Squid Game: විකල්ප අහිමි ණයගැතියන්ගේ මාරාන්තික ක්‍රීඩාව

කතා මාලාවේ වැදගත්ම තැන් හෙළිදරව් විය හැකි ලිපියකි. තවමත් නැරඹූ නැති කෙනකුට රස වින්දනයට බාධාවක් වේයැ යි සිතේ නම් ලිපිය පසුව කියවීමට තබා ගන්න.

නෙට්ෆ්ලික්ස් හරහා බෙදා හැරි දකුණු කොරියානු කතා මාලාවක් වූ Squid Game, මේ වනවිට අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. සැප්තැම්බර් 17 වැනිදා මුල් වරට එළිදැක්වීමෙන් පසු සති දෙකක් ඇතුළත දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය ඇතුළුව රටවල් 90 ක පමණ වැඩිපුර ම නැරඹීමට පෙලඹෙන නෙට්ෆ්ලික්ස් කතා මාලාව ලෙස Squid Game තේරී පත්වුණා.

 අධික ණය බර හේතුවෙන් පීඩිත වූ මිනිසුන් 456 දෙනකු ස්වකැමැත්තෙන් මාරාන්තික ක්‍රීඩා වට හයකට සහභාගී වන සිදුවීමක් වටා මෙහි කතාව දිව යනවා. තරගාවලියේ නීති ගැන ක්‍රීඩකයන්ට ආරම්භයේ දී ම අවබෝධයක් ලබා දුන්නත්, ඒ හැම නීතියක් පිටුපස ම තිබෙන සැබෑ අරුත ඔවුන්ට තේරුම් ගන්න ලැබෙන්නේ පළමු ක්‍රීඩා වටයට ඇතුළු වූ පසු යි. ක්‍රීඩා වටයකින් පරාජය වන ක්‍රීඩකයන් සියල්ලන් ම මරණයට මුහුණ දිය යුතු වෙනවා. වට හය අවසානයේදී ජීවිතය බේරා ගැනීමට සමත් වූ ක්‍රීඩකයාට කොරියානු වොන් බිලියන 46.5 ක මුදලක් හිමි වෙනවා.

කොතරම් භයානක වුණත්, තරඟකරුවන්ට ඉදිරියට යාම සඳහා උත්තේජනය ලැබෙන්නේ මෙතැනින්! – dramabeans.com 

 “Squid Game” කතා මාලාව පැහැදිලි ව ම Thriller සහ Survival යන ප්‍රභේදයට අයත් වන නිර්මාණයක්. නමුත්, යටිපෙළින් දිවෙන බොහොම සංවේදී දෘෂ්‍ය කාව්‍යමය ස්වරූපයකුත් “Squid Game” සතු ව තිබෙනවා. මාරාන්තික ක්‍රීඩා සම්බන්ධ චිත්‍රපට හා කතා මාලා ඕනෑ තරම් බිහි වී තිබුණත්, Squid Game බොහෝ ප්‍රේක්ෂකයන්ගේ හදවටත කතා කරන නිර්මාණයක් බවට පත්වුණේ ඒ නිසා යි. ආකෘතික ලෝකයක සිට සැබෑ ලෝකයේ සමාජය තුළ මුල්බැස ගත් විෂමතාව සහ පුද්ගල ස්වභාව ගැඹුරින් ආමන්ත්‍රණය කිරීමේ විශිෂ්ට උත්සාහයක මෙහි නිර්මාණකරුවා නිරත වී තිබෙනවා. ඉතින් මේ ලිපියෙන් උත්සහ ගන්නේත් “Squid Game” වෙනස් ම අයුරකින් කියවීමට යි.  

