Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෙබරවාරි මාසයේ තිර ගත වන බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්

පෙබරවාරි මාසය තුළ විවිධ තේමා රැගත් සිනමා නිර්මාණ රාශියක් නිකුත් වීමට නියමිත ව තිබෙනවා. ඒ අතරින් වඩාත් අවධානයට පාත්‍ර වූ චිත්‍රපට හතක් ගැන අවධානය යොමු කිරීමට යි මේ සූදානම.

1. 80 for Brady

කයිල් මා(ර්)වින් අධ්‍යක්ෂණය කළ “80 for Brady” යනු ප්‍රහසනය සහ ක්‍රීඩාව එකට කැටි වූ තරමක වෙනස් ආකාරයේ චිත්‍රපටයක්. එක්සත් ජනපදයේ අතිශයින් ජනප්‍රිය ක්‍රීඩාවක් වන “අමෙරිකන් ෆුට්බෝල්” මත චිත්‍රපටය පදනම් වන අතර, මෙහි නිෂ්පාදනය සහ රංගනය වෙනුවෙන් සුවිශේෂී පුද්ගලයෙක් ද එක් වී සිටිනවා. ඒ තමයි ටොම් බ්‍රේඩි.

ඔබ “අමෙරිකන් ෆුට්බෝල්” ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දු වන තැනැත්තෙක් නම් ටොම් බ්‍රේඩි යන නාමය හොඳින් අසා ඇති. ඔහු එරට ජාතික පාපන්දු ලීගයේ (NFL) සිටින විශිෂ්තට ම “ක්වාටර්බැක්” ක්‍රීඩකයෙක්.

එහෙනම් මේ චිත්‍රපටය ටොම් බ්‍රේඩි ගේ ජීවිත කතාව හෝ ඔහු ගේ විශිෂ්ත්වටය මත පදනම් වූවක් ද?

මෙන්න මෙතැන දී තමයි “80 for Brady” චිත්‍රපටයේ කතාව තරමක් වෙනස් වෙන්නේ.

80 for Brady පූර්ව ප්‍රචාරක දැන්වීම – www.imdb.com

සැබැවින්ම “80 for Brady” හි කතාවට කේන්ද්‍ර වන්නේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින කාන්තාවන් සිව් දෙනෙක්. ඔවුන් අතර ඉතා ශක්තිමත් මිතුදමක් තිබෙනවා. අමෙරිකානු පාපන්දු ලෝලීන් ලෙස ඔවුන් තම ජීවිතයේ විශාලත ම ආශාවක් ඉටු කරගැනීමේ අභිලාෂයෙන්  තමයි සිටින්නේ. ඉතින්, එය සාර්ථක වේවි ද?

ලිලී ටොම්ලින්, ජේන් ෆොන්ඩා, රීටා මොරෙනෝ, සැලී ෆීල්ඩ් යන හොලිවුඩ් පුරාවෘත්ත බඳු රංගන ශිල්පිනියන් ගෙන් හැඩවන “80 for Brady” එළඹෙන පෙබරවාරි 03 වැනිදා සිට තිරගත වනු ඇති.

80 for Brady පූර්ව ප්‍රචාරක පටයත් නරඹමු – www.youtube.com

2. Knock at the Cabin

The Sixth Sense, Unbreakable, Signs යන චිත්‍රපට අතුරින් එකක් හෝ ඔබ නරඹා ඇත්නම් “M. නයිට් ශ්‍යාමලන්” යන සිනමා අධ්‍යක්ෂවරයා ගැනත් අසා ඇති.

තමාට ම අනන්‍ය වූ ශෛලියකින් “ත්‍රාසය” සිනමාවට ගෙන එන නිර්මාණකරුවෙක් ලෙස ශ්‍යාමලන් වටා ඒකරාශී වූ යම් රසික පදනමක් තිබෙනවා. ඔහු ගේ මෑත කාලීන නිර්මාණ අතරින් Split, Glass, Old යන නිර්මාණත් යහපත් ප්‍රතිචාර ලබා ගැනීමට සමත් වුණා.

Knock at the Cabin පූර්ව ප්‍රචාරක දැන්වීම – www.knockatthecabin.com

ශ්‍යාමලන් ගේ නවත ම චිත්‍රපටය නම් කර ඇත්තේ “Knock at the Cabin” යනුවෙන්. එය පෝල් ට්‍රෙම්බ්ලේ රචිත “The Cabin at the End of the World” නමැති කෘතිය මත පදනම් වී තිබෙනවා. “Knock at the Cabin” යනු ප්‍රේක්ෂක සිතට ත්‍රාසය ඇතුළු කිරීම පමණක් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයක් නොවෙයි.

