Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනවාරියේ දී නිකුත් වන බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්

ජේම්ස් කැමරන් ගේ අධ්‍යක්ෂණයක් වූ “Avatar: The Way of Water” චිත්‍රපටය හේතුවෙන් සීතල දෙසැම්බරය ලෝක සිනමාවට ඉතා උණුසුම් මාසයක් බවට පත් වුණා. “Avatar” දෙවැනි දිගහැරුමේ තිරගත කිරීම් අරඹා දින කිහිපයකට පසු ක්‍රිස්ටෝෆර් නෝලන් ගේ නවත ම නිර්මාණය වන “Oppenheimer” හි පූර්ව ප්‍රචාරක පටයත් නිකුත් වුණා. ඒ අනුව 2022 වර්ෂය සිනමා අරුමයකින් සමුගැනීමට සූදානම් වන අතර, 2023 වර්ෂය නැවුම් සිනමා බලාපොරොත්තු රාශියකින් පෙළ ගැස්වෙමින් තිබෙනවා.

නව වසරේ පළමු මාසයත් සිනමාවට අතිශයින් කාර්ය බහුල යි. විශේෂයෙන් ම එළඹෙන ජනවාරිය බොලිවුඩ් සිනමාවට අතිශයින් තීරණාත්මක කාලයක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

ඉතින්, ජනවාරියේ වඩාත් බලාපොරොත්තු සහගත චිත්‍රපට මොනවාද?

මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

1. MΞGAN

ත්‍රාසජනක සහ අද්භූත කතා මාතෘකා රැගත් චිත්‍රපට සැලකීමේ දී ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යනු ඉහළින් ම කතා බහට ලක්වන නිර්මාණකරුවන් දෙදෙනෙක්. බොහෝවිට ජේසම් බ්ලම් නිෂ්පාදනයෙන් එවැනි චිත්‍රපට සඳහා දායක වන අතර, ජේම්ස් වෑන් අධ්‍යක්ෂකවරයෙක් සහ රචකයෙක් ලෙස දායක වෙනවා. ඔවුන් දෙදෙනා ගේ සුසංයෝගයකින් එළිදැක්වෙන නිර්මාණයක් තිබේ නම් එය අවධානයට ලක් වෙන්නේ නිරායාසයෙන්ම යි.

” MΞGAN” යනු ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යන දෙදෙනා ම නිෂ්පාදනයෙන් සම්බන්ධ වන විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක කාණ්ඩයේ චිත්‍රපටයක්. “MΞGAN” හි කතාව රචනය කිරීම සඳහා ජේම්ස් වෑන් සහ අකිලා කූපර් එක් ව කටයුතු කර තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෙරාඩ් ජොන්ස්ටන්.

ජේම්ස් වෑන් සහ ජේසන් බ්ලම් සුසංයෝගයෙන් එන MΞGAN – www.universalpictures.com

චිත්‍රපටය පාදක වන්නේ “Model 3 Generative Android” හෝ කෙටියෙන් “MΞGAN” ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධිය වටා යි. එය සජීවි බෝනික්කකු පරිද්දෙන් නිර්මාණය කර තිබෙනවා. “MΞGAN” සැලසුම් කර තිබෙන්නේ පවුලක දරුවන් සහ මාපියන්ට ඉතා සමීප සහ දරුවන් රැක බලා ගන්නා තැනැත්තියකු ලෙසට යි. මේ අතර අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින ජෙමා නම් රොබෝ විද්‍යාඥවරියට “MΞGAN” කෘත්‍රිම බුද්ධියේ සහාය පැතීමට සිදු වෙනවා.

ඉතින්, ජෙමා බලාපොරොත්තු වන සේවය කෘත්‍රිම බුද්ධියෙන් ලැබේවි ද?

නව තාක්ෂණයත් සමඟ පැමිණිය හැකි අනපේක්ෂිත ගැටලුවක් සාකච්ඡාවට බඳුන් කරන “MΞGAN”, ජනවාරි 06 සහ 13 වශයෙන් අදියර දෙකක් ඔස්සේ ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට නියමිත යි.

MΞGAN පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න. – www.youtube.com

2. Missing

කලින් කලට ලෝක සිනමාවේ අපූරු අත්හදා බැලීම් සිදු වෙනවා. ඒ අත්හදා බැලීම් අතිශයින් සාර්ථක වන අවස්ථාත් තිබෙනවා. මුළු ධාවන කාලය පුරා ම පරිගණක තිරයක් මත දිග හැරෙන සිදුවීම් සමුදායක් චිත්‍රපටයක් මෙන් ප්‍රදර්ශනය කිරීමත් එවැන්නක්. මෙවැනි චිත්‍රපට හඳුන්වන්නේ “Screenlife” හෝ “computer screen film” යනුවෙන්. Screenlife චිත්‍රපටි රැසක් ලෝක සිනමාවට එකතු වී තිබෙනවා. ඒ අතරින් Unfriended චිත්‍රපට ද්විත්වය, Searching චිත්‍රපටය, විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තා.

