Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙසැම්බරයේ දී තිරගත වන හොලිවුඩ් නිර්මාණ හතක්

මෙම ලිපියෙන් නොවැම්බර් මාසය තුළ නිකුත් වීමට නියමිත වඩාත් බලාපො‍රොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක තොරතුරු පසුගිය ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවා.

එවන් බලාපොරොත්තු සහගත චිත්‍රපට රැසක් දෙසැම්බර් මාසයේත් නිකුත් වීමට නියමිත යි. ඉන් ඇතැම් නිර්මාණ සෘජු ව සිනමාහල්වලට නිකුත් වන අතර, කිහිපයක් “ස්ට්‍රීමිං සේවා” ඔස්සේ එළි දකින්නට නියමිත යි. මෙම ලිපියෙන් දෙසැම්බර් මාසයේ නිකුත් වීමට නියමිත වඩාත් බලාපො‍රොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

1. Avatar: The Way of Water

වසරේ විශාලත ම සිනමා බලාපොරොත්තු අතරින් ඉදිරියෙන් ම තිබෙන නිර්මාණයක් ලෙස “Avatar: The Way of Water” හැඳින්විය හැකි යි. Avatar චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම ප්‍රේක්ෂකයා වෙත පැමිණෙන්නේ වසර 13කට පසුව වීම විශේෂත්වයක්. එතරම් කාලයක් ගත වුව ද Avatar චිත්‍රපටයට තිබෙන පිළිගැනීම කිසිසේත් ම අඩු වී නැහැ.

කාලය ගතවත් ම එය ලෝක සිනමාවේ පුරාවෘත්තයක් බඳු නිර්මාණයක් බවට පත් වූ අතර, ලෝකයේ වැඩි ම ආදායමක් ලැබූ (උද්ධමනයට අනුව සකස් නොකළ විට) චිත්‍රපටය ද වනවා.

සුපුරුදු පරිදි “Avatar: The Way of Water”, ජේම්ස් කැමරන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී ඇති අතර, චිත්‍රපට මාලාවේ තවත් අදියර කිහිපයක් 2026 දක්වා හෝ 2028 දක්වා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසෙනවා. මේ චිත්‍රපට මාලාවේ අඛණ්ඩතාව රඳා පවතින්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත යි. දැනට තෙවැනි අදියර දක්වා චිත්‍රපට මාලාවේ අනාගතය ස්ථිර ව පවතීවි.

එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා “Avatar: The Way of Water”, එක්සත් ජනපදයේ තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා. ඊට සමගාමී ව ලෝකය පුරා චිත්‍රපටය බෙදා හැරෙනු ඇති. දෙවැනි චිත්‍රපටයේ කතාව සම්බන්ධයෙන් යම් යම් වාර්තා පළ වුණත්, ඒ කිසිදු දෙයක් මෙතැන සඳහන් නොකිරීමට අප තීරණය කළේ “ස්පොයිලර්ස්” පිළිබඳ ඔබගේ ඇති අවධානයට ගරු කරමින්.

Avatar: The Way of Water – පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – – web-stories.ucpma.org

2. Emancipation

මෙවර හොඳ ම නළුවාට හිමි ඇකඩමි සම්මානය ලබා ගත්තේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන නළුවෙක්. ඒ තමයි විල් ස්මිත්, නමුත්, විල් ස්මිත් ගේ සිනමා දිවියේ විශිෂ්ටත ම මොහොත ඉමහත් ආන්දෝලනයකට මඟ පෑදුවා. ඒ ක්‍රිස් රොක්ට එල්ල කළ කම්මුල් පහර නිසා යි. සිදුවීමෙන් පසු විල් ස්මිත් සමාව ගත් අතර, ඇකඩමි සම්මාන උළෙල සහ ඇකඩමියෙන් සංවිධානය කරන ඕනෑම වැඩසටහනකට සහභාගී වීමත් විල් ස්මිත්ට තහනම් කෙරුණා. එම තහනම අවුරුදු දහයක් පුරාවට පවතිනු ඇති.

ආන්දෝලනාත්මක සිදුවීමෙන් විල් ස්මිත් ලැබූ ප්‍රතිවිපාක එතනින් ද නැවතුණේ නැහැ. ඔහු දායක වීමට නියමිත ව තිබූ නිර්මාණ කිහිපයක් අවලංගු කිරීම හෝ කල් දැමීමට ඇතැම් ආයතන තීරණය කළා. තිරගත කිරීමට සැලසුම් කර තිබූ නිර්මාණත් ප්‍රමාද වුණා.

