Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙමළ සිනමාවෙන් සිංහලයට ආ ගීත අටක්

ලංකාවේ අපේ ගීත හින්දි සිනමා සංගීතයෙන් බොහෝවිට ආභාසය ලබා ඇති බව ගීත ඉතිහාසය විමසන්නෙකුට පෙනී යනු ඇති. හින්දි තනු ඇසුරෙන් නිර්මාණය වූ සිංහල ගීත මෑත කාලයේ වුව දැකිය හැකියි.

ලංකාවේ ගීත සාහිත්‍යය ආභාසය ලැබුවේ හින්දි සිනමාවෙන් පමණක් නෙවෙයි. ඉන්දියාවේ දෙවැනි දැවැන්තම සිනමා කර්මාන්තය වන දෙමළ සිනමාවෙන් ආභාසය ලැබූ සිංහල ගීතද බොහොමයක් තියෙනවා. හින්දි සිනමාවෙන් ආභාසය ලත් අවස්ථා ගැන දැන සිටියත් බොහෝ දෙනා දෙමළ සිනමා සංගීතයෙන් ආභාසය රැගත් ගීත ගැන දන්නේ නැහැ. නැතිනම් දන්නේ කිහිපයක් පමණයි.

මේ ලැයිස්තුව දෙමළ සිනමා සංගීතයෙන් ආභාසය ලබා ලංකාවේ සිංහල ගීත ලෙස ජනප්‍රිය වූ ගීත අටකින් සමන්විත වෙනවා. ‘මම ගන්නෙමි කරකාර බන්දාලා‘, ‘පරෙවියා වගේ රාජ මාලිගේ‘ වැනි ජනප්‍රිය ගීත කිහිපයක් අප නොගත්තේ එහි දෙමළ ගීතය බොහෝ දෙනෙක් දන්නා නිසයි. එමෙන්ම මේ ලැයිස්තුවට එක් නොවූ ‘ඩිඟිරි ඩිඟාලේ‘ නමින් දෙමළ සහ සිංහල ගීත සාහිත්‍ය දෙකෙහිම ජනප්‍රියත්වයට පත් ගීතයත්, Tottodaing නම් දෙමළ ගීතය ඇසුරෙන් නිර්මාණය වී ජනප්‍රියත්වයට පත් ‘චංචලයි‘ නම් ගීතයත් ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක්ම එකතු වුණේ නැහැ.

 

(පාව මන්නිපු චිත්‍රපටියේ දර්ශනයක්) http://www.thehindu.com

 

මෙය ජෙමිනි ගනේෂන් රගපෑ 1961 තිරගත වූ පාව මන්නිපු චිත්‍රපටියේ ගීතයක්. එම්.එස්. විශ්වනාදන් සහ ටී.කේ. රාමමූර්ති දෙපළ විසින් මේ චිත්‍රපටිය සංගීතවත් කළා. කාදල් මන්නන් හෙවත් ආදරයේ රජු ලෙසින් හැඳින්වූ ජෙමිනි ගනේෂන් වෙනුවෙන් සිනමාවේ බොහෝවිට ගීත ගැයුවේ ඒ.එම්. රාජා නම් ගායකයා විසින්. එහෙත් විශ්වනාදන් සහ රාමමූර්ති දෙපළ විසින් චිත්‍රපටියේ අධ්‍යක්ෂ මෙයියපන්ව අසීරුවෙන් කැමති කරගෙන ඇත්තේ එකල නැඟී එන ගායකයෙක්ව සිටි පී.බී. සිරිනිවාස් මහතාව ලවා මේ ගීතය ගායනා කරවීමටයි. මේ ගීතය ගායනා කිරීමෙන් පසුව පී.බී. සිරිනිවාස් ඉතා ජනප්‍රිය ගායකයෙක් ලෙස සාර්ථකත්වය ලැබූ බව කියනවා.  මහා කවි කන්නදාසන් විසින් මේ ගීත ලියා තියෙනවා.

මේ ගීතය ඇසුරෙන් තැනුණු සිංහල ගීතය තමයි ‘කාලේ ළඟයි මධු වසන්තේ‘ නම් ගීතය. මේ ගීතය අනුරාධා පෙරේරා විසින් ගායනා කළා.

ජූඩ් රෝගන්ස් විසින් ගායනා කළ ‘ඇස් ආදරෙන් පුරෝනා’ නම් සිංහල ගීතය බොහෝ ජනප්‍රිය වුණේ තරුණ පරපුර අතරයි. මේ ගීතය ඒ.ආර්. රෙහ්මාන්ගේ ගීතයක තනුවක් ඇසුරෙන් නිර්මාණය කළ සිංහල ගීතයක්.

