Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවැම්බරයේ දී තිර ගත වන බලාපොරොත්තු සහගත චිත්‍රපට හතක්

2022 වර්ෂය අවසාන වීමට ඇත්තේ තවත් මාස දෙකක් පමණ යි. නමුත්, ලෝක සිනමාවට ඒ මාස දෙක ඉතා විශාල කාලපරිච්ඡේදයක්. බලාපොරොත්තු සහගත චිත්‍රපට රැසක් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල නිකුත් වීමට නියමිත ව තිබීම ඊට හේතුව යි.

ඉන් ඇතැම් නිර්මාණ සෘජු ව සිනමාහල්වලට නිකුත් වන අතර, කිහිපයක් “ස්ට්‍රීමිං සේවා” ඔස්සේ නිකුත් වනු ඇති. මෙම ලිපියෙන් නොවැම්බර් මාසය තුළ නිකුත් වීමට නියමිත වඩාත් බලාපො‍රොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

Weird: The Al yankovic story චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.thathashtagshow.com

1. Weird: The Al yankovic story

සුප්‍රසිද්ධ හැරී පොටර් චරිතයට පණ පෙවූ ඩැනියල් රැඩ්ක්ලිෆ් ගේ නවත ම නිර්මාණ කටයුත්ත තමයි “Weird: The Al Yankovic Story”. මෙම චිත්‍රපටය එළඹෙන නොවැම්බර් මස 04 වැනිදා “The Roku Channel” ස්ට්‍රීමිං සේවාව ඔස්සේ නිකුත් වනු ඇති.

 පසුගිය වසර පහක පමණ කාලය ඇතුළත විනෝදාස්වාදය සහ කලා ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ පුද්ගලයන් ගේ ජීවිත කතා පදනම් කරගත් චිත්‍රපටි කිහිපයක් ම එළි දැක්වුණා. Bohemian Rhapsody, Rocketman, Elvis, යන සිනමා නිර්මාණ ඒ සඳහා ප්‍රකට උදාහරණ ලෙස දැක්විය හැකි යි. “Weird: The Al Yankovic Story”, එම චිත්‍රපට රැල්ලේ මීළඟ දිගුව ලෙස හඳුන්වන්න පුළුවන්. චිත්‍රපටයෙන් ආවරණය වන්නේ ඇල්ෆ්‍රඩ් මැතිව් යැන්කොවික් ගේ ජීවිත කතාව යි.

 රසිකයන් අතර සහ ප්‍රසංග වේදිකාවේ දී “Weird Al Yankovic” යන අන්වර්ථ නාමය භාවිත කරන ඇල්ෆ්‍රඩ්, වඩාත් ප්‍රසිද්ධ වන්නේ සෝපහාසානුකරණයෙන් ගීත නිර්මාණ කරන (පැරොඩි) ගායකයෙක් ලෙසට යි. එනම්, ලෝකයේ ජනප්‍රිය ගීතවල අදහස හෝ ගී පද වෙනස් කොට තමාට ආවේණික ශෛලියකින් ගායනය කිරීම මෙහි දී සිදු වෙනවා.

මයිකල් ජැක්සන් ගේ “Beat it” සහ යැන්කොවික් ගේ “Eat it” යන ගීත දෙක ඇසුවහොත්, ඔබට මෙම කාරණය වඩාත් හොඳින් වැටහේවි.

යැන්කොවික් ගේ අමුතු නිර්මාණශීලිත්වය නිසා විශාල ජනප්‍රියත්වයක් ලැබුණා සේ ම විවේචන ද එල්ල වුණා. ඔහු ගේ පෞද්ගලික ජීවිතයත් තරමක් ආන්දෝලනාත්මක යි. එවැනි අභියෝගාත්මක චරිතයක් හරහා සිය රංගනයේ පරිණතභාවය පෙන්වීමට ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සූදානමින් පසු වෙනවා.

Weird: The Al yankovic story පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

2. Enola holmes 2

සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නැගෙණියක් සිටි බව ඔබ දන්නවා ද?

ඒ තමයි එනෝලා හෝම්ස්.

මෙහි පළමු චිත්‍රපටයත් අතිශයින් ජනප්‍රිය වුණා. එහි දෙවැනි දිගහැරුම (Enola Holmes 2) එළඹෙන නොවැම්බර් 04 වැනිදා “Netflix” ඔස්සේ බෙදා හැරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.