විකල්පයක් නැති ණයකාරයෝ

 කතා මාලාවේ එන ක්‍රීඩා වට සියල්ල ම පදනම් වී ඇත්තේ දකුණු කොරියානු ළමයින් අතර ප්‍රචලිත “ඕජින්ග්-ඕ” නම් ක්‍රීඩාවේ සරල නීතියක් මත යි. “ඕජින්ග්-ඕ” ක්‍රීඩාව සඳහා පොළොව මත ඇඳි දැල්ලකුගේ හැඩය ගත් ප්‍රදේශයක් අවශ්‍ය වන අතර, “ප්‍රහාරකයන්” සහ “ආරක්ෂකයන්” වශයෙන් පාර්ශව දෙකක් තරගයට සහභාගී වෙනවා. තරගය අතරතුර දෙපාර්ශවය ම දැල්ලකුගේ හැඩය ගත් ක්‍රීඩා භූමියෙන් ඉවතට තල්ලු නොවී සිටිය යුතු යි. ඉවතට තල්ලු වුණොත්, එම තරගකරුවා මරණයට පත්වූ කෙනකු ලෙස සලකනවා.  මේ සරල නීතිය සැබෑ ලෙස ම ක්‍රියාත්මක වන එක්තරා ආකෘතික ලෝකයක් අපට “Squid Game” කතා මාලාවෙන් දකින්නට පුළුවන්.

 ආකෘතික ලෝකය සහ සැබෑ ලෝකය අතර ලොකු වෙනසක් නොමැති බව පෙන්වීමට නිර්මාණකරුවා උත්සහ දරනවා – netflixlife.com 

 නිර්මාණකරුවාට අනුව “Squid Game” හරහා දකින්නට ලැබෙන ආකෘතික ලෝකය සහ අප ජීවත් වන ලෝකය අතර විශාල වෙනසක් නැහැ. තරගය අතරතුර මරණයට පත් නොවී ඉදිරියට යාමට තරගකරුවන් කරන අරගලයට සමාන අරගලයක්, පැවැත්ම හා සමාජ පන්ති ධූරාවලියේ ඉහළට යෑම සඳහා මිනිසුන් සැබෑ ලෝකයේ දී සිදු කරන බව “Squid Game” පෙන්වා දෙනවා. 

 කතා මාලාව තුළ අපට කේන්ද්‍රීය චරිත පහක් පමණ මුණ ගැහෙනවා. ඔවුන් එකිනෙකට වෙනස් පසුබිම්වලින් පැමිණි පුද්ගලයන් වුවත්, සියලු දෙනා ම අධික ණය බරින් සහ වගකීම්වලින් පීඩා විඳිනවා. තරගකරුවන් 456 දෙනා ම මූල්‍ය බංකොලොත්භාවයේ අද්දරට ම පැමිණි අය වන අතර, ඔවුන්ට සැබෑ ලෝකය තුළත් විකල්පයක් නැහැ. 

මනුෂ්‍ය ස්වභාවය පැතිකඩ කිහිපයකින් ගෙන එන “Gganbu” කථාංගයේ දර්ශනයක් – vulture.com 

 “Squid Game” කතා මාලාව රචනා කොට අධ්‍යක්ෂණය කර ඇත්තේ හ්වංග් ඩොං හ්‍යුක් යි. මරණය පෙනි පෙනී තරගකරුවන් තරගය තුළ ස්වකැමැත්තෙන් රැඳීමට දරන උත්සාහය හරහා නූතන ධනවාදී සමාජයේ ඛේදවාචකය පෙන්වා දීමට ඔහුට අවශ්‍ය වී තිබුණා. ඩොං-හ්‍යුක් ගේ ප්‍රයත්නය සාර්ථක බව සිතිය හැකි යි.

ඉතින් ඇයි දකුණු කොරියාව ම?

 දකුණු කොරියාව ලෝකයේ සංවර්ධිත ම රාජ්‍යයක් වන අතර, ආසියාවේ විශාලත ම ආර්ථිකයකට හිමිකම් කියනවා. නමුත්, සමාජ අසමානතාව අතින් දකුණු කොරියාව කලක පටන් අර්බුදයට ලක් වූ රටක්. කොරියානු නිර්මාණකරුවන් සංවර්ධිත බවට යටින් ඇති මිනිසුන්ගේ ආර්ථික පීඩනය, නිර්මාණශීලිත්වය ඔස්සේ ඉස්මතු කිරීමෙහි ලා අති දක්ෂයන් වෙනවා.