ඉතා දුෂ්කර අවස්ථාවක දී තීරණ ගැනීම සහ මානුෂීය බැඳීම් සමඟ එම තීරණ ගැටෙන ආකාරය වෙනස් මානයකින් ගෙන එන නිර්මාණයක් ලෙසත් “Knock at the Cabin” හැඳින්විය හැකි යි. මීට අමතර ව, “පවුල” යනු කිසියම් ඒකාකෘතියක් තුළ පමණක් දක්නට ලැබෙන බැඳීමක් නොවන බවත්, චිත්‍රපටයෙන් විදහා දැක්වෙනවා.

“Knock at the Cabin”, පෙබරවාරි තුන් වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.

Knock at the Cabin පූර්ව ප්‍රචාරක පටයත් නරඹමු – www.youtube.com

3. Ant-Man and the Wasp: Quantumania

පෙබරවාරි මාසයේ වඩාත් අවධානය දිනා ගත් චිත්‍රපටය බොහෝ දුරට “Ant-Man and the Wasp: Quantumania” වීමට ඉඩ තිබෙනවා.

Marvel සිනමා විශ්වයේ පස්වන අදියරට අයත් මෙම චිත්‍රපටය, “Ant-Man” චිත්‍රපට මාලාවේ තෙවැනි අදියර ද වෙනවා.

Ant-Man and the Wasp: Quantumania පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.talenthouse.com

ස්පොයිලර්ස් සම්බන්ධයෙන් වඩාත් සංවේදී වන පිරිසක් තමයි Marvel රසිකයන්. ඒ නිසා චිත්‍රපටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කිරීමට උත්සහ ගන්නේ නැහැ.

සුපුරුදු පරිදි පෝල් රඩ්, “Ant-Man” චරිතයට පණ පොවන අතර, චිත්‍රපටය පෙබරවාරි 17 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.

Ant-Man and the Wasp: Quantumania පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

4. Cocaine Bear

සාමාන්‍යයෙන් Marvel හෝ DC සිනමා විශ්වයේ චිත්‍රපටයක්, ජනප්‍රිය චිත්‍රපට මාලාවක නවත ම අදියරක් හෝ ප්‍රකට අධ්‍යක්ෂවරයකු ගේ චිත්‍රපටයක් ඉදිරියේ දී තිරගත වීමට නියමිත නම්, පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමටත් පෙරාතුව ඒ ගැන කතිකාවතක් ඇති වෙනවා.

ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ අනාගත වැඩකටයුතු සම්බන්ධ ප්‍රවෘත්ති ඊට කදිම උදාහරණයක්. නමුත්, “Cocaine Bear” චිත්‍රපටය වටා එවැනි ජනප්‍රිය සාධකයක් ගොඩනැඟී තිබුණේ නැහැ. එය 2023 වසරේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපටයක් ලෙස අවධානයට පාත්‍ර වූයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමෙන් පසුව යි.

Cocaine Bear චිත්‍රපටයේ එන දර්ශනයක් – www.theatlantic.com

“Cocaine Bear” යනු සත්‍ය සිදුවීම් දාමයක් පාදක කර ගනිමින් ගොඩ නැඟූ අර්ධ ප්‍රබන්ධයක් ආකාරයේ චිත්‍රපටයක්. එනම්, සත්‍ය සිදුවීමට වඩා එහා ගිය නිර්මාණාත්මක කතාවක් එහි අඩංගු යි. චිත්‍රපටය කේන්ද්‍ර වන්නේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ වලසෙක් වටා යි. එම ඇබ්බැහිය හේතුවෙන් අවට ජීවත් වන මිනිසුන් ගේ සාමය විනාශ වන අයුරු තරමක් හාස්‍යෝත්පාදක අයුරින් ඉදිරිපත් කිරීමක් චිත්‍රපටයෙන් සිදු වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතින් ගිලිහුණු කෝකේන් තොගයක් ආහාරයට ගත් වලසෙක් පිළිබඳ සත්‍ය සිදුවීමක් 1985 වර්ෂයේ දී එක්සත් ජනපදයෙන් වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත්, චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයෙන් පෙන්වන දර්ශන තරම් සත්‍ය සිදුවීම විනාශකාරී නැහැ.

“Cocaine Bear”, එළඹෙන පෙබරවාරි 24 වැනිදා සිට ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට නියමිත යි.