“එනෝලා හෝම්ස්” යනු ග්‍රන්ථ මාලාවක් වන අතර, ඒවා රචනා කරන ලද්දේ නැන්සි ස්ප්‍රින්ගර් විසින්. ග්‍රන්ථ මාලාවට අනුව එනෝලා යනු සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් ගේ නැගෙණිය යි. ඇයටත් සිය වැඩිමහල් සහෝදරයාට ඇති තීක්ෂණ බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව උරුම වී තිබෙනවා. එම හැකියාව භාවිතයෙන් ෂර්ලොක් හෝම්ස් ගේ අඩිපාරේ ම යන එනෝලා, ඇතැම් විටෙක සි‍ය සහෝදරයාගේ දක්ෂකමත් අභිබවා යනවා. චිත්‍රපට මාලාව නිර්මාණය වන්නේත් මේ ග්‍රන්ථ අනුසාරයෙන්.

Enola Holmes දෙවැනි දිගහැරුම – en.janbharattimes.com

“Enola Holmes” පළමු චිත්‍රපටයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු බැවින්, දෙවැනි දිග හැරුමක් පිළිබඳ අනාවැකි කලක සිට අසන්නට ලැබුණා. කෙසේ නමුත්, “Enola Holmes 2” චිත්‍රපටය එකහෙළා ම නැන්සි ස්ප්‍රින්ගර් ගේ ග්‍රන්ථ මාලාව අනුගමනය නොකරන බව යි පැවසෙන්නේ.

ග්‍රන්ථ මාලාවේ අනුපිළිවෙළ අනුව දෙවැනි චිත්‍රපටය “The Case of the Left-Handed Lady” අදියර මත පදනම් විය යුතු වුවත්, පූර්ව ප්‍රචාරක පටයට අනුව සැලකිය යුතු වෙනස්කම් සිදු කොට ඇති බව පෙනී යනවා. එය එක්තරා අන්දමකින් ප්‍රේක්ෂක කුතුහලය ඉහළ නැංවීමට හේතු වේවි.

Enola holmes 2 – පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

3. Black panther: wakanda forever 

Black panther: wakanda forever පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.koimoi.com

නොවැම්බර් මාසයේ නිකුත් වන සිනමා නිර්මාණ අතුරින් බොහෝ දෙනෙක් මඟ බලා සිටින නිර්මාණය Black panther: wakanda forever යැයි පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවෙයි. Black panther පළමු චිත්‍රපටය වාණිජ සහ විචාරක යන අංශ ද්විත්වයෙන් ම අති සාර්ථක වූ චිත්‍රපටයක්. එම සාර්ථකත්වය චිත්‍රපට මාලාවේ දෙවැනි දිගහැරුමට ලැබීමේ ඉඩකඩත් ඉතා ඉහළ යි. කෙසේ නමුත්, නවත ම Black panther චිත්‍රපටය නිකුත් වන්නේ ශෝකජනක මතකයක් ද නැවත සිහිගන්වමින්. ඒ චැඩ්වික් බොස්මන් ගේ මරණය යි.

ඔහු සුප්‍රසිද්ධ “Black panther” චරිතයට සාර්ථකව පණ පොවමින් චිත්‍රපටයට ඉහළ සාධාරණයක් ඉටු කළ අතර, චැඩ්වික් ගේ මරණය රසික හදවත් තුළ විශාල කම්පනයක් ඇති කළා.

 “Black panther: wakanda forever” චිත්‍රපටය චැඩ්වික් බොස්මන් නොමැති අඩුව කෙසේ පුරවාවි ද?

  වකන්ඩා රාජ්‍යය මුහුණ දෙන නවත ම අභියෝගය කුමක් ද?

 මේ සියලු දේ දැක බලා ගැනීමට ලබන නොවැම්බර් 11 වැනිදා තෙක් ඉවසා සිටීමට සිදු වේවි.

Black panther: wakanda forever  පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

4. The Fabelmans

ඉදිරියේ දී නිකුත් වීමට නියමිත චිත්‍රපටි‍යක් අනිවාර්යෙන් ම නරඹනවායැ යි තීරණය කිරීම සඳහා ඔබට උත්ප්‍රේරකයක් වන්නේ කුමන සාධකය ද?

 ඇතැම් විට එම චිත්‍රපටයේ රංගනයට දායක වන නළුවා හෝ නිළිය විය හැකි යි. නැතහොත්, පූර්ව ප්‍රචාරක පටයේ ආකර්ෂණීය බව විය හැකි යි. මෙම සාධක අතුරින් “සිනමා අධ්‍යක්ෂවරයා” යන සාධකය නිතර ම උත්ප්‍රේරකයක් වන්නේ නැහැ. ස්ටීවන් ස්පීල්බර්ග්, එවැනි උත්ප්‍රේරකයක් බවට පත් වූ සිනමා අධ්‍යක්ෂවරයෙක්.