1999 කදීර් විසින් අධ්‍යක්ෂණය කළ කාදලර් දිනම් චිත්‍රපටිය වෙනුවෙන් රෙහ්මාන් Enna Vilai Azhage  ගීතය නිර්මාණය කළා. වාලි නම් දෙමළ කවියා විසින් මේ ගීතය රචනා කළා. ගීතය ගායනා කළේ උන්නි මෙනන් විසින්. මේ ගීතයත් ඉන්දියානු තරුණ පරපුර අතර ජනප්‍රිය වුණා.

(En kadhal Solla ගීතයේ දර්ශනයක්) http://tamilpeak360.com

ඉලයරාජාගේ පුත්‍රයා සහ ජනප්‍රිය සංගීතඥයෙක් වන යුවන් ශංකර් රාජා සංගීතවත් කළ ගීත අතරින් 2010 තිරගත වුණ පයියා නම් චිත්‍රපටියේ ගීත එකතුව සාර්ථකම ගීත එකතුවක් ලෙස හඳුන්වනවා. එහි ගීත මුළු ඉන්දියාවේම වේගයෙන් ජනප්‍රිය වුණා. ඒ අතරින් යුවන් ශංකර් රාජා ගැයූ එක් ගීතයක තනුව සිංහල ගීතයකටත් ආභාසය ලබා දුන්නා. ඒ සිංහල ගීතය ලංකාවේ අතිශය ජනප්‍රිය වුණා.

බාචි සුසාන් ගයන බඹර නාදේ  නම් ගීතය මෙලෙස සිංහලෙන් නිර්මාණය වූ ගීතයයි. කේෂාන් පෙරේරා බඹර නාදේ ගීතය සංගීතවත් කළේ දෙමළ මුල් ගීයේ තනුව එලෙසම යළි පාවිච්චි කරමින් නොවෙයි. මුල් ගීයේ ආභාසය ගැන අලුත්ම ගීතයක් ඔහු නිර්මාණය කළා. සජිත් වී. චතුරංග විසින් බඹර නාදේ ගීතය රචනා කළා.

හර්බට් එම්. සෙනෙවිරත්න විසින් රචනා කොට ධර්මදාස වල්පොල සහ රුක්මණී දේවි ගැයූ වාසනාවන්ත කල ලබා  නම් ගීතය 1956 තිරගත වූ දොස්තර නම් චිත්‍රපටියේ ජනප්‍රියම ගීතයක්. මේ ගීතයද අතිශය ජනප්‍රිය දෙමළ ගීතයක් ඇසුරෙන් තැනුණු ගීතයක්.

මොඩන් තියටර්ස්හි නිර්මාණය කළ සුජාතා, වරද කාගේද?, රදළ පිළිරුව, වන මෝහිනී වැනි චිත්‍රපටි නිර්මාණය කළේ ටී.ආර්. සුන්දරම් විසින්. මේ චිත්‍රපටි වලට සංගීතය එකතු කළේ සුසර්ලා ධක්ෂිණමූර්ති විසින්. වාසනාවන්ත කල ලබා ගීතයට පාදක වූ දෙමළ ගීතය ටී.ආර්. සුන්දරම් 1956 දී අධ්‍යක්ෂණය කළ අලිබබාවුම් 40 තිරුඩගල් නම් දෙමළ චිත්‍රපටිය වෙනුවෙන් සුසර්ලා ධක්ෂිණමූර්ති සංගීතවත් කළ ගීතයක්.

එස්. ජානකී ( www.google.com)

මෙල්ල තිරන්දාද කදව චිත්‍රපටියේ ‘ඔරු සනම්’ නම් ගීතය ඇසුරෙන් නිර්මාණය වූ ‘සිත හඬයි’ නම් ගීතය නිරෝෂා විරාජිනීගේ සංගීත දිවියට ශක්තිමත් ආරම්භයක් ලබාදුන් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.

අපූරු ආදර කතාවක් නිසා ජනප්‍රියත්වයට පත් 1986 තිරගත වූ චිත්‍රපටියක් තමයි මෙල්ල තිරන්දාද කදව කියන චිත්‍රපටිය. මෝහන්, රාධා සහ අමාලා රඟන මේ චිත්‍රපටිය වෙනුවෙන් සංගීතය එකතු කළේ එම්.එස්. විශ්වනාදන් සහ ඉලයරාජා නම් දෙපළ. දෙමළ සිනමා සංගීත ඉතිහාසයේ ඒ.ආර්. රෙහ්මාන්ට පෙර ඉලරාජා ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස හැඳින්වුවා. ඉලයරාජාට පෙර ජනප්‍රියම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සලකන්නේ එම්.එස්. විශ්වනාදන් මහතායි. එම්.ජී.ආර්., ශිවාජි ගනේෂන් සහ ජෙමිනි ගනේෂන් යුගයේ ජනප්‍රියම සංගීතඥයා ඔහු.

