෝන්ස්  සිය Thriller මතක සිහිපත් කරමින් පැවසුවා.

ජැක්සන් සහ ජෝන්ස් මෙලෙස සිදු කළ කැපකිරීම් රාශියක් හමුවේ සංගීත ලෝකය තුළ ජැක්සන් “පොප් රජු” ලෙස අභිෂේක කිරීමට Thriller හේතුපාදක වූවා.  

ජැක්සන්ට එරෙහි ව තිබූ  ළමා ලිංගික චෝදනා ඇසුරින් 2019 දී එළි දැක්වූ “Leaving Neverland’’ වාර්තාමය චිත්‍රපටවලට පවා ඔහුගේ “පොප් රජ කිරුළ’’ උදුරා ගැනීමට හැකියාව ලැබුණේ නෑ.

මයිකල් ජැක්සන් thriller සංගීත විඩියෝවේ එක දර්ශනයක් – wallpapercave.com 

ප්‍රතික්ෂේප වීමකින් ඉදිරියට ආ Thriller

Thriller සංගීත ඇල්බමය වනාහි ජැක්සන් පොප් සංස්කෘතියට දැනෙන පරිදි බලපෑමක් කිරීමට පටන් ගත් මොහොත යි.

එනමුත් Thriller ගීතය බිහිවීමට ප්‍රථම මයිකල්  නිකුත් කළ Billie Jean ගීත වීඩියෝව, කළු ජාතිකයකුගේ සංගීතය සුදු ආධිපත්‍යය සහිත වැඩසටහන් සමඟ “නොගැළපෙන” යන පදනම මත MTV නාලිකාව මුල දී එය විකාශය කිරීම ප්‍රතික්ෂේප කළා.

මෙම සිදුවීමෙන් අනතුරුව CBS Records හි ප්‍රධානී වෝල්ටර් යෙට්නිකෝෆ්, “MTV නාලිකාව දැවැන්ත ජාතිවාදී කණ්ඩායමක් බවත් ප්‍රසිද්ධියේ එය හෙළා දකින බව ද සඳහන් කරන්නට උත්සුක වුණා.

ජැක්සන් රසිකයෙක් නිර්මාණය කළ thriller ඇල්බමයේ කවරය – wallpapercave.com 

එහි ප්‍රතිඵලයක් ලෙස ආසන්න මිනිත්තු 14 ක් පුරාවට දිවෙන ‘Thriller’ සංගීත වීඩියෝවේ මංගල දර්ශනය හොලිවුඩ් සිනමා ශාලාවක තිරගත වූවා. මෙය ඇල්බමයේ පිටපත් අලෙවිය තවදුරටත් වර්ධනය වීමට උපකාරී වුණු බවයි වාර්තා වන්නේ.

Thriller වෙතින් ජැක්සන් Zombie කෙනෙක් බවට පත් ව, මළවුන් ඔවුන්ගේ සොහොන් ගැබ්වලින් පිටතට ගෙන ඒම,සංගීත ලෝකයේ නව ශානරයක් ජනිත කිරීමට උපකාරී වූ බවත් මෙම සංගීත වීඩියෝව පොප් සංස්කෘතිය අතිවිශිෂ්ටව නිර්වචනය වී ඇති බවත් විචාරකයන් පවසනවා.

‘Thriller 40’ සංවත්සර ඇල්බමයට ඇතුළත් කළ, මයිකල් ජැක්සන්ගේ මෙතෙක් පළ නොවූ ගීත වනුයේ ’ Starlight’-’Thriller’ හි මුල් අනුවාදය ‘The Toy’, ‘Got the Hots’ සහ ‘Sunset Driver’ යි.

Thriller 4k

මෙම සුවිශේෂී අවස්ථාව තවදුරටත් සනිටුහන් කිරීමට මයිකල් ජැක්සන්ගේ Thriller සංගීත ඇල්බමයෙහි ඇතුළත් “Beat It” සහ “Thriller” යන ගීත විඩියෝ ද්විත්වය ම 4K තාක්ෂණයෙන් යුතුව නැරඹීමට ජැක්සන් රසිකයන්ට ප්‍රථම වරට අවස්ථාව ලැබී තිබෙනවා. 

මයිකල් ජැක්සන් නිල YouTube නාලිකාවට මෙම සංගීත විඩියෝ ද්විත්වයම මේ වන විටත් උඩුගත (Upload) වී තිබෙන අතර 40 අවුරුද්දකට පසුව පොප් සංගීත ලෝලීන්ට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙසද මෙය සලකනවා.

මයිකල් ජැක්සන්ගේ පෙරළිකාර Thriller ඇල්බමය, මේ සතියේ දී Billboard 200 ගීත දර්ශකයේ අංක 7 දක්වා ඉහළට පැමිණ ඇති බව ද වාර්තා වුණා. එය පසුගිය සතියේ 115 වැනි ස්ථානයේ සිට ස්ථාන 108ක් ඉදිරියට මේ අනුව පැමිණ තිබෙනවා.

කවරයේ ඡායාරූපය - ‘Thriller 40’ සංවත්සර ඇල්බමය - www.thriller40.com 
මූලාශ්‍ර : 
Michael Jackson thriller album
ratedrnb.com
www.revolt.tv 
www.france24.com
www.fangoria.com 
www.smoothradio.com

Related Articles