ඔහු ගේ අනාගත නිර්මාණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින රසික ප්‍රජාව එතරම් ම විශාල යි. ඉතින්, එළඹෙන නොවැම්බරය යනු  ඒ විමසිල්ලට තාවකාලික අස්වැසිල්ලක් ලැබෙන මාසය යි. අස්වැසිල්ල ගෙන එන්නේ The Fabelmans.

“The Fabelsmans” ස්ටීවන් ස්පීල්බර්ගේ සුවිශේෂම නිර්මාණයක් වනු ඇති – www.koimoi.com

සිනමා නිර්මාණකරුවෙක් වීමේ සිහිනය ඔස්සේ දිව යන තරුණයෙකු කේන්ද්‍ර කරගත් The Fabelmans චිත්‍රපටය, අර්ධ ස්වයං චරිතාපදානයක් ලෙස ඉදිරිපත් කරන බව යි වාර්තා වෙන්නේ. එනම්, ස්ටීවන් ස්පීල්බර්ග් සිය ළමා කාලයේ සහ තරුණ කාලයේ ලබා ගත් සත්‍ය ජීවන අත්දැකීම් නිර්මාණශීලි අන්දමින් සිනමා ලෝකයට ගෙන ඒවි. සිනමාව ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙක් මඟ නොහැරිය යුතු නිර්මාණයක් තමයි The Fabelmans.

එළඹෙන නොවැම්බර් 11 වැනිදා චිත්‍රපටය සීමිත සිනමාහල් ගණනක් උදෙසා නිකුත් වන අතර, නොවැම්බර් 23 වැනිදා වඩාත් පුළුල් සිනමාහල් ගණනක් උදෙසා නිකුත් වනු ඇති.   

The Fabelmans – පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

5. The Menu

පසුගිය වසර කිහිපය තුළ සූපශාස්ත්‍රය, ලෝකයේ සැළකිය යුතු මට්ටමකින් පරිණාමය වී තිබෙනවා. එය අපේ ශරීරය පෝෂණය කිරීම සහ රස නහර පිනවීම උදෙසා ගොඩනැඟුණු දැනුම් පද්ධතියක් පමණක් ම නොවෙ යි. මිල අධික සහ විචිත්‍රවත් අවන්හලක වටිනා අමුද්‍රව්‍ය යොදා තැනූ ආහාර රස විඳීමට ඇතැමුන් උත්සහ ගන්නේ ඒ නිසා යි.

The Menu පූර්ව ප්‍රචාරක දැන්වීම් – www.joblo.com

ඔවුන්ට එය වෙනස්ම ජීවන අත්දැකීමක් වන අතර, තවත් විටෙක කලාත්මක අගයක් ඇති අවස්ථාවක් ද වෙනවා. එවැනි අත්දැකීමක් විඳීමට යන එක්තරා ධනවත් අමුත්තන් පිරිසකට රුදුරු අත්දැකීමකට මුහුණ පෑමට සිදු වුවහොත්, කුමකින් කුමක් සිදු වේවි ද?

 “The Menu” චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ මෙවැනි වෙනස් ම සංකල්පයක් පාදක කරගෙන යි. රේෆ් ෆයින්ස්, නිකලස් හෝල්ට්, ඇනා ටේලර්-ජෝයි යන ප්‍රවීණ රංගන ශිල්පීන් ගෙන් හැඩවන “The Menu”, එළඹෙන නොවැම්බර් 18 වැනිදා තිරගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

The Menu – පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

6. Slumberland

ඔබ “Aquaman” චිත්‍රපටය නැරඹූ කෙනෙක් නම් ජේසන් මොමෝවා ගේ රංගනය තවමත් මතකයේ ඇති. 2023 දී “Aquaman” චිත්‍රපට මාලාවේ දෙවැනි දිගහැරුම වන “the Lost Kingdom” හරහා ඔහු නැවතත් එම සුපිරි වීර චරිතයෙන් ප්‍රේක්ෂකයා හමුවට එනු ඇති.

ඊට පෙර ජේසන් මොමෝවා සමඟ ෆැන්ටසි ලෝකයකට චාරිකාවක් යන්නට ඔබ කැමති ද?