Cocaine Bear පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

5. Magic Mike’s Last Dance

මයික් ලේන් යනු ෆ්ලොරිඩා ප්‍රාන්තයට අයත් ටැම්පා ප්‍රදේශයේ ජීවත් වන තරුණයෙක්. සිය ජීවන ඉලක්ක වෙත ළඟා වීම සඳහා විවිධ රැකියා වල නිරත වුවත්, මයික් සැලකිය යුතු සාර්ථකත්වයක් පෙන්වන්නේ එක් රැකියාවකින් පමණ යි. රාත්‍රී කාලයේ දී සමාජ ශාලා වල විනෝදය සපයන සරාගී “ස්ට්‍රිපර්” කෙනෙක් වශයෙන් මයික් අත්කර ගෙන තිබෙන සාර්ථකත්වය නිසා ඔහුට විශාල ගෙවීමක් ලැබෙන්නේත් එම රැකියාවෙන්.

ටැම්පා හි සමාජ ශාලා වල මයික් ලේන් ජනප්‍රිය වී ඇත්තේ “මැජික් මයික්” යන අන්වර්ථ නාමයෙන්. දිගු කාලයක් මෙම වෘත්තියේ රැඳී සිටීමේ හැකියාවක් නැති බව මයික් තේරුම් ගන්නවා. එතැන් පටන් මයික් ගේ ජීවන වික්‍රමයත් ඇරඹෙනවා.

Magic Mike’s Last Dance පූර්ව ප්‍රචාරක දැන්වීමක් – mb.com.ph

Magic Mike චිත්‍රපටයේ මයික් ගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නළු ෂැනින් ටේටම්. චිත්‍රපටය අතිශයින් සාර්ථක වූ බැවින්, දෙවැනි දිගහැරුමක් (Magic Mike XXL) දක්වා මයික් ලේන් ගේ කතාව ඉදිරියට ගෙන යෑමට නිෂ්පාදකයන් ක්‍රියා කළා.

එහි තෙවැනි දිගහැරුම වන “Magic Mike’s Last Dance”, පෙබරවාරි 10 වැනිදා සිට තිරගත වීමට නියමිත යි.

Magic Mike’s Last Dance පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

6. True Spirit 

රොජර් සහ ජුලී වොට්සන් යනු තරමක් වෙනස් විදිහට ජීවිතය විඳින්න කැමති දෙපළක්. ඔවුන් සයුර පුරා යාත්‍රා කරමින් සමුද්‍ර පරිසරය සමඟ සමීප සබඳතාවක් ගොඩ නඟා ගෙන තිබුණා. වොට්සන් පවුල, නවීන ලෝකයේ දේශ ගවේෂකයන් ලෙස සැලකුවත් වරදක් නැහැ.

ඔවුන් ට දරුවන් සතර දෙනෙක් සිටින අතර, සියලු දෙනා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට අයත් ගෝල්ඩ් කෝස්ට් හි ජීවත් වුණා. වොට්සන් පවුලේ දරුවන් හතර දෙනා ම මහ සයුරේ යාත්‍රා කිරීම සම්බන්ධයෙන් දැනුමක් ලබා තිබුණා. ඒ අතරින් පවුලේ දෙවැනි දරුවා වූ ජෙසිකා වොට්සන්, සුවිශේෂී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

True Spirit පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

යොවුන් වියේදී ම ජෙසිකා වොට්සන් නාවික සැතපුම් හයදහසක් පමණ යාත්‍රා කරමින් අත්දැකීම් රාශියක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අතරතුර මහ සයුර මැද ආරක්ෂා විය යුතු අන්දම, ඩීසල් එන්ජිම් පිළිබඳ දැනුම, යාත්‍රා කිරීම හා සබැඳි න්‍යායාත්මක කරුණු, ප්‍රථමාධාර සහ ගුවන් විදුලි මෙහෙයුම් ආදී විශාල දැනුම් සම්භාරයක හිමිකරු වීමට ඇයට හැකි වුණා. මේ සෑම අවස්ථාවකදී ම ඇය ගේ මාපියන් සහයට සිටියත්, තමා උගත් දෑ තනිව ම අත්හදා බැලීමේ උනන්දුවක් ඇයට ඇති වුණා.

ජෙසිකා වොට්සන්, 2009 ඔක්තෝබර් මස 18 දින සිඩ්නි ප්‍රදේශ‍යේ මුහුදු තීරයෙන් සිය හුදෙකලා චාරිකාව ආරම්භ කරන විට වයස අවුරුදු 16 ලැබුවා පමණ යි. දින 210 ක් පුරා මහ සමුදුර මැද තනිව ම වික්‍රමයක් සිදු කළ ඇය, සිව් වතාවක් කුණාටු හමුවේ දුෂ්කරතාවට පත් වුණා.