 ජපන් ජනපදකරණය, කොරියානු යුද්ධය, මිලිටරි ආඥාදායකත්වය, මූල්‍ය අර්බුද වැනි කම්පනකාරී ඉතිහාසයක් දකුණු කොරියාව සතු යි. අතීතය දෙස හැරී බැලීමේ දී ජාතියක් ලෙස දකුණු කොරියානුවන්ට වර්තමානය ගැන සතුටු විය හැකි වුවත්, අඳුරු ඉතිහාසයේ මානසික කැළැල් තවමත් සම්පූර්ණයෙන් පහවෙලා නැහැ. “Squid Game” හරහා දකුණු කොරියානු සමාජයේ මැද පංතිය මුහුණ දෙන ගැටලු සහ ඉතිහාසය තුළ ඔවුන්ට අහිමි වූ දේවල වේදනාව කොටස් නවයක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වුණා. “Squid Game” තුළින් එලෙස ආමන්ත්‍රණය වූ ගැටලු කිහිපයක් දැන් සලකා බලමු.

Red light, Green light තරඟ වටයේ දර්ශනයක් – reddit.com 

ගෘහස්ථ ණය ගැටලුව

 පසුගිය වසර කිහිපය තුළ දකුණු කොරියාවේ ගෘහස්ථ ණය තියුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ආසියාවේ ඉහළ ම අගය යි. මූල්‍ය විෂමතාව 2017 දී අඩකින් පමණ වැඩි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රටේ පහළ ම ආදායම ලබන 20% සමඟ සැසඳීමේ දී රටේ ඉහළ ම ඉපැයීමක් සිදුකරන 20% දෙනාගේ ශුද්ධ වත්කම් 166 ගුණයකින් ඉහළ ගියා. ආදායමට සාපේක්‍ ෂව ණය ඉහළ යාම සහ මෑතකදී ඉහළ දැමූ පොලී අනුපාත නිසා අසනීප, අනතුරු වැනි හදිසි අවස්ථා සමඟ කටයුතු කිරීමට අවශ්‍ය මූල්‍ය සම්පත් නොමැති වීමේ අවදානමකට ඔවුන් මුහුණ දෙනවා.

 ජාතික ධනය බෙදා හැරීම මැන බලන “ගිනි දර්ශකයට” අනුව දකුණු කොරියාව දළ වශයෙන් එක්සත් රාජධානියට සමාන වන අතර, එක්සත් ජනපදයට වඩා හොඳ තත්ත්වයක සිටිනවා. එහෙත්, වැඩිවන තරුණ විරැකියාව, ඉහළ යන නිවාස මිල, ගෝලීය වසංගතය, වැනි සාධක හරහා සමාජ විෂමතාව පෙරට වඩා වැඩියෙන් දකුණු කොරියාවට දැනෙමින් තිබෙනවා. 

 නිවාස සහ අධ්‍යාපන පිරිවැය සඳහා දකුණු කොරියානුවන් අධික වශයෙන් ණය ගන්නා වාතාවරණයකුත් බිහි ව තිබෙනවා. තරුණ තරුණියන් මත පැට වී ඇති ණය බර අඩු කිරීමේ අරමුණින් රජය අලුත් ණය සීමා පවා පසුගිය කාලයේ දී නිවේදනය කළා. ආදායමට සාපේක්ෂ ව ණය බර ඉහළ ම වයස් කාණ්ඩය තිස් ගණන් හෝ ඊට ආසන්න වයසක පසුවන අය වීම ඊට හේතුව යි. මේ නිසා ඔවුන් ණය ලබා ගැනීමේ අවිධිමත් ක්‍රම වෙත යොමු වෙනවා. ඔබ Squid Game නැරඹූ කෙනෙක් නම් එහි චරිත ලබාගත් ණය ප්‍රමාණය ගැන පුදුම වෙනවාත් ඇති. නමුත්, යථාර්තය එය යි.

