Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රේල් මාසයේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් නිර්මාණ හතක්

මාර්තු 24 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම් ඇරඹූ John Wick: Chapter 4, තවමත් සිනමාශාලා රසික ප්‍රසාදයෙන් උණුසුම් කරවමින් සිටින නිර්මාණයක්. අප්‍රේල් මුල් සති දෙක දක්වා මෙම තත්ත්වය පැවතිය හැකි යි. අප්‍රේල් මාසය තුළත් බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණ රැසක් සිනමාශාලා වෙත පැමිණීමට නියමිත ව තිබෙනවා. ඒ අතරින් තෝරාගත් හොලිවුඩ් නිර්මාණ හතක් ගැන තොරතුරු විමසා බලමු.

1. Evil Dead Rise

ඔබ “Horror” චිත්‍රපට රසිකයෙක් වන්නට පුළුවන්. නමුත්, සියලු “Horror” චිත්‍රපට තුළ ඔබේ කැමැත්ත දිනා ගන්නා අන්දමේ අන්තර්ගතයක් අඩංගු නොවීමට පුළුවන්. “Evil Dead” චිත්‍රපට මාලාවත් “Horror” චිත්‍රපටවලට ආදරය කරන සියල්ලන්ගේ ම සිත්ගත් නිර්මාණයක් නොවෙ යි.

නමුත්, “Evil Dead” සඳහා වෙන් වූ රසික කණ්ඩායමක් ලොව පුරා සිටිනවා. ඒ රසික පදනම ගොඩනැඟෙන්නේ 1980 දශකය තරම් ඈත කාලයක සිට යි. එබැවින්, “Horror” චිත්‍රපට අතර Cult-Classic නිර්මාණයක් වශයෙන් “Evil Dead” චිත්‍රපට මාලාව සැළකුම් ලබනවා.

මේ දක්වා පැමිණි “Evil Dead” නිර්මාණ. “Ash vs Evil Dead” යනු ටෙලිකතා මාලාවක් බව සලකන්න – www.reddit.com

චිත්‍රපට මාලාවේ පළමු අදියර හෙවත්, “The Evil Dead”, 1981 දී සෑම් රයිමි නම් අත්දැකීම් බහුල අධ්‍යක්කවරයා ගේ සහභාගීත්වයෙන් නිර්මාණය වුණා. එහි දෙවැනි කොටස 1987 දී තිරගත වූ අතර, තෙවැනි කොටස ලෙස පැමිණි “Army of Darkness”, මෙතෙක් චිත්‍රපට මාලාව පැමිණි ගමන් මඟ නව මානයකින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට සමත් වුණා.

ඉන්පසු දශක දෙකක් යනතුරු “Evil Dead” හි අනාගතය සම්බන්ධයෙන් කිසිවක් අසන්න ලැබුණේ නැහැ. කාලානුරූප ව නොවෙනස් වූ රසික පදනමක් ඇති නිර්මාණයක් වන නිසාත්, මුල් චිත්‍රපටවල ගුණාත්මකභාවයට හානියක් නොවිය යුතු නිසාත්, චිත්‍රපට මාලාවේ අනාගතය භාර ගැනීම විශාල අභියෝගයක් වශයෙන් පැවතුණා.

නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් වූ ෆේඩෙ අල්වරෙස් එම අභියෝගය භාර ගත් අතර, ප්‍රධාන චිත්‍රපට මාලාවේ කතාවෙන් ස්වාධීන වූ නිර්මාණයක් ලෙසින් නැවතත් “Evil Dead” ලෝක සිනමාවට ගෙන ඒමට ඔහු සමත් වුණා. ඒ 2013 වසරේදී යි.

තිරගත වීමට නියමිත Evil Dead චිත්‍රපටයේ එන දර්ශනයක් – bloody-disgusting.com

“Evil Dead” චිත්‍රපට මෙතරම් ජනප්‍රිය ඇයි?