Slumberland පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

“Slumberland” චිත්‍රපටය, “fantasy adventure” ගණයට අයත් චිත්‍රපටියක් වන අතර, එහි කතාව “Little Nemo In Slumberland” යන කොමික් නිර්මාණය මත පාදක වී තිබෙනවා. ජේසන් මොමෝවා ගේ වෙනස් ම රංගනයක් “Slumberland” හරහා දැකගත හැකි යි. විශේෂයෙන් ම ළමයින් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වූ චිත්‍රපටයක් බැවින්, වඩාත් මෘදු සහ හාස්‍ය උපදවන චරිතයක් දක්වා වෙනස් වීමට රළු පෙනුමක් ඇති ජේසන් මොමෝවාට සිදු වී තිබෙනවා.

ළමා ෆැන්ටසි කතා රිදී තිරයට ගෙන ඒමේ දී අපට අමතක කළ නොහැකි විශිෂ්ට රංගධරයෙක් සිටිනවා. ඒ තමයි ජොනී ඩෙප්. ළමයින් සමඟ කටයුතු කිරීමේ හැකියාව සහ ඔහු ගේ රංගන කෞශල්‍යය අතර ඇති සබැඳියාව එතරම් ම සිත්ගන්නාසුලු යි. එවැනි ම අභියෝගයක් තමයි “Slumberland” හරහා ජේසන් මොමෝවා භාර ගෙන තිබෙන්නේ. චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 18 වැනිදා Netflix ඔස්සේ බෙදා හැරෙනු ඇති.

Slumberland – පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න.

7. Bones and all

ලූකා ග්වඩනීනෝ සහ ටිමොතී ෂලමේ අතර ඇත්තේ අපූරු සිනමාත්මක බැඳීමක්. එම බැඳීම ඇරඹෙන්නේ “Call Me by Your Name” චිත්‍රපටය හරහා යි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ලූකා ග්වඩනීනෝ සිදු කළ අතර, ටිමොතී ෂලමේ ප්‍රධාන චරිතයක් ලෙස රංගනයෙන් දායක වුණා.

බොහොම සීරුවට, කලාත්මක ව සහ රෝමාන්තික ලෙස ගලා යන කතාවක් සහිත “Call Me by Your Name” චිත්‍රපටය නිසා ලූකා සහ ටිමොතී යන දෙදෙනා ම ඇකඩමි සම්මාන උදෙසා නිර්දේශ වුණා. ඒ සුසංයෝගය නැවතත් විශිෂ්ට නිර්මාණයක් ලෝක සිනමාවට දායක කිරීමේ සූදානමින් පසු වෙනවා.

පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.unitedartistsreleasing.com

ලූකා ග්වඩනීනෝ සහ ටිමොතී ෂලමේ ගේ නැවත එක්වීම සිදු වන්නේ “Bones and All” චිත්‍රපටය හරහා යි. මෙම නිර්මාණයත් ආදර කතාවක් ලෙස ඉදිරිපත් වන අතර, “Call Me by Your Name” තරමට රෝමාන්තික වන්නේ නම් නැහැ. “Bones and All” හි පෙම්වතුන් වන මේරන් (ටේලර් රසල් විසින් රඟ දක්වන) සහ “ලී” (ටිමොතී ෂලමේ විසින් රඟ දක්වන) හට අසාමාන්‍ය ආශාවක් තිබෙනවා. ඒ අසාමාන්‍ය ආශාව නිසා ඔවුන් වටා සිටින මිනිසුන්ට අත් වන්නේ ඛේදනීය ඉරණමක්.

 චිත්‍රපටය ලබන නොවැම්බර් 18 වැනිදා සීමිත සිනමාහල් සංඛ්‍යාවක් සඳහා නිකුත් කරන අතර, නොවැම්බර් 23 වැනිදා සිට විශාල සිනමාහල් ගණනක තිරගත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඉහත ලැයිස්තුවට අමතර ව නොවැම්බර් මාසයේ දී වඩාත් බලාපොරොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ කිහිපයක් ම තිබෙනවා. ඒ අතරින් Lady chatterley’s lover, Pinoccio, She said යන චිත්‍රපටි ප්‍රේක්ෂක අවධානය වැඩියෙන් දිනා ගනු ඇතැයි අපේක්ෂා කරනවා.

කවරයේ ඡායාරූපය: Enola Holmes 2 චිත්‍රපටයේ එන දර්ශනයක් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කර ඇති අයුරු - www.netflix.com

මූලාශ්‍ර:
www.thefamouspeople.com
Collider.com
www.imdb.com
Screenrant.com
Movies.disney.com
www.whattowatch.com
Collider.com
Collider.com
Collider.com

Related Articles