Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Oppenheimer සමඟ යළි පිපිරෙන දෙවන ලෝක යුද්ධයේ පරමාණු බෝම්බ

පසුගිය වසර 20 ක පමණ අතීතයට දිව ගිය විට ක්‍රිස්ටෝපර් නෝලන් යනු බටහිර සිනමා රසිකයන්ට නම් කිසි විටෙකත් අමතක කළ නොහැකි නාමයක් වනවා.

ඒ එම කාලයේ ඔහු නිෂ්පාදනය කළ විශිෂ්ට සිනමාපට හේතුවෙන්. සිනමාපට දර්ශකවල ඉහළින් ම රැඳී සිටීමට සමත් වූ නෝලන් ගේ නිර්මාණ ලොව පුරා අදටත් කතාබහට ලක් වනවා.

ක්‍රිස්ටෝපර් නෝලන් – www.people.com

වසර තුනක නිහඬතාවකින් අනතුරුව ක්‍රිස්ටෝපර් නෝලන් ගේ නවත ම චිත්‍රපටය 2023 වර්ෂයේ ජූලි මස 21 වන දා එළි දැක්වීමට නියමිත යි. ඔපන්හෙයිමර් (Oppenheimer) යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපටයෙන් දෙවන ලෝක යුදසමයේ පරමාණු බෝම්බය සම්බන්ධයෙන් කතාබහට ලක් කෙරෙනවා. මේ හේතුව නිසා චිත්‍රපටය තිරගත වීමට පෙර සිට ම විශාල ප්‍රේක්ෂක උනන්දුවක් ඒ කෙරෙහි නිර්මාණය වී තිබුණා. ඔපන්හෙයිමර් පූර්ව ප්‍රචාරක පටය (Trailer) මේ වන විටත් යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 38 ක් ඉක්මවා අවසන්.

14 වන නිර්මාණය

1998 වර්ෂයේ දී ෆලොවින් (Following) චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පැමිණි නෝලන් ගේ 14 වන නිර්මාණය ද මෙය යි. මීට ප්‍රථමයෙන් නෝලන් නිර්මාණය කළ චිත්‍රපටි සඳහා විශාල ප්‍රතිචාර හිමි වුණා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ බැට්මෑන් සිනමා පට ත්‍රිත්වය කුණාටුවක් මෙන් ලෝකය ම ආක්‍රමණය කළා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයට ද නෝලන් දක්වන්නේ සුවිශේෂී හැකියාවක්.

ක්‍රිස්ටෝපර් නෝලන් සහ ඔහුගේ සොහොයුරු ජොනතන් නෝලන් ගේ ද සහාය ඇති ව ඇතැම් විද්‍යා ප්‍රබන්ධ නිර්මාණය වුණා. ජොනතන් නෝලන් ගේ පිටපත් රචනයෙන් සහ ක්‍රිස්ටෝපර් නෝලන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඉන්ටෙස්ටෙලාර් (Interstellar) සිනමාපටය ලොව බිහි වූ විශිෂ්ටත ම විද්‍යා ප්‍රබන්ධ අතරින් එකක්. 2014 දී තිරගත වුණ මෙම නිර්මාණයට අමරිකානු ඩොලර් මිලියන 165 ක් වැය කළ අතර ඉන් ලැබුණ ආදායම ඩොලර් මිලියන 773.8 ක් වශයෙන් සටහන් වුණා.

ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඉන්ටෙස්ටෙලාර් සිනමාපටය වෙනුවෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක් – www.forbes.com

2008 වර්ෂයේ දී තිරගත වූ බැට්මෑන් චිත්‍රපට මාලාවේ දෙවැන්න වන “ද ඩාක් නයිට්” (The Dark Knight) ආදායම ඩොලර් බිලියන ය ඉක්මවා ගියා. එහි ජනප්‍රිය බව නිසා ම 2012 දී තිරගත වූ “ද ඩාක් නයිට් රයිසස්” (The Dark Knight Rises) හි ආදායම ද ඩොලර් බිලියනය ඉක්මවූවා. 2020 දී තිරගත වූ නෝලන් ගේ 13 වන නිර්මාණය වන “ටෙනෙට්” (Tenet) වැඩි ආදායමක් ඉපයූයේ නෑ. එකල ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය එයට ප්‍රධාන හේතුව වුණා.

හැකිතාක් සත්‍ය දර්ශන භාවිතය

වර්තමානයේ දී චිත්‍රපට නිශ්පාදනයේ දී හැකිතාක් දෘෂ්‍ය ප්‍රයෝග හෝ පරිගණක සජීවිකරණය භාවිත කිරීමට බොහෝ අධ්‍යක්ෂකවරුන් ප්‍රිය කරනවා. නෝලන් බොහෝ දර්ශන සත්‍ය ආකාරයට රූගත කිරීමට උත්සාහ දරනවා. එයට හොඳ ම උදාහරණය නම් ටෙනෙට් චිත්‍රපටයෙ හි එක් අවස්ථාවක ගුවන් යානයක් ගැටෙන දර්ශනයක් රූගත කිරීමට අවශ්‍ය වුණා. ඔහු එයට බෝයිං 747 ගුවන් යානයක් මිලට ගනිමින් එම අනතුර සත්‍ය වශයෙන් ම රූගත කළා.

ටෙනෙට් චිත්‍රපටයේ ගුවන් යානා අනතුර වෙනුවෙන් සත්‍ය ගුවන් යානයක් යොදා ගත්තා – www.polygon.com

මහා මාර්ගයක ඇති වන ගැටුමක් රූගත කිරීමට නෝලන් එස්තෝනියාවේ අධිවේගී මාර්ගයක් වසා රූගත කිරීම් සිදු කළා. එස්තෝනියාවේ සිදුකළ දර්ශන සඳහා ඩොලර් මිලියන 16.5 ක පමණ මුදලක් වැය කළ බවට සඳහන් වනවා. ක්‍රිස්ටෝපර් නෝලන් යනු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් දැඩි කැපකිරීම් සිදු කළ හැකි අධ්‍යක්ෂවරයෙක්.

IMDB සිනමාපට දර්ශකයේ ඉතිහාසයේ වැඩි ම ශ්‍රේණිගත කිරීම් ලැබූ නිර්මාණ 50 අතරට ක්‍රිස්ටෝපර් නෝලන් ගේ චිත්‍රපටි 3 ක් ඇතුළත් ව තිබෙනවා. ඒ තෙවන ස්ථානයේ ද ඩාක් නයිට් (The Dark Knight), 14 වන ස්ථානයේ ඉන්සෙප්ෂන් (Inception), 26 වන ස්ථානයේ ඉන්ටෙස්ටෙලාර් (Interstellar) වශයෙන්. සමස්යතක් වශයෙන් මේ වන විට නෝලන් ගේ චිත්‍රපටි ලොව පුරා සම්මාන උළෙලවල නිර්දේශ වීම් 532 ක් සහ ජයග්‍රහණ 192 ක් ලබා ගැනීම ඔහුගේ විශිෂ්ටත්වයට උදාහරණ සපයනවා.

ද ඩාක් නයිට් චිත්‍රපටය අමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපැයුවා – www.prime1studio.com

ඔපන්හෙයිමර් (Oppenheimer)

ඔපන්හෙයිමර් යනු සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් වීම විශේෂත්වයක්. මෙයට ප්‍රථම, දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් නෝලන් අධ්‍යක්ෂණය කළ 2017 වර්ෂයේ දී තිරගත වූ ඩන්කර්ක් (Dunkrik) හට ද ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ඔපන්හෙයිමර් කතා පුවතට පෙර ප්‍රකාශ කළ ආකාරයට ම දෙවන ලෝක යුද්ධයේ පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ ආකාරය පාදක කර ගෙන තිබෙනවා.

ජේ රොබර්ට් ඔපන්හෙයිමර් ගේ ජීවිත කතා පුවත මෙම චිත්‍රපටයේ ප්‍රධාන සාධකය බවට පත් වුණා. ජේ ‍රොබර්ට් ඔපන්හෙයිමර් යනු අමරිකානු පරමාණු බෝම්බයේ පියා යනුවෙන් හැඳින්වෙන තැනැත්තා යි. ඔහු 1945 හිරෝෂිමා සහ නාගසාකි වෙතට දැමූ පරමාණු බෝම්බ නිෂ්පාදනය වෙනුවෙන් කළ වැඩ කොටස එයට ප්‍රධාන හේතුව වනවා. එම පරමාණු බෝම්බ නිෂ්පාදනය කිරීම “මෑන්හැටන් ප්‍රොජෙක්ට් (Manhattan Project)” යනුවෙන් හැඳින්වූ අතර ම, ඔපන්හෙයිමර් සිනමාපටයෙන් එය දැක ගත හැකි යි.

ඔපන්හෙයිමර් චිත්‍රපටයට පාදක වූ ජේ රොබට් ඔපන්හෙයිමර් හෙවත් අමරිකානු පරමාණු බෝම්බයේ පියා – www.theaustralian.com

කොවිඩ් වසංගතය හේතුවෙන් වෝනර් බ්‍රදර්ස් (Warner Bros) සමගාමට ඒ කාලයේ බලාපොරොත්තු වූ තරම් ආදායමක් ලැබුණේ නෑ. මේ නිසාඔවුන් ඉදිරියේ දී නිර්මාණය කරන සිනමාපට අඩු කිරීමටත්, වියදම් කිරීමේ යම් වාරණ පැනවීමටත් කටයුතු කළා. මේ හේතුවෙන් 2000 වර්ෂයෙන් පසු ව පළමු වතාවට වෝනර් බ්‍රදර්ස් සමාගමෙන් ඉවත් ව යුනිවර්සල් පික්චර්ස් (Universal Pictures) සමගින් එක් වී මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට නෝලන් කටයුතු කළා.

තමන් මෙලෙස ජේ රොබර්ට් ඔපන්හෙයිමර් ගේ ජීවන කතා පුවත ආශ්‍රයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවට ක්‍රිස්ටෝපර් නෝලන් මුලින් ම නිවේදනය කළේ 2021 සැප්තැම්බර් මාසයේ දී යි. ඔහු සහ වෝනර් බ්‍රදර්ස් සමාගම අතර එකඟතාවක් නොමැති බවට වටහා ගත් යුනිවර්සල් පික්චර්ස් ආයතනය මෙම චිත්‍රපටය නිෂ්පාදනයට එක් වුණා. 2022 වර්ෂයේ පෙබරවාරි මස රූපගත කිරීම ආරම්භ කළ ඔපන්හෙයිමර් වෙනුවෙන් වියදම් කළ මුදල අමරිකානු ඩොලර් මිලියන 100 ක්.

පරිගණක ප්‍රයෝගවලට අඩු අවස්ථාවක්

ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කළ පරිදිම වැඩි වශයෙන් පරිගණක සජීවිකරණය භාවිතා කිරීමට නෝලන් ප්‍රිය කරන්නේ නෑ. 1945 ප්‍රොජෙක්ට් මෑන්හැටන් යටතේ නිෂ්පාදනය කළ පරමාණු බෝම්බය පරීක්ෂා කිරීමට නිව් මෙක්සිකෝ හි කාන්තාරයක් භාවිත කළා. එය ට්‍රිනිටි පරීක්ෂණය (Trinity Test) ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙනවා. එම දර්ශනය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ක්‍රිස්ටෝපර් නෝලන් සැබෑ පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන තිබීම ද විශේෂත්වයක්.

ඔපන්හෙයිමර් පූර්ව ප්‍රචාරක පටයෙන් – www.awardsdaily.com

IMAX (Image MAXimum) 65mm and 65mm යන විශාල පරිමාණයකින් ඔපන්හෙයිමර් රූපගත කළා. චිත්‍රපටය රූගත කිරීමට IMAX black and white analog photography යොදා ගැනීමට ද ක්‍රිස්ටෝපර් නෝලන් ඇතුළු නිශ්පාදක මණ්ඩලය කටයුතු කර තිබෙනවා. වැඩි වශයෙන් අමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රූගත කිරීම් සිදු කිරීමටත් කටයුතු යොදා තිබුණා. ප්‍රොජෙක්ට් මෑන්හැටන් හි පරීක්ෂා කටයුතු සඳහා නිව් මෙක්සිකෝ යොදා ගැනීම එයට ප්‍රධාන හේතුවක්.

ප්‍රධාන නළු නිළියෝ

ජේ රොබර්ට් ඔපන්හෙයිමර් ගේ චරිතය රඟදක්වමින් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කිලියන් මර්පි යි. ඔහු පසුගිය වසර කිහිපයේ පීකි බ්ලයින්ඩ්ර්ස් (Peaky Blinders) රූපවාහිනී කතා මාලාවේ තෝමස් ශෙල්බි ගේ චරිතය රඟ දක්වමින් ලොව පුරා ජනප්‍රිය වුණා. මීට ප්‍රථමයෙන් ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඩන්කර්ක්, ඉන්සෙප්ෂන්, බැට්මෑන් බිගින්ස් යන චිත්‍රපට වලට ද ඔහු රංගනයෙන් දායක වුණා.

ඔපන්හෙයිමර් පූර්ව ප්‍රචාරක පටය මේ වන විටත් යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 38 ක් ඉක්මවා අවසන් – www.youtube.com/@UniversalPictures

අයන් මෑන් (Iron Man) චරිතයට පණපොවමින් ලොව පුරා ජනාදරයට පත් රොබට් ඩවුනි ජූනියර් ද ඔපන්හෙයිමර් වෙනුවෙන් තම දායකත්වය ලබා දෙනවා. ඒජ් ඔෆ් ටුමොරෝ (Edge OF Tomorrow), සිකාරියෝ (Sikario) යන චිත්‍රපටවල රඟ දැක්වූ එමිලි බ්ලන්ට්, කිටී ඔපන්හෙයිමර් චරිතය රඟ දැක්වූවා. මීට අමතර ව ජැක් ක්වෙයිඩ්, මැඩ් ඩේමන්, ෆ්ලෝරන්ස් පග් සහ ඔස්කාර් සම්මානලාභී රමේ මලෙක් ද ඔපන්හෙයිමර් වෙනුවෙන් රංගන දායකත්වය සැපයීම සිදු කළා.

පීකි බ්ලයින්ඩර්ස් ඔස්සේ ලොවපුරා ජනප්‍රිය වූ කිලියන් මර්පි ප්‍රධාන චරිතයට පණපොවනවා – www.slashfilm.com

ඉහත ප්‍රධාන චරිතවලට අමතර ව චිත්‍රපටය පුරා දැක ගැනීමට හැකි සාමාන්‍ය වැසියන්, හමුදා සොල්දාදුවන් වැනි කුඩා චරිත රඟදැක්වීමට සැන්ටා ෆේ සහ ලොස් අල්මෝස් හීදි තිර පරීක්ෂණ කිහිපයක් ම පැවැත්වුණා. පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් පුරාවට දිවෙන ඔපන්හෙයිමර් චිත්‍රපටය එළඹෙන ජූලි මස 21 වනදා තිරගත වනතෙක් බොහෝ සිනමා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඔපන්හෙයිමර් සුවිශේෂී ආදායම් වාර්තා තබමින් සම්මාන ලැයිස්තුවල නිර්දේශ නාමයන්ට පවා ඇතුළත් වනු ඇතැයි බොහෝ සිනමා විචාරකයන් දැනටමත් අනාවැකි පළ කිරීම ද විශේෂත්වයක්.

කවරයේ ඡායාරූපය - ඔපන්හෙයිමර් සිනමාපටයේ දර්ශනයක් - www.universalpictures.com
මූලාශ්‍ර :
www.imdb.com
www.universalpictures.com
www.collider.com
www.rottentomatos.com

Related Articles