සංක්‍රමණිකයන් මුහුණ දෙන වෙනස්කම්

  සමාජ ආර්ථික අසමානතාව තුළ සංක්‍රමණිකයන් මුහුණ දෙන ගැටලුත් “Squid Game” හරහා සාකච්ඡාවට බඳුන් වෙනවා. පාකිස්තානයේ සිට දකුණු කොරියාවට සංක්‍රමණය වූ අබ්දුල් අලීට මාරාන්තික ක්‍රීඩාවට ඇතුළු වීමට සිතක් පහළ වන්නේ සේවායෝජකයාගේ දරුණු සූරාකෑම නිසා යි. දකුණු සහ ගිනිකොනදිග ආසියාවෙන් පැමිණි විදෙස් සේවකයන්ට සමාජයේ ඉහළට සංචරණය වීම සම්බන්ධයෙන් නැගෙනහිර ආසියානු කලාපයේ ඇති බාධාව මෙයින් නියෝජනය වෙනවා. මීට අමතර ව, මූල්‍ය ස්ථාවරභාවය සහ පුද්ගල නිදහස අගයන සමාජයකට ඇතුළත් වීම සඳහා බොහෝ පැතිවලින් සටන් කළ යුතු උතුරු කොරියානු සංක්‍රමණිකයන් ගැන හොඳ කියවීමක් “Squid Game” හරහා ලබා ගත හැකි යි. දේශපාලන විරසකකම් කොතෙක් තිබුණත්, දකුණු කොරියාවේ සාමාන්‍ය මිනිසුන්ට උතුරු කොරියානුවන් යනු ඉතිහාසය තුළින් මඟහැරී ගිය සහෘදයන් කොටසක් පමණ යි. ඒ බැඳීමේ තරම නිර්මාණකරුවා බොහොම දක්ෂ අන්දමින් “Squid Game” හි නිරූපණය කොට තිබෙනවා

විවිධ පසුබිම්වලින් පැමිණුනත්, හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්! – thejjreport.com 

වයෝවෘද්ධ ජනගහනයේ දරිද්‍රතාව

 ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) පවසන පරිදි වසංගත සමයේ දී වැඩිහිටි දිළිඳුකම ඉහළින් ම පවතින රටවල් අතරට දකුණු කොරියාවත් පැමිනුණා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රැකියා උත්පාදනය කිරීමේ වෑයමක රජය යෙදුණත්, වයෝවෘද්ධ ජනගහනයේ දරිද්‍රතා අනුපාතය 47% ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රතිශතය 46% ක් වනවිට දකුණු කොරියාවේ ශුද්ධ විශ්‍රාම වැටුප් ප්‍රතිෂ්ඨාපන අනුපාතය OECD ආයතනය දක්වන සාමාන්‍ය අගයට වඩා පහළ වැටුණා. 

 දරිද්‍රතාවයෙන් පෙළුණු ජාතියක සිට ආර්ථික බලවතකු දක්වා දකුණු කොරියාව දියුණු කිරීමට උදව් කළ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම යාමේදී සහාය දැක්වීමට නොහැකි පසුබිමක් ඒ අනුව නිර්මාණය වී තිබෙනවා. වයස අවුරුදු 50 ඉක්මවූ සමහර කොරියානුවන් රැකියාවෙන් නෙරපා හැර ඇති අතර, අධික තරගකාරීත්වයෙන් යුත් කොරියානු සමාජය තුළ තම පැවැත්ම තහවුරු කරගැනීම ඔවුන්ට අතිශයින් දුෂ්කර යි. කතා මාලාව තුළ අපිට හමුවන සොන්ග් ගයි-හුන් සහ සැන්ග්-වූ යන චරිත ද්විත්වයේ වයෝවෘද්ධ මවුවරුන්ට විශ්‍රාම දිවිය පසු කළ පසුත් ජීවන අරගලයේ නිරත වීමට සිදු වන්නේ මේ නිසා යි.

1997 ආසියානු මූල්‍ය අර්බුදය

 ගයි-හුන් නම් ප්‍රධානත ම චරිතයේ පසුබිම් කතාව මෙහිදී සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. ගයි-හුන් කලකට පෙර එක්තරා කර්මාන්ත ශාලාවක සේවය කළ අතර, බංකොලොත්භාවය හේතුවෙන් සේවකයන් දහස් ගණනකගේ රැකියා කප්පාදුවට ඔහුත් අසු වෙනවා. Squid Game කතා මාලාවේ රචකයා මේ සඳහා පාදක කරගෙන ඇත්තේ 1997 ආසියානු මූල්‍ය අර්බුදය යි. එම අර්බුදය හමුවේ දකුණු කොරියානු ජනතාව වැඩවර්ජන සහ රැකියා කප්පාදුවට සුලබ ව මුහුණ දුන්නා. රැකියා කප්පාදුවට ලක්වූ බොහෝ සේවකයන් තමන්ගේම ව්‍යාපාරවලට යොමු වූ අතර, බොහෝමයක් දෙනා අසාර්ථක වුණා. ගයි-හුන් නියෝජනය කරන්නේ මේ අසාර්ථක වූ ව්‍යාපාරික ප්‍රජාව යි.  

