Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දාහතර වැනි දලයි ලාමා තුමා

ලොව පුරා සාමයේ සහ අවිහිංසාවාදයේ පණිවුඩය පතල කිරීමට මහත් මෙහෙවරක් ඉටු කරන 14 වැනි දලයි ලාමාතුමා මහායාන බුදු දහම ප්‍රචලිත ටිබෙට් දේශයේ රාජ්‍ය නායකයා සහ ආධ්‍යාත්මික නායකයාද වෙනවා. ලාමාවරු ජීවමාන බුදුවරුන් ලෙසයි ඔවුන් සලකන්නේ. මෙතුමා දේශනා කරන දර්ශනය වන්නේ මහායානය, ථේරවාදය සහ හින්දු සංකල්පයන්ගෙන්ද යුක්ත වන ලාමා දහමයි.

එවරස්ට් කඳුකරය දෙස බලා සිටින ටිබෙට් දේශයේ රොංබුක් ආරාමය (Wondermondo)

දලයි ලාමාවරු

දලයි ලාමාවරු ඔවුන්ගේ මුළු ජීවිතයම දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය පැතිරවීමට කැප කරනවා. මොවුන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම වෙනුවට නැවත නැවත ඉපදෙමින් ලෝකයට යහපතක් කිරීමට වෙහෙසෙනවා. දලයි යන මොංගෝලියානු වචනයේ අර්ථය සාගරය යන්නයි. ටිබෙටියන් වචනයක් වන ලාමා යන්නෙන් ගුරුවරයා යන අරුත ගෙනෙනවා. මෙහි අර්ථය සාගරය තරම් විසල් දැනුම් සම්භාරයක් සහිත ගුරුවරයා යන්නයි.

1391 සිට මේ දක්වා ජීවත් වූ, පළමු දලයි ලාමාවරයාගේ සිට දාහතර වැනි දලයි ලාමාවරයා දක්වා සියළුම දලයි ලාමාවරු එකම පුද්ගලයෙකුගේ පුනරුප්පත්තියක් බව ටිබෙට් වැසියන් විශ්වාස කරනවා. දලයි ලාමා තනතුරට පසුව පංචන් ලාමා සහ ලාමාවරුන් සිටිනවා. ඔවුන් පන්සල් පාලනය කරන අතර දලයි ලාමාගේ කටයුතුවලට සහය වීමත් සිදු කරනවා. නමුත් මේ ලාමාවරුන්ට කිසි දිනෙක දලයි ලාමා තනතුරට පත් විය නොහැකියි.

13 වැනි දලයි ලාමාවරයා (shakyashrieu.wordpress.com)

ලාමාවරුන් තෝරා ගැනීම

දලයි ලාමාවරයෙක් මිය ගිය පසු ඔහුගේ පුනරුප්පත්තිය සෙවීමට පිරිසක් පිටත් කෙරෙනවා. මේ සඳහා ටිබෙටයේ ශුද්ධ විලකින් පෙනෙන සංකේත, පෙර සිටි දලයි ලාමාවරයා කරන ප්‍රකාශ සහ අනවැකිකරුවන්ගේ අනාවැකි උපකාර කර ගන්නවා. සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ තුනකින් පසු මේ දරුවාව සොයාගන්න ඔවුන් සමත් වෙනවා. ඉන්පසු දලයි ලාමාගේ පුනරුප්පත්තිය ලෙස හඳුනාගත් දරුවාව දලයි ලාමා තුමා පාවිච්චි කළ භාණ්ඩ හඳුනාගැනීම වැනි පර්යේෂණ කිහිපයකට යොමු කරනවා. එසේ කරන්නේ ඒ දරුවා දලයි ලාමාවරයාගේ පුනරුප්පත්තියම බව තහවුරු කර ගැනීමටයි. ඉන්පසු ඔහුව අගනුවරට ගෙනගොස් අධ්‍යාපනය ලබා දෙන අතර වයස අවුරුදු 18දී පමණ උත්සවයක් පවත්වා රාජ්‍ය බලය ලබා දෙනවා. එතෙක් රට පාලනය කරන්නේ රෙටිං රින්පොචේ කියන නිලධාරියායි.