2010 මැයි 15 වැනි දින ඇය සිඩ්නි වරාය වෙත නැවතත් ළඟා වුණා. ඒ වනවිට කිසිදු පාර්ශවයක සහයක් නොමැතිව ලොව වටා තනිව යාත්‍රා කිරීමේ අත්දැකීමක් ලද ළාබාලතමයා වශයෙන් ඇය ගෞරවාදරයට පත් වී අවසන්. ඉතින්, මේ අපූරු චාරිකාව සිනමාත්මකව අත් විඳීමේ අවස්ථාවක් අපට උදා වෙනවා. ඒ “True Spirit” චිත්‍රපටය හරහා යි. පෙබරවාරි 03 වැනිදා සිට Netflix ඔස්සේ “True Spirit” ස්ට්‍රීමිං වනු ඇති.

True Spirit පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

7. Winnie the Pooh: Blood and Honey

A. A. Milne සහ E. H. Shepard විසින් නිර්මාණය කළ “Winnie-the-Pooh”, බොහෝ දෙනකුගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් උසුලන මානවරූපී සුරතල් වළසෙක්. පසු කලෙක මෙම චරිතයේ අයිතිය ඩිස්නි ආයතනය ලබා ගත් අතර,  “Winnie-the-Pooh” චරිතය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණ කිහිපයක් එළි දැක්වීමටත් ඔවුන් ක්‍රියා කළා.

2022 ජනවාරි මාසයේ දී ඩිස්නි ආයතනය “Winnie-the-Pooh” චරිතයේ අයිතිය අත්හළ බැවින්, කාටත් භාවිත කළ හැකි පොදු චරිතයක් බවට පත් වුණා. මින් අදහස් වන්නේ දැන්  “Winnie-the-Pooh”ට ඕනෑම චරිතයක් රඟ දැක්විය හැකි බව යි!

Winnie the Pooh: Blood and Honey පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

ලේඛකයෙක් සහ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන රීස් වෝටර්ෆීල්ඩ්,අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගැනීමට වහාම ඉදිරිපත් වුණා. ඔහු මේ සුරතල් පෙනුමැති වලසා ලේ පිපාසිත දුෂ්ඨයෙක් බවට පරිවර්තනය කරමින් “ස්ලෑෂර්” ගණයේ චිත්‍රපටියක් නිකුත් කිරීමට සූදානමින් පසු වෙනවා. “ස්ලෑෂර්” චිත්‍රපටි යනු බොහෝ විට දරුණු වද හිංසා දර්ශන සහ ප්‍රචණ්ඩත්වය අධික සිනමා ප්‍රවර්ගයක්.  The Texas Chain Saw Massacre, Friday the 13th, Scream, Wrong Turn, ප්‍රසිද්ධ “ස්ලෑෂර්” චිත්‍රපටි ලෙස හැඳින්විය හැකි යි.

අධික ප්‍රචණ්ඩත්වය නිසා ම “Winnie-the-Pooh: Blood and Honey”, සියලු දෙනාට ම නැරඹිය හැකි මට්ටමේ චිත්‍රපටයක් ලෙස නම් කළ නොහැකි යි. චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතයේ ඇති සුවිශේෂත්වය නිසාම පෙබරවාරි මාසයේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට අතරට මෙයත් එකතු වී තිබුණා.

පෙබරවාරි මාසයේ 15 වැනිදා සීමිත සිනමාහල් ගණනක් සහ සීමිත කාලයක් සඳහා චිත්‍රපටය නිකුත් වනු ඇති.

Winnie the Pooh: Blood and Honey පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට අවශ්‍ය නම් සංවේදී හෝ නැරඹීමට අපහසු දර්ශන හමුවන බව මතක තබා ගන්න – www.youtube.com

කවරයේ ඡායාරූපය: පෙබරවාරි මාසයේ වෙනස් ම අත්දැකීමක් ගෙන දිය හැකි චිත්‍රපටි අතර "Cocaine Bear" ඉහළින් ම කතාබහට ලක් වෙනවා - www.cocainebear.movie

මූලාශ්‍ර:
www.sportskeeda.com
www.moviefone.com
www.marvel.com
www.nytimes.com
Movieweb.com
Australian.museum
Allreaders.com
Collider.com

Related Articles