ආසියානු මූල්‍ය අර්බුදයට මුහුණ දුන් කොරියානු මිනිසුන්ට දශක ගණනාවක් බල පවත්නා ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදු වුණා. බොහෝ අය ණය බර නිසා බංකොලොත්භාවයට පත් වුණා. එම මිනිසුන් නියෝජනය කරන ගයි-හුන්ගේ ණයගැති භාවයේ පීඩනය කොතරම්ද යත්, ඇතැම් පුද්ගලයන්ගෙන් ඔහු ණය ලබා ගත්තේ තම ශරීර අවයව පවා කළු කඩයට ඇප කරමින්.

Squid Game කතා මාලාව නිර්මාණය කළ  හ්වංග් ඩොං-හ්‍යුක් – thejjreport.com

ලංසු තබන “වී.අයි.පී ලා

 කතා මාලාවේ එක් තැනක මාරාන්තික ක්‍රීඩා වටයක් අභිරුචියෙන් නරඹන ධනවතුන් පිරිසක් දකින්නට ලැබෙනවා. තරගකරුවන්ගේ ජීවිතය සහ මරණය වෙනුවෙන් ලංසු තැබීමට පවා ඔවුන් පෙලඹෙනවා. කතාවේ නිර්මාණකරු, හ්වංග් ඩොං හ්‍යුක්, ආකාර දෙකකින් මේ කොටස අර්ථ දක්වන්න උත්සහ කළ බවක් පෙනී යනවා. එක් අතකින් ධනවතුන්, මධ්‍යම පංතිය හා ඊට පහළ පංතිවල මිනිසුන්ගේ ජීවිත පාලනය කරන අන්දමත්, තවත් අතකින් එක්සත් ජනපදය ප්‍රමුඛ බල කඳවුර දකුණු කොරියාව තුළ හැසිරෙන අන්දමත්, මෙම කොටස හරහා නිරූපණය වෙනවා.

 එක්සත් ජනපදය දකුණු කොරියාවේ ධනවාදය ස්ථාපිත කිරීමට උදව් කළ අතර, උතුරු කොරියාවට එරෙහි යුද්ධයේ දී දකුණු කොරියාවට සහයෝගය ලබා දීමටත් ක්‍රියා කළා. වේගවත් ආර්ථික වර්ධනය හමුවේ එක්සත් ජනපදය මත යැපීම බෙහෙවින් අඩු වුණත්, අදටත් දකුණු කොරියාව තුළ සැළකිය යුතු එක්සත් ජනපද හමුදාවක් රැඳී සිටිනවා. සරලව ම දකුණු කොරියාව ආර්ථික බලවතෙක් වුවත්, ඒ බලවත්කම ස්වාධීන ව ඇතිකර ගත් බලවත්කමක් නොවෙයි. තරගාවලියේ VIP නියෝජනය වඩාත් බටහිරට නැඹුරු කර ඇති හේතුව විචාරකයන් දකින්නේ එලෙසින්.

ප්පොප්ගී. එහෙමත් නැත්නම් ඩැල්ගොනා රසකැවිලි – deccanherald.com 

දුෂ්කර ගමනක මතක සටහන්

 “The Man With the Umbrella” නම් කථාංගයේ දී විවිධ හැඩතල කොටා ඇති එක්තරා රසකැවිලි වර්ගයක් සම්බන්ධ තරගයකට තරගකරුවන් මුහුණ දෙනවා. රසකැවිල්ලේ කොටා ඇති හැඩතලය ප්‍රවේසමෙන් වෙන්කර ගත් තැනැත්තා එහිදී ජයග්‍රහණය ලබනවා. “ප්පොප්ගී” ලෙස හඳුන්වන මෙම රසකැවිලි වර්ගය 1950 ගණන්වල දකුණු කොරියාවේ වීදි ආහාර අතර ජනප්‍රිය ව පැවතුණා. “ප්පොප්ගී” මිලදී ගැනීමට එන ළමයින් අතර අපූරු තරගයක් පැවත්වීමටත් එකල වෙළඳුන් පුරුදු ව සිටියා. වෘත්තාකාර හැඩැති “ප්පොප්ගී”වල කොටා ඇති හැඩතලය වෘත්තයෙන් සාර්ථක ලෙස වෙන් කරගත් ළමයින්ට නොමිලේ රසකැවිලි පිරිනැමීමට එකල වෙළඳුන් ක්‍රියා කළා.