14 වැනි දලයි ලාමාවරයා (AP Photo/Matt Dunham)

වත්මන් දලයි ලාමාතුමාගේ ළමා විය.

1935 ජූලි 6 වැනිදා ඊසානදිග ටිබෙටයේ ටැක්ස්ටා ප්‍රදේශයේ, සහෝදර සහෝදරියන් 16 දෙනෙකු ගොවි පවුලක පස්වැන්නා ලෙස එතුමා උපත ලැබූවා. මේ සහෝදර සහෝදරියන්ගෙන් ජීවත් වීමට වාසනාව හිමිවුණේ දරුවන් හය දෙනෙකුට පමණයි. මව්පියන් ඔහුට Chamo Thondup යන නාමය ලබා දුන් අතර පැවිදි වීමෙන් පසුව එය Tenzin Gyaesto ලෙස වෙනස් වුණා.

Chamo අවුරුදු 6දී ආශ්‍රම අධ්‍යාපනය ඇරඹූ අතර එහිදී ප්‍රධාන විෂයයන් ලෙස තර්ක ශාස්ත්‍රය, ටිබෙටියානු කලාව හා සංස්කෘතිය, සංස්කෘත භාෂාව, වෙදකම සහ බෞද්ධ දර්ශනය ඉගෙනුම ලැබුවා. මීට අමතරව කාව්‍යකරණය, සංගීතය සහ නාට්‍ය කලාව, නක්ෂත්‍රය සහ ග්‍රන්ථකරණය පිළිබඳවත් හැදෑරුවා. වයස අවුරුදු 23දී අවසාන විභාගයට මුහුණ එතුමන් ගෞරව උපාධියක්ද සහිතව එම විභාගය සමත් වූණා. මෙය බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියකට සමාන වෙනවා.

තරුණ වියේදී (mashable.com)

ටිබෙටයේ තතු

1950දී සිදු වූ චීන ආක්‍රමණය කිරීමත් සමඟම ටිබෙටයේ අනාගතය පිළිබඳ වගකීම දලයි ලාමාතුමාට පැවරුණා. 1954දී දලයි ලාමාතුමා චීනයේ බෙයිජිං නුවරට ගියේ මාවෝ සේතුං සහ අනෙකුත් චීන නායකයන් සමඟ සාම සාකච්ඡා සඳහායි. නමුත් චීන සමූහාණ්ඩුව ඔහු ඉදිරිපත් කළ අදහස්, යෝජනා සහ පනත් කෙටුම්පත් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර 1959දී චීන හමුදා චීන පාලනයට එරෙහි වූ ටිබෙට් ජාතිකයන් කෘෘර ලෙස මැඬපැවැත්වීම සිදු කළා. මේ අවස්ථාවේදී දලයි ලාමාතුමාටත් රටින් පිටුවහල් වන ලෙස බල කෙරුණා. එතැන් පටන් අද දක්වා එතුමා ඉන්දියාවේ හිමචාල් ප්‍රදේශයේ ධරම්සාලාහි වාසය කරනවා.

ටිබෙටය හැරදා ඉන්දියාවට පළා යාම (Gilded Cage Articles)

මිල කළ නොහැකි සේවය

1963දී දලයි ලාමාතුමා ටිබෙටය වෙනුවෙන් “The Charter of Tibetans in Exile” නමින් හැඳින්වුණු ප්‍රජාතන්ත්‍රවාදී ආණඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළා. 1987දී සාමය උදෙසා පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ එතුමා නිදහස් ටිබෙටයක් වෙනුවෙන් අවිහිංසාවාදී සටනක් ගෙන ගිය අතර ලොව පුරා සාමය පැතිරවීමට මහත් උත්සාහයක් ගත්තා. ටිබෙටය ආක්‍රමණය කළ චීනය හැර අනෙක් සියළුම රටවල වැසියන් එතුමාට ගෞරවාදරය දැක්වූ අතර ලොව පුරා ජනයා රැස් කර අතිවිශාල ප්‍රමාණයක සම්මන්ත්‍රණ, සාකච්ඡා සහ වැඩමුළු පවත්වා එතුමා සාමය, සොබාදහම රැකගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පණිවුඩ සමාජගත කළා.