“Missing” නිල ප්‍රචාරක දැන්වීම – www.kinoafisha.info

“Missing” මෙම නිර්මාණ රටාවේ නවත ම චිත්‍රපටය වන අතර, එය “Searching” හි කතා ආකෘතිය අනුව ගොඩ නඟා තිබෙනවා. “Searching” චිත්‍රපටය මෙන් ම “Missing” චිත්‍රපටයත් පුද්ගල අතුරුදහන් වීමක් මත පාදක වෙනවා.

චිත්‍රපටයේ මුළු ධාවන කාලය පුරා පරිගණක තිරයක සිදුවීම් පමණක් දර්ශනය වීම කෙනකුට ඒකාකාරී අත්දැකීමක් වේයැ යි සිතෙන්නට පුළුවන්. එහෙත්, ත්‍රාසය, කුතුහලය වෙනස් ම මානයකින් සිතට ඇතුළු කරන මෙවැනි චිත්‍රපටවල තිර රචනය ඉතා ශක්තිමත්.

 “Missing”, එළඹෙන ජනවාරි 20 වැනිදා සිට ප්‍රදර්ශනය වනු ඇති.

“Missing” පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.- www.youtube.com

3. Infinity Pool

පූර්ව ප්‍රචාරක පටය අනුව “Infinity Pool” යනු වෙනස් ම අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ළඟා කරවීමට සමත් චිත්‍රපටයක්. කතාව සම්බන්ධයෙන් එතරම් විස්තරයක් නොමැති වුවත්, බොහෝවිට “Infinity Pool” විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් ත්‍රාසජනක චිත්‍රපටයක් වීමට ඉඩ තිබෙනවා.

“Infinity Pool” ප්‍රචාරක දැන්වීමක් – www.allocine.fr

ජේම්ස් සහ එම් ෆොස්ටර්, ඉතා ධනවත් යුවළක් වන අතර, ඔවුන් දුරස්ථ දූපතක පැමිණෙන්නේ නිවාඩුවක් ගත කිරීම සඳහා යි. එහි දී ඔවුන් ඉතා ඛේදජනක සිදුවීමකට මුහුණ පාමින් දුෂ්කරතා රැසකට මැදි වෙනවා. ඉන් මිදීමට නම් ඔවුන් ඉතා අසාමාන්‍ය එකඟතාවයට පැමිණිය යුතු යි!

“Infinity Pool” චිත්‍රපටය 2023 ජනවාරි 23 වැනිදා සිට තිරගත කිරීම් අරඹනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

4. The Son

පවුල යනු මිනිසෙක් සතු වටිනාම දෙයක්. ඒ ගැන විවාදයක් නැහැ. මාපියන්, දරුවන් සහ සහෝදර සහෝදරියන් අතර පවතින සබඳතාව හෝ එවැනි සබඳකමක් නොමැති වීම යන කාරණා දෙක ම අපගේ ජීවිතයට සැලකිය යුතු බලපෑමක් එල්ල කිරීමට සමත්.

ශතවර්ෂ ගණනාවක් පුරා පවුල පිළිබඳ සංකල්පය සහ එහි ගතිකත්වය බොහෝ විශිෂ්ට කලා කෘතිවලට හරය ලබා දී තිබෙනවා. ඇන්තනී හොප්කින්ස් ගේ ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ඔපවත් වූ “The Father” චිත්‍රපටයත් ඉහත කී මානුෂීය සබඳතා ඉතා ගැඹුරට සාකච්ඡා කළ සිනමා නිර්මාණයක්.

“The Father” චිත්‍රපටයේ එන දර්ශනයක් – www.bbc.com

ඇන්තනී හොප්කින්ස් වෙනුවෙන් ම වාගේ නිර්මාණය වූ “The Father”, ෆ්ලෝරියන් සෙලර් ගේ අධ්‍යක්ෂණයක්. ඔහු දරුවන් සහ මාපිය සබඳතා තුළ ඇති සියුම්, සංකීර්ණ කරුණු ඉතා හොඳින් වටහා ගන්නා නිර්මාණකරුවෙක් වන අතර, දක්ෂ නාට්‍ය රචකයෙක් සහ තිර රචකයෙක් ලෙස නමක් දිනා ගත් තැනැත්තෙක්.