සැලකිය යුතු කාලයක් විල් ස්මිත් සිනමාවෙන් ඈත් කිරීමට තරම් මේ ප්‍රතිවිපාක දරුණු ලෙස පෙනෙන්න තිබුණත්, “Emancipation” චිත්‍රපටය හරහා විල් ස්මිත්ට ඉතා හොඳ පුනරාරම්භයක් ලැබේවියැ යි සිතන්න පුළුවන්. ඔහු රඟ දක්වන චරිතයේ ඇති සංකීර්ණ ස්වභාවය ඊට හේතුව යි.

විමුක්තිය සොයා පලා යන “පීටර්” නමැති වහල් සේවකයා මත “Emancipation” හි කතාව කේන්ද්‍රගත වන අතර, එය සත්‍ය සිදුවීමක් බවත් පැවසෙනවා. චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 02 වැනිදා සීමිත සිනමාහල් ගණනක් සඳහා නිකුත් වනු ඇති. දෙසැම්බර් 09 වැනිදා Apple TV+ ඔස්සේ වඩාත් පුළුල් ප්‍රේක්ෂක පරාසයක් උදෙසා චිත්‍රපටය බෙදා හැරීමටත් සැලසුම් කර තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – – www.apple.com/tv

3. Violent Night

දෙසැම්බර් මාසයේ දී නත්තල මූලික කරගත් චිත්‍රපටි ඕනෑ තරම් නිකුත් වෙනවා. ඒවා බොහෝ දුරට පවුලේ කතා, හාස්‍යෝත්පාදන හෝ මානුෂීය බව ඉස්මතු කරන නිර්මාණ ලෙස එළි දැක්වෙනවා. එම ආකෘතියෙන් ගැලවුණු නත්තල් චිත්‍රපටියක් තමයි “Violent Night”.

චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – m.imdb.com

මෙම චිත්‍රපටය කේන්ද්‍ර වන්නේ නත්තල් සමයේ වැඩි ම අවධානයක් දිනා ගන්නා චරිතයක් වන නත්තල් සීයා වටා යි. කෙසේ නමුත්, “Violent Night” තුළින් අප බලාපොරොත්තු වන අන්දමේ නත්තල් සීයා කෙනෙක් දකින්න ලැබෙන්නේ නැහැ.

අතිශය ප්‍රචණ්ඩකාරී නත්තල් සීයකු ගේ චරිත නිරූපණයක් තමයි අපට “Violent Night” හරහා දකින්නට ලැබෙන්නේ. එලෙස ප්‍රචණ්ඩකාරී වීම සඳහා ඔහුට සාධාරණ හේතු තිබෙනවා. ඒ හේතු දැන ගැනීමට නම් දෙසැම්බර් 02 වැනිදා තෙක් ඉවසා සිටීමට ඔබට සිදු වේවි.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න -www.youtube.com/@UniversalPictures

4. The Whale

බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් කියන්නේ 90 දශකයේ සහ 2000 න් ඇරඹුණු දශකය තුළ ජනප්‍රිය නිර්මාණ රැසකට දායක වූ රංගන ශිල්පියෙක්. ඔහු ගේ “The Mummy” චිත්‍රපට මාලාව, Journey to the Center of the Earth, Inkheart වැනි චිත්‍රපට අදටත් මතකයේ රැඳුණු, යළි යළිත් නැරඹීමට පෙලඹවීමක් ඇති කරන නිර්මාණ ලෙස හඳුන්වන්නට පුළුවන්. එකල ළමා කාලය ගත කරමින් සිටි බොහෝ සිනමා රසිකයන් ගේ මතකයේ රැඳුණු චරිතයක් බවට බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් පත් වුණා.

