Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චානක යළි පණ දුන් කැමිලස්ගේ ගජමෑන්

‘ගජමෑන්’ කියූ සැණින් නිරායාසයෙන් ම අපේ මතකයට නැඟෙන්නේ කැමිලස් පෙරේරාගේ විකට කාටූන් පිටු. ඒ පිටු පුරා ම ඒ කාලේ ගියේ අපි සිනා පෙළපාලි. පරම්පරා භේදයකින් තොර ව විඳින්න පුළුවන්, කාට කාටත් සමීප, ඇහැට මනසට සනීප එවන් නිර්මාණ අද වෙද්දී අල්පයි කියන්නට සිදු ව තිබීම අභාග්‍යයක්. 

එවන් නිර්මාණ දියුණු තාක්ෂණික ලක්ෂණ ද කැටුව වෙනත් වටයකින් ප්‍රතිනිර්මාණය වීම අපේ වාසනාවක්. අපිට ඒ වාසනාව උදාකරන්න, කාටූන් පිටුවේ පළ වුණු ‘ගජමෑන්’, ත්‍රිමානරූපී ව සිනමාවට නඟන්න චානක පෙරේරා ප්‍රමුඛ කණ්ඩායම දැරූ වෙහෙස සුළුපටු නෑ. ඒ නිසයි ගජමෑන් 3D වුණු හැටි ගැන ලියන්න Roar සිංහල අපි හිතුවේ.

ගජමෑන් කාටූන් චරිතයේ නිර්මාතෘ කැමිලස් පෙරේරා – දයාන් විතාරණ

3D Movies කිව්ව ම, අපට ගොඩක් වෙලාවට මතකෙට එන්නෙ මේ දූපතෙන් එහා දියුණු රටක නිර්මාණය කෙරුණු සිනමා කෘති. ඊට හේතුව එක පැත්තකින් අපේ රටේ තියෙන ඊට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සීමිත වීම. අනෙක් පැත්තෙන්, ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම හා ඉන් සන්නද්ධ පිරිස් පිළිබඳ ගැටලු. එකී මෙකී නොකී මේ සියලු හේතූ සාධක, අභියෝග ජය ගනිමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරුණු ප්‍රථම 3D සිනමාපටය ‘ගජමෑන්’ පසුගිය දෙසැම්බරයේ එළිදැක්වුණා. 

‘ගජමෑන්’ 3D වුණු හැටි

Roar සිංහල අපි, එහි අධ්‍යක්ෂ චානක පෙරේරා සමඟ ‘ගජමෑන්’ 3D වුණු හැටි පිළිබඳ සිදු කළ සංවාදය ඇසුරෙන් අපි ඉදිරියට යමු.

අපි කවුරුත් අපේ ළමා කා⁣ලයේ දී ඉතා ම ප්‍රිය කරන වැඩක් තමයි කාටූන් නැරඹීම, එහෙමත් නැත්නම් 3D Films බලන එක. ඉන් පස්සෙ ඒව ඇතුළේ තිබුණු ෆැන්ටසිමය චරිත, ගහ කොළ, සතා සිවුපාවා ආදී නොයෙකුත් කාරණා අපි හිතනවටත් වඩා අපේ ජීවිත ඇතුළේ පැළපදියම් වෙනවා. අපි ඒ දේවල් එක්ක සැලසුම් සහගත ව නොවුණත් තදින් බැ⁣ඳෙනවා. ඒ ඇසුරෙන් සිහින මැවෙනවා. ඒ සිහින යම් කාලෙක දී ඉලක්ක විදියට අපිට සම්මුඛ වෙනවා. අප සමඟ සිදු කළ චානකගේ කතාබහ ඇතුළෙත් අපට එවන් තැන් හමු වුණා.

ගජමෑන් සිනමාපටයේ අධ්‍යක්ෂ චානක පෙරේරා එහි රංගන ශිල්පියකු සමඟ- facebook.com/GajamanMovie

“පොඩි කාලේ ඉඳන් ම Shrek වගේ නිර්මාණ බලලා තමයි මට මේ උනන්දුව ඇති වුණේ. සාමාන්‍ය පෙළත් උසස් පෙළත් අතර ගෙවුණු කාලෙ ම මට ඕන වුණා ලංකාවේ පළවෙනි 3D Film එක කරන්න.එබිසාඩ් නදීම් කියන මගේ යාළුවා තමයි ඒ කාලෙ දී මට කිව්වෙ අපි  3D Film එකක් විදියට ‘ගජමෑන්’ කරමු කියලා. එතනින් තමයි අපි මේ වැඩේට බැස්සෙ.”