පසුව එම නිර්මාණ සිනමාව කරා ගෙන ඒමට ෆ්ලෝරියන් සමත් වුණා. “The Father” චිත්‍රපටය සඳහා පාදක වන්නේත් ඔහු නාට්‍යයක් වෙනුවෙන් කළ රචනයක්.

The Son නිල ප්‍රචාරක දැන්වීම – www.filmaffinity.com

මානසික සෞඛ්‍ය ගැටලු, හොඳින් ක්‍රියාත්මක වන මධ්‍යම පාන්තික පවුල්වලට විනාශය ගෙන දෙන අයුරු පැහැදිලි කරදෙන නිර්මාණ ත්‍රිත්වයක එක් කොටසක් ලෙස “The Father” හැඳින්විය හැකි යි. එහි අනෙකුත් කොටස් දෙක “The Mother” සහ “The Son” ලෙස නම් කර තිබෙනවා.

නිර්මාණ ත්‍රිත්වයෙන් දෙවැනියට සිනමාවට පැමිණෙන නිර්මාණය වන්නේ “The Son”. අපි කවුරුත් ආදරය කරන “වුල්වරීන්” හෙවත්, හියු ජැක්මන් මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වනවා. ජනවාරි 20 වැනිදා සිට පුළුල් පරාසයක ප්‍රේක්ෂක පිරිසක් උදෙසා The Son චිත්‍රපටය තිරගත වනු ඇති.

The Son පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

5. A man called Otto

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨත ම රංගන ශිල්පියෙක් වන ටොම් හැන්ක්ස්, 2023 වර්ෂාරම්භයේදී ම ප්‍රේක්ෂකයන්ට අපූරු සිනමා අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටිනවා. එම නිර්මාණය නම් කර ඇත්තේ “A Man Called Otto” යනුවෙන්.

චිත්‍රපටය “A Man Called Ove” නමැති කෘතිය මත පදනම් වන අතර, එය ස්වීඩන් ජාතිකයෙක් වන ෆෙඩ්‍රික් බැක්මන් රචනා කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ පසු ආදායම් වාර්තා තබමින් ෆෙඩ්‍රික් ගේ කෘතිය අලෙවි වූ බැවින්, විශාල රසික ආකර්ෂණයක් චිත්‍රපටය වටාත් ගොඩනැඟී තිබෙනවා. ටොම් හැන්ක්ස් ගේ රංගනය හරහා එහි අගය තවදුරටත් වැඩිවනු ඇති.

A Man Called Otto චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

ඔටෝ ඇන්ඩර්සන් යනු ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටින බිරිය අහිමි පුද්ගලයෙක්. ජීවිතයේ අරමුණක් නොදකින, වහා කිපෙනසුලු චරිතයක් වූ ඔටෝ ගේ ඒකාකාරී ජීවන රටාව හදිසියේ ම වෙනස් වෙනවා. ඒ අසල්වැසි නිවසකට පැමිණෙන තරුණ පවුලක් නිසා යි. ඉන්පසු ඔටෝ ගේ ජීවිතයට අලුත් අභියෝග රැසක් පැමිණෙනවා. ජීවිතය වෙනස් කෝණයකින් දකින ලෙස ඔටෝට බල කෙරෙන ඒ අභියෝග මොනවාද?

ආදරය, වියෝව සහ ජීවිතය පිළිබඳව හද උණුසුම් කරවන කතාවක සිට හාස්‍යජනක අන්තයක් දක්වා දිවෙන “A Man Called Otto”, ජනවාරි 13 වැනිදා සිට තිරගත කිරීමට නියමිත යි.

A Man Called Otto චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

6. Shotgun wedding

ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් ලෙස එක හා සමාන සාර්ථකත්වයක් ලැබූ ජෙනිෆර් ලෝපේස්, ප්‍රහසන චිත්‍රපටයක් හරහා නැවත දැක බලා ගැනීමේ අවස්‍ථාවක් එළඹෙන ජනවාරියේ දී උදා වෙනවා.

චිත්‍රපටය නම් කර ඇත්තේ “Shotgun Wedding” යනුවෙන්. ප්‍රහසනය පමණක් නොව රෝමාන්තික සහ ක්‍රියාදාම ලක්ෂණත් “Shotgun Wedding” හි දක්නට ලැබෙනවා.

Shotgun Wedding චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – maxblizz.com

ඩාසි (ජෙනිෆර් ලෝපේස්) සහ ටොම් (ජෝෂ් ඩුමල්) යනු ආදරවන්තයන් යුවළක්. ඔවුන් සිය විවාහ මංගලෝත්සවය සඳහා සොබා සුන්දරත්වයෙන් අනූන ස්ථානයක් තෝරාගත්තත්, මොහොතකින් සියල්ල ම වෙනස් වෙනවා. යුද පිටියක් බවට පත් වූ සිය විවාහ මංගල්‍යයේ අවසානය ඩාසි සහ ටොම් කෙසේ විසඳා ගනීවි ද?