කෙසේ නමුත්, හොලිවුඩය තුළ ඔහු ගොඩ නඟා ගෙන සිටි ප්‍රබලත්වය 2008 න් පසු ක්‍රමයෙන් දුර්වල වීම ඇරඹුණා. ඒ සමඟ ම බ්‍රෙන්ඩන් වටා තිබූ ජනප්‍රියත්වයත් වියැකී ගිය අතර, වික්‍රමාන්විත චරිත නිරූපණයට උපන් හපන්කම් පෑ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් තවදුරටත් දකින්න ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු අඩු වියදම් සිනමා නිර්මාණ හෝ රූපවාහිනී කතා මාලාවලට කොටු වූ රංගන ශිල්පියෙක් බවට පත් වුණා. බොහෝ නිර්මාණවලට බ්‍රෙන්ඩන් දායක වුණෙත් අප්‍රධාන චරිතයක් ලෙසට යි.

චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.impawards.com

මේ සඳහා කරුණු කිහිපයක් බලපෑවා.  “The Mummy” චිත්‍රපට මාලාවේ රූගත කිරීම් අතරතුර මුහුණ පෑ අනතුරු, හොලිවුඩ් ප්‍රබලයකු අතින් සිදු වූ ලිංගික අතවර සිද්ධියක් හෙළිදරව් කිරීමෙන් පසු ඇති වූ ගැටලු සහ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම්, බ්‍රෙන්ඩන් ගේ පසුබෑමට හේතු වූ බව පැවසෙනවා.

ඒ අනුව ප්‍රධාන චරිතයකින් නැවතත් හොලිවුඩයට පිවිසීම සඳහා ඔහුට 2022 තෙක් ඉවසා සිටීමට සිදු වුණා. කොතරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් ගොඩ නඟා ගත් රසික පදනම බිඳ වැටුණේ නැහැ. ඔහු ප්‍රධාන නළුවා ලෙස දායක වන “The Whale” චිත්‍රපටයට විශාල අවධානයක් ලැබුණෙත් මේ රසික පදනම නිසා යි.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com/@A24

“The Whale” හි කතාව රාත්තල් 600 ක් පමණ බරැති පුද්ගලයකු ගේ ජීවිතය මත පදනම් වෙනවා. ඉතා සංවේදී, මානුෂීය කතාවක් මෙහි අන්තර්ගත බව යි පැවසෙන්නේ.

“The Whale” හි චරිත නිරූපණය වෙනුවෙන් බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්ට දැනටමත් විචාරක ප්‍රශංසා ලැබෙමින් පවතිනවා. චිත්‍රපටය එළඹෙන දෙසැම්බර් 9 වැනිදා සිට තිරගත වනු ඇති.

5. I Wanna Dance with Somebody

චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – techplanet.today

ඔබ විට්නි හූස්ටන් ගේ රසිකයෙක් ද?

එසේ නම් ඇය ගේ ජීවිත ගමනේ නොදුටු මානයන් දැක ගැනීමට සූදානම් වෙන්න!

මෑතක සිට බටහිර සංගීතය දිග් විජය කළ ගායන ශිල්පීන් ගේ ජීවිත කතා ඇතුළත් සිනමා කෘති කිහිපයක් ම එළි දැක්වුණා. එම නිර්මාණ රැල්ලේ නවත ම දිගුව ලෙස “I Wanna Dance With Somebody” චිත්‍රපටය හැඳින්විය හැකි යි.

ෆ්‍රෙඩී ම’කරි ගේ ජීවිත කතාව රැගත් “Bohemian Rhapsody” නිර්මාණයේ තිර රචකයා ම  “I Wanna Dance With Somebody” හි තිර රචනය සිදු කරනවා. එබැවින්, චිත්‍රපටයේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවතීවියැ යි අපේක්ෂා කළ හැකි යි. දෙසැම්බර් 23 වැනිදා සිට “I Wanna Dance With Somebody” ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com/@sonypictures

6. The Pale Blue Eye

චරිතයක් වෙනුවෙන් මානසික ව සහ ශාරීරික ව දැඩි කැප කිරීමක් සිදු කරන රංගන ශිල්පීන් ගැන සැලකීමේ දී ක්‍රිස්ටියන් බේල්ට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. ඒ කැපවීම නිසා ම තමා වටා රසික පදනමක් ගොඩ නඟා ගැනීම වෙනුවෙන් අමුතු වෙහෙසක් දරන්නට බේල්ට සිදු වුණේ නැහැ.

ඔහු ගේ රසික පදනම එතරම් ම ස්වභාවික යි. ඔහු ගේ විශිෂ්ට රංග ප්‍රතිභාව නැවත වතාවක් දැක බලා ගැනීමේ අවස්ථාවක් දෙසැම්බරයේ දී එළඹෙනවා. මේ නිර්මාණය නම් කර තිබෙන්නේ “The Pale Blue Eye” යනුවෙන්.