ඔරු සනම් ගීතය වාලිගේ පද රචනාවක්. ගීතය නිර්මාණය කළේ ඉලයරාජා විසින්. ගායනා කළේ එස්. ජානකී නම් ජනප්‍රිය ගායන ශිල්පිනිය. සිත හඬයි සිංහල ගීතය රචනා කළේ හේමසිරි හල්පිට විසින්. නිරෝෂා විරාජිනී ගැයූ පළමු ගීතය එයයි. ඒ ගීතය තුෂිත් නිරෝෂණගේ නව සංගීතය සමඟ 2012 දී ප්‍රතිනිර්මාණය වුණා.

ආකාෂ නිලව ගීතයේ දර්ශණයක්  (www.youtube.com )

මන්ජ පයි චිත්‍රපටියට එන්.ආර්. රඝුනාදන් විසින් සංගීතවත් කළ මේ ගීතය ප්‍රවීණ ගායක එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා විසින් ගායනා කළා. යුගබාරතී විසිනුයි ගීතයේ පදවැල් රචනා කළේ.

මේ ගීතය ඇසුරෙන් නිර්මාණය කළ සිංහල ගීතය ‘හිමාලෙට වඩා උසයි’ නම් ජූඩ් රෝගන්ස් ගායනා කළ ගීතය. එය සංගීතවත් කර ඇත්තේ අශාන් ප්‍රනාන්දු විසින්. ගීතය ලියා ඇත්තේ ඩිලාන් ගමගේ විසින්.

සත පනහ චිත්‍රපටියෙන් ලංකාවේ ජනප්‍රියත්වයේ උපරිමය ස්පර්ශ කළ ‘චන්ද්‍රා මෙ රෑ පායා ආවා’ ගීතය ගැන කතා කරන මොහොතක බොහෝ දෙනා කියන්නේ ඒ ගීතය Main Bhi Ladki Hoon නම් 1965 දී ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටියේ Chanda Se Hoga Woh Pyaara  ගීතය ඇසුරෙන් නිර්මාණය වූවක් බවයි. එහෙත් ඒ චිත්‍රපටිය හා ගීතය යන දෙකම 1963 තිරගත වූ නානුම් ඔරු පෙන් චිත්‍රපටියෙන් සහ එහි එන ‘පූපෝල පූපෝල’ නම් ගීතය ඇසුරෙන් කළ නිර්මාණ දෙකක්.

පන්චු අරුණාචලම් විසින් ‘පූපෝල පූපෝල’ නම් ගීතය රචනා කරලා තියෙනවා. ගීතය ගායනා කළේ පී. සුෂිලා සහ ටී.එම්. සෞන්දරාජන් නම් අතිශය ජනප්‍රිය ගායක ගායිකා යුවළ විසින්. ආර්. සුදර්සනම් විසිනුයි ගීතය සංගීතවත් කර ඇත්තේ.

ආර්. මුත්තුසාමි මහතා විසින් සංගීතවත් කළ සිංහල ගීතය වෙනුවෙන් පදවැල් ලීවේ හර්බට් එම්. සෙනෙවිරත්න මහතා. ගීතය ගායනා කළේ සුජාතා අත්තනායක සමඟ එච්.ආර්. ජෝතිපාල.

එන්නයි තාලාටුම්  ගීතයේ දර්ශනයක්

මේ ගීතය ජූඩ් රෝගන්ස්ගේ ගායනයත් සමඟ බෝහෝ තරුණයන් අතර ජනප්‍රියත්වයට පත් ‘අම්මා’ නම් ගීතයද ජනප්‍රිය දෙමළ ගීතයක් තනුවක් ඇසුරෙන් නිර්මාණය වුණා. අම්මා ගීතයේ පදවැල් ලීවේ ඩිලාන් ගමගේ විසින්. ජූඩ් බොහෝවිට තමන්ගේ ගීතවල රූපරචනා සහ තනු සඳහා දෙමළ සිනමාවෙන් අදහස් ලබා ගන්නා කෙනෙක්.

අම්මා ගීතයට පදනම් වූ දෙමළ ගීතය 2002 තිරගත වූ උන්නයි නිනයිතු නම් ජනප්‍රිය දෙමළ චිත්‍රපටියේ ‘එන්නයි තාලාට්ටුම්’ නම් ගීතයයි. මේ ජනප්‍රිය දෙමළ චිත්‍රපටියේ රූගතකිරීම් කළේ ලංකාවේදීයි. රම්බොඩ දියඇල්ල අසල, පේරාදෙණිය මල්වත්ත ගීතයේ රූපරාමුවලට සුන්දරත්වය එකතු කරනවා.

චිත්‍රපටියේ තැන් දෙකක මේ ගීතය වාදනය වෙනවා. ඒ නිසා එකම තනුව සහ වචන යෙදුණු ගීත දෙකක් චිත්‍රපටියේ තියෙනවා. එක් ගීතයක් ගායන ශිල්පිනී සුජාතා තනිව ගායනය කරනවා. දෙවැනි කොටස උන්නි මෙනන් සහ සුජාතා යන දෙපළම ගායනය කරනවා.

Cover (පයියා චිත්‍රපටය) ( www.google.com )

Related Articles