මේ සියල්ලට ම පිළිතුරු සපයමින් “Shotgun Wedding”, ලබන ජනවාරි 27 වැනිදා සිට  “Prime Video” ඔස්සේ ස්ට්‍රීමිං වනු ඇති.

Shotgun Wedding පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

7. Pathaan

දෙසැම්බර් මාසයේ වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටය වීමේ භාග්‍යය Avatar: The way of water වෙත ලැබුණු බවක් පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවා මෙම නිර්මාණය සිනමා ශාලාවකින් ම රසවිඳිමේ උනන්දුව ප්‍රේක්ෂකයන් අතර තිබූ නමුත්, බොහෝ දෙනෙක් 3D තාක්ෂණයෙන් Avatar හි දෙවැනි දිගහැරුම ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ යුතු බව අවධාරණය කර තිබුණා. දැන් ගතවන්නේ Avatar චිත්‍රපටය නරඹා ලබාගත් අත්දැකීම් බෙදාහදා ගන්නා කාලය යි.

ජනවාරියේ කුමක් සිදු වේවි ද?

වසර හතරක නිහැඬියාව බිඳ දැමීමට ෂාරුක් ඛාන් සූදානම් – www.hindustantimes.com

නිසැකව ම එළඹෙන ජනවාරි මාසය ෂාරුක් ඛාන් ගේ මාසය වනු ඇති. වසර හතරකට පසු ඔහු ප්‍රධාන නළුවා ලෙස දායක වන “Pathaan” චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු ජනවාරි 25 වැනිදා සිට ඇරඹීම ඊට හේතුව යි.

තරු ගුණය ඉහළින් ම පවතින රංගන ශිල්පියෙක් ලෙස වසර හතරක නිහැඬියාව අතිශයින් දිගු කාලයක්යැ යි පැවසීම අතිශයෝක්තියක් නොවෙ යි. අසාර්ථක නිර්මාණ කිහිපයකින් පසු එක් පියවරක් පසුපසට තැබීමට තීරණය කළ ෂාරුක්, නව නිර්මාණ කිහිපයකින් නැවතත් ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට නියමිත යි.

“Pathaan” චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක බව බොලිවුඩයේ අනාගතයට පවා බලපෑම් ඇති කරනු ඇති – www.pinterest.com

ජනවාරි මාසයේ නිකුත් වන චිත්‍රපට අතුරින් වැඩි ම අවධානය දිනාගත් චිත්‍රපටයක් ලෙස “Pathaan” ඉදිරියෙන් ම සිටිනවා. ඒ සඳහා ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බව පෙනී යනවා. මූලික ම කරුණ වන්නේ ෂාරුක් ඛාන්. බොලිවුඩය වටා ඇති මිලියන ගණනක ප්‍රේක්ෂක පදනම එකවර ආකර්ෂණය කර ගැනීමේ විශිෂ්ට හැකියාවක් ෂාරුක් ඛාන් සතු යි.

බොලිවුඩය මුහුණ දෙමින් සිටින අර්බුදය දෙවැනි කාරණය ලෙස සැලකිය හැකි යි. වසර කිහිපයක පටන් බොලිවුඩ් නිර්මාණ දිගින් දිගට ම අසාර්ථක වූ අතර, ප්‍රාදේශීය වශයෙන් පැවති ඉන්දීය සිනමා කර්මාන්ත බොලිවුඩය යටපත් කරමින් විශාල ප්‍රගතියක් ලැබුවා.

බොලිවුඩයේ අනෙකුත් පතාකයන් වූ අමීර් ඛාන්, සල්මන් ඛාන්, ආක්ෂේ කුමාර්, අජේ දේව්ගන් වැනි රංගන ශිල්පීන්ට පවා මේ අසාර්ථකත්වය නවතා ගැනීමට හැකි වුණේ නැහැ. දැන් ෂාරුක් ඛාන් ගේ අවස්ථාව යි. ඒ අනුව “Pathaan” චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක බව බොලිවුඩයේ අනාගතයට පවා බලපෑම් ඇති කරනු ඇති.

Pathaan පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

කවරයේ ඡායාරූපය: ජනවාරි මාස‍යේ සිනමාව බොහෝ දුරට ෂාරුක් ඛාන් අතික්‍රමණය කරාවි - www.timesnownews.com
මූලාශ්‍ර:
Loudandclearreviews.com
gamerant.com
Movieweb.com
Collider.com
www.movieinsider.com
www.amancalledotto.movie
www.sonypictures.com

Related Articles