සරලව ම “Evil Dead” හරහා දක්නට ලැබෙන වේගවත් සහ භීෂණකාරී අත්දැකීම, එම චිත්‍රපට මාලාවට ම ආවේණික වූ ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින්, හැමෝටම මේ නිර්මාණය ගැළපෙන්නේ නැහැ. නමුත්, “Evil Dead” රසිකයන්ට සහ තරමක් භීෂණකාරී අන්තර්ගතයක් නැරඹීමට කැමති ඕනෑම කෙනකුට සතුටුදායී ආරංචියක් තිබෙනවා. මෙහි පස්වැනි අදියර (Evil Dead Rise) එළඹෙන  අප්‍රේල් මස 21 වැනිදා පටන් තිරගත වීම ඊට හේතුව යි.

නිර්මාණකරුවන් පවසන පරිදි “Evil Dead Rise” සඳහා රුධිරය මෙන් පෙනෙන ව්‍යාජ දියර ගැලුම් 1700 ක් පමණ භාවිත කර තිබෙනවා!

පූර්ව ප්‍රචාරක පටය ඔබට නැරඹිය හැකි නමුත්, සංවේදී දර්ශන අඩංගු බවත් සලකන්න – www.youtube.com

2. The Super Mario Bros. Movie

සුපර් මාරියෝ යනු ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ වීඩියෝ ක්‍රීඩාවක්. එය අපේ ළමා කාලය සමඟ බැඳී පවතින සුන්දර මතකයක් වශයෙන් හැඳින්වූවත් වරදක් නැහැ. ඉතින්, එවැනි සුන්දර ළමා මතකයක් සිනමා නිර්මාණයක් ආකාරයෙන් නැවත ජීවමාන වෙනවා නම්, කොතරම් සුන්දර අත්දැකීමක් වේවි ද!

පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.universalpictures.com

“The Super Mario Bros. Movie” ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, 2023 වර්ෂයේ වඩාත් ම බලාපොරොත්තු සහගත චිත්‍රපට අතරටත් ඇතුළත් වී තිබුණා. මාරියෝ සහෝදරවරු එළඹෙන අප්‍රේල් 05 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කර ගනිමින් පැමිණෙනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

3. Beau Is Afraid

සමහර සිනමා අධ්‍යක්ෂවරුන් හරි විශේෂ යි. ඔවුන් ගේ චින්තන රටාව සිනමාව සමඟ මුසු කිරීමේ දක්ෂතාව මත ඒ විශේෂත්වය අපට දැනෙනවා. උදාහරණයක් ලෙස ක්‍රිස්ටෝෆර් නෝලන්, ක්වන්ටීන් ටැරැන්ටීනෝ යනු ආවේණික චින්තන රටාවක් තිබෙන අධ්‍යක්ෂවරුන් දෙපළක්. ඔවුන් චිත්‍රපටයකින් මතු කරන නිර්මාණ රසය, එම චිත්‍රපට ප්‍රවර්ගයට ම අයත් වෙනත් නිර්මාණයකින් අත්විඳින්න බැහැ. උදාහරණයක් ලෙස නෝලන් ගේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකින් දක්නට ලැබෙන නිර්මාණාත්මක බව අපට වෙනත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකින් දකින එක ලෙහෙසි නැහැ.

එතකොට අරී ඇස්ටර්?

තවමත් අරී ඇස්ටර් ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වී ඇත්තේ චිත්‍රපට දෙකක් (“Hereditary” සහ “Midsommar”) පමණ යි. ඊට පෙර ඔහු කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කර තිබුණා. මේ නිර්මාණ ද්විත්වයෙන් පසු වෙනස් ම චින්තන රටාවක් ඇති නිර්මාණකරුවෙක් ලෙස අරී ඇස්ටර් පැසසුම් ලැබුවා.

විශේෂයෙන් ම “Horror” චිත්‍රපටවල පොදුවේ දක්නට ලැබෙන “Jump Scares”, විකෘති පෙනුමැති හොල්මන් හෝ යක්ෂයන් ගෙන් තොර අමුතු ම ආකාරයේ කලාත්මක බවක් “Hereditary” සහ “Midsommar” වෙතින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත්, ඒ කලාත්මක බව පිටුපස තිබෙන අර්ථය ඉතා බිහිසුණු යි.

පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

අරී ඇස්ටර් ගේ නවතම චිත්‍රපටය නම් කර තිබෙන්නේ “Beau Is Afraid” යනුවෙන්. චිත්‍රපටයේ අන්තර්ගතය ගැන විශාල සඳහනක් නොමැති වුවත්, පෙර චිත්‍රපටවලට වඩා හාත්පසින් ම වෙනස්  කතා මාතෘකාවක් මත “Beau Is Afraid” පදනම් වීමට ඉඩ තිබෙනවා. හාස්‍ය, ත්‍රාසජනක සහ අධි යතාර්ථවාදී යන සියලු ගුණාංගවල මිශ්‍රණයක් ලෙස නිර්මාණය වූ “Beau Is Afraid”,   අප්‍රේල් 21 වැනිදා සිට තිරගත වනු ඇති.

පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

4. Renfield

නිකලස් කේජ් යනු 90 දශකයේ සහ 2000 න් ඇරඹුණු දශකයේ මුල් භාගය තුළ හොලිවුඩයේ ආධිපත්‍යයක් දැරූ රංගන ශිල්පියෙක්. ඉන්පසු ඔහු දායක වූ නිර්මාණ සිනමා කර්මාන්තයේ පෙරළියක් කිරීමට සමත් වුණේ නැහැ. කෙසේ නමුත්, නිකලස් කේජ් ට යළි අවස්ථාවක් ලැබී තිබෙනවා. ඒ “Renfield” චිත්‍රපටය හරහා යි.

මෙහි ප්‍රධාන චරිතය හෙවත්, Renfield ගේ චරිතයට පණ පොවන්නේ නිකලස් හෝල්ට් විසින්. නිකලක් කේජ් එහි උප ප්‍රධාන චරිතයට දායක වුවත්, ඇතැම් විට ප්‍රධාන රංගනය පවා යටපත් කිරීමේ හැකියාවක් කේජ් ට හිමි විය හැකි යි. ඒ ඔහු ඩ්‍රැක්‍යුලා ගේ චරිතයට පණ පොවන නිසා යි.

පූර්ව ප්‍රචාරක දැන්වීමක් – www.imdb.com

චිත්‍රපටයේ කතාවට අනුව රෙන්ෆීල්ඩ් යනු ඩ්‍රැකියුලා ගේ අතවැසියා යි. සිය ආත්මාර්ථකාමී ස්වාමියා ගේ ඕනෑම ඉල්ලීමක් ඉටු කිරීම සඳහා රෙන්ෆීල්‍ඩ් බැඳී සිටින අතර, ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඩ්‍රැකියුලාට ඔහු සේවය කරනවා. ඒ සඳහා ඩ්‍රැකියුලා ගෙන් ලැබුණු සුවිශේෂී බලයක් රෙන්ෆීල්ඩ් සතු යි.

කාලයා ගේ ඇවෑමෙන් රෙන්ෆීල්ඩ්ට සාමාන්‍ය ජීවිතයක් අවශ්‍ය වෙනවා. නමුත්, තම ඒකාධිපති ස්වාමියා ගෙන් ගැලවෙන එකත් ලෙහෙසි නැහැ. ඉතින්, රෙන්ෆීල්ඩ් මේ උභතෝකෝටිකය විසඳා ගන්නේ කෙසේ ද?

“Renfield” , අප්‍රේල් 14 වැනිදා සිට තිරගත වනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්නත් අමතක කරන්න එපා! – www.youtube.com

5. Guy Ritchie’s The Covenant

ගයි රිචී යනු අධික පිරිවැයක් දරා නිමවන චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් ලැබූ නිෂ්පාදකවරයෙක්. අධ්‍යක්ෂණයෙන් මෙන් ම රචකයෙක් ලෙසත් ඔහු සිය දක්ෂතා පෙන්වා තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපට සහ නාට්‍යමය ස්වරූපයක් සහිත අපරාධ චිත්‍රපට නිර්මාණය සඳහා විශේෂ කැමැත්තක් දක්වන ගයි රිචී ගේ නවත ම අධ්‍යක්ෂණය වන්නේ “The Covenant”. ජේක් ජිලන්හෝල් මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක වෙනවා.