 යුද්ධයෙන් දරුණු ආර්ථික පරිහානියට ලක් වූ දකුණු කොරියාව තුළ සීනි බොහොම දුර්ලභ හා මිල අධික ද්‍රව්‍යයක් ලෙස එකල පැවතුණා. ලාභදායී පැණි රසැති වීදි කෑම සීනිවලට ආදේශකයක් ලෙස  කරළියට ආවා. දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් දකුණු කොරියාව ගොඩනැඟීමට උරදුන් වැඩිහිටි පුරවැසියන්ට මේ අපූරු රසකැවිල්ල ඉතා හොඳ අතීතාවර්ජනයක් වුණා. කොරියානු ඉතිහාසයේ අඳුරු මතක සිහිගන්වන මෙවැනි සංකේත රාශියක් ඔස්සේ “Squid Game” ඉදිරියට යනවා.

“The Man with the Umbrella” කථාංගයේ එන දර්ශනයක් – koreabyme.com 

මනුෂ්‍යත්වය තවමත් ජීවමාන යි.

“Squid Game” ලෝකය පුරා ජනප්‍රිය වෙමින් ගෝලීය සාර්ථකත්වයක් අත්කර ගත්තේ එහි ඇති මාරාන්තික ක්‍රීඩා සමඟ බැඳුණු ප්‍රචණ්ඩත්වය නිසා පමණක්ම නොවේ. මීටත් වඩා ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් නිර්මාණ ලෝකයේ බිහි වී තිබෙනවා. “Squid Game” හරහා කතා කරන සමාජ ගැටලු දකුණු කොරියාවට පමණක් ආවේණික නොවීමත් ඊට බලපා තිබෙනවා. නිර්මාණකරුවා තමාගේ රටේ ඉතිහාසය, සමාජ ක්‍රමය, සිදුවීම් කේන්ද්‍ර කරගනිමින් කතාව ලියා තිබුණත්, දකුණු කොරියාවෙන් එපිට ඕනෑම සමාජ පද්ධතියක් කම්පනය කිරීමට තරම් ඒ ගැටලු පොදු ස්වභාවයක් ගන්නවා. කෙසේ නමුත්, මනුෂ්‍යත්වය කිසිදා සම්පූර්ණයෙන් යටපත් කළ නොහැකි බව අඟවමින් Squid Game හි පළමු කතා සමය නිමාවට පත් වෙනවා.

 හ්වංග් ඩොං හ්‍යුක්, තම මව සහ මිත්තණිය සමඟ ජීවත් වෙමින් නිර්මාණාත්මක සංකල්පයක් ලෙස Squid Game හි කතාව රචනා කිරීම ඇරඹුවේ දශකයකටත් පමණ පෙර සිට යි.  ආර්ථික අපහසුතා සහ නිර්මාණය බොහෝ අය නොපිළිගැනීම නිසා ඔහු තම ප්‍රයත්නය පසුව අතහැර දැමුවා. ප්‍රචණ්ඩත්වය සහ මුදල් වෙනුවෙන් මරණය සමඟ තරග කිරීම වැනි රුදුරු නිර්මාණයක් භාර ගැනීමට කිසිදු ආයෝජකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. වරෙක ඩොං හ්‍යුක්ට දුෂ්කරතා හේතුවෙන් තම ලැප්ටොප් පරිගණය විකිණීමට පවා සිදු වුණා. දශකයකට පසු නෙට්ෆ්ලික්ස් ආයතනය ඩොං-හ්‍යුක්ගේ අභියෝගය භාර ගත්තා. අද “Squid Game” යනු ලොව ම කතාවන නිර්මාණයක්.

කවරයේ ඡායාරූපය:Squid Game කතා මාලාවේ ප්‍රචාරක දැන්වීමක් - sragenupdate.pikiran-rakyat.com

මූලාශ්‍ර:

theconversation.com

www.teenvogue.com

www.nbcnews.com

www.syfy.com

Related Articles