ක්‍රිස්ටියන් බේල් රංගනයෙන් දායක වන “The Pale Blue Eye” – www.muskimagazin.rs

ගොතික් පන්නයට දිග හැරෙන අභිරහස්, ත්‍රාසජනක කතාවක් “The Pale Blue Eye” හි අන්තර්ගත වෙනවා. ලුවිස් බයාර්ඩ් නම් රචකයාගේ ඒ නමින් ම ඇති කෘතිය චිත්‍රපටය සඳහා පදනම් වන අතර, සුප්‍රසිද්ධ ලේඛක එඩ්ගා ඇලන් පෝ ගේ චරිත නිරූපණයක් ද චිත්‍රපටයට ඇතුළත් වෙනවා. එම චරිතයට පණ පොවන්නේ හැරී මෙලින්ග් විසින්.

කෙසේ නමුත්, එඩ්ගා ඇලන් පෝ මුහුණ දුන් සත්‍ය සිදුවීම් නිර්මාණයට ඇතුළත් වන බව ඉන් අදහස් වන්නේ නැහැ. ත්‍රාසජනක කතා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එඩ්ගා ඇලන් පෝ, ප්‍රබන්ධයක චරිතයක් ලෙස ඇතුළත් කරමින් ඔහු ගේ ශෛලිය සිනමාත්මකව ගවේෂණය කිරීමක් “The Pale Blue Eye” හරහා සිදු වෙනවා.

  චිත්‍රපටය දෙසැම්බර් 23 වැනිදා සීමිත සිනමාහල් ගණනක තිරගත කරන අතර, ජනවාරි 06 වැනිදා සිට “Netflix” ඔස්සේ ස්ට්‍රීමින් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – https://www.youtube.com/@Netflix

7. Puss in Boots: The Last Wish

“පූස් ඉන් බූට්ස්” යනු “Shrek” සිනමා විශ්වයට අයත් චරිතයක්. පසු කලෙක මෙම චරිතය පමණක් මූලික කර ගනිමින් ඒ නාමයෙන් ම අතුරු කතාවක් සහිත චිත්‍රපටයක් නිර්මාණය වුණා. “Shrek” චිත්‍රපට මාලාවේ තිබූ ජනප්‍රියත්වය “Puss in Boots” චිත්‍රපටයටත් ආරෝපණය වුණායැ යි සිතිය හැකි යි. දැන් එහි දෙවැනි දිගහැරුම හෙවත් “Puss in Boots: The Last Wish”, එළඹෙන දෙසැම්බර් 21 වැනිදා සිට තිරගත කිරීමට නියමිත යි.

චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.universalpictures.com

බළලුන් වටා මිත්‍යා මත රාශියක් කේන්ද්‍රගත වී තිබෙනවා. ජීවත් වීමට අවස්ථා නවයක් ඔවුන්ට ඇතැයි යන කියමනත් ඉන් එකක්. “පූස් ඉන් බූට්ස්” ගේ ත්‍රාසජනක ක්‍රියාවල ප්‍රතිපලයක් ලෙස ඔහු ගේ ජීවිත අටක් ම දැන් වැය වී අවසන්.

ඉතින්, ඔහු ගේ අවසාන ජීවන වරම කෙසේ භාවිත කරාවි ද? ඔහු ගේ අවසාන පැතුම කුමක් ද?

ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට දෙසැම්බර් 21 තෙක් ඉවසමු.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com/@UniversalPictures

ඉහත ලැයිස්තුවට අමතර ව තවත් චිත්‍රපටි කිහිපයක් කෙරෙහි හොලිවුඩ් සිනමාව බලාපොරොත්තු තබා තිබෙනවා. Babylon, Women Talking, Empire of Light, A Man Called Otto, ඉන් කිහිපයක්. 

කවරයේ ඡායාරූපය- දෙසැම්බරයේ වඩාත් අවධානය දිනාගත හැකි සිනමා නිර්මාණය, Avatar: The Way of Water - theplaylist.net
මූලාශ්‍ර:
editorial.rottentomatoes.com
www.imdb.com
IMDB
collider.com
www.vulture.com
www.scmp.com
harpersbazaar.com.au
collider.com

Related Articles