පූර්ව ප්‍රචාරක දැන්වීම – www.vitalthrills.com

“The Covenant” හරහා ගයි රිචී ගේ නිර්මාණ පරාසයේ නවතම මුහුණුවරක් ප්‍රදර්ශනය විය හැකි බව අනුමාන කෙරෙනවා. අන්තර්ගතයේ ඇති සුවිශේෂත්වය ඊට හේතුව යි. අප්‍රේල් 21 වැනිදා සිට “The Covenant” තිරගත වනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.co

6. AIR: Courting a Legend

සිනමාව තුළ බෙන් ඇෆ්ලෙක් සහ මැට් ඩේමන් යනු බොහොම අපූරු සුසංයෝගයක්. 1997 දී නිකුත් වූ සම්මානනීය “Good Will Hunting” චිත්‍රපටිය හරහා ඒ සුසංයෝගය කොතරම් නිර්මාණශීලි ද යන්න වග තහවුරු වුණා. “Good Will Hunting” සඳහා ඩේමන් සහ ඇෆ්ලෙක් රංගනයෙන් දායක වුණත්, ඔවුන් වඩාත් ප්‍රසිද්ධ වූයේ චිත්‍රපටයේ රචනය වෙනුවෙන් දැක් වූ දක්ෂතාව නිසා යි.

පූර්ව ප්‍රචාරක දැන්වීම – snkrdunk.com

“AIR: Courting a Legend” හරහා ඇෆ්ලෙක්-ඩේමන් සුසංයෝගය නැවතත් කරළියට පැමිණීමට නියමිත යි. බෙන් ඇෆ්ලෙක්, අධ්‍යක්ෂණයෙන්, නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් චිත්‍රපටයට දායක වූ අතර, මැට් ඩේමන් ද ප්‍රධාන චරිතයක් සහ නිෂ්පාදකයෙක් වශයෙන් චිත්‍රපටයට දායකත්වය ලබා දුන්නා.

පූර්ව ප්‍රචාරක පටය – www.youtube.com

“AIR: Courting a Legend” චිත්‍රපටය, චරිතාපදාන කතාවක් සහ ක්‍රීඩාවට සම්බන්ධ නිර්මාණ‍යක් ලෙස සැලකිය හැකි යි. විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ක්‍රීඩා සපත්තු අතර පවතින වෙළඳපොළ යුද්ධයක් මත පදනම් වීම යි.

බාස්කට් බෝල් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු මයිකල් ජෝර්ඩන් සහ “Nike” සමාගම අතර හවුල්කා‍රිත්වයෙන් බිහි වූ “Air Jordan” සන්නාමයේ තිරය පිටුපස කතා රැසක් “AIR: Courting a Legend” හි අඩංගු වනු ඇති. චිත්‍රපටය අප්‍රේල් 05 වැනිදා සිට තිරගත වීමට නියමිත යි.

7. The Pope’s Exorcist

පූර්ව ප්‍රචාරක දැන්වීම – www.heavenofhorror.com

හොලිවුඩයේ පරිණත රංගන ශිල්පියෙක් වන රසල් ක්‍රෝ, මෙවර තරමක් ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් වෙනුවෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය නම් කර තිබෙන්නේ “The Pope’s Exorcist” යනුවෙන්. ගබ්‍රියෙල් අමෝර්ත් නමැති පූජකයා ගේ සත්‍ය අත්දැකීම් ආශ්‍රයෙන් චිත්‍රපටය නිපදවා ඇති බව ප්‍රචාරය වූ හෙයින්, සැලකිය යුතු අවධානයක් “The Pope’s Exorcist” වෙත යොමු වී තිබුණා.

ගබ්‍රියෙල් අමෝර්ත් යනු භූතවේදය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලැබූ තැනැත්තෙක්. චිත්‍රපටය අප්‍රේල් 14 වැනිදා සිට පුළුල් ප්‍රේක්ෂකාගාරයක් ඉලක්ක කර ගනිමින් තිරගත වනු ඇති.

පූර්ව ප්‍රචාරක පටයත් නරඹන්න – www.youtube.com

කවරයේ ඡායාරූපය: දශක කිහිපයක මතකය නැවත අවදි කරමින් එන "Evil Dead Rise" හි නිර්මාණාත්මක නිරූපණයක් - Geektyrant.com
මූලාශ්‍ර:
Collider.com
www.comingsoon.net
Gobookmart.com
www.rottentomatoes.com
www.imdb.com

Related Articles