Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැලන්ටයින් දිනය ගැන අප්‍රසිද්ධ කරුණු කිහිපයක්

ආදරවන්තයන් සෑම වසරක ම පෙබරවාරි 14 වන දින  ‘වැලන්ටයින් දිනය’ ලෙස සමරනවා. මෙහිදී සිය පෙම්වතාට හෝ පෙම්වතියට තෑගි බෝග ලබා දී ඔවුන් සතුටු කිරීමට ආදරවන්තයන් සැදී පැහැදී සිටිනවා. වැලන්ටයින් දිනයේ ආරම්භය හා විකාශනය පිළිබඳ ව මත කිහිපයක් ම තිබෙනවා. එම දිනය හා සබැඳි බොහෝ දෙනා නොදන්නා කරුණු කාරණා රාශියකුත් තිබෙනවා.  බොහෝ දෙනා නොදන්නා ඒ කාරණා කිහිපයක් පහත පරිදි වෙනවා. මේවාට අමතරව වැලන්ටයින් දිනය පිළිබඳව ඔබ අසා ඇති, අප්‍රසිද්ධ යැයි සිතෙන දේ අපත් සමඟ බෙදා ගන්නත් අමතක කරන්න එපා.

වැලන්ටයින් දිනයේ ආරම්භය සිදු ව ඇත්තේ පුරාතන රෝම ‘සරු බව පැතීමේ’ උත්සවයකිනු යි.

 ලුපර්කැලියා උත්සවය- thegypsythread.org

 

වැලන්ටයින් දිනයේ ආරම්භය පිළිබඳව වූ එක්තරා මතයකට අනුව, එහි ආරම්භය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස තරම් ඈතකට දිව යනවා. එකල රෝමයේ සමහරක් දෙනා සෑම වසරක ම පෙබරවාරි මස 13 ත් 15 ත් අතර ලුපර්කැලියා නම් උත්සවයක් සංවිධානය කළ අතර, එහිදී කාන්තාවන්ගේ සරු බව දෙවියන්ගෙන් පැතීම සිදුවුණා. එය වර්තමාන වැලන්ටයින් දිනය මෙන් සුන්දර යමක් වූයේ නැහැ. 

මෙහිදී දෙවියන්ට සත්ත්වයින් කැපකිරීම උදෙසා බිලිදීම සිදු වූ අතර, ඔවුන්ගේ ලොම් ගෙන ඒවායින් කාන්තාවන්ට පහර දීම සිදු වුණා. මෙමගින් ඔවුන්ගේ සරු භාවය වැඩිදියුණු වෙතැයි ඔවුන් විශ්වාස කළා. මීට අමතරව ‘ලොතරැයි ක්‍රමයකට’ කාන්තාවන්ට පුරුෂයන් පෑහීම ද එහිදී සිදු කොට තිබෙනවා. මෙහිදී බොහෝ සත්ත්වයන් පිරිසක් බිලිදීම සිදු කෙරුණු අතර එය ඉතා අමානුෂික අන්දමින් පැවති උත්සවයක් වන්නට ඇති බැව් බහුතර විද්වත් මතය යි.

‘මල්සරා’ යනුවෙන් හඳුන්වන්නේ ග්‍රීක දේවතාවෙකි

 culturacolectiva.com

 

වැලන්ටයින් දිනය සම්බන්ධයෙන් පමණක් නොව ‘ආදරය’ සම්බන්ධ කටයුතුවලදී, එයට දිරිදෙන අයකු වන ‘මල්සරා’ නම් මනඃකල්පිත චරිතය පිළිබඳ ඔබ අසා ඇති. මල්සරා නිතර ම පෙන්නුම් කරන්නේ, දුන්නක් අතින් ගත්, නිරුවත්, කුඩා දරුවකුගේ විලාසයකිනු යි. මෙම මල්සරාගේ මූලාශ්‍රය වන්නේ ඊරොස් නම් ග්‍රීක දේවතාවා යි.

ක්‍රි.පූ 700 තරම් ඈත කාලයකදී ග්‍රීක වැසියන් ඇදහූ මෙම දේවතාවා, සිය හීවලින් පෘථග්ජන ජනතාවට විද, ඔවුන් අතර ප්‍රේමය ඇති කරන බවට පැරණි ග්‍රීකයන් අතර පිළිගැනීමක් තිබුණා. මොහු පිළිබඳ ඇදහිල්ල ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී රෝමය වෙත ද පැතිරී ගියා. ඉන් අනතුරුව ආදරයේ සංකේතය ලෙස මෙම ඊරොස් භාවිත කරන්නට වුණා. මෙම දේවතාවා ‘මල්සරා’ ලෙස වැලන්ටයින් දිනය හා සම්බන්ධ කොට ලොවට ඉදිරිපත් කරන්නට වූයේ 19 වන සියවසේදී යි.

කමිස අත්වල හදවත් පැළඳීමේ අතීතය

හදවත් පැළඳීම – Pinterest.com 

 

වැලන්ටයින් දිනයට සමහරක් රටවල ආදරවන්තයන් සිය ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ නාමය කෙටූ හදවතක් සිය ඇඳුම්වල අතෙහි හෝ වෙනත් තැනක පළඳිනවා. මෙහි අතීතය මධ්‍යතන යුගය දක්වා විහිදී යනවා. රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යයා ‘විවාහය’  නොපිළිගත් අයකු වූ අතර, ඒ ඒ වසරවල පුරුෂයන් හා කාන්තාවන් තාවකාලිකව එකට ජෝඩු වීම පමණක් පිළිගත් අයෙක් වුණා. මේ නිසා බොහෝ විට කලින් කලට එහි අයට ආශ්‍රය කරන සගයන් මාරු කිරීමේ හැකියාව තිබුණා.