කිසිවිටෙක බලහත්කාරයෙන් බුදු දහම ප්‍රචාරය නොකළ එතුමා වෙනත් ආගම් අදහන පිරිස් අතරදී එදිනෙදා ජීවිතයට උපකාර වන සරල පිළිවෙත් දේශනා කරනවා. බුදු දහම ආගමකට එහා ගිය මනස පිළිබඳ විද්‍යාවක් ලෙසයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. පළමුව තමාගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ සලසා ගැනීමත්, ඉන්පසුව එය තම පවුලේ සාමාජිකයන් තුළ ඇති කිරීමත් මඟින් බුදු දහමේ උන්නතිය ඇති කළ හැකි බව උන්වහන්සේ දේශනා කරනවා.

1980 පටන් එතුමා විද්‍යා ලෝකයේ දැවැන්ත චරිත සමඟ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ ක්ෂේත්‍ර අතර ස්නායු ජීව විද්‍යාව, මනෝවිද්‍යාව, අජටාකාශ විද්‍යාව සහ ක්වොන්ටම් විද්‍යාව ප්‍රමුඛ වෙනවා. මෙමඟින් ඇතිවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ නූතන විද්‍යාඥයන් අතර සහයෝගය විද්‍යාව සහ දර්ශනයන් අතර ඇති හැලහැප්පීම් සහ ගැටළු විසඳා ගැනීමට මහත් උදව්වක් වුණා.

දේශපාලනයෙන් සමුගැනීම

2011 මාර්තු 14 වැනිදා දලයි ලාමාතුමා ඔහු දේශපාලන බලයෙන් ඉවත් වන බවට ටිබෙට් වැසියන් වෙත පණිවුඩයක් යවනවා. මෙයින් කියැවෙන්නේ එතුමා තවදුරටත් ටිබෙටයේ දේශපාලන නායකයා නොවන නමුත් එහි ආධ්‍යාත්මික නායකයා වශයෙන් කටයුතු කරන බවයි. කෙසේ  නමුත් අතීත ටිබෙටයේ විසු පළමු දලයි ලාමාවරු හතර දෙනාම රාජ්‍ය නායකයන් ලෙස ක්‍රියා කර නොමැති අතර ආධ්‍යාත්මික නායකයන් ලෙස පමණක් කටයුතු කර තිබෙනවා.

විවිධ ග්‍රන්ථ 110කට ආසන්න ප්‍රමාණයක් රචනා කර තිබෙන එතුමා පරිසරය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන අතර ප්‍රබල සත්ත්ව අවිහිංසාවාදියෙක්ද වනවා. මාංශයෙන් තොර ආහාරවලට පුරුදු වීමෙන් සියල්ලන්ටම වේදනාවන්ගෙන් සහ බියෙන් තොර ජීවිතයක් හිමිවන බව දලයි ලාමාතුමා පවසනවා.

ඇමෙරිකාවේ 44වන ජනාධිපති බරක් ඔබාමා සමඟ (Lion’s Roar)

ඇගයුම්

රටවල් 67ක සංචාරය කළ දලයි ලාමාතුමාට ලොව පුරා ආයතනවලින් 150කට ආසන්න ප්‍රමාණයක සම්මාන, ගෞරව උපාධි සහ ත්‍යාග හිමිව තිබෙනවා. සාමය, අවිහිංසාවාදය, ආගම් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ දයානුකම්පාව පිළිබඳ පණිවුඩය රැගෙන යන එතුමා 1989 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ අයෙක්.

කවරයේ පින්තූරය: AFP PHOTO / FILES / Fabrice COFFRINI

මූලාශ්‍ර:

  1. www.thefamouspeople.com
  2. www.dalailama.com
  3. www.wikipedia.org
  4. magebima.blogspot.com

Related Articles