වැඩේ කරද්දී නම් ආවේ සුන්දර අභියෝග

එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අත නොතිබූ වැඩක් කිරීම ලේසිපාසු කටයුත්තක් නෙවෙ යි. විශේෂයෙන් ම, මේ වගේ කාලෙක ඒ වගේ වැඩකට බැස්සා ම එන කම්කටොළු, අභියෝග පවා සුළුපටු නැහැ. එවන් අත්දැකීම් සමුදායක් ‘ගජමෑන්’ 3D කරළියට ගෙන එද්දී ඔවුන්ටත් අත්විඳින්නට සිදු ⁣ව තිබෙන්නට ඇති කියා අපට සිතුණා. ඒ ගැන විමසුවා ම චානකගෙන් ලැබුණේ හරි කෙටි, ඒත් ගැඹුරු පිළිතුරක්.

“වැඩේ කරද්දී නම් ආවේ සුන්දර අභියෝග… ඒත් වැඩේ පෙන්නන්න යද්දී ආවේ අසුන්දර අභියෝග..!”

ගජමෑන් සිනමාපටයේ ප්‍රචාරණ පුවරුවක් – facebook.com/GajamanMovie

සමහර වැඩ තියෙනවා, ඒවා කරන්න ඕන තනියෙම. තවත් සමහර වැඩ තියෙනවා, ඒවා කරන්න ඕන කට්ටියක් එක්ක. කට්ටිය එක්ක හවුලේ කරන වැඩ බහුතරයක් ගැන අපට ⁣ඇස, කන වැකෙන්නෙ සතුටුදායක ප්‍රතිචාර නෙවෙ යි. ඒත් මේ වගේ වැඩක් පිරිසකගේ හයියක් නැතු ව කොහෙත් ම කරන්න බැරිය කියන එක  අපට අකැමැත්තෙන් හරි එකඟ වෙන්න සිද්ධ වෙන කාරණයක්. 

මං සම්බන්ධ කරගත්තෙ මට වඩා දක්ෂ කට්ටිය

අපි මීළඟට චානකගෙන් ඇහුවේ, මේ වැඩේට එකකු වුණු කට්ටිය ගැන යි.

“මේ වැඩේට මං මුල ඉඳන් ම සම්බන්ධ කරගත්තෙ හැම පැත්තෙන් ම මට වඩා දක්ෂ කට්ටිය. මට වඩා දක්ෂ මිනිස්සු ටිකක් මේ වැඩේට දාගත්තට පස්සෙ එයාලගෙන් ලැබුණු Contribution එක කොයි වගේ ද කියලා බලාගන්නනං මං හිතන්නෙ, ෆිල්ම් එක බලන්න ම වෙනවා!”

ගජමෑන් කණ්ඩායම – facebook.com/GajamanMovie

ඕනෑ ම නිර්මාණාත්මක වැඩක් ඇතුළේ අපට නොසෑහෙන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා. සමහර තැන්වල වැටි වැටී නැගිටිමින් ඒ ගමන යන්න වෙනවා. සමහරුන් අත දෙනවා. සමහරු වළ කපනවා. තවත් සමහරු ඈතින් ඉඳන් වැඩේ නොකෙරෙනතුරු බලා ඉන්නවා. ඕනෑ ම නිර්මාණයක් ප්‍රසූත වෙන්නෙ ඒ වගේ දහදුක් විඳලා ම තමයි. ඉතින් අපට වුවමනා වුණා ‘ගජමෑන්’ සැලසුම් කෙරුණු විදිහ දැනගන්න. 

ඒකට චානකගෙන් ලැබුණේ හරි අපූරු පිළිතුරක්.

සැලසුම් කරන්න පටන් අරන් දැනට අවුරුදු ම 12ක්

“මේක සැලසුම් කරන්න පටන් අරන් දැනට අවුරුදු ම 12ක් විතර වෙනවා. කෙටියෙන්, සරල ව කිව්වොත්; මං ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න කාලේ කරපු Short Film එකක් කැමිලස් අංකල්ට පෙන්නලා, Characterized කරගෙන, ෆේල් වෙවී ඉගෙන ගනිමින් ඉතින් Plan කරලා වැඩේ කොහොම හරි කළා.”

‘ගජමෑන්’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටයක් – www.youtube.com/@gajamanmovie

අපි දැන් ඉන්නෙ අපේ මේ කතාබහේ අවසන් භාගයේ. අවුරුදු 12ක් වගේ දීර්ඝ කාලයක් ඇයි මේ වගේ වැඩකට ගත්තෙ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒ ගැන චානක කියන මේ කතාව අහන්න. එතන මේ ප්‍රශ්නෙට උත්තරයක් තියේ වි.

“අවුරුදු 12ක් කියන්නෙ අපේ රටේ අයට ලොකු කාලයක් වුණාට, Hollywoodවලට UK Filmsවලට වගේ නම් ඒක ⁣හොඳ නිර්මාණයකට ගත වෙන සාමාන්‍ය කාලයක්. උදාහරණයක් විදියට මේ ළඟ දී ආපු Avatar වගේ නිර්මාණයක් කරන්න ජේම්ස් කැමරන් අවුරුදු 12ක් ගත්තා US ඩොලර් මිලියන 450ක් වගේ ලොකු බජට් එකකුත් තියාගෙන. Avatar 1ට පවා අවුරුදු 11කට ආසන්න කාලයක් ගත්තා. ඒකටත් ගියා US ඩොලර් මිලියන 250ක් විතර.

නිර්මාණය ඉල්ලන කාලය අරන් වැඩේ හොඳට ම කරන්න ඕනෑ

ඒ වගේ හොඳට වැඩක් කරනවා නම් නිර්මාණය ඉල්ලන කාලය අරන් වැඩේ හොඳට ම කරන්න ඕනෑ, බාගෙට කරන්නෙ නැතුව. අපි මේකට තෝරගත්තු බොහෝ පිරිසක් හිටියා දක්ෂ ළමයින් වුණාට එක්ස්පීරියන්ස් එක සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු තිබුණු. එයාලට මේ නිර්මාණයට එකතු වෙලා ඒක ඇතුළෙන් ම තමයි අදාළ එක්ස්පීරියන්ස් එකත් ගන්න සිද්ධ වුණේ. ගජමෑන් චිත්‍රපටය හදල ඉවර කරන්න මේ වගේ කාලයක් යන්න ඒකත් එක හේතුවක් වුණා එක පැත්තකින්. කොහොමත් ඇනිමේෂන් ෆිල්ම් එකක් ඉවර කරන්න මේ වගේ සැලකිය යුතු කාලයක් යනවා…”

‘ගජමෑන්’ 3D චිත්‍රපටයේ චරිත – facebook.com/GajamanMovie

මේ විදියට තමයි ශ්‍රී ලංකාවේ පළමුවෙනි Proper, Real 3D effect එක තියෙන, ගජමෑන් 3D Animated Movie එක හැදුණේ. 

මේ නිර්මාණයට චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන්, චූටි මල්ලි සහ පොඩි මල්ලි, වස්ති සමඟ Studio 101 නිෂ්පාදන දායකත්වයෙන්, අනුෂ්ක උදානගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා. 

‘ගජමෑන්’ 3D චිත්‍රපටයේ සම්පත්දායකයෝ – facebook.com/GajamanMovie

සුනිල් පෙරේරා, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්, ප්‍රදීප් රාමවික්‍රම, නිපුනි ශාරදා, පබෝධා සංදීපනී, යුරේනි නොෂිකා, අනුරාධ සිගේරා, ඩිලාන් සේනානායක ඇතුළු හඬකැවීම් ශිල්පීන්ගේ දායකත්වයෙන් වගේ ම දසුන් පතිරණ, කසුනි කාවින්දි, ප්‍රදීප් රාමවික්‍රම, නිපුනි ශාරදා, චාමර ප්‍රියදර්ශන, ඉරේෂා ලක්මාලි සහ ටිම්රාන් යන අයගේ රංගනයෙන් තමයි “ගජමෑන්” හැඩ වුණේ. 

කැමරා, ආලෝකකරණ, සංස්කරණ ඇතුළු සියලු තාක්ෂණික ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් සියලු දෙනාත් ගජමෑන් අප අතරට ගෙන එන්නට අමිල දායකත්වයක් සැපයූවා.

ගජමෑන් – facebook.com/GajamanMovie

මූලාශ්‍ර:
facebook.com/GajamanMovie

Related Articles