එකල පැවති ‘ජූනෝ’ දේවතාවිය පිදෙන උත්සවයක දී රෝම පුරුෂයන් තමන් ඊළඟට පැමිණෙන වසරක කාලය තුළ දී ආශ්‍රය කරන කාන්තාවගේ නම හදවතක් ආකාරයෙන් තැනූ කුඩා පලකයක කොටා සිය කමිස අතේ පැළඳිය යුතු වුණා. එම උත්සවය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ දී ඔවුන් එලෙස එම පලකය පැළඳ සිටිය යුතු වූ අතර, සියල්ලන්ට ම එය පෙන්වා සිටිය යුතු වුණා. මෙහිදී එම යුවළට වසරක කාලයක් යන තුරු කිසිවෙක් බලපෑම් කළේ නැහැ. 

වැලන්ටයින් දින මල් දීම ඇරඹූ වික්ටෝරියානුවෝ

රතු රෝස ආදරයේ සංකේතයක් – flowerweb.com

 

රතු රෝස ආදරයේ සංකේතයක් ලෙස පුරාතන රෝම වැසියන්  සැලකුවා. මෙය ඊරොස් හෙවත් මල්සරාගේ මව ලෙස සැලකූ වීනස් දෙව්දුවට වඩාත් බහුලවම පිදූ මල් වර්ගය වුණා. කෙසේ නමුත්, පිළිවෙතක් ලෙස පුරුෂයන් තමන් ආදරය කරන කාන්තාවට මල් ලබා දෙන්නට පටන්ගෙන ඇත්තේ වික්ටෝරියානු යුගයේ දී යි. වර්තමානයේ මෙන් නොව එකල රෝස මල් මිලෙන් ඉතා අධික, සුඛෝපභෝගී භාණ්ඩයක් වුණා. රෝසමලක් මිලදී ගත හැකි වූයේ අතමිට යහමින් ඇති අයකුට පමණයි. 

වර්තමානය වන විට ඉක්වදෝරය හා කොලොම්බියාව වැනි රටවල, සාපේක්ෂව අඩු ප්‍රාග්ධනයකින් රෝසමල් නිපැයෙන නිසා, ගෝලීය වශයෙන් ඒවායේ මිල පාලනය වී තිබෙනවා. රෝසමල්වල තිබූ සුඛෝපභෝගී ස්වභාවය නිසා එකල පුරුෂයන්, තමන්ට තම ආදරවන්තියෙ කෙතරම් වටිනවා ද යන්න පෙන්වීම් සඳහා මෙලෙස රෝසමල් ලබා දීම  වැඩිමනත් ම  සිදු කරන්නට ඇති අතර, එය අනුව යමින් වර්තමානයේදීත් වැලන්ටයින් දිනයේ දී ලොව වැඩියෙන් ම සංසරණය වන මල් වර්ගය වන්නේ රෝස මලු යි. වැලන්ටයින් දිනයේ දී ලොව විකිණෙන රෝසමල් වල ප්‍රමාණය මවුවරුන්ගේ දිනයට මෙන් ම නත්තලටත් වඩා වැඩි වෙනවා.

 සාර්ථක උපක්‍රමයක් වූ ‘වැලන්ටයින් දින චොකලට්’

වැලන්ටයින් දින චොකලට් – economictimes.indiatimes.com 

 

වැලන්ටයින් දිනයේ දී බොහෝ දෙනා තම ආදරවන්තයාට හෝ ආදරවන්තියට චොකලට් ලබා දීමට අමතක කරන්නේ නැහැ. මේවායින් සමහරක හදවතක් ආකාරයට සැකසූ ඒවා වෙනවා. මෙලෙස වැලන්ටයින් දිනයට චොකලට් හුවමාරු කිරීමේ ‘පුරුද්ද’ ලොව ඇති කළේ ‘රිචඩ් කැඩ්බරි’ නම් චොකලට් වෙලෙන්දෙක්. මොහු ලෝ පරසිදු කැඩ්බරි චොකලට් ලොවට හඳුන්වා දුන් කර්මාන්ත හිමියාගේ පුත්‍රයා වෙනවා.

මොහු වැලන්ටයින් දිනය ඉලක්ක කොටගෙන හදවත් හැඩයට සැකසූ චොකලට් වෙළඳපොළට 1860 දශකයේ දී නිකුත් කරන්නට වූ අතර, ඒවා උණු කැවුම් මෙන් අලෙවි වී ගියා. මෙය ඔහු ද එක්වරම බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වුණා. අද වන විට කැඩ්බරි ආයතනය වසරකට ලොව පුරා හදවත් හැඩයට සැකසූ චොකලට් පෙට්ටි මිලියන 36 ක් පමණ බෙදා හරිනවා. මේවායින් සමහරක් මැදට කජු, බ්‍රැන්ඩි වැනි දේ පිරවුම් කරනවා. අද වන විටත් වැලන්ටයින් දිනයේ වැඩිමනත් ම අලෙවි වන රසකැවිල්ල වන්නේ චොකලට්.

කවරයේ ඡායාරූපය - 'වැලන්ටයින් දිනය' සමරන ආදරවන්තයෝ - webneel.com 

මූලාශ්‍ර:

Countryliving.com

Serenataflowers.com

